පින්වත් යොවුන් දූ දරුවනේ,

සිත ගැන අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියට මහ මුහුද වගේ කියලා. මහ මුහුදේ රළගෙඩි ඔයාල දැකලා තියෙනවා. ඒවා මොහොතක්වත් එක විදිහට තියෙන්නේ නෑ. හැම තිස්සේම එහෙට මෙහෙට පෙරළි පෙරළී තියෙනවා.

පෙරළි පෙරළී තියෙන රළගෙඩි වගේ තමයි මේ සිත ඇතුළේ එන සිතුවිලි. අපිට දවසක් ඇතුළත විතරක් කොයි තරම් නානාප්‍රකාර සිතුවිලි එනව ද කියලා අපිටම හිතාගන්නවත් බෑ නේද?

ඇතුළේ තියෙනකම් ලොකු අවුලක් නෑ…!

එහෙම පෙරළෙන සිතුවිලි අතරේ අපිට බොහොම අයහපත පිණිස පවතින සිතුවිලි තියෙනවා. ඔන්න කෙනෙක්ට සිතුවිල්ලක් එනවා තව කෙනෙකුට ගහන්න ඕනි කියලා. සිතුවිල්ල ආපු පමණින් ලොකු ප්‍රශ්නයක් නෑ නේද? නමුත් අපි ඒ සිතුවිල්ලට අනුව කය ක්‍රියාත්මක කළොත්, අපි ගහන්න රණ්ඩුවට යන්න පටන් ගත්තොත්, ලොකු ප්‍රශ්නයක් ආරම්භ වෙනවා.

ඔන්න කෙනෙකුට සිතෙනවා තවත් කෙනෙකුට රළු වචනවලින් බණින්න. ඒ සිතුවිල්ල ආවා කියලා ලොකු ප්‍රශ්නයක් පටන් ගන්නේ නෑ. නමුත් හිතුණු විදිහටම රළු පරුෂ වචනවලින් බණින්න පටන් ගත්තොත්, ලොකු අවුලක් ආරම්භ වෙනවා නේද?

එහෙමනම් තේරෙනවා නේද සිත ඇතුළේ ඇති වූ සිතුවිල්ල, සිත ඇතුළේම පාලනය කරගන්න පුළුවන් වුණොත් ඒක විශාල යහපතක් කියලා. ඒත් සිත පාලනය කරගන්නේ මොකකින් ද? ඔව්! ඒක කරන්න තියෙන්නෙත් සිතෙන්මයි.

කවුද ඒක කරලා දෙන්නේ…?

සිත සිතෙන් ම රකින එක කවුද අපට කරලා දෙන්නේ? පින්වත් දරුවනේ ඒක කාටවත් කරලා දෙන්න බෑ. ඒක කරගත යුත්තේ අපි විසින්මයි. නමුත් සිත සිතෙන් ම රකින විදිහ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. එය ඉගෙනගෙන ඒ අනුව කටයුතු කරන්න අපි දක්ෂ වුණොත් සිත සිතෙන් ම රැකගන්න අපිට පුළුවන්.

ඉතිං මේ ලිපිගතේ මෙතැන් පටන් අකුරු එකිනෙක අමුණන්නේ සිත සිතෙන් ම රකින හැටි කියා දෙන්නමයි. ඒ නිසා පොඩි වෙලාවක් ගත කරලා මේ ලිපිගත දිගේ ඉදිරියටම යන්න. ඔයාලටත් තේරේවි ‘සිත සිතෙන් ම රකින්නේ කොහොමද?’ කියලා.

මුහුද රකින වෙරළ…!

බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘සිත මහමුහුදක් නම්, ඒ සිත රකිනා වෙරළ සීලය යි.’ සීලය නම් වූ වෙරළ තියෙනවා නම්, සිතේ සිතුවිලි නම් වූ රළගෙඩි කොයිතරම් දරුණුවට නැගුණත්, කයින් වචනයෙන් ඒ සිතුවිලි ක්‍රියාත්මක නොවෙන නිසා හානි සිදු වෙන්නේ නෑ. තමන්ගේ සිතුවිල්ලත් කුසල මනසිකාරයකින් ටික ටික දමනය කරගත්තාම ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම අවසන්. හරියට වෙරළ තෙක් ආපු රළගෙඩි ආපසු හැරී යනවා වගේ.

නමුත් ඔයාලට මතක ඇති සුනාමි ව්‍යසනය. මුහුදු රළ වෙරළ ඉක්මවා ගියා. බලන්න කොයිතරම් විනාශයක් වුණා ද? ඒ වගේමයි, අපේ සිතුවිලි සීලයකින් පාලනය වුණේ නැත්නම් මෙලොව පරලොව දෙලොවේ ම අයහපත උපදින දේවල් තමයි අපේ ජීවිතේට එකතු වෙන්නේ.

ඒ නිසා පින්වත් දරුවනේ, සීලය කියන්නේ ජීවිතයක් තුළ පුරුදු කළ යුතුම උතුම් වටිනා දෙයක්. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන් හට නිත්‍ය සීලය ලෙස දිවි තිබෙන තුරාම රක්ෂා කරගන්න කියා දේශනා කොට වදාළේ පංච සීලයයි.

මං නිසා කාටවත් බයක් නෑ..!

කොයිතරම් සතුන් මැරීම උදෙසා සිතුවිලි නැගුණත්, (පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි) මම ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කියලා සිල්වත් වූ කෙනා සතුන් මැරීමෙන් වළකිනවා. හිතන්න…, මම නිසා මදුරුවෙක් වගේ සතෙකුටවත් භය හටගන්නේ නෑ නේද? මම සතුන් මැරීමෙන් වැළකුණු කෙනෙක් නේද කියලා දැනෙද්දී ඒක තමාට කොයිතරම් සුවයක් ද.

මගෙන් කාටවත් හානියක් නෑ..!

සොරකමට ආසා සිතුවිලි නැගුණත්, (අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි) මම සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කියලා සිල්වත් වූ කෙනා සොරකම් කරන්නේ නෑ. මේ සමාජයේ සෙරෙප්පු දෙකක් ගලවලා යන්න බෑ, නැතිවෙනවා. පර්ස් එකක්, ෆෝන් එකක් ගැන කොයිතරම් බලාගන්න ඕනි ද. වටින චේන් එකක්, මුද්දක්, අරුංගලයක් දාගෙන පාරේ යන්න බයයි. ගෙදරක මල් ගහක් තිබ්බත් ගලවගෙන යනවා. මේ වගේ පරිසරේක තමන් නිසා කාගෙවත් වස්තුවකට හානියක් නැති බව තමන්ට කොයි තරම් සුවයක් ද.

සීලයේ සුවය…

(කාමේසුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි) මම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කියලා සිල්වත් වුණ කෙනාට කෙතරම් සුවයක් තිබෙනවා ද තමාගේ ඍජු අවංක පිරිසිදු ජීවිතේ ගැන.

බොරු කීමට සිතුවිලි නැගුණත් (මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි) මම බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කියලා සිල්වත් වූ කෙනා බොරුවෙන් වෙන්වීම නිසා තමා ගැන තමාටම තිබෙන්නේ කොයිතරම් සුවයක් ද.

(සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි) මම මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි යනුවෙන් සිල්වත් වූ කෙනාගේ සිත කොයිතරම් නම් සුවයක් ලබනවා ද මේ සමාජය දෙස බලද්දී. මත් බව නම් වූ ශාපයෙන් තමාටම ශාප කරගත් මිනිසුන් ගැහැනුන් මැද ඔහු කොතරම් සුන්දර චරිතයක් ද.

අද කාලේ සිල් රකින්න පුළුවන් ද?

බොහෝ වෙලාවට මේ රටේ දැන් දැන් මහා වටිනා දෙයක් වගේ උලුප්පන්න හදන අදහසක් තමයි මේ කාලේ සිල් රකින්න බෑ, කවුද මේ කාලේ සිල් රකින්නේ, සිල් නොරකින පිරිසක් මැද අපි සිල්වත් වෙලා අසරණ වෙයි…, මේ වගේ නොයෙක් දුර්මත. අපි හොඳින් තේරුම් ගත යුතු දේ තමයි, තමන්ගේ සීලයේ පිහිට ආරක්ෂාව තමන්ටමයි. අනිත් මිනිස්සු සිල්වත් ද නැත්ද කියන දේ තමාගේ සීලයට කිසිසේත් අදාළ නෑ. ඒ නිසා තරුණ වයසේ සිටම සිල්වත් වෙන්න.

වයසට යනතෙක්ම…

මොකද, භාග්‍යවතුන් වහන්සේගෙන් කෙනෙක් ප්‍රශ්න කළා (කිංසු යාව ජරා සාධු) “නාකි වෙනකම්ම කරන්න හොඳ දේ මොකක්ද?” කියලා. සියල්ල දන්නා සියල්ල දක්නා අපගේ සම්බුදුරජාණන් වහන්සේ වදාළේ (සීලං යාව ජරා සාධු) “වයසට යන තෙක් ම සිල්වත් වීම හොඳයි” කියලයි. ඒක තමන් කළොත් තමන්ට හොඳයි. අනිත් කෙනෙක් සිල් රැක්කොත් ඒක එයාට හොඳයි. ඒ නිසා අනුන්ගේ සිල් හෝ දුස්සීලකම් තමාගේ සීලයට පටලවා ගන්න තරම් දුර්වලයෝ වෙන්න එපා!

සීලය කුමක් පිණිස ද?

බුදුරජාණන් වහන්සේ දිනක් භික්ෂූන්ට දේශනා කළා “මහණෙනි, සීලය තිබෙන්නේ (සංවරත්ථාය) සංවර වීම පිණිස යි.” ඒ කිව්වේ අසංවරය වළක්වා ගැනීම පිණිස. සීලයෙන් සංවර වෙන්නේ කය සහ වචනය කියන දෙක. චේතනාවක් පහළ කොට කය සංවර කරගැනීම සීලයයි. චේතනාවක් පහළ කොට ම වචන සංවර කිරීම සීලයයි.

ඒ විදිහට සිල්වත් වුණාම තිබෙන යහපත තමයි (අවිප්පටිසාර) සිත විපිළිසර නොවීම. ඒ කිව්වේ සිත පසුතැවෙන්නේ නෑ. මගෙන් මෙහෙම මෙහෙම වැරදි අඩුපාඩු වුණා කියන පසුතැවීම සිතට නොඑන්න නම් සිල්වත් වෙන්නම ඕනි. ඒ සැනසීම අපිට මුදල්වලින්, බලයෙන්, උගත්කමකින් ගන්න පුළුවන්කමක් නෑ. ඒ සැනසීම ජීවිතයට ලැබෙන්නේ සිල්වත් වීමෙන්මයි!

ලස්සන ආභරණය

රහතන් වහන්සේලා මේ සීලය හැඳින්නුවේ උතුම් ආභරණය කියලයි. ඉතිං ඔයාලත් ඒ ආභරණයෙන් සැරසෙන්න. කෙටි කලකට ලැබුණු මේ මනුස්ස ජීවිතේ සීලය කියන ආභරණයෙන් ලස්සන කරගන්න.

ඒ සීල ආභරණයෙන් සැරසුණු කෙනාට මේ ලෝකයේ වාසය කරන හැබෑම සම්‍යක් දෘෂ්ටික යහපත් දෙවි දේවතාවුන් පවා කැමතියි. මේ ලෝකයේ මිනිස්සු පලඳින සාමාන්‍ය ආභරණවලට ඇතැම් විට මිනිස්සුම කැමති නෑ. දෙවියෝ ප්‍රිය කිරීම ගැන කවර කතා ද. නමුත් සීල ආභරණය නිසාම දෙවියෝ පවා ඒ කෙනාට ප්‍රිය වෙනවා.

දෙවිවරු කියන්නේ මිනිස් ශරීර පිළිකුල් කරන පිරිසක්. අපිට එළුවන්, ඌරන්, බැටළුවන්, හරක් වගේ සත්තු ළඟට යද්දී වෙනමම ගඳක් දැනෙනවා වගේ දෙවියන්ට මේ මිනිස් සිරුර පිළිකුලයි. නමුත් එබඳු දෙවියෝ සිල් රකින කෙනාව මවක් දරුවෙක් රකින්නා සේ රකිනවා. (දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති) දෙවියන්ගේ අනුකම්පාව ලබනා කෙනා හැම කල්හී ජීවිතයේ යහපතම දකිනවා.

පටන් ගන්න

එහෙනම් පින්වත් දරුවනේ, සිත සිතෙන් ම රකින කටයුත්ත ඔය විදිහට සිල්වත් වීම මූලික කරගෙන පටන් ගන්න. සිතේ රැකවරණය උදෙසා අවශ්‍ය කරන මූලිකම දෙයක් තමයි සිල්වත් බව. ඔයාලගේ ළඟ සිල්වත් බවත්, ශ්‍රද්ධාවත් තිබේ නම් එය දිවි ගමන සුන්දර කරන මහා ආශීර්වාදයක් වෙනවා ම යි!

ඉදිරියේදීත් අහස් ගව්ව ලිපි පෙළින් අපි ‘සිත සිතෙන් ම රැකගන්නා හැටි’ නොයෙක් අයුරින් විස්තර කරලා කියාදෙනවා. දැනට සිල්වත් වීමෙන් පටන් ගන්න. සිල්වත් දිවියකින් යුතුව සිත සිතෙන් ම රැකගැනීමට කටයුතු කළොත් දවසෙන් දවස මොහොතින් මොහොත ඔයාලගේ ජීවිතේ සුන්දර ජීවිතයක් ම වේවි!
තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.