නැණ ගුණවත් දරු පරපුරක් බිහි කිරීමට වෙර දරන මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය

විකසිත වී පිපෙන්නට වෙර දරන කුඩා මල් කැකුළු වන් දරු පිරිසක් සොයා පසුගිය දිනක අපි දෙල්ගොඩ, දෙමාලගම නම් ගම් පියසේ පිහිටි “මහමෙව්නාව බෞද්ධ පාසල” වෙත පිය නැගුවෙමු. මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාතෘ මෙන් ම ගරු අනුශාසක පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් සහ අනුශාසනා මත 2018 වර්ෂයේ පෙබරවාරි 28 දින මහමෙව්නාව බෞද්ධ පාසල ආරම්භ විය.

මෙම විදුහල ආරම්භ කිරීම සඳහා සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ල සමඟ ඉඩම පරිත්‍යාග කරනු ලැබුවේ මැලේසියාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සෙන්තෝල් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, ථේරවාදී බෞද්ධ කවුන්සලයේ අනුශාසක බූටෑවත්තේ සරණංකර නා හිමියන් වහන්සේ විසිනි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව පවත්වාගෙන යන මෙම පාසල පෞද්ගලික විදුහලකි. මෙම පාසලේ මූලික පරමාර්ථය බෞද්ධ පරිසරයක් තුළ දරුවාට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමයි. ගෞතම බුදු සසුන සුරකින සුජාත දරු පරපුරක් බිහි කිරීම මෙම පාසලේ මූලික අරමුණ යි. සියලු පහසුකම් සහිත නිසල ගැමි පරිසරයක ඉදි වූ මෙම පාසල මුලින් ම නේවාසික දරුවන් තිස්පස් දෙනෙකුගෙන් සහ ගුරුවරු පස් දෙනෙකුගෙන් යුතුව ආරම්භ කෙරිණි.

“දරුවන් තෝරා ගැනීමේ දී මුලින් ම අප දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන, පහසුකම් අඩු, නමුත් ඉගෙනීමට දක්ෂ දරුවන්ට මූලිකත්වය ලබා දුන්නා. සූරියවැව, අනුරාධපුරය, හුණුමුල්ල, වැලිකන්ද, මැදිරිගිරිය, බණ්ඩාරවෙල, පොළොන්නරුව ආදී ප්‍රදේශවල පාසල්වල විදුහල්පතිවරු දැනුම්වත් කර මහමෙව්නාව අසපු මුල්කරගෙන දක්ෂ දරුවන් පිරිසක් තෝරා ගත්තා.

මෙම පාසල පටන්ගෙන දැනට වාර දෙකක් පමණයි ගෙවී ගියේ. නමුත් සාමාන්‍ය පාසලක තිබෙන සියලු ම පහසුකම් මේ දරුවන්ට අප ලබා දී තිබෙනවා. පහසුකම් සහිත පන්ති කාමර, විද්‍යාගාරයක්, පරිගණකාගාරයක්, සෞන්දර්ය සඳහා වූ නැටුම් මෙන් ම චිත්‍ර, නාට්‍ය, පෙරදිග – අපරදිග සංගීත ඉගැන්වීම් කරනු ලබනවා. දැනට මෙම පාසලට උපාධිධාරී ගුරුවරුන් නව දෙනෙකුගේ සේවය ලැබෙනවා. අනෙක් ගුරුවරු තිදෙනාත් උසස්පෙළ ඉහළින් සමත්, මින් පෙර ඉගැන්වීම් කර තිබෙන ගුරුවරුයි. ඒ වගේ ම ඇමරිකාවේ මෙන් ම කැනඩාවේ ඉගෙනුම ලැබූ හා ඉගැන්වූ දක්ෂ ඉංග්‍රීසි ගුරුවරියන් දෙදෙනෙක් ද අප සතුයි.

දැනට 6, 7, 8 පංති පමණයි අප ආරම්භ කළේ. එතැනින් ඉදිරියට යාමටයි බලාපොරොත්තුව. දැනට නේවාසික ව දරුවන් අනූවකට ආසන්න ප්‍රමාණයකට පමණයි අපට ඉඩකඩ තිබෙන්නේ. ඒ දරුවන්ට සතියේ දින පහට සහ සෙනසුරාදා ඉරිදා දිනයන්ට වෙන වෙන ම කාල සටහනක් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් දවස පුරා ම ඒ කාලසටහන අනුවයි වැඩ කරන්නේ. තමන්ගේ රෙදි සෝදා ගැනීම, සපත්තු මැද ගැනීම, තමාගේ වැඩ මෙන් ම පාසල පිරිසුදු කිරීම් ද ඔවුන් සිදු කරනවා.

කෑම කාමරයේ මෙන් ම නේවාසිකාගාරයේදීත් අප ඔවුන්ට ඉංග්‍රීසියෙන් කතා කිරීමට උදව් කරනවා. සෑම බදාදා ම ස්වේච්ඡාවෙන් විදේශිකයන් 08 දෙනෙක් දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට මෙහි පැමිණෙනවා. ඔවුන් දරුවන් සමඟ නව නිර්මාණ කරනවා. එහි දී ඒ නිර්මාණය සාර්ථක කර ගැනීමට දරුවා අපහසුවෙන් හෝ ඔවුන් සමඟ ඉංග්‍රීසි කතා කරනවා. ඒ නිසා ම ඉංග්‍රීසි විෂයට තිබුණ භය දැන් දරුවන්ගෙන් දුරස් වෙමින් තිබෙනවා.

මේ දරුවන් අතර විශේෂ කුසලතා තිබෙන බොහෝ දරුවන් සිටිනවා. 6 වසරේ සිටින එක් දරුවෙක් මේ වනවිට මහාවංශය, ධාතුවංශය, ථූපවංශය ආදී බොහෝ පොත් කියවා තිබෙනවා. ඔහු පුරාවිද්‍යා විෂය පිළිබඳ ව අධ්‍යයනය කරමින් සිටින්නේ. ඒ වගේ ම විද්‍යාත්මක පර්යේෂණ කරන, නව නිර්මාණ කරන ළමයිනුත් ඒ අතර සිටිනවා. අපි දරුවන්ගේ අමතර කුසලතා වර්ධනය කිරීමටත් ඔවුන්ගේ කුඩා කණ්ඩායම් ඇතුළත් කර සංගම් පිහිටුවා තිබෙනවා. පාසැලේ ශබ්ද විකාශන යන්ත්‍ර භාරව ද තව කොටසක් ජලනල පද්ධතිය භාරව ද තව කොටසක් පාසලේ විදුලි ආලෝක භාරව ද සිටිනවා. ඔවුන් තමන්ට භාර කොටස නිසි පරිදි සොයා බලනවා. මෙහි දී අපගේ බලාපොරොත්තුව පන්ති කාමර අධ්‍යාපනයෙන් එපිටට ගිය, තමාගේ දේ තමාට කර ගත හැකි පුද්ගලයෙකු බිහි කිරීම යි.

මහමෙව්නාව බෞද්ධ විදුහලේ ගුරුවරු දරුවන්ට ආදරයෙන්, කරුණාවෙන්, ගුරු ගෞරවය රැකෙන පරිදි සේවය කරනවා. මත්ද්‍රව්‍ය තහනම් කලාපයක් වන මෙම විදුහලේ ගුරුවරු ද සත්පුරුෂ පිරිසක්.” යැයි මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් පැවසූහ.

පාසලේ විදුහල්පතිතුමා ජී. ආර්. සී. කේ. ගම්ලත් මහතා ය. එතුමා හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ නිලධාරියෙකි. විශ්‍රාම යාමට අවුරුදු 13ක් තිබිය දී එතුමා මේ පාසලට සම්බන්ධව වැඩ කිරීමට පටන්ගත් අතර, පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව සම්මාන සාමාර්ථයක් සමඟත් ඔහු සමත් වී ඇත. ඔහු අධ්‍යාපනපති උපාධියත් හදාරා පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන දර්ශනපති උපාධියත් හදාරා තිබේ. එතුමා අප සමඟ මෙසේ දොඩමළු විය.

“සත්පුරුෂ දරුවන් බිහිකිරීමේ අරමුණින් පටන් ගත් මෙම පාසලෙන් ලාභ ඉපයීමේ පරමාර්ථයක් අප තුළ නැහැ. අපේ වෑයම සත්පුරුෂ ගුණගරුක දරු පිරිසක් තුළින් සමාජයට ඔබින නායකයන්, පාලකයන්, නිලධාරීන්, හොඳ මිනිසුන් පිරිසක් බිහි කිරීම යි. රටේ අනාගතය භාර ගන්නා මෙවැනි දරුවන් තුළින් අපගේ රට දියුණුව කරා පිය නගාවි යැයි අපි විශ්වාස කරනවා. මූලිකව බඳවා ගත් දරුවන් ශිෂ්‍යත්ව ක්‍රමයක් මත බඳවා ගත්තේ ගුණගරුක, සුපෝෂිත, දක්ෂ දරුවන් මුලින් හදා ගත්තොත් එයින් පසුව එන දරුවන් ඒ මග ම යන බව ස්ථිර නිසායි.

විශේෂයෙන් මේ දරුවන් නේවාසික ව සිටින නිසා ඔවුන්ට අධ්‍යාපනය වගේ ම ජීවිතයට අදාළ ගුණධර්මත් දියුණුකර ගැනීමට හැකියාව තිබෙනවා. දරුවෝ බොහෝ විට පොතපත කියවීමට නැඹුරුවීමක් තිබෙනවා. හත වසරේ දරුවෙක් ත්‍රිවිධ රත්නාවලිය නමින් පොතක් ලියා තිබෙනවා. එහි බුදුගුණ, දම්ගුණ, සඟගුණ තමයි කැටිකොට තිබෙන්නේ. අපි මේ වගේ දරුවන්ගේ විශේෂ දක්ෂතා තව තවත් දියුණු කරන්න වැඩපිළිවෙළක් සකසමින් සිටින්නේ.

මෙම විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන්ට දුරකතන තහනම්. ඒ නිසා ඔවුන් නිවෙස්වලට ලිපි තමයි ලියන්නේ. එයින් දරුවන්ගේ ලිවීමේ කුසලතාවය දියුණු වෙනවා. මෙවර අධ්‍යාපන චාරිකාව අපි අනුරාධපුරය වන්දනා කරන්නයි තෝරා ගත්තේ. එහි දී දරුවන් එහි ඇති සිද්ධස්ථාන පිළිබඳ කියවා හොඳින් දැනුම්වත් වුණා. ඒ පිළිබඳ ව රචනා පවා ලියා බිත්ති පුවරුවේ එල්ලා අනෙක් දරුවන්ටත් බලන්න සැලැස්සුවා. දරුවන්ට අනවශ්‍ය ලෙස කතා කර කර සිටීමට කාලයක් මෙම විදුහලේ නැහැ. අනවශ්‍ය රූපවාහිනී වැඩසටහන්, අමතර පන්ති මොවුන්ට නැහැ. සතුටින් ඉගෙන ගන්නට ඉඩ හැරලයි තිබෙන්නේ. පරිසරයෙන් ඉගෙන ගන්නත් අවස්ථාව උදාකර තිබෙනවා. ඉතාමත් නිවැරදි ගමනක් යන්න අප බොහෝ සේ කැප වෙනවා.

2019 වසරේදී ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීම් කටයුතු පටන් ගැනීමටයි අපේ බලාපොරොත්තුව. නේවාසික දරුවන් අනූවකට ආසන්න ප්‍රමාණයකට පමණයි ඉඩකඩ තිබෙන්නේ. දැන් ඒ අවස්ථාව ඉවරයි. ඒ නිසා 2019 වසරට අප බඳවා ගන්නේ නිවසේ සිට පැමිණීමට බලාපොරොත්තු වන දරුවන් පමණයි. ඒ සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවලා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා.” යැයි අවසන ඔහු අප හා පැවසීය.
කුසල් දර්ශන 7 වසරේ ඉගෙනුම ලබන දරුවෙකි. ඔහු මෙසේ පැවසී ය.

“මම මුලින් ම පාසල් ගියේ බණ්ඩාරවෙල දකුණු කැබැල්ලෑව මහානාම විදුහලටයි. එක වසරේ සිට පහ වසර දක්වා එහි අධ්‍යාපනය ලැබුවා. ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 183ක් ලබා දිස්ත්‍රික්කයේ 17 වැනියා ලෙස මම සමත් වුණා. බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහලේ හත වසර දක්වා අධ්‍යාපනය ලැබූ මා මුල් වාරයේ දී මෙම පාසලට පැමිණියා. මගේ විනෝදාංශය පොත් කියවීම යි. මම මහාවංශය, සකස්කඩ විශාල වාර ගණනක් කියවා තිබෙනවා. මේ පාසලේ අපට අවශ්‍ය සියලු ම පහසුකම් තිබෙනවා. ගුරුවරු හුඟක් කරුණාවන්තයි. අපට හොඳ ගුණධර්ම කියා දෙනවා. අමතර විෂයන් කරන්නත් පුළුවන්. මම මේ පාසලේ ආශාවෙන් ඉගෙන ගන්නවා. ඉතිහාසය සහ සිංහල සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක් වෙන්නයි මගේ බලාපොරොත්තුව.

මහමෙව්නාව බෞද්ධ පාසලට මම ආසාවෙන් ආවේ. මෙහි ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට මම හුඟක් කැමැතියි. පාසලේ හැම දෙයක් ම උසස් තත්ත්වයක තිබෙනවා. විනෝදාංශ ලෙස මම චිත්‍ර අඳින්න කැමැතියි. ඊට අමතරව මගේ යහළුවෙක් සමඟ මම පොතක් ලියනවා. ‘ශ්‍රද්ධාවන්තයින් සර්වඥයන් වහන්සේ වන්දනා කළ දර්ශනීය ස්ථාන’ ලෙසයි ඒ පොත නම් කළේ. මගේ යාළුවා පොත් කියවා මතක තබාගත් දේ මට කියනවා. මම ලියනවා. ශ්‍රද්ධාවන්තයින් කියන්නේ සිංහල බෞද්ධයන්ටයි. බෞද්ධයින් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කළ ස්ථාන මෙහි සඳහන්. අපි පටුනේ ප්‍රථම අදියරට ගත්තේ උතුරු පළාත. ඒ විස්තර මහවංශයෙන් තමයි ගොඩක් ගත්තේ. මුලින් ම නාගදීපය ගැන තොරතුරු සඳහන් කළා.”

“අපේ පාසල ඉතාමත් විශාලයි. චමත්කාරයි. දර්ශනීය යි.” යැයි හය ශ්‍රේණියේ ඉගෙනුම ලබන තරූන් සඳමිණ අප හා පැවසී ය.

ප්‍රමුත් හසිත හය වසරේ ඉගෙනුම ලබන දෙනියාය පස්ගොඩ මහ විදුහලේ අධ්‍යාපනය ලැබූ දරුවෙකි.

“බෞද්ධ පාසලක් නිසා මම මේ පාසලට ගොඩක් කැමැතියි. දැන් මගේ වැඩ මට කර ගන්න පුළුවන්. ඒ ගැන මට සතුටුයි. විෂය නිර්දේශයට අමතරව මම හුඟාක් ශ්‍රී ලංකාවේ පෞරාණික ඓතිහාසික ස්ථාන ගැන සඳහන් පොත් කියවන්න කැමැතියි. මම කියවා කරුණු මතක තබාගෙන මේ වන විට පොතක් ලියමින් ඉන්නේ. අපේ පාසලේ පුස්තකාලයක් තිබෙනවා. එහි විශාල පොත් ප්‍රමාණයක් තිබෙනවා. විවේක තිබෙන බොහෝ වෙලාවට මම පොත්පත් කියවනවා. අතීත කාලයේ රජවරු ගැන දැනගන්න මම ආසයි. ඒ නිසා මම පුරාවිද්‍යාත්මක පොත් තමයි වැඩියෙන් කියවන්න කැමැති. මම හොඳට ඉගෙනගෙන පුරාවිද්‍යාඥයෙක් වෙන්න බලාපොරාත්තු වෙනවා.”

තරිඳු භාසුර හා අකිඳු හිරුෂාන් මහමෙව්නාව බෞද්ධ පාසලේ 6 ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවන් දෙදෙනෙකි. තරිඳු බදුල්ල දියතලාව මහ විදුහලෙන් හා අකිඳු ගිරාඳුරුකෝට්ටේ ගල්පෝරුයාය කණිෂ්ඨ විදුහලෙන් ඉගෙනුම ලබමින් හිඳ මෙම පාසලට පැමිණ තිබේ. ඔවුන් මේ වනවිට විදුලියෙන් ධාවනය වන කුඩා වාහනයක් නිර්මාණය කර ඇත. තරිඳු කියා සිටියේ නව නිර්මාණවලට හා ජිම්නාස්ටික්වලට කැමැති බවයි. අකිඳු නම් කිව්වේ හොඳ ගුරුවරුන්ගේ ඇසුර මත අධ්‍යාපනය ලැබීම වාසනාවක් කියා යි. මෙම පාසලේ ඉගෙනුම ලබන එච්. කේ. මලීෂ නව නිර්මාණයක් ලෙස වැකුම් ක්ලීනර් එකක් නිර්මාණය කර තිබුණි.

කැළයේ පිපෙන මල් කැළයේ ම පරවීමට ඉඩ නො දී, නැණවත් ගුණවත් සුපේශල ශික්ෂාකාමී දරු පරපුරක් අපට සමාජයට දායාද කළ හැකි නම්, අද දවසේ අපගේ වගකීම එය නො වේ ද?

සටහන – නයනා නිල්මිණි