අලුත් දවසක්. සොඳුරු දසුනක්. අලුත් හැඟුමක්. මහා සැපයක්. අහා..! රන් හිරු කිරණ ද්‍රෝණයක් මුනි ධාතූන් සුරැඳි මහා සෑ රන්කොත සිපගනිද්දී… ‘අනේ ඒ උත්තම භූමියේ පහස ලබන්නට පිනක් තිබුණා’ යි පහන් හැඟුමක් උපන්නේ නෙත් කොණට සීතල කඳුළක් ද එක්කරමිනි.

එනමුත්, මේ පවිත්‍ර වූ බිමෙහිම දුර්ලභ වූ මිනිසත් බව ලද නමුත් පවින් ජීවිතයම කෙලෙසාගෙන දුකින් පිරුණු සසරට ම වැටි වැටී යන අවාසනාවන්ත මිනිසුන් කොතෙක් නම් සිටිත් ද? කාමභෝගී ගිහියන් පමණක් නොව, සසරින් නිදහස් වීම සොයා අභිනික්මන් කළ පැවිද්දන් පවා සිහි මුළා වී ජීවිතය අතුරු සිදුරු නැති ව ම අන්තයට ම කෙලෙසා ගනිද්දී පරම පිවිතුරු සම්බුද්ධ භාෂිතය කොතරම් නම් සත්‍යයි ද යන්න මොනවට පැහැදිලි වෙයි.

අවංකවම අව්‍යාජවම සසර දුක දැක දැක ගිහිගෙය අත්හළ නමුත් ඒ සුදුර්ලභ වූ පැවිදි ජීවිත පවා පාපයෙන් කිලිටි වී යාම කල්‍යාණ මිත්‍ර උතුමන්ගේ සදහම් පහස නොලැබූ, ඒ උත්තම ඇසුර නොලද ජීවිතයක සාමාන්‍ය ස්වභාවයකි.

අපගේ ශාස්තෘන් වහන්සේ ජීවමානව වැඩ සිටි කල පවා සැදැහෙන් ම කම්සැප අත්හැර පැවිද්ද ලබන පිනැතියන් ද කෙලෙසුන්ට වසඟ වූ නමුත් සත්පුරුෂ වූ උතුම් ම ඇසුර ලද උන්වහන්සේලා පුරිසදම්මසාරථී වූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ අනුශාසනා ලබමින් වරදින් අත්මිදී පැවිදි දිවියේ සැබෑ අරුත පසක් කළහ. සැබවින්ම පැවිද්දේ සොඳුරු සැප වින්දහ. ඒ කුමක් නිසා ද? පැවිද්දන් නිවන් මග තුළ ජීවත් කරවන ප්‍රාණය බඳු වූ සීලයට ආහාර වූ ඒ උත්තම ඇසුර ලද නිසාවෙනි.

ඉතින්, අද අපට ඒ ශාස්තෘ ඇසුර ජීවමානව නොලැබුණත් සුදුර්ලභව ලැබූ කල්‍යාණමිත්‍ර ඇසුර තුළ බුදුරදුන් පවා ගුරු කොටගත්, ‘සද්ධර්මය’ නම් වූ තුන්ලොවෙහි ම අග්‍ර වූ උගැනුම ජීවමානව පිළිබිඹු වීම බුදුසමිඳුන් දෙනෙත් පුරා දුටුවා වැනි ම නොවේ ද? සැබැවින්ම එය ඔබ අප ලද දුර්ලභ වූ සොඳුරුතම භාග්‍යයකි.

වර්තමානය තුළ කෙලෙසී යමින් පවතින ජීවිතත්, කෙලෙසෙන්නට ඉඩ හසර ඇති ජීවිතත් සමස්ත සම්බුද්ධ ශාසනය ම රැඳී පවතින ඒ පරම පූජනීය කල්‍යාණමිත්‍ර ඇසුරේ රඳවමින් සද්ධර්මය තුළ සුරැක ගන්නට ශාස්තෘන් වහන්සේ සොඳුරුතම අයුරින් වදාළ උතුම් දහම් පරියායක් එක්වරම සිතට නැගුණේ, කිරි පාටින් බබළන මහ සෑරජුන්ගේ කොත් කැරැල්ලේ දෙනෙත් නැවතුන මොහොතක ය.

ඉතින් එය හොඳින් බලන්න. දෙනෙත්වලින් පමණක් නොව ප්‍රඥාව ද මනාව අවදි කරමින්… ගිහි පැවිදි ඔබ අප සියලු දෙනා හට වහ වහා සිහිනුවණ උපදීවා!

මෙතෙක් කල් දුක් සහිත සසරේ සැරිසරා පින් පව් සමඟම පැමිණ සැපදුක් මිශ්‍ර වූ මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුණත් කෘත පුණ්‍ය ලක්ෂණ ඇතිව සාර සසුනක පැවිද්ද ලබා ලොව පාරිශුද්ධ වූ එකම මග වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්නට වෙරදරන උත්තම ජීවිත ක්ලේශ වසඟ පීඩා විඳ නැවතත් ආ දෙසටම නොහැරීම පිණිස බුදු සමිඳුන් වදාළ මධු බිඳු වන් තවත් එක් දහම් පරියායකි මේ.

“පින්වත් මහණෙනි, මූලික ව සිටීම් තුනක් තියෙනවා.

1) තමා ව මුල් කොට කල්පනා කිරීම (අත්තාධිපත්‍යෙය)

2) ලෝකයෙහි ස්වභාවය මුල් කොට කල්පනා කිරීම (ලෝකාධිපත්‍යෙය)

3) ධර්මය මුල් කොට කල්පනා කිරීම (ධම්මාධිපත්‍යෙය)

තමා ව මුල් කොට කල්පනා කිරීම හෙවත් අත්තාධිපත්‍යෙය යනු කුමක් ද? මෙහි දී පැවිදි වූ භික්ෂුව අරණ්‍යයකට ගියත්, රුක්මුලකට ගියත්, හිස් කුටියකට ගියත් මේ විදියට නුවණින් කල්පනා කරනවා.

‘මම ගිහිගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයකට ආවේ වස්ත්‍ර නැතිකමට නොවේ. ආහාරපාන නැතිකමකට නොවේ. ඉන්න හිටින්න තැනක් නැතිකමට නොවේ. මම ගිහිගෙයින් නික්මිලා අනගාරික පැවිද්දකට ආවේ මේ මේ දේවල් ලබාගත යුතුයි කියලා හිතාගෙනත් නොවෙයි. ඇත්තෙන්ම මම ජාති, ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, උපායාසවලින් පීඩිත වෙලා දුකටම වැටිලා දුකෙන් ම පෙළෙනවා. ඉතින් මට මේ මුළුමහත් දුක්ඛස්කන්ධයේ ම අවසානයක් දැකගන්නට ඇත්නම් කොයිතරම් දෙයක් ද කියලා හිතාගෙනයි ඒ කාමයන් අත්හැරලා පැවිදි වුණේ. ඉතින් මම එබඳු වූ කාමයන් හොයන්න ගියොත්, එයිට වඩා ළාමක දේවල් හොයන්න ගියොත් එය මට කිසිසේත් ම ගැළපෙන්නේ නෑ.’ ඉතින් ඔහු ඔය අයුරින් නුවණින් මෙනෙහි කරනවා. ඒ විදිහට මෙනෙහි කරද්දී ‘මාගේ වීර්යය පටන් ගත් අයුරින්ම නොහැකිලී තියෙනවා. සිහිනුවණ මුළා නොවී මැනවින් පිහිටලා තියෙනවා. කය සැහැල්ලු වෙලා තියෙනවා. පීඩා සංසිඳිලා තියෙනවා. සිත සමාහිත වෙලා එකඟව තියෙනවා.’ කියලා ඔහු තමාව ම මුල් කරගෙන අකුසල් අත්හරිනවා. කුසල් වඩනවා. වැරදි දේ අත්හරිනවා. නිවැරදි දේ වඩනවා. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි අත්තාධිපත්‍යෙය කියලා කියන්නේ.”

එසේනම්, ඉමක් කොණක් නොපෙනෙන අති දීර්ඝ සංසාර දුක සිහිකරමින් සසර පුරාවට අඩු වැඩි වශයෙන් ලද කාම සැප සම්පත්වලට වසඟ වීමේ ආදීනව සිහිකර කර සිහිනුවණ උපදවා ගනිමින්, අත්හළ ළාමක වූ කාමයන් ම නැවත නැවතත් ඔවුන් නොසොයති. පැවිද්දේ අරමුණ ම සිහි කරමින් වීර්යයෙන් යුතුවම පාරිශුද්ධ ජීවිතයක් ගත කරති. මේ අයුරින් තමාව මුල් කරගෙන සිහිනුවණින් යුතුවම උතුම් පැවිද්දේ අරුත, සාරය සාක්ෂාත් කරගන්නට පිනැති මෙන්ම නුවණැති ශ්‍රාවකයෝ වෙර වඩති. සාදු! සාදු! එවන් උතුමන් හට ලොව උතුම් ම සැපත හමු වීම යන දෙය කෙසේ නම් වළකීවි ද?

ඉතින් නැවතත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, ලෝකය මුල් කොට කල්පනා කිරීම හෙවත් ලෝකාධිපත්‍යෙය යනු කුමක් ද?

මෙහි දී පෙර අයුරින්ම භික්ෂුව ආරණ්‍යකට හෝ රුක් මුලකට හෝ හිස් කුටියකට ගිය විට නුවණින් කල්පනා කරයි. ‘මම ගිහිගෙයින් නික්මිලා පැවිදි ජීවිතයකට ආවේ මට කිසි දෙයක් නැතිකමට නෙවෙයි. මේ මේ දේවල් ලබාගන්නත් නෙමෙයි. මේ මුළු මහත් දුක්ඛස්කන්ධයේ ම අවසානයක් දකින්නට ඇත්නම් කොයිතරම් දෙයක් ද කියල හිතාගෙනයි පැවිදි වුණේ. ඔය විදිහට පැවිදි වුණු මම කාම විතර්ක හිත හිතා ඉන්න ගියොත් නම්, ව්‍යාපාද විතර්ක හිත හිතා ඉන්න ගියොත් නම්, විහිංසා විතර්ක ම හිත හිතා ඉන්න ගියොත් නම් මේ ලෝක සන්නිවාසය නම් මහා විශාලයි. මේ ලෝක සන්නිවාසයේ අනුන්ගේ හිත් දැනගන්නා දිවැස්ලාභි ඉර්ධිමත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඔවුන් දුර සිටිද්දී වුණත් මාව දකිනවා. ඔවුන් ළඟ හිටියත් මා ඉදිරියේ පෙනී සිටින්නේ නෑ. මගේ හිත ඔවුන් දැනගන්නවා. ඉතින් ඔවුන් මං මෙබඳු සිතිවිලි සිතන කෙනෙක් වශයෙන් දැනගත්තොත්, “භවත්නි, මේ කුලපුත්‍රයා දෙස බලන්න. මොහු ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම බුදුසසුනේ පැවිදි වුණා තමයි. නමුත් පාපී අකුසල් සිතිවිලිවලින් ගැවසීගෙනයි මොහු ඉන්නේ.” කියලා…

ඉතින් ඔහු ඒ අයුරින් නුවණින් මෙනෙහි කරනවා. ඔය විදිහට මෙනෙහි කර කර අකුසල්, වැරදි දේ අත්හරිනවා. කුසල්, නිවැරදි දේ වඩනවා. පිරිසිදු ජීවිතයක් ඔය විදිහට පරිහරණය කරනවා. ඒකට තමයි ලෝකාධිපත්‍යෙය කියලා කියන්නේ.”

මෙසේ අනුන්ගේ සිත් දකිනා සිත දියුණු කළ පිරිස් තමන්ගේ පිළිකුල් සිතිවිලි රටාව දැක තමා කාමයන් අත්හැර පැවිදි වුවත් මෙවැනි කෙනෙක් ලෙස හඳුනා ගනීවි යන කරුණ සිහිකර කර සිහිනුවණ උපදවා ගනියි. මේ පුළුල් ලෝකසන්නිවාසය මුල්කරගෙන ඇතැම් නුවණැති කෙනෙක් ජීවිතය පාරිශුද්ධව ගත කරන්නට මෙසේ වෙර වඩයි.

නැවතත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, ධර්මය ම මුල් කරගෙන කල්පනා කිරීම හෙවත් ධම්මාධිපත්‍යෙය යනු කුමක් ද?

මෙහි දී ද සම්බුදු සසුනෙහි පැවිද්ද ලැබූ භික්ෂුවක් කලින් අයුරින් ම තමන් පැවිදි වූ කාරණාව සිහි කරයි. ‘මුළු මහත් දුක්ඛස්කන්ධයේ ම අවසානයක් දැක ගන්නට ඇත්නම්’ යන අදහස ඇතිවයි මා අනගාරික බුදුසසුනේ පැවිදි වුණේ. ඉතින් මේ ජීවිතයේ ම දැකිය හැකි අකාලික වූ, ඇවිත් බලන්න යැයි කිව හැකි වූ, තමා තුළට පමුණුවා ගත යුතු වූ, නුවණ ඇති අය හට වෙන් වෙන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි වූ මේ ශ්‍රී සද්ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට දේශනා කරලයි තියෙන්නේ. ඒ වගේ ම මා හා සමාන බඹසර වසන සබ්‍රහ්මචාරීන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා මා ගැන දන්නවා. දකිනවා. ඉතින් මෙබඳු වූ මනා කොට දේශනා කරන ලද ධර්මය ඇති ශාසනයක පැවිදි වූ මා කුසීත ව ප්‍රමාදී ව වාසය කළොත් එය මට ගැළපෙන්නෙ නැහැ.’ ඉතින් මොහු ඔය විදියට නුවණින් මෙනෙහි කරනවා. ඒ අයුරින් මෙනෙහි කර කර ධර්මය මුල්කරගෙන අකුසල්, වැරදි දේ අත් හරිනවා. කුසල් දහම්, නිවැරදි දේ වඩනවා. ඔය අයුරෙන් පිරිසිදු ජීවිතයක් ගත කරනවා. මේ තමයි ධම්මාධිපත්‍යෙය.

පින්වත් මහණෙනි, ඔය තමයි මූලික ව සිටීම් තුන.”

සැදැහැයෙන් යුතුව ම කාමයන් අත්හැර මනාව දේශනා කරන ලද සද්ධර්මය ඇති ශාසනයක පැවිදි බව ලබා සැදැහැවත් ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් පුදන සිව්පසය පරිභෝග කරමින් කුසීත ව ප්‍රමාදී ව වාසය කිරීමේ ආදීනව සිහි කර කර ජීවිතය අප්‍රමාදී ව ගත කිරීමට කෙනෙක් වෙර වඩයි. ධර්මය මුල්කරගෙන ධර්මානුකූල ව ජීවිතය ගත කරයි. සැබැවින්ම ඒ පිරිස් ලොව පූජනීයත්වයට පත් වනු ඇත. අග්‍ර වූ සැපය සාක්ෂාත් කරනු ඇත.

අනන්ත සසරේ බොහෝ දුර ගෙවා ආ සත්වයන් ලෙස අකුසලයට බර වූ සිත්, දුර්ලභ සම්බුදු සසුනක් මුණගැසුණ මොහොතේ ද අකුසලයට ම ඇදී යන්නට ඉඩ නොදී තුන් ආකාරයකින් කුසලය තුළ හික්මවා ගන්නා අයුරු මේ උත්තම දහම් පරියාය තුළින් භාග්‍යවතුන් වහන්සේ මනාව දේශනා කොට වදාළ සේක.

සැබවින්ම නුවණැති වූ සමස්ත ගිහි පැවිදි ප්‍රජාව කුමන අයුරින් හෝ මේ සියලු ආකාරයෙන් හෝ ජීවිතය ලොව උතුම් ම මඟ තුළ හික්මවා ගන්නට සමත් වෙති. එසේ හික්මෙන පැවිදි උතුමන් කිසිදා නොපිරිහී පැවිද්දේ සාරය වූ සොඳුරු විමුක්තිය සාක්ෂාත් කරමින් සියලු දුක් දොම්නස්, ගැටලු ප්‍රශ්න, පීඩා, දැවිලි තැවිලි, අකුසල් මෙන් ම සසරට අයත් සියලු දේ ඉක්මවා නිවී යනු නොඅනුමාන ය.

අප විසින් ම සකසා, අප විසින් ම විඳවමින් සිටින දුක් ගිනි නිවා සනහන මහා කාරුණික බුදුරදුන්ගේ පරිපූර්ණ අවබෝධය තුළින් ඔබ අප හැමදෙනා හටත් දිගු සසරේ නිමාව දකින්නට දුර්ලභ වාසනාව උදා වේවා!

ඇසුර – (අංගුත්තර නිකාය – තික නිපාතය, ආධිපත්‍යෙය සූත්‍රය)

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.