මහ සඟනට නොපුදා – මිරිස් වැටියක් වළඳා
වුණේ වරදයි සිතලා – මිරිසවැටි සෑ තැනුවා

අපගේ සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස් පන්සියයකටත් අධික කාලයක් ගතවී ඇති මෙකල පවා උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා මෙන්ම අරහන්ත ධාතූන් වහන්සේලා තැන්පත් සෑ රජාණන් වහන්සේලා දැක බලා වන්දනාමාන කරගැනීමේ දුර්ලභ භාග්‍යය තවමත් ඉතිරි වී ඇත්තේ ම ය. ඒ ලක්දිව කලින් කලට පහළ වී බුදු සසුන බැබළවීමට තම ජීවිතය කැප කළ සත්පුරුෂ ගිහි පැවිදි උතුමන්ට පින් සිදු වන්නට ය. සැබැවින් ම මේ මුළුමහත් ලක් දෙරණ ම සෑ රජාණන් වහන්සේලා වෙනුවෙන් වූ සලපතල මළුවක් වැනි ය. මේ සුන්දර ලක්මෑණි තොමෝ අතිශය පූජනීය මහා සෑ රජාණන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඉතාම ගෞරවයෙන් දරා විරාජමාන ව වැඩ හිඳින්නීය.

පුරාණ ලක් රජවරු සෑ කර්මාන්තයේ ප්‍රමුඛයෝ ය. දෙවන පෑතිස් නිරිඳුන්ගේ පටන් ලක් රජය කළ බොහෝ රජවරු ලක්දිව පුරා බොහෝ ස්ථූප ඉදි කළහ. මේ රජවරුන් අතරින් කැපී පෙනෙන ශ්‍රේෂ්ඨ නරපතියෙක් වශයෙන් දුටුගැමුණු මහ රජතුමා ව හැඳින්වීම වරදක් නො වේ. ඒ එතුමා රජ සැප වින්දනය පිණිස නොව සම්බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා තම ජීවිතය කැප කළ ශ්‍රේෂ්ඨ නරවරයෙකු වන නිසා ය. බොහෝ වෙහෙර විහාර ඉදි කරවමින්, මහ සඟ රුවනට සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් ශාසනයට මහා ප්‍රදානයක් කළ දුටුගැමුණු මහා නිරිඳාණන් විසින් කරවූ උත්කෘෂ්ට මහා චෛත්‍ය කර්මාන්තය නම් අපගේ සම්බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් පමණ වැඩ සිටින අපට ජීවමාන බුදුරජාණන් වහන්සේ වන් වූ අනුරාධපුරයේ මහමෙව්නාව උයනේ විරාජමාන ව වැඩ හිඳින ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේ ය. මේ ශ්‍රේෂ්ඨ නරපතියාණන් විසින් ලෝවාමහා ප්‍රාසාදය හා ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කරවන්නටත් මත්තෙන් අනුරාධපුර පුණ්‍ය භූමියේ සොඳුරු බිම් කඩෙක මිරිසවැටිය නම් මහ දාගැබ් වහන්සේ ඉදි කරවන ලද්දේ ය. තම රාජාභිෂේකයෙන් සතියක් ඉක්ම යන තැන ආරම්භ කළ මේ උතුම් චෛත්‍ය කර්මාන්තය පිළිබඳ තතු නුවණැත්තන්ගේ සිත් ප්‍රසාදයට පත් කරනු පිණිස මෙසේ දිග හැරෙන වගයි.

පරසතුරු ආක්‍රමණිකයන්ගෙන් තම මාතෘ භූමියත්, සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කර ගැනීමේ උදාර චේතනාව පෙරදැරිව ම යුද්ධයට එළඹුණු නරශ්‍රේෂ්ඨ ගැමුණු මහ රජතුමාට යුද්ධයේ දී සිදු වූ ජීවිත හානි පිළිබඳ ව පසුතැවීමක් හටගන්නට විය. මේ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨ බුද්ධි ප්‍රභා ඇති උතුම් මහරහතන් වහන්සේලා එතුමාගේ සිතේ තිබුණු පසුතැවිල්ල දුරුකර ගැනීම පිණිස රජතුමාට පිහිටවූ සේක. නියඟයෙන් වේළී ඉරි තලා ගිය පොළවක් මහ වැස්සෙන් තෙත් වී සිහිල් වී යන්නාක් මෙන් රහතන් වහන්සේලාගේ සොඳුරු වදනින් අස්වැසිල්ලට පත් රජතුමාට තම කුඩා අවධියේ දෙමව්පියන්ට වූ පොරොන්දුවක් සිහිපත් වන්නට විය. ඒ නම් කිසිදා සංඝයා වහන්සේට පූජා නොකොට ආහාර අනුභව නොකරන බවයි.

එසේ සංඝයා වහන්සේට පූජා නොකොට ආහාර අනුභව කළ අවස්ථාවක් තිබේ ද කියා සිහි කරන ගැමුණු නිරිඳුන්ට සිහිපත් වූයේ දිනක් උදෑසන එක් ලුණු මිරිසක් සංඝයා වහන්සේට පූජා නොකොට අනුභව කොට ඇති බවයි. ‘මෙයට මා දඬුවම් ලැබිය යුතුයැ’යි කියා රජතුමා සිතන්නට විය. තම මාතෘ භූමිය ගැන පවා නොසලකා බල ලෝභයෙන් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන අසත්පුරුෂ මිනිසුන්ගෙන් ගහණ වර්තමාන ලෝකය දෙස බලන විට, තමන්ට අමතක වීමෙන් සිදු වූ සුළු වරදට දඬුවම් ලැබිය යුතු යැයි කියා තමන් ම තීරණය කරන රාජ්‍ය නායකයෙකු පිළිබඳ ව වූ මේ කථා පුවත අභිමානවත් සුන්දර ජාතියක තිබූ ප්‍රෞඪත්වය ලොවට හඬ ගා කියයි. අපේ ම ලේ පරපුරේ අපේ ම මුතුන්මිත්තන්ගේ මේ විස්මිත ආත්ම දමනය, සුන්දර කල්පනා රටාව ලොව බොහෝ ජාතීන් අතිශයින් ම විස්මයට පත් කරවූවකි.

පරසතුරු භය දුරු කොට ලක්දිව එක්සේසත් කළ ගාමණී අභය මහ රජතුමා රාජාභිෂේකයෙන් සත්වන දිනයේ අන්තඃපුර ස්ත්‍රීන් සමඟින් මහ පිරිස් පිරිවරා ජල ක්‍රීඩා පිණිසත්, අභිෂේක ලැබූ රජ දරුවන්ගේ සිරිත් ආරක්ෂා කරන්නටත් සර්වඥ ධාතූන් වහන්සේලා සහිත කුන්තායුධය (රාජකීය සංකේතය) පෙරටු කොටගෙන මහ පෙරහැරින් තිසා වැව බලා පිටත් වී ගියේ ය. තිසා වැව ආසන්නයේ වූ සොඳුරු බිමක (වර්තමානයේ මිරිසවැටි සෑ රජුන් පිහිටා ඇති බිමේ) රාජ සේවකයන්ගේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහිත කුන්තායුධය මහත් ගෞරවයෙන් යුතු ව තැන්පත් කෙරිණි. කුන්තායුධය ඔසවාගෙන යන රාජපුරුෂයන් විසින් සධාතුක කුන්තායුධය හරස් අතට නො තබා කෙළින් අතට සිටුවා තැබුවේ, එය අපගේ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් පූජනීය වස්තුවක් වන නිසාවෙන් ය. අනතුරුව රජතුමා පරිහරණය කරන භාණ්ඩත්, බොහෝ පඬුරුත් එම ස්ථානයේ ම තැන්පත් කළ ගැමුණු රජතුමා ජල ක්‍රීඩා පිණිස නික්ම ගියේ ය. අන්තඃපුර ස්ත්‍රීන් සමඟ දහවල ජල ක්‍රීඩා කොට සවස් කාලයේ පිටත් වීමට සූදානම් වූ මහ රජතුමා “මා දැන් පිටත් විය යුතුයි, කුන්තායුධය ඉදිරියෙන් වැඩමවව්.” කියා රාජපුරුෂයන්ට අණ කරන ලද්දේ ය. රජතුමාගේ අණට කීකරු වූ රාජපුරුෂයෝ වහ වහා සධාතුක කුන්තායුධය පෙරටු කර ගන්නා මෙන් එය භාර රාජ සේවකයන්ට දැන්වූහ. පුදුමයකි! කුන්තායුධය භාරව කටයුතු කරන රාජ සේවකයන්ට එය සොලවන්නටවත් නොහැකි විය. අදහාගත නොහැකි මේ පුදුමය බලන්නට එතැනට එක්රැස් වූ රාජ සේනාව සුවඳ මලින් සධාතුක කුන්තායුධයට පූජා පවත්වන්නට විය.

එතැනට සැපත් වූ දුටුගැමුණු මහ රජතුමා මේ අසිරිය දැක බොහෝ සතුටුව කුන්තායුධයට රැකවල් දම්මවා ඒ නොසැලී පිහිටි සධාතුක කුන්තායුධය වටකොට මනරම් සෑයක් ද ඒ සෑය වටා විශාල විහාරයක් ද ඉදි කරන්නට අවශ්‍ය සියලු පහසුකම් සලසාලී ය. සියලු ම අංගයන්ගෙන් සමන්විත මේ මහා විහාර කර්මාන්තය වසර තුනකින් නිමාවට පත් කරන්නට නුවණැති ගැමුණු රජතුමාට හැකියාව ලැබුණි. සියලු කටයුතුවල දී පූජනීය මහා සංඝරත්නය පෙරටු කර ගන්නා සසුන් ලැදි ගාමණී අභය මහ රජතුමා විහාර පූජා පුණf්‍යා්ත්සවයට නන් දෙසින් මහා සංඝරත්නය වැඩම කරවා ගත්තේ ය. ඒ පින්කමට භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් ද භික්ෂුණීන් වහන්සේලා අනූ දහසක් ද වැඩම කොට වදාළහ. රැස් ව සිටි සැදැහැති ජනයා අමන්දානන්දයට පත් කරවමින් මුළු අනුරාධපුරය ම කසාවතින් බැබළී යන්නට විය. මෙකල්හි ජන ප්‍රධාන වූ ශාසන මාමක දුටුගැමුණු මහ රජතුමා මහේශාක්‍ය දිව්‍ය ලීලාවෙන් මේ පින්බිම වෙත පැමිණියේ ය. බැලූ බැලූ අත සිත් පහන් කරවන ඉරියව්වෙන් යුක්ත වූ උතුම් මහ සඟරුවන ය. සංඝරත්නය මධ්‍යයේ අහස් කුස සිප ගනිමින් කිරි පැහැයෙන් බබළන මිරිසවැටි මහා සෑ රජුන් ය.

රජතුමාගේ ගත සිත ප්‍රීති ප්‍රමෝදයෙන් ඇලලී ගියේ ය. වැඩම කොට වදාළ මහා සංඝරත්නය ඉදිරියේ වැඳ වැටුනු මහ රජතුමා, “ස්වාමීනී, සංඝයා වහන්සේට නොපිළිගන්වා කිසිදු අහරක් අනුභව නොකරන්නෙමි’යි මා විසින් කුඩා කල් පියාණන්ට වූ පොරොන්දුවක් ඇත්තේ ය. එහෙත් ස්වාමීනී, අතපසු වීමකින් දිනක් මම සංඝයා වහන්සේට නොපුදා මිරිස් වැටියක් වැළඳුවෙමි. මා අතින් වූ ඒ වරදට දඬුවමක් ලෙසින් සිතා ඉතා මනරම් සෑ රජුන් සහිත කොට මේ විහාරාමය කරවූයෙමි. මා කෙරෙහි අනුකම්පා උපදවා මේ විහාරය පිළිගන්නා සේක්වා.” යි කියා අතපැන් වත් කොට සංඝයා වහන්සේට විහාරය පූජා කරන්නට යෙදුණි. මේ මහා පින්කමට වැඩමවා වදාළ මහා සංඝරත්නය උදෙසා විහාරය ඇතුළෙත්, ඒ අවටත් ඉතා අලංකාර මහා මණ්ඩප තනවා, එය ප්‍රමාණවත් නො වූ තැන අභය වැවේ ජල සීමාවේ පවා කණු සිටුවා මණ්ඩප ඉදි කොට මහා දන් පැවැත්වීමට තරම් දානශූර දුටුගැමුණු රජතුමා තැනට සුදුසු නුවණින් යුක්ත වුණේ ය. එක් දිනක් නොව, දෙදිනක් නොව, තෙදිනක් නොව, සත් දිනක් ම මෙසේ මහා දන් පැවැත්වීමට කටයුතු සැලැස්වූ රජතුමා සංඝයා වහන්සේලාට යෝග්‍ය බොහෝ ශ්‍රමණ පිරිකර ද පූජාකර ගනිමින් මහත් ඵල වූ පුණ්‍ය සම්භාරයක් රැස්කර ගන්නට සමර්ථ වූයේ ය. එදින වැඩම කොට මුලසුනේ වැඩ හුන් සංඝ ස්ථවිරයන් වහන්සේට පූජා කළ පිරිකර ම කහවණු ලක්ෂයක වටිනාකමින් යුක්ත විය. වැඩම කළ සියලු සංඝයාට පිරිකර පූජා කෙරිණි.

මිරිසවැටිය චෛත්‍යය රාජයාණන් වහන්සේ තනවන්නට පටන් ගත් දා පටන් විහාර පූජාව දක්වා තුනුරුවන උදෙසා පූජා කරන්නට යෙදුණු ධනය මහා වටිනා වස්තු අතහැර සැලකුව ද කහවණු දහනව කෝටියක් වන්නේ ය. තුනුරුවන වෙනුවෙන් ජීවිතය කැප කළ නරශ්‍රේෂ්ඨ වූ පුණ්‍යවන්ත මහ රජතුමාගේ මේ අතහැරීම යුද්ධයෙහිත්, දානයෙහිත් දෙතැන්හි ම ශූරවීර ධාර්මික රාජ්‍ය පාලකයකුගේ විශිෂ්ට ජීවන චරිතය මනාව පිළිඹිබු කරයි. මෙවන් මහා පූජාවක් කරන්නෝ නම් සම්බුදු සසුන කෙරෙහි පැහැදුනු සිත් ඇත්තෝ ම ය. සම්බුදු සසුන කෙරෙහි නොපහන් සිතින් යුත් උඩඟු අසත්පුරුෂයන්ට නම් මෙවැනි පුණ්‍ය කටයුත්තක් අනුමෝදන් වීම පවා ඉතා දුෂ්කර ය. මෙලෙසින් තුනුරුවන උදෙසා කරන පූජාවන් ඔවුන්ට පෙනෙන්නේ නාස්තියක් ලෙස ය. ශ්‍රද්ධා මාත්‍රයකුදු නොමැති, කර්ම – කර්ම ඵල විශ්වාසයෙන් තොර මෙවන් හිස් පුද්ගලයෝ බොහෝ දෙනාට අයහපත පිණිස පිළිපන්නෝ වෙති.

එමෙන් ම සම්බුදු සසුන උදෙසා මහා ප්‍රදානයන් කරමින් තථාගත සම්බුදුරජුන්ගේ උතුම් ධාතුන් වහන්සේලා වැඩ හිඳින ස්ථූපයන්ටත්, රහත් උතුමන්ගේ උතුම් ධාතුන් වහන්සේලා වැඩ හිඳින ස්ථූපයන්ටත් කරන සත්කාර සම්මාන නිෂ්ප්‍රයෝජන වේ යැයි යමෙක් කියත් නම් සම්බුදු සසුනේ උණුසුමවත් නොලද මෙවැනි හිස් පුද්ගලයන්ට සතර අපායේ දොරටු මිස සුගතියේ දොරටු නම් කිසි දිනෙක විවර නොවනු ඇත. එහෙත් අහිංසක සැදැහැති ජනයා මෙවන් ලක් මවගේ සුජාත රජ දරුවන් සිදු කළ මහා ශාසනික සේවාවන් ගැනත්, පවත්වන්නට යෙදුණු මහා පුදපූජාවන් ගැනත් දැන ගන්නට මහත් අභිරුචියක් දක්වති. මහා සෑ රජාණන් වහන්සේලාට මහා පූජාවන් පැවැත්වීමට එක් රොක් වෙති. ඒ තම ශාස්තෘන් වහන්සේ වූ තථාගත බුදු පියාණන් වහන්සේටත්, සම්බුදු සසුන එකලු කළ තථාගත ශ්‍රාවක උතුම් රහතන් වහන්සේලාටත් දක්වන පුද සත්කාර, ගෞරව සම්මාන හිස් නොවන බව කලණමිතුරු ඇසුරෙන් ඔවුන්ට දැන ගන්නට ලැබුණු නිසාවෙනි.

එනිසා නුවණැත්තෝ සෑ වන්දනාවට පසුබට නොවෙත්වා! උතුම් සෑ රජාණන් වහන්සේලාට උපස්ථාන කොට බොහෝ පින් රැස් කර ගනිත්වා! සුගතියේ දොරටු විවර කර ගනිත්වා! ඒ උතුම් සෑ රජාණන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

මහාවංශය ඇසුරිනි

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි