මිත්‍රත්වය කියන්නේ මේ ලෝකෙ තියෙන සුන්දර සබැඳියාවක්. අපේ සැපේ දී වගේ ම දුකක් කරදරයක් වුණු වෙලාවේ දී මිතුරන්ගෙන් ලැබෙන උපකාරය අපට සැනසීමක් දෙනවා. ඒ වගේ ම යි, පාපී මිතුරන් නිසා විපතට පත් වුණු අයත් ඕනෑ තරම්… එහෙනම් අපි යහපත් මිතුරන් ඇසුරු කරන්න ඕන – පාපී මිතුරන් බැහැර කරන්න ඕන. ඒත් අපි කොහොමද ඒ අයව අඳුරගන්නේ…?

සියල්ල දන්න, සියල්ල දකින අපගේ භාග්‍යවතුන් වහන්සේ සිගාල සූත්‍රයේ දී මිත්‍රයන් ගැන විස්මිත හෙළිදරව්වක් කොට වදාළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මිත්‍රයෙකුගේ වේශයෙන් සිටින, මිතුරන් නොවන හතර දෙනෙක් ගැන. ඒ මිත්‍ර ප්‍රතිරූපකයන්ගෙන් පළමුවෙනි කෙනා තමයි ‘අඤ්ඤදත්ථුහර’. මේ කෙනා යාළුවා ව ඇසුරු කරන්නේ තමාට වාසිය පිණිසයි. එයා බලාපොරොත්තු වෙන්නේ යාළුවගෙන් යමක් ගන්න එක. තමන් පොඩි දෙයක් දීලා යාළුවගෙන් ලොකු දෙයක් ගන්නවා. තමාට භයක්, කරදරයක් වුණාම ඉක්මණට ඇවිත් උදව් ගන්නවා. තමාගේ ප්‍රයෝජනය පිණිස විතරක් යාළුව ව ඇසුරු කරනවා. මේ කෙනාගේ හිතේ තමාගේ යාළුවා ගැන සෙනෙහසක්, අනුකම්පාවක් ඇතිවෙන්නේ නෑ. යාළුවගේ යහපත පතන්නේ නෑ. තමාට වාසිය පිණිස පමණම යි ඇසුරු කරන්නේ.

දෙවැනි මිත්‍රප්‍රතිරූපකයා තමයි ‘වචීපරම’. ඒ කියන්නේ වචනයෙන් හරිම හිතවත්. අතීතයෙන් සංග්‍රහ කරනවා (අතීතේන පටිසන්ථරති). අතීතය ඉස්මතු කරලා කතා කරනවා. “ඉස්සර මට ගොඩක් දේවල් තිබුණා… මෙච්චර දේපළ තිබුණා… ඒ කාලෙ නම් මං ඔයාට උපරිමයෙන් උදව් කරනවා… මගේ සේසතම වියදම් කරනවා…” කියලා අතීතය ඉස්මතු කරලා කතා කරනවා. ඒ වගේ අනාගතය ගැනත් කියනවා…

“ඉස්සරහට මං ඔයාට මේ මේ විදිහට උදව් කරන්නම්.” කියල අර්ථයක් නැති කතාවලින් සංග්‍රහ කරනවා… මෙයාගේ මිත්‍රයාට උපකාරයක් අවශ්‍ය වෙලා මෙයාව හොයාගෙන ආවාම තමන්ගේ කරදර ගැන කියලා උදව් නොකර ඉන්නවා… “අනේ මේ දවස් වල මාත් කරදරේ වැටිලා ඉන්නෙ… ව්‍යාපාරත් වැටිලා… එහෙන් අසනීප… ණය පොලී ගෙවන්න වෙලා… මේවා නැත්නම් මං උදව් කරනවා කියලා ඔයා දන්නවනේ…” මේ විදිහට උදව් ඉල්ලන්න බැරි තැනට කරුණු කියනවා.

ඊළඟ මිත්‍රප්‍රතිරූපකයා තමයි ‘අනුප්පියභාණී’. මෙයා යාළුවා කියන හැම දේටම එකඟ වෙනවා. යහපත් දේට වගේ ම අයහපත් දේටත්… යාළුවා පිනක් කරනවා නම් ඒකත් අනුමත කරනවා. ඒ වගේ ම පාපී නරක දෙයක් කරනකොට එයින් වළක්වන්නේ නෑ. ඒකත් අනුමත කරනවා… මේ කෙනා යාළුවා ඉදිරියේ දී එයාගෙ ගුණ කියනවා.. ප්‍රශංසා කරනවා… නැති තැන දී යාළුවට දොස් කියනවා, නුගුණ කියනවා…

ඊළඟ මිත්‍රප්‍රතිරූපකයා තමයි ‘අපායසහාය’. මෙයාගේ උදව්ව හැමවෙලේම තියෙන්නේ පාපී දේට ම යි. තමාගේ යාළුවා ව දුගතියට යන පාරේ එක්කන් යනවා… බොහෝම ආදරෙන් කතා කරලා මත්පැන්වලට පුරුදු කරනවා… අවේලාවෙහි වීදි සංචාරයට, සූදුවලට, සල්ලාලකමට නොයෙක් දුරාචාර දේට පොළඹවනවා… මේ විදිහට තමාගේ යාළුවාට අපාගත වෙන්න උදව් කරන නිසා ‘අපායසහායක’ කියලා කියනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා නුවණැති කෙනා කොටි, වලසුන්, සොර සතුරන් පිරි භයානක මාර්ගයක් දුරු කරනවා වගේ මේ මිත්‍රප්‍රතිරූපකයෝ තමන්ගේ ජීවිතෙන් දුරු කරන්න කියලා…

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සිඟාලකට වදාළා, “ගෘහපති පුත්‍රය ඇසුරු කළ යුතු මිත්‍රයෝ හතර දෙනෙක් ඉන්නවා…” පළමුවෙනි කෙනා තමයි උපකාරී නම් වූ සුහද මිත්‍රයා.. එයා තමන්ගේ ප්‍රමාදී යාළුවා ව ආරක්ෂා කරනවා. තමන්ගේ යාළුවා කරදරේ වැටිලා ඉන්නකොට එයාව රැක ගන්නවා. යාළුවා සතු වටිනා දේවල්, මිලමුදල්, ආභරණ වගේ දේත් ආරක්ෂා කරලා දෙනවා. ඒ වගේ ම යි “භීතස්ස සරණං හෝති” – තමන්ගේ යාළුවා බියට පත් වෙලා, දුකට පත් වෙලා ඉන්න වෙලාවට ඇවිත් උදව් කරනවා. බිය තැතිගැනීම් දුරු කරනවා. යාළුවා ව ශක්තිමත් කරනවා… යාළුවා කරදරේ වැටිලා ඉද්දි තමා වියදම් කරලා උදව් කරනවා, බලාපොරොත්තු වෙනවාටත් වඩා… භාග්‍යවතුන් වහන්සේ වදාළේ අවශ්‍ය පමණටත් වඩා දෙගුණයකින් සම්පත් දෙනවා කියලා…

ඇසුරට සුදුසු ඊළඟ මිත්‍රයා තමයි ‘සමානසුඛදුක්ඛ’. එයා තමන්ගේ ජීවිතේ පෞද්ගලික දේවල් මිත්‍රයාට කියනවා. මිත්‍රයා කියන පුද්ගලික දේ ආරක්ෂා කරනවා… “ආපදාසු න විජහති” තමන්ගෙ යාළුවාට විපතක් කරදරයක් වුණු වෙලාවට අත්නොහැර ළඟින් ම ඉන්නවා… “ජීවිතම්පි’ස්ස අත්ථාය පරිච්චත්තං හෝති” – තමන්ගේ යාළුවා වෙනුවෙන් ජීවිතේ වුණත් අත්හරින්න ලැහැස්තියි…! තමාගේ ජීවිතය ගැනවත් නොහිතා යාළුවා වෙනුවෙන් කැපවෙනවා… ඇත්තෙන්ම එබඳු මිත්‍රයෝ කලාතුරකින් වුණත් මේ ලෝකයේ දකින්න ඉන්නවා… එබඳු මිතුරෙක් ඇසුරට ලැබීම සැබෑම වාසනාවක්.

ඊළඟ යහපත් මිතුරා තමයි ‘අත්ථක්ඛායී’. එම යාළුවා යහපත කියා දෙනවා. පවින් වළකනවා. තමන්ගේ යාළුවා පවට යොමු වෙනවා දැක්කොත්, අයහපත් දේ කරනවා දැක්කොත් කරුණු තේරුම් කර කර එයින් වළක්වනවා. “කල්‍යාණේ නිවේසේති” – හොඳ දේවල්, යහපත් දේවල් පුරුදු කරනවා, පිනෙහි යොදවනවා. ජීවිතේ තුළ යහපත් ගුණධර්ම දියුණුකර ගන්න උදව් කරනවා. නොඇසූ ධර්මය අහන්න සලස්වනවා.

කාශ්‍යප බුද්ධ කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ ජෝතිපාල නම් බ්‍රාහ්මණයකු ව සිටියදී ජෝතිපාල තරුණයාගේ මිතුරා ඝටීකාර උපාසක බොහෝ වෙහෙස ගෙන ජෝතිපාල තරුණයාව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමීපයට රැගෙන ගියා. ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අහන්න සැලැස්වූවා. ඒ ධර්මය අහපු ජෝතිපාල තරුණයා කාශ්‍යප බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබුවා. ඝටීකාර උපාසක අත්ථක්ඛායී මිත්‍රයෙක් වීම නිසා ජෝතිපාල තරුණයා තමන්ගේ ජීවිතයට ඇති කරගත් යහපත කොතරම් ද? මේ අත්ථක්ඛායි මිත්‍රයා, “සග්ගස්ස මග්ගං ආචික්ඛති” – සුගතියේ උපදින මාර්ගය කියනවා. ඒ කොහොමද? මේ යාළුවා තමන්ගේ යාළුවා ව පවින් වළක්වනවා. පිනේ, යහපතේ සමාදන් කරවනවා. මේ ලෝකයේ යමෙක් සුගතියේ උපතක් කරා යනවා නම් ඒ පින් කරපු අය. යහපත පුරුදු කරපු අය.

ඇසුරට සුදුසු ඊළඟ මිත්‍රයා තමයි ‘අනුකම්පක’. මෙයාට අහන්න ලැබෙනවා තමන්ගේ මිත්‍රයා පිරිහිලා කියලා. කලින් දන් පැන් පූජා කරගෙන, ධර්මය අහමින් සිටි යාළුවා දැන් ඒ දේවලින් ඈත් වෙලා කියලා දැනගන්න ලැබෙනවා. එතකොට මේ යාළුවගේ හිතේ දුකක්, කනගාටුවක් හටගන්නවා. ඒ වගේ ම එයාට ආරංචි වෙනවා තමන්ගේ යාළුවා දියුණු වුණා කියලා. කලින් බොහොම දුකසේ හිටිය යාළුවා දැන් ධන ධාන්‍ය, දේපළ වස්තු ආදියෙන් දියුණු වෙලා. ඒ වගේම සිල් රකිනවා, දන්පැන් පූජා කරනවා, ධර්මය අහනවා කියලා අහන්න ලැබෙනවා. එතකොට මේ යාළුවගෙ හිතේ විශාල සතුටක් උපදිනවා, තමන්ගේ යාළුවෝ ජීවිතයේ ඇතිකර ගත් දියුණුව ගැන…

“අවණ්ණං භණමානං නිවාරේති” – කවුරුහරි තමන්ගේ මිත්‍රයාගේ අගුණ කියනවා නම් එයා ඒක වළක්වනවා. තමන්ගේ මිත්‍රයාගේ ගුණ ම කියනවා. අපහැදීම දුරු වෙන විදිහට කරුණු කියනවා. ඒ වගේ ම, තමන්ගේ මිත්‍රයාට ප්‍රශංසා කරන කෙනාට ප්‍රශංසා කරනවා. මේ විදිහට තමන්ගේ මිතුරා ධන ධාන්‍යයෙන් දියුණු වීම වගේ ම යහපත් ගුණයෙන්, සීලයෙන් දියුණු වීම ගැන සතුටු වෙනවා. තම මිත්‍රයා ගැන පැතිරෙන කීර්ති ඝෝෂාව අහන්න සතුටු වෙනවා. මේ තමයි තමන්ගේ මිතුරා ගැන අනුකම්පාව දක්වන යාළුවගේ ස්වභාවය.

භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ යහපත් මිතුරන් හතර දෙනාම, “සක්කච්චං පයිරුපාසෙය්‍ය මාතා පුත්තං’ව ඕරසං” – අම්මා කෙනෙක් තම වැදූ දරුවා ව ඇසුරු කරනවා වගේ සකස් කොට ඇසුරු කරන්න කියලා. ඇත්තෙන්ම මෙබඳු මිත්‍රයන් ඇසුරු කරන කෙනාට මෙලොව පරලොව යහපත උදා වෙනවා කියන දේ ඒකාන්තයෙන් ම සිද්ධවෙන දෙයක්. එහෙම වෙන්නේ මේ මිත්‍රයා තම මිත්‍රයා ව යහපතේ, කුසලයේ සමාදන් කරවන නිසා – පවින් වළක්වන නිසා… වර්තමානයේ මිතුරු වෙසින් සිටින හෝ මිතුරන් නිසා විනාශ වෙන – බොහෝ දුකට පත් වන, අකාලයේ මෙලොව හැර ගිය ජීවිත ගැන ඕනෑ තරම් විස්තර අහන්න ලැබෙනවා. අපි අප ලද මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය එබඳු මිතුරන් නිසා විනාශ වන්නට නොදී රැක ගන්න ඕන.

භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් වදාළ මෙබඳු උතුම් දේශනා ඒ සඳහා අපට මඟ පෙන්වනවා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් දේශනා හොඳින් ඉගෙනගෙන, එතුළින් අපේ ජීවිතවලට මෙලොව පරලොව යහපත පිණිස උපකාර කරන යහපත් ගුණවත් මිතුරන් තෝරාගෙන ඇසුරු කරන්න අප සැමට වාසනාව උදා වේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි