ඇසළ පුන් පොහෝ දිනයක අපගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් ධර්මචක්‍රය ප්‍රවර්තනය කළ සේක. එය ලෝකයෙහි කිසිදු ශ්‍රමණබ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලොවෙහි අන් කිසිවෙකුට ආපස්සට කැරකවිය නොහැක. එනම් භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙය එසේ නොවේ යැයි පැවසිය නොහැක.

එයට හේතුව කුමක්ද? මේ ලිපියෙන් ඒ ගැන ධර්මානුකූල විග්‍රහයක් සිදු කෙරේ.

දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ, “පින්වත් මහණෙනි, දැහැමි වූ ධාර්මික රජෙක් වූ සක්විති රජුත්, රජෙක්ගෙන් තොරව රට පාලනය නොකරයි.” සක්විති රජ යනු මුළු පෘථිවියට ම එක ම රජු බැවින් ඔහුටත් ඉහළින් සිටින රජු කවුරුන්දැයි දැනගැනීමට සංඝයා කැමති විය. “මහණෙනි, සක්විති රජුට ඉහළින් ඉන්නා රජු ‘ධර්මයයි.’ මහණෙනි, සක්විති රජු ධර්මය ඇසුරු කරගෙන, ධර්මයට ගරු කරමින්, ධර්මය ම පුද දෙමින්, ධර්මය ධජය කරගෙන, ධර්මය ම මුදුන් කරගෙන, ධර්මය ම අධිපති කරගෙන, මාලිගාව ඇතුලේ පිරිසටත්, රාජ පිරිසටත්, බ්‍රාහ්මණ පිරිසටත්, ගෘහපති පිරිසටත්, ජනපදවාසීන්ටත්, ශ්‍රමණ පිරිසටත් පමණක් නොව සතා සිවුපාවට පවා දැහැමි රැකවරණය සලස්වනු ලැබෙයි. ධර්මයට අනුව නියෝග, තීන්දු තීරණ ගනු ලබයි. එනිසා සක්විති රජුගේ තීරණයක් වැරදී කියන්න කිසිදු මනුස්සයෙක්ට නොහැක. සක්විති රජුගේ ආඥා චක්‍රය ම ආපස්සට කරකවන්නට නොහැක්කේ ඒ නිසා ය. එනම්, ධර්මානුකූලව තීන්දු, තීරණ, ප්‍රකාශ නිකුත් කරන නිසා ය.

ආනුභාව සම්පන්න මාණික්‍ය හතකින් යුක්තව, දහසක් ධීර වීර පුත්‍රයන්ගෙන් යුක්තව, මුළු පෘථිවියට ම එකම අධිපතිව සිටියදීත්, සක්විති රජු රාජබලය ගෙන තීරණ ගන්නේ නැත. මෙය පින් ද? පව් ද? කුසල් ද? අකුසල් ද? යහපතක් ද? අයහපතක් ද? තමාටත් අන් අයටත් හිතසුව පිණිස පවතී ද? සත්පුරුෂයන්ගේ ගැරහීමට ලක් වේ ද? මේ ආදී වශයෙන් ලොව පවතින සනාතන ධර්ම සිහිකොට තීරණ ගනී. ඡන්දයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, භයෙන් අගතියට නොයා තීන්දු තීරණ ගනී. සතා සිවුපාන්ට පවා දැහැමිවම කටයුතු කරයි. ධර්මානුකූල බැවින් සක්විති රජුගේ ආඥා චක්‍රය නොඑසේනම්, ව්‍යවස්ථාව ලොව කිසිදු මනුස්සයෙකුට හෝ කණ්ඩායමකට, සේනාවකට වෙනස් කළ නොහැක.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැහැමි ව දම්රජ ව සිට ධර්මය ම ඇසුරු කරමින්, ධර්මයට ම සත්කාර කොට, ධර්මයට ම ගරු කොට, ධර්මය ම පුදමින්, ධර්මය ම ධජය කොටගෙන, ධර්මය ම මුදුන් කොටගෙන, ධර්මය ම අධිපති කරගෙන මෙවැනි කායික ක්‍රියා කළ යුතු ය, මෙවැනි කායික ක්‍රියා නොකළ යුතු ය වශයෙන් කය පිළිබඳ දැහැමි රැකවරණය සලස්වනු ලබන්නේ ය. වචනය පිළිබඳව, මනස පිළිබඳව මෙසේ කළ යුතු ය – මෙසේ නොකළ යුතු ය වශයෙන් දැහැමි පැනවීම් සිදු කරනු ලබන්නේ ය. මෙසේ තථාගතයන් වහන්සේ සේවනය කළ යුතු, නොකළ යුතු දේ පනවන්නේ විස්තර කරන්නේ බුදුරජ බව නිසා නොවේ. අගතියක් නිසා නොවේ. අමනාපයකින් නොවේ. ධර්මය දිහා බලමින් ය. එසේ කරන්නේ ලොවෙහි යහපත් අයහපත් යැයි යමක් පවතී ද පින් පව්, කුසල් අකුසල් යැයි යමක් පවතී ද අන්න ඒ දේ සම්බුදු නුවණින් දැනගෙන දැකගෙන මෙසේ කළොත් මෙසේ වන්නේ ය, මෙසේ නොකළොත් මෙසේ වන්නේ ය යනුවෙන් ධර්මය දැනගෙන, දැකගෙන මේ දස කුසල්, දස අකුසල් දේශනා කළ සේක. එබැවින් භාග්‍යවතුන් වහන්සේගේ බුදු මුවින් පිටවෙන දේශනාව, ධර්ම චක්‍රය, දෙවියන් මරුන් බඹුන් සහිත ලොවෙහි කිසිවකුට වෙනස් කළ නොහැක. ධර්මචක්‍රය ආපස්සට කැරකවිය නොහැක. එසේ නොවේ යැයි කිව නොහැක. මක් නිසා ද යත් උතුම් බුද්ධ වචනය හුදෙක් බුදු කෙනෙකුගේ අත්තනෝමතික පැනවීම නොවන නිසා ය. හිතලු නොවන නිසා ය. බුද්ධ වචන යනු ලොවෙහි පවතින සැබෑ තත්ත්වය පිළිබඳව සත්‍ය දේශනාවකි. සැබෑ සත්‍යය එසේ නොවේ යැයි කිව හැක්කේ කාට ද? යමෙක් එසේ කීවත්, එපමණකින් ම සත්‍යය වෙනස් වේ ද? ගඟක් පහළට ගලද්දී ඇස් ඇති දන්නා දකිනා අයෙක් මේ දිය දහර පහළට ගලා බසී යැයි කියයි. අනෙක් සියලු දෙනා එය එසේ නොවේ යැයි හඬ නඟත්. ඒත් දියදහර පහළට ම ගලා බසී. ඇස් ඇති පුරුෂයාගේ වචනය යනු තියෙන දේ පිළිබඳව සත්‍ය වූ ම ප්‍රකාශයක් බැවින් එය වෙනස් කළ නොහැක. රටක ව්‍යවස්ථාව කාලයෙන් කාලයට සංශෝධනය වන්නේ කිම. එය පුද්ගලයකුගේ හෝ සමූහයක පැනවීම බැවිනි. එය කාලය අනුව, පක්ෂ බලය අනුව, රට අනුව වෙනස් වේ. එය සමූහයකට එක්ව වෙනස් කළ හැක. හේතුව ඒවා පුද්ගල ප්‍රතිබද්ධ පැනවීම් පමණි. එහි ඇත්තේ නීති රෙගුලාසි විනා ලොවෙහි ඇති සත්‍යය නොවේ. සත්‍යය යනු වෙනස් නොවන දෙයකි. භාග්‍යවතුන් වහන්සේ නොකළ යුතු කායික ක්‍රියා පෙන්වා වදාළ සේක. මූලික වශයෙන් ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය මේවා අකුසල් ය. පාපය රැස් වන්නේ ය. ඉතින් දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයම එක් පසෙකට වී ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය තුළින් අකුසල් සිදු නොවේ, පව් රැස් නොවේ කියා තීරණයක් ගත්ත ද බුද්ධ වචනය වෙනස් වේ ද? නැත. පව පව ම ය. අකුසලය අකුසලය ම ය. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම කුසලයකි. පිනකි. සකල ලෝකයාම එය පවක් කීවත් බුද්ධ වචනය වෙනස් නොවේ. මක් නිසා ද යත් පව ම පව් වශයෙන්, පින ම පින වශයෙන්, අකුසලය ම අකුසල් වශයෙන්, කුසලය ම කුසලය වශයෙන් ඇත්ත ඇති සැටියෙන් ම දේශනා කිරීම බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය යි. එය ආපස්සට කරකවන්නේ කෙසේ ද? මේ අයුරින් බොරුව, කේළම, පරුෂ වචනය, හිස් වචනය භාග්‍යවතුන් වහන්සේ අකුසල් වශයෙන් වදාළ සේක. ලෝකයා ම එය කුසල් කිව්වත් එය කුසල් නොවේ. අකුසලය කොයි කාලයකත්, කොතැනකත්, කොයි රටෙත් අකුසලය ම යි. බොරු කීම කොයි රටක සිට කවුරු කිව්වත් අකුසල් ම ය. සක්වළින් කෙළවරේ සිට කිව්වත් බොරුව අකුසල් ම ය. බුද්ධ වචනය සක්වළින් සක්වළටවත් වෙනස් කළ නොහැක. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක තියෙන පිවිතුරු බව. ආනුභාවය. තේජස. එය ධර්ම චක්‍රය යි. සිතින් වන අකුසල් තුනක් තිබේ. අනුන්ගේ දෙයට ලෝභ කිරීම අභිජ්ඣාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය එය අකුසල් බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය කිසිදු අයුරකින් කාටවත් නැතැයි කීමට නොහැක. වෙනස් කළ නොහැක. පින් පව් ගැන, කුසල් අකුසල් ගැන, යහපත අයහපත ගැන, සේවනය කළ යුතු, නොකළ යුතු දේ ගැන, භාග්‍යවතුන් වහන්සේ වදාළ බුද්ධ වචනය කවදාවත් වෙනස් නොවන සනාතන සත්‍ය දහමකි. එබැවින් ධර්මයේ විස්තර වන කරුණු “එහෙම කීවට මෙහෙමත් එකක් තියෙනවා.” කියලා අද කාලයේ හැටියට අපට වෙනස් කරගත නොහැක. එයින් සිදුවන්නේ තමා හෝ ලෝකයා රැවටීම පමණි. පින් පව් වෙනස් වන්නේ නැත. අපට එන විදිහට ධර්මය ගැනීම දහමේ හැසිරීම නොවේ. දහමට අනුව අපේ ජීවිත ගොඩනගා ගැනීම දහමේ හැසිරීමයි. අප ළඟට දහම එන්නේ නැත. දහම ළඟට අප යා යුතු ය.

මේ විග්‍රහය යම් කෙනෙකුට වැටහුනේ නම් බුද්ධ වචනය ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වීම කාටවත් වැළකිය නොහැක. අංගුත්තර නිකායේ තිබෙන මෙම දහම් පරියාය අතිශය මිහිරියි. බුද්ධ වචනය කොතරම් සත්‍යයක් ද යත්, අප්පතිවත්තික දහමක් ද යත් අපගේ ශාස්තෘන් වහන්සේ දහම් දෙසද්දී දසදහසක් ලෝක ධාතුව කම්පා වී සාක්ෂි දුන් සේක.

පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ.