ඉතින්… ඔන්න එතෙර වෙන්න ඉතා ම අසීරු, අතිශය දුක්ඛිත, භයානක කාන්තාරයක් තියෙනවා. ඒ වුණත් මේක දුක්ඛිත, භයානක කාන්තාරයක් ය කියලා මේ කාන්තාරයේ ඇවිදින බොහෝ දෙනෙක් දන්නෙත් නැහැ. දැනගන්න ඕනෙත් නැහැ. ඒ අය හිතන්නේ මේක තමා මඟුල් සක්වළ කියලා. වෙලාවකට හඩ නඟා හිනාවෙනවා. තවත් විටෙක පොළොවේ පස් කාගෙන අඬනවා. තවත් විටෙක ඔහේ බලාගෙන ආතක්, පාතක් නැතිව ඉන්නවා. විඳව විඳවා මේ කාන්තාරයේ තැනින් තැනට මාරු වෙවී ඉන්නවා.

සමහර අයට මේ කාන්තාරයේ සැරිසැරීම දුකක් කියලා හිතෙනවා. ඒත් එතෙර වීමක් හෝ මාර්ගයක් හෝ දන්නේ නැහැ. ඒ සඳහා නානාවිධි අනුගමනය කරලා මැරිලා යනවා. මැරිලා ගිහින් ඒ කාන්තාරයේ ම නැවත උපදිනවා හිටියටත් වඩා දුකකට වැටිලා. තවත් සමහරු හිතනවා, කියනවා “මොනවා කරන්න ද? උපදින එක නතර කරන්න බැහැනෙ. ඉපදෙන නිසා මේකේ යන්න එපායැ.” කියලා ඔහේ යනවා.

මේ කාන්තාරයෙන් ම උපදිනවා මහා ප්‍රඥාවන්ත පුද්ගලයෙක්. එයාට හොඳට නුවණ තියෙනවා. නුවණින් කල්පනා කරලා, උත්සාහය, වීරිය, අධිෂ්ඨානය උපදවාගෙන එතෙර වන මාර්ගය හොයාගෙන එතෙරට යනවා. එතෙරට ගියාට පස්සේ, එතෙර තියෙන සැපය අත්වින්දට පස්සේ, මෙයාට ලොකු අනුකම්පාවක් ඇතිවෙනවා මේ දුක් විඳව විඳව කාන්තාරයේ ඇවිදගෙන යන පිරිස ගැන.

ඉතින් මේ කෙනා මේ කාන්තාරයේ දුක් විඳින සත්වයන්ට කියනවා මෙතන දුක් විඳගෙන ඉන්න ඕන නැහැ, එතෙරට ගියාම හරී ම සුවදායකයි. සැප සේ ඉන්න පුළුවනි. මාව විශ්වාස කරන්න. මම එතෙර වන මඟ හොයාගෙන එතෙරට ගියා. මම ඔයාලවත් එතෙරට පිටත් කරවන්නම්. හැබැයි මම කරන්නේ පාර පෙන්වන එක විතරයි. මාව විශ්වාස කරලා ඒ පාර අනුගමනය කරන අය එතෙර වේවි. මට ඔබලා මගේ ගැලේ තියලා ගැට ගහගෙන යන්නවත්, කරේ තියාගෙන යන්නවත් බැහැ. මම කරන්නේ පාර පෙන්වන එක පමණයි. යන නොයන එක ඔබ අතේ.

මේ ගැල්කරුවා කියනවා, “කිසිම හේතුවක් නිසාවත් මා ගැන සැක කරන්න එපා. මම නියම පාර හොයාගෙන එතෙර වුණා කියන කාරණය බලවත් කොට විශ්වාස කරන්න. ඔබලා එතෙර කිරීම උදෙසා මට කිසිම ප්‍රතිලාභයක් නැහැ. අවශ්‍යත් නැහැ. කොටින්ම ප්‍රශංසාවක්වත් එපා. මට තියෙන්නේ මේ කාන්තාරයේ දුක් විඳින අය ගැන බලවත් අනුකම්පාවක් පමණයි.

මේ කාන්තාරයෙන් එතෙර වෙනවාටත් වඩා අතිශය දුෂ්කර ම දෙය තමා මගේ වචනය, අවබෝධය අදහාගෙන මේ ගමනට සූදානම් වීම. ඊ ළඟට ඒ පටන්ගත් ගමන පටන්ගත් වීරියෙන් ම දිගට ම යෑම. හොඳට මතක තියාගන්න මේ ගමන පටන්ගත් තැන පටන් ම ඔබට විශාල ශක්තියක්, ධෛර්යක්, වීරියක්, සිහියක් අවශ්‍ය වෙනවා. ගමන කෙළවර කරන තුරු අවශ්‍ය ආහාර, වතුර, බෙහෙත් බොහෝ ප්‍රවේශමෙන් රැස්කර ගත යුතු වෙනවා. එහෙම නොවුණොත් ඔබ මඟ ම නැසෙනවා.

මේ කාන්තාරයේ ඉදිරියට යනකොට අපට හොරු මංකොල්ලකාරයෝ, මිනීමරුවෝ, යක්කු, යක්ෂණියෝ, භයානක සත්තු ඒ වගේ ම ඔබට නානා විජ්ජාවල් පෙන්වලා ඔබව මුළා කරලා නැවතත් කාන්තාරයට ම ඇදලා දමන ඇස්බැන්දුම්කාරයෝ මුණගැහෙනවා. ඒ අයගේ අති සූක්ෂම රැවටිලිවලට හසු නො වී බේරිලා යන්න නම් ඔබ මගේ අවවාද තදින් ම හිතට ගන්න ඕන. ඔවුන් ඔබට පෙන්වාවි මේ කාන්තාරය කියන්නේ ඉතා ම සුන්දර, මධුර, මනෝහර තැනක් වශයෙන්. එතෙර වෙනවා කියන වචනයටවත් ඒ අය කැමති නැහැ. ඒ නිසා ඒ වචනය ඒ අයට ඇහෙන්නටවත් කියන්න එපා. නානා විධ රැවටිලිවලින් යන ගමන වළක්වන්නට බලවත් ම උපායන් යොදාවි. ඔබ මා ගැන පමණක් විශ්වාස කරන්න. වෙන කිසිම කෙනෙකුගේ වචන පිළිගන්න එපා. මගේ ගැල පිටුපසින් අත නොහැර ම එන්න. එහෙම නූනොත් ඔබට හැමදාම මේ කාන්තාරයේ දුක් විඳගෙන ඉන්න වේවි.” කියලා.

සමහර දෙනෙක් ඒ කතාව විශ්වාස කළා. සමහරු බාගෙට විශ්වාස කළා. තව අයට සැකයි. “ඔය කිව්වට කවුද දන්නෙ?” කියලා තමන්ගේ සැකය ම ඉස්සරහට ගත්තා. කොහොම කොහොම හරි කට්ටියක් ගමනට සූදානම් වුණා. නායකයාගේ වචනයට කීකරු වුණ අය මඟට සෑහෙන්න කෑම, බීම, බෙහෙත් ගැල්වලට දමා ගත්තා. ඒත් දරදඬු ගති ඇති සමහරු කෑම ටිකයි, වතුර ටිකයි දමා ගත්තේ. බේත්හේත් ගත්තෙත් නැහැ. “ඕව උස්සගෙන යන්න බැහැ. ඕන වුණොත් මගදි ගමු.” කියල සමහරු කම්මැලිකමට මුකුත් රැස්කර ගත්තේ නැහැ. “උඹලා පලයල්ලා, අපට මේ කාන්තාරෙ හොඳයි.” කියලා සමහරු යන්න ලෑස්ති වෙන අයට ඔච්චන් කර කර උන්නා.

දැන් කට්ටිය හරිබරි ගැහිලා පිටත් වුණා. ඔන්න ටික දුරක් යනකොට තියෙනවා ඇස් කඩාගෙන යන වෛවාරන සල්පිල්, කානිවල්, සංදර්ශන. සමහරු කටත් ඇරන් බලන් ඉන්නවා. “එන්න, එන්න කන්න බොන්න සතුටු වෙන්න. මීට වඩා සැපයක් කොහෙද තියෙන්නේ? මොන විකාර කතා ද?” කියලා බලෙන් ම ඇතුළට ගත්තා. ඉස්සරහින් යන ගැල දිහා බලලා සමහරු හීංසැරේ සල්පිල්වලට රිංගා ගත්තා. පස්සේ බලනකොට ගැලත් මංකොල්ල කාලා, ඉන ඉහත් අතගාගෙන, මඟට ඇදලා දාල ආතක් පාතක් නැතිව ඔහේ බලන් ඉන්නවා, අතරමං වෙලා.

තව පිරිසක් ගැල් අරගෙන ඉස්සරහට යනකොට භයානක හොරු, මංකොල්ලකාරයෝ, මිනීමරුවෝ, තක්කඩි මිත්‍ර වේශයෙන් ගැල් නතර කරල කතා කරනවා. “ආයුබෝවන් සහෝදරවරුනි, කාලෙකට පස්සේ නේ ද එක ගමේ අය මුණගැහුනේ? දැන් අහවලාට, අහවලීට කොහොම ද? සැප සේ ඉන්නවා ද? අනේ හරී මහන්සි පාටයි. එන්න එන්න. ගිමන් නිවාගෙන යමුකෝ. මුණගැහුනු එක කොයිතරම් දෙයක් ද?” ඔන්න අහුවුණා ගැටේට. පස්සේ බලනකොට සන්තකේ ම සූරගෙන, අතපයත් කඩල දාලා කාන්තාරෙට දමලා, අතරමං වුණා.

තව කට්ටියක් ඉදිරියට යනකොට මත්වෙලා වැටිලා ඉන්න අය, ගොරව ගොරවා නිදියන අය, මත්වෙලා ඔහේ බලගෙන ඉන්න පිරිස් හමුවෙනවා. අනේ ගමන හරි අමාරුයි නේ ද? අපිත් මේ ගැල් නවතගෙන ඉන්නෙ ඒකයි.
චුට්ටිත්තක් අරගෙන ඇඟේ අමාරුවටත් එක්කල හොඳ නින්දකුත් ගහල ම පිටත් වෙමු. එන්න. දැන් මේ පිරිසත් මත් වෙලා වැනි වැනී ඉඳලා අන්තිමට ගොරවමින් නිදි. ඒ කට්ටියත් ගමන නතර කරලා අතරමං වුණා.

ගැල් අරගෙන යන සමහර අයට මගදිගට අහපු, දැකපු, විඳපු දේවල් මතක් වෙලා හිත දස අතේ දුවනවා. සිහිකල්පනාව නැතිව, යන ගමන ගැනවත් නිනව්වක් නැතිව අන්ද මන්ද වෙලා නතර වෙලා ඉන්නවා. යක්ෂණියෝ ලස්සන රූප මවාගෙන ඇවිත් රවටලා මරාගෙන කනවා. යක්ෂයෝ සිහිවිකල් කරලා අසරණ කරලා දමනවා. ඒ අයත් අතරමං වුණා.

සමහර අය ගැල් අරගෙන යනකොට දෙමං හන්දි, තුන්මං හන්දි, හතරමං හන්දි මුණගැහුනා. ‘කොයි පාරෙන් ද ඉක්මනින් එතෙරට යන්න පුළුවන් වෙන්නේ?’ කියලා හිත හිතා ඉන්නකොට එතනටත් හතුරෝ එනවා. “මේ පාර තමා එතෙරට තියෙන කිට්ටු ම පාර…” එකෙක් කියනවා. අනිකා පැත්තකට අඬගහලා කියනවා “එයා දන්න ඉටිගෙඩියක් නැහැ. මේක තමා ශීඝ්‍රගාමී පාර. මේකෙන් යන්න.” තව කෙනෙක් තව එකක් කියනවා. ගැල්කාරයෝ නන්නත්තාරයි.

දැන් ගැල්නායකය ව මතකත් නැහැ. පාර මතකත් නැහැ. සමහරු කැරකිලා ගිහින් මුල පටන්ගත් තැනට ම ඇවිල්ලා. සමහරු හරි පාර කියලා කැලෑවල් බිඳගෙන ඉවක් බවක් නැතිව ගිහින් අන්තිමට රෝදවල කඩ ඇණත් කඩාගෙන, ගොනුන්ගේ කකුලුත් කඩාගෙන, ඉන ඉහත් හිඳිල, ආකූල ව්‍යාකූල වෙලා ඒ මේ අත දුවනවා. අතරමං වුණා.

දැන් මේක අර ප්‍රඥාවන්ත ගැල්නායකයා පිරිසට පටන් ගන්නකොට ම කීවානෙ. කිව්වාට නාහන පිරිස තමා වැඩි. ඒ සියලු දෙනාම නැවතත් කාන්තාරයට ම වැටුනා. උතුම් ගැල්නායකයා ගැන පූර්ණ විශ්වාසය ඇතිකර ගත් පිරිස මඟ හමු වූ කිසිම දේකට නොරැවටී ගැල්නායකයා පසුපසින් ම ගියා. සමහරු හෙමින් හෙමින් නමුත් අතනොහැර ගියා. සමහරු තරමක වේගයෙන් පසුපස ගියා. තව පිරිසක් ඉතා ම වේගයෙන් ගැල පසුපස ම ගිහින් කාන්තාරයෙන් එතෙර වුණා.

තමන් ගෙන ආ ආහාර, ජලය, බෙහෙත් ප්‍රවේශමෙන් පාවිච්චි කරමින්, ගැල්නායකයාගේ වචනය නොඉක්මවා හෙමින් හෙමින් ආ පිරිසට අති දුෂ්කර ම ප්‍රදේශය පසු කර ගන්න හැකි වුණා. දැන් ක්ෂේම භූමියකට ආවා. පිරිසිදු පැන් පොකුණු, ඵලවැල, සෙවණ ගස් අතරට ආවට පස්සේ ඒ අයට විශ්වාසයක් ආවා ගැල්නායකයා කියපු කතාව ඇත්ත ම යි කියලා. ඉතිරි දුර යන්න ශක්තියක් ඇති වුණා.

දුෂ්කර ම කොටස නිමා කළ පසු ගැල්නායකයා වුණත් ඒ පිරිස ගැන දැඩි අවධානයක් යොමු කළේ නැහැ. ඒ මොකද ඒ පිරිස දැන් භයානක අනතුරු සියල්ල ම ඉක්මවාගෙන ඇවිත්. අවසානය දක්වා ම ගමන යන බවත් සක්සුදක් සේ විශ්වාසයි.

මේ කිව්වේ උපමාවක්. අප සරණ ගිය අපගේ එක ම ශාස්තෘන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා සසර කතරින් එතෙර කරවන මහා ගැල්කරුවාණන් වන සේක. උතුම් පාරමී බලයෙන් උපදවා ගත් ප්‍රඥාලෝකයෙන් සසරේ භයානකකමත්, අවිද්‍යාවෙන් වැසුනු, තණ්හාවෙන් බැඳුනු ලෝක සත්වයා කෙලෙස් නිසා පිරිහී විපතට පත් වන ආකාරයත් මනා කොට අවබෝධ කළ සේක. දුකින් මිදී නිවන සාක්ෂාත් කළ මුනිඳුන්ට දුකින් දුකට ම වැටෙන, නිමක් නැති සසරට යළි යළිත් වැදෙන ලෝ සතුන් ගැන අප්‍රමාණ අනුකම්පාවක් උපන්නා.

මහා මුනිඳුන් දෙව් මිනිස් ලෝකයාට මුල මැද අග යහපත් වූ නිවන්මඟ මනා කොට පෙන්වා දුන් සේක. ඒ අවබෝධය අදහා ගත් බොහෝ පිරිසක් භවදුක නිමා කරනු පිණිස ගෞතම බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා ගත්තා. තමන්ගේ පැවිදි පිරිසට නම් ඒ ජීවිතයේ දී ම මේ දුක නිමා කරන්නටයි උන්වහන්සේ උපදෙස් දුන්නේ. ධෛර්යවත් කළේ. මෝරන ලද පින් ඇති පින්වන්තයෝ වහ වහා මඟ වඩා අරහත්වයට පත් වුණා. එපමණට ම නො වූ අය අනාගාමී බවට පත් වී ශුද්ධාවාසයේ දී පිරිනිවන් පාන්නට සුදුසුකම් ලැබුවා. එපමණටත් අඩු වූ අය තව එක්වරක් කාම ලෝකයට පැමිණ සියලු දුක් නිමා කරන සකෘදාගාමී බව ලබා ගත්තා. සෝතාපන්න වූ පිරිස සසරේ අති භයානක ම කොටසින් බේරී ආත්මභාව හතක් ඇතුළත (උපරිම) නිවන් දැකීමට පින් උපදවා ගත්තා.

ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් මොට වූ අය ඉතා අසීරුවෙන් මඟ යන්නට වෙර දැරුවා. බොහෝ දෙනෙකු වීරිය, සිහිය නුවණ දුර්වල වීමෙන් මඟ අතරමං වුණා. සමහර අයට ශ්‍රද්ධාවේ පිහිටා සිටින්නට නො හැකි වීමෙන් නානා මතවල පැටලී, නානා දිසා භාගයන්ට ගිහින්, නානා උපද්‍රවවලට පත් වී විපතට වැටුනා. සිහිය විපරීත වූ අය කාන්තාරය ම (සසර ම) වර්ණනා කළා. සසරට ම ඇලුනා. අවිද්‍යා අන්ධකාරය විසින් ඔවුන්ගේ ප්‍රඥා ඇස එපමණට ම අන්ධ කර දමා තිබුණා.

සසර කතරින් එතෙර වන්නට උවමනා කරන ආහාර, ජලය, බෙහෙත් වගේ තමා දානයෙන්, සීලයෙන්, භාවනාවෙන් රැස් කරන පින. ඒවා මනා කොට රැස්කර නොගතහොත් නැවතත් අතරමං වෙනවා. කාන්තාරයේ සුව සේ යන්නට තමා පින්දහම් කර ගත යුත්තේ. එබැවින් පිනට අවමන් නොකළ යුතු ම යි. පින් ගිණුමෙහි මේ වනවිට කොපමණ වියදම් කර තිබෙනවා ද තව කොපමණ ඉතිරිව තිබෙනවා ද කියා අපි දන්නවා ද? පෝෂණයෙන් හීන වූ ආහාර, අපිරිසිදු ජලය, සප්පාය නොවෙන බෙහෙත් රැගෙන අපි කාන්තාරය තරණය කරන්නට ගියොත් කොහොම වේවි ද? මන්දපෝෂණය හැදේවි. පාචනය වැනි රෝග හැදේවි. බෙහෙත් විස වී මාරාන්තික දුකට පත් වේවි. ඒ නිසා සම සිතින් තණ්හා, මාන, දිට්ඨිවලට යට නො වී, සතර අගතියෙන් මිදී සම මෙතින් පින් දහම් කර ගන්නට උත්සාහවත් වෙමු.

අවංක ව ම තමන්ගේ අඩුපාඩු දැනගෙන, දැකගෙන දුරු කරමින් ඉදිරියට යන්නට කෙනෙක් දක්ෂ වුවහොත් ඒ මහා මුනිඳුන් ජීවමානව නැතිමුත්, ඒ ශ්‍රේෂ්ඨ වූ, ගම්භීර වූ, සන්දිට්ඨික වූ, අකාලික වූ ශ්‍රී සද්ධර්මය විසින් ඔබ ව, අප ව සසරින් එතෙර කරවනවා ම යි. මහා ගැල්කරුවාණන් වහන්ස, ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා!

(ශ්‍රාවිකාවක්)