වාට්ටුවට පිවිසෙන කුඩා කොරිඩෝවේ සිට කිසිවෙකු හයියෙන් කෑ ගැසුවේ ය. වාට්ටුවේ සිටි සියලු දෙනා කලබලයට පත් වූ අතර වඩාත් කලබලයට පත් වූයේ රෝගීන් පිළිබඳ වඩාත් සැලකිල්ලෙන් පසුවන කරුණාවන්ත සාත්තු සේවිකාවක් වූ මිලී ය. ඕ ඉක්මනින් කොරිඩෝව දෙසට ඇවිද ගියාය.

“මොකද මිනිහෝ බෙරිහන් දෙන්නේ? මෙතන ඉන්න ලෙඩ්ඩුන්ගේ තත්ත්වේ දන්නවා නේද?” මිනී කාක්කෙකු වූ දාවිත් වෙත ඈ කඩා පැන්නේ පහර දීමට මෙනි. මිනී පෙට්ටි සාප්පුවලින් වාට්ටුව අසල නවතා ඇති බ්‍රෝකර්වරුන්ව මිලීට කවදත් අප්‍රසන්න ය.

දාවිත් සිටියේ බීමතින් වුවත් මිලීගේ ගෝරනාඩුවට ඔහුගේ වෙරි සිඳුනි. ඔහු මිලීට කථා කළේ වැඳගෙන ය.

“සමාවෙන්න මට කෑ ගැහුණා. මම කතා කරගෙන තියෙන බිස්නස් එකක් අරූ සෙට් කරගන්න හදනවා.” යි දාවිත් කීවේ වාට්ටුවේ කෙටි තාප්පයෙන් පිටපැත්තේ කණුවකට මුවාව සිටින්නට උත්සහ කරන තවත් මිනී කාක්කෙකු වූ සීටින්ව පෙන්වමිනි.

“ලෙඩ්ඩු තමන්ගේ ජීවිතය රැකගන්න මාරයත් එක්ක පොර බදනවා. උඹල ඒ මිනිස්සුන්ව මැරෙන්නත් කලින් මිනිය ඩැහැගන්න පොරකනවා. ලැජ්ජ නැති හැත්තක් තොපි ඔක්කොම.” මිලී කීවේ පිළිකුලෙනි. දාවිත් කිසිවක් නොකියා ඉවත බලා ගත්තේ වෙන කරන්නට දෙයක් නොමැති නිසා ය. කාරා කෙළ ගැසූ මිලී තම අසුන වෙත ගියේ තරහෙනි.

“උඹලගෙ අන්තිම කාලෙ ආවම යමපල්ලෝ ළං වේවි.” මඳක් නැවතුන ඕ හැරී දාවිත්ට කීවා ය.

මේ වාට්ටුව හැඳින්වූයේ “සුවන වාට්ටුව” යනුවෙනි. එහි අදහස වූයේ සුව නොවන රෝගීන් සඳහා වෙන් වූ වාට්ටුව යන්නයි. සැබැවින්ම මෙය පවත්වාගෙන ගියේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නොව ජීවිතයේ අවසන් දින කිහිපයේ පසුවන රෝගීන්ගේ විවේකාගාරයක් ලෙසිනි.

ගැහැනු, පිරිමි මිශ්‍ර වාට්ටුවක් වූ මෙහි රෝගීන් දහසය දෙනෙකු සඳහා පහසුකම් තිබූ අතර නිතරම වාට්ටුව රෝගීන්ගෙන් පිරී පැවතුණි. රෝගීන් බැලීම සඳහා නියමිත වේලාවක් වෙන්ව නොතිබූ අතර රෝගීන් කැමති ඕනෑම දෙයක් දීමට අවසරය ද ඥාති හිතවතුන්ට ලබා දී තිබුණි.

සුවන වාට්ටුවට ඇතුළත් කරන රෝගීන්ගේ උපරිම ආයු අපේක්ෂාව සතියක් වූ අතර වෛද්‍යවරුන්ගේ නිගමනය ඉක්මවා ගිය එකදු රෝගියෙකු හෝ මෙතෙක් නොවිණි. මෙවෙලෙහි වාට්ටුව තුළ කාන්තා රෝගීන් හත් දෙනකු සහ පිරිමි රෝගීන් නව දෙනෙකු සිටි අතර බොහෝ දෙනකුගේ උපස්ථානය සඳහා ඥාතියකු සිටිය අතර ඇතැමෙකු වටා ඥාතීන් කිහිප දෙනෙකු ද සිටිත්. රෝගීන් හතර දෙනෙකු සිටියේ මළාක් මෙනි. ඇතැමෙක් වරින්වර නන්දොඩවන්නට විය. ”අද ඉඩම් නඩුව නේද? පුතේ… පුතේ… ඔප්පු ටික ගනින්.. බතලවත්තේ ඉඩමෙන් බිම් අඟලක් දෙන්නෑ හරමානියට.” ඉඩම් හිමි වැවිලිකරුවකු වූ සිරිමාන්න මහල්ලාගේ මුවින් නිතරම කියවුණේ ඔය වචන ටික ය.

“ඉඩම් කියන්නේ මගේ ලේ මස්.” ඔහු වරින්වර එසේ ද කියයි. ඔහුගේ උපස්ථානයට සිටි ලොකු පුතා එවැනි දෙයින් බලවත් අපහසුතාවයට පත්ව වටපිට බැලුවත් මිලීට නම් එවැනි දේ පුරුදු ය.

“පොළොස් ඇඹුලක් අරන් වරින් සුද්දියේ…” දියර ආහාර පමණක් ගිලිය හැකි පද්මලතා කෙඳිරි ගගා කියන්නී ය.

“මේ කාලේ පොළොස් නැහැ.” ළඟ සිටින දියණිය කියන්නේ ලැජ්ජාවෙනි.

“පොළොස් නෑ? එහෙනම් ඇඹුලට මාළුවක් ගෙනෙන්.”

“ඇයි දැන් කෑවේ?” දියණිය කීවේ ඇත්තකි.

“මට හැපුනේ නෑනේ.”

“අම්මට ගිලින්න බැරි නිසා බ්ලෙන්ඩර් කරලා ගෙනාවේ.”

“ආ එහෙමද… එහෙනම් කරවල බැදුමක්.”

වාට්ටුවේ සිටින දවස් දෙකේ ම ඇගේ කතාව ආහාර ගැන ම ය. මිලීට දුක සිතී පොළොස් ගෙඩියක් ගෙන්වාගෙන පද්මලතාගේ දියණියට දුන්නේ පුළුවන් ඉක්මනින් උයලා දෙන ලෙසට අවවාද කරමිනි.

“ඔය ආසාවල් ලේසි ඒවා නොවෙයි. මැරිලත් හොයාගෙන එන්න පුළුවනි.” මිලී කීවේ අත්දැකීමෙනි.

පස්වෙනි ඇඳේ සිටියේ පිළිකා රෝගයකින් අසාධ්‍යව සිටින තරුණ කාන්තාවකි. ඇගේ ආයුෂය දින තුනකට මෙහා බව වෛද්‍යවරු පවසා තිබිණි.

“මොනවා හරි කරන්න ඉක්මනට. මට තනියම මැරෙන්න බයයි. මං ඔයාට ආදරෙයි.” ඇය ස්වාමියාගේ අත තදින් මිරිකාගෙන අයැද සිටියා ය. ඔහු පිළිමයක් ලෙසින් ගැහැනිය දෙස බලා සිටියා මිස කිසිවක් කීවේ නැත.

“අපි පොරොන්දු වුණා නේද හැමදාම එකට ඉන්න. හැම තැනක දී ම.” ගැහැනිය කීවේ වේදනාවෙනි.

“මට ඔයාව බේරගන්න බැරිවෙයි.” පිරිමියා කීවා නොව ඔහුට කියවිණි. නොහැඬූ ගැහැනිය ඒ වෙනුවට කළේ පිරිමියා දෙස බලාගෙන හීල්ලීම ය. ඇගේ දෑස්වල වූයේ හැරදා යෑම කළ නොහැකි බව මය.

“ඔයා කියන්නේ මටත් මැරෙන්න කියල ද?” ඔහු ඇසුවේ කෝපයෙන් නොව සංවේගයෙනි. පිළිතුරක් නොදුන් ගැහැනිය දෑස් තදින් පියා ගත්තා ය. හදවතින් නැගෙන ගින්දරෙන් උණුසුම් වූ කඳුළු පේළි දෙකක් ඇගේ ඇස් කෙවෙනි අගින් පහළට ඇදුණි.

“මාව හිතින් අත්හරින්න.” පහත් වී ගැහැනියගේ කම්මුලක් සිඹිමින් පිරිමියා කීවේ සෙමෙනි.

“ඒක කරන්න අමාරුයි. ඔයා ජීවත් වෙන්න. ඒත්…” ඉතිරි වචන ඇය පිට නොකළා ය. දෙදෙනා අතර තරමක නිහැඬියාවක් විය.

“මැරුණත් මං ඔයා ළඟට එනවා.” ගැහැනිය කීවේ තිර ලෙසිනි. මිලී සිටියේ සියල්ල අසාගෙන ය. හිඳ සිටි අසුනෙන් නැඟී සිටි ඈ වාට්ටුවෙන් පිටතට ගියේ කිසිවක් නෑසුණාක් මෙනි.

“මට අරක්කු ටිකක් දීපල්ලා. උඹලගෙ බෙහෙත් බීලා කෝ මට සනීප වුණේ නැහැ හරියට. මේ ගෑනියෙ මං කියන්නේ මට අරක්කු ටිකක් දීපල්ලා. ඒක තමයි මට ඕන බෙහෙත.”

ආමාශයේ හටගත් ගෙඩියක් නිසාවෙන් ජීවිතේ අවසානයට ළඟා වී සිටින මහලු ගුණදාස කීවේ ඔහු ළඟ සිටින මහලු බිරින්දෑට ය.

“ලොකු එකා අරන් එනවා කිව්ව. ටිකක් ඉවසලා ඉන්නවා.” මැහැලිය කීවේ කේන්තියෙනි. “ඉවසන්න. තව මොනවා ඉවසන්න ද? ඉක්මනට මට අරක්කු ටිකක් ගෙනත් දියං.”

“ගංගාවක් තරම් බීල ඇති. තාම නැහැ අරක්කු බීම එපා වෙලා. බීලා බීල ම තමයි ලෙඩේ හදා ගත්තෙත්.” මැහැලිය කීවේ පෙරටත් වඩා කේන්තියෙනි. “ගෙඩියක් කිව්වට
මේක පිළිකාවක් බං. දිගට ම අරක්කු බිව්ව නම් මේක පිච්චිලා ගිහින්. ගෙනාව නම් මෙහාට දීපන්.” මහල්ලා කීවේ යාප්පුවෙනි.

“මෙහේ ඇති අරක්කුවක් නැහැ. ගෙනා ගමන් දෙන්නං. වද නොදී ටිකක් නිදාගන්නවා.” මැහැලිය කීවේ මහල්ලා වෙතින් ඉවත් වෙමිනි. තමාට අරක්කු ලැබෙන බව සිතී මහල්ලාගේ දෑස් නැටවිණි. “මේ හැරියට්…” ඔහුට ඉස්පාසුවක් නැත.

“කෑ නොගහ ඉන්නවා. ගෙනා ගමන් දෙන්නං. මිසීට ඇහේවි.” මැහැලිය මහල්ලාට කීවේ සෙමිනි. ඈ මිලී ගැන සිතා සිටින්නේ හෙදියක් වශයෙනි. ‘හෙට අනිද්දා වෙනකොට මේ කරදර ඔක්කොම ඉවරයි.’ එසේ සිතුණ මැහැල්ල තුළ ආයෙම පසුතැවීමක් ද ඉපදුණි. ‘මොනව වුණත් කන්න දීපු මිනිහනේ…’ ඇගේ හිත ශෝකයෙන් පිරුණි.

අසූ තුන් වියැති නොංචිහාමි සිටියේ වාට්ටුවේ කෙළවරේ ම ඇඳේ ය. ඇස්වල පෙනීම ඉතා ම දුර්වලව පැවතියෙන් පෙනෙන ඡායාව ඈ හඳුනාගත්තේ අත ගෑමෙනි.

“කෝ පොඩි එකාව ගෙනාවෙ නැද්ද?” මිනිබිරියන් දෙදෙනාගේ හිස් අතගා හරියටම හඳුනාගත් ඈ පුතාගෙන් ඇසුවේ අමනාපයෙනි.

“මේ ඉන්නේ…” ඉන්දික තම කකුලට තුරුලු ව සිටින සිය පුතුගේ හිස මත මවගේ අතක් රඳවමින් කීවේ ය.

“ඒක මිසක්ක. උඹල තුන්දෙනා නැතුව මං කොහොමද මෙතන තනියම ඉන්නේ. මගේ පණ තියෙන්නේ උඹල තුන්දෙනා ළඟ.” ඈ වචන කතා කළේ අසීරුවෙනි.

“ඉන්දික මාව ගෙදර අරන් පලයන්. පොඩි එවුන් එක්ක ඉන්නකොට මට කිසි ලෙඩක් නැහැ.”

“අද හෙට ටිකට් කපයි. අම්ම ඉවසලා ඉන්න. අනික මේ දවස්වල ගෙදර තීන්ත ගානවා.” ඉන්දික කීවේ චකිතයෙනි. “තීන්ත ගාන්නේ මොකටද?”

“ආච්චිගේ මරණය තියන්න.” පිළිතුරු දුන්නේ පොඩි දරුවා ය. එහෙයින් නොංචිහාමි තුළ තරහක් ඉපදුණේ නැත.

“මං මැරෙන්නෙ කොහොමද මුන් තුන්දෙනා දාලා…” මැහැලිය දරුවන්ගේ මුහුණ අතගාමින් කීවා ය. මිලී අතින් ඉන්දිකට කතා කළා ය.

“අම්මගෙන් දරුවන්ව ඈත් කරලා තියන්න. පස්සේ කරදර වෙයි.” මිලීගෙ කතාව ඇත්තක් බව ඉන්දිකට ද විශ්වාස ය. ඔහු මව ළඟට ගියේ කුමක් කරම් දැයි කල්පනා කරමිනි.

“ඉන්දික නංගිලා දෙන්නටත් ළමයි එක්ක එන්න කියාපන්. උන් දෙන්න මාව ඇතුල් කරලා ගියා ගියාමයි පැත්ත පළාතේ ආවේ නැහැ.”

“ගෙදරට එක්කන් එයි. අම්මා ඉක්මනට සනීප වෙන්න බලන්න.” ඉන්දික කීවේ පෙරටත් වඩා සංවේගයෙනි.

මිලීට ඉන්දිකගේ තත්ත්වය වැටහුණි. ඕ නැගී සිට රූපවාහිනියේ බණක් දැම්මා ය. තවත් ස්වල්ප වේලාවක් මව අසල රැඳී සිටි ඉන්දික වාට්ටුවෙන් පිටව ගියේ මහත් බියකිනි. ‘අම්ම මැරිල දරුවන්ගේ ඇඟට එයි ද…’ ඔහුගේ සිතේ බය ඉපදුණේ ඒ සිතුවිල්ලෙනි.

තවත් අඩ හෝරාවකට පසුව වාට්ටුව භාර හෙදිය වාට්ටුවට ඇතුල් වූවා ය. ඈ මිලී දෙස හෙළුවේ නොරුස්සනා බැල්මකි.

“දැන් ඩොක්ටර් එන වෙලාව. ටීවි එක වහල දාන්න.” කිසිවක් නොබිනූ මිලී අකමැත්තෙන් වුව ද රූපවාහිනිය වසා දැම්මා ය.

“බණ ටික දාන්න දුවේ. අපි මේ නොගිහින් අහගෙනයි ඉන්නේ.” තුන්වෙනි ඇඳේ වැතිර සිටි පියවතී අම්මා කීවා ය. වාට්ටුවේ සිටි අසාධ්‍යම රෝගියා අසූහත් හැවිරිදි ඇය වූ අතර ඇගේ සිහිකල්පනාව සියලු රෝගීන්ට වඩා හොඳින් පැවතුණි.

“ඩොක්ටර් ඇවිත් ගියාට පස්සේ දාන්නම්. බණ අහන්නෙ ආච්චි විතරයි.” හෙදිය කීවේ අකාරුණික ලෙසිනි.

“නැහැ දරුවෝ. මේ මාව ගෙනියන්න ආව අයත් බණ අහගෙනයි ඉන්නේ. අපි බණ ටිකක් අහලම යමුයි කියලා මමයි නවත්ත ගත්තේ.” පියවතී අම්මා කීවේ සංයමයෙනි. හෙදිය සිතුවේ ඇය නන්දොඩවන්නේයි කියායි.

“මිස් ඩොක්ටර් මුකුත් කියන්නේ නෑ. මං බණ ටික දාලා දෙනවා.” යි කියූ මිලී නැවත රූපවාහිනිය දැම්මා ය. පියවතී අම්මාගේ මුහුණ මලක් පිපෙන්නාක් මෙන් සතුටින් පිරුණි. මිලීගේ සිතේ උපන්නේ ද සතුටකි.

වෛද්‍යවරයා පියවතී අම්මා ළඟ නතර විය. ඔහුට වෙනසක් දැනුණි. පියවතී අම්මාගේ අතක් ගෙන නාඩි පරීක්ෂා කළ වෛද්‍යවරයා අවසානයට “ලෙඩා මැරිලා.” යි
කීවේ ය.

“බණ අහන ගමන් මැරිලා තියෙන්නේ.” අසල සිටි මිලීට එක්වරම කියවුණි.

සියල්ලෝම තමන්ට පුරුදු පාරෙන් ම අවසන් ගමන යන්නාහ.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.