හැත්තෑතුන් වන ජාතික නිදහස් දිනය පසුගිය පෙබරවාරි හතර වනදා සමරනු ලැබිණ. පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ මෙවර නිදහස් දිනය වෙනදා මෙන් නිදහසේ සමරන්නට අවස්ථාව සැලසුනේ නැත. ඉස්මතුව පවත්නා අවදානම් සහගත සමාජ පසුබිමේ එයට එතරම් අවධානයක් යොමු වූයේ ද නැත.

වසරක් පාසා අප ‘ජාතික නිදහස’ කියා සමරනු ලබන්නේ යටත්විජිත භාවයෙන් නිදහස් රාජ්‍යයක් බවට පත් වීම ය. එසේ යටත්විජිත භාවයෙන් නිදහස් වූව ද දැනුදු අප සිටින්නේ සෙසු රටවල බලපෑමෙන් සහමුලින් ම නිදහස් ස්වාධීන රාජ්‍යයක් ලෙස නොවේ. ලෝක බලවතුන්ගේ බල අරගලයේ දී අප වැනි අසංවර්ධිත රාජ්‍යයන් පීඩනයට ලක් වීම වළක්වාලන්නට නොහැකි ය. එසේ ම, නවීන තාක්ෂණික භාවිතය හරහා අති ශීඝ්‍රයෙන් පැතිර යන විවිධාකාර මතිමතාන්තර ඔස්සේ ද ශිෂ්ටත්වය, සභ්‍යත්වය හා ස්වාධීනත්වය මත ගොඩනැගුනු දේශීය ජීවන සම්ප්‍රදායන් ප්‍රබල ව පරගැති මානසිකත්වයක් කරා පරිවර්තනය වන ආකාරය අත්දකින්නට ලැබේ.

සැබැවින් ම ස්වාධීන රාජ්‍යයක් යනු සදාකාලික ව පෝෂණය කළ හැකි බලසම්පන්න භාවයක් නොවේ. ලොවෙන් අඩකට වඩා යටත් කළ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ද සොලොස් මහ ජනපදයන් ඒකඡත්‍ර කළ ධර්මාශෝක අධිරාජයාගේ ද අතිශය බලවත් වූ අධිරාජ්‍යයන් පිහිටුවා නොබෝ කලකින් ම බිඳ වැටුනු අයුර සඳහන් ඉතිහාසය පෙන්වා දෙන්නේ එය යි. ‘ස්වාධීන රාජ්‍යයක්’ යන්න නිමිත්ත කොටගෙන අප ගොඩනගන නිදහස පිළිබඳ සංකල්පීය රාමුව වහා බිඳ වැටෙන්නකි. කොටින් ම මේ සමරන නිදහස යළි අප යටත්විජිතයක් බවට පත් වීමෙන් කෙළවර වන්නකි. නමුත්, එසේ කිසිවකින් හෝ සීමා නොකෙරෙන, නිමාවට පත් නොවන සැබෑ නිදහසක් යනු හුදු සංකල්පයක් ද නොවේ; එය යථාර්ථයකි.

ලෝකයේ සියලු සීමා මායිම් අතික්‍රමණය කොට, ලොව කිසිදු බලසම්පන්න භාවයකින් ඉක්මවාලිය නොහැකි අයුරින් මිනිස් සන්තානයක උපන් පරම ස්වාධීනත්වයේ අග්‍ර ඵලය වූයේ සම්මා සම්බුද්ධත්වය යි. කෙලෙස් වසඟයේ සකල ලෝකයා මඩිනු ලබනා ලෝකාධිපත්‍යයෙන් හෙබි පාපී මාරයාගේ ග්‍රහණයෙන් සදහට ම නිදහස් ව අම නිවන් වැඩි අපගේ ශාස්තෘවර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරූ පුණ්‍ය පාරමිතා බලයෙන් ඔදවත් ව වජිරාසනය මත වැඩ හිඳිමින් පරම ස්වාධීනත්වයට පත් වූ සේක.

කිසිවෙකුට, කිසිවකට ආපසු හැරවිය නොහැකි ඒ ස්වාධීනත්වය ලබන මග ද ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට වදහළ සේක. පිනෙන්, නුවණින් සපිරුනු වීරියවන්තයෝ ඒ මගේ ගමන්කොට ස්වාධීනත්වයට පත් වූහ. අප උපන් මේ බිමේ ජීවන සම්ප්‍රදාය බිහි වූයේ ඒ ස්වාධීන චින්තන රටාව මූලික කරගෙන ය.

ඒ වනාහි හුදු රජ සිටු මැති ඇමතිකම් පමණක් නොව දිව්‍යත්වය, බ්‍රහ්මත්වය පවා අපේක්ෂා නොකරන – අමා මහ නිවන ම ඉලක්ක කොටගෙන පිළිවෙතෙහි හැසිරෙන අපූර්ව චින්තනයකි. සතර අපායෙන් ද සසරින් ද සත්වයන් සහමුලින් ම නිදහස් කරවන්නකි. ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් නිදහස් කරවන්නකි. ජීවිතය යනු වසර ගණනාවක ප්‍රශ්නයකි ය යන පටු රාමුවට හිර නොවී සසර යනු අති දීර්ඝ, අති දුෂ්කර ගමනකි යන පුළුල් දැක්ම තුළ ඇත්ත ඇති සැටියෙන් දක්නා ප්‍රඥාව දියුණු කරමින් යන ගමන ප්‍රිය කළ – එයට ඇප කැප වූ ස්වාධීන චින්තනය අප අහිමි කර ගත යුතු ද? මේ මිහිතලයේ සියලු මිනිසුන් අතරේ ඒ ශ්‍රේෂ්ඨ චින්තන රටාව නිර්මල ව උරුම කර ගත් පිරිස වීමේ පමණ කළ නොහැකි භාග්‍යය අප අපතේ හැරිය යුතු ද?

සැබෑ නිදහස යනු වෙනස් වන්නක් නොවේ. එය ස්ථිර ය. අචල ය. සියලු මිනුම් දඬුවලින් මිදී පවතින්නේ ය. ඒ නිදහස කරා වීරියෙන් පියනැගීම අපගේ ඒකායන අරමුණ විය යුත්තේ ය.