සැබැවින් ම මේ සසර ගමන ඛේදනීය යි. ඒ වගේ ම ශෝචනීය යි. අතීතයේ ඔබත්, මමත් නිරයේ ගිනිදැල්වලින් පිළිස්සුණු විට නැගූ දුක් අඳෝනා සුළඟේ පාවී ගොස් අමතක වුව ද මේ වන විටත් නිරයේ ගිනිදැල් මැද අඬනා අසරණයන්ගේ දුක් අඳෝනාව අපට නොඇසෙන්නේ ඇයිදැයි සිතනු මැනවි. ඔබට සිතේවි නිරය ගොඩාක් ඈත තිබෙන නිසා වෙන්නැති කියා. නමුත් ඔබේත්, මගේත් සිතේ අකුසලයක් පවතින මොහොතක අපේ ජීවිතය අවසන් වූවොත් හිසේ තිබෙන බරක් බිම තබන්නේ යම් වේගයකින් ද එලෙසින් ම අප ද නිරයට වැටෙනු ඇත. ඒ තුන්ලොව දිනූ සම්බුදු සමිඳුන් දුටු දේ ය. එසේ නම් අප සිටින්නේ දියුණුවේ හිණිපෙත්ත ළඟ නොව නිරයේ අබියස බව කීවොත් එය කොතරම් සත්‍යයක් ද?

ඔබත්, මාත් තිරිසන් ලොව පූස් පැටියෙක් ව උපන් ආත්මවල අපව වැදූ පූස් අම්මා ම අපව මරා කා දැමූ අවස්ථා අනන්තවත් ය. හා පුංචෙක් වටපිට බල බලා උඳුපියලිය ටිකක් කා කුසගින්න නිවාගන්නේ කෙතරම් බියකින් ද? මුව පොව්වෙක් සැනසිල්ලේ වතුර ටිකක් බොන දවසක් තියේවි ද? ගෙවෙන තප්පරයක් පාසා බියෙන් දිවි ගෙවන තිරිසන් ජීවිත කීයක් අපි පසුකර ඇත්ද? මොහොතක් සිතන්න, නපුරු සතෙකුගේ දැක්මෙන් බිය වී පලා ගිය අපි අන්තිමට පැරදී ඒ උල් දත්වලින් පහර කමින් වෙනත් සතෙකුගේ ආහාරයක් බවට පත්වෙන විට දැනුනු බිය හා වේදනාව, දුක අමතක කර කාමයන්ට වසඟව කෙලෙසුන්ට අවනතව ජීවත් වී යළිත් එවන් දුකක් මතු ජීවිතවලත් උරුම කර ගන්නෙමු ද?
පෙරේත ලොව සිටියදා කුසගින්න දරාගත නොහැකිව තමන්ගේ ම දරුවන්ගේ සිරුරට රිංගාගෙන බඩවැල්වල පිරුනු අශූචියෙන් කුසගින්න නිවාගන්නට ගත් වෙහෙස අද මතක නැති වූවාට සම්බුදු සමිඳුන් වදාළ සත්‍ය නම් එවන් ජීවිත සසරේ අපට නිතර ලැබුණු නවාතැන් බවයි. එනම්, සතර අපාය සත්වයාගේ මහගෙදර බවයි.

හොඳින් සිතා බලන්න, යළි යළිත් මෙවන් දුක් විඳින සසර ම උරුම කර ගන්නවා ද? එසේ නැත්නම් දුලභව ලද සම්බුදු සසුනේ පිහිට ලබා සියලු දුක් නිමා කර ගන්නවා ද? ඔව්… අපට යමක් තේරුම් ගන්නට පුළුවන් නුවණක් තිබෙන නිසා දැනේවි, තේරේවි ‘අපෝ මෙවන් දුක් මට නම් එපා’ කියා. ඒත් පින්වත, අප අකමැති වූ පමණින් සසර දුක් නැති වන්නේ නම් – අප කැමති වූ පමණින් නිවනට යන්නේ නම්, ලොව කවර දෙයක් නම් පැතීමෙන් නො ලැබී තියේවි ද? එනිසා අපට තිබෙන එක ම පිහිට වන්නේ අප සරණ ගිය තිලෝ දිනූ ගෞතම මහ මුනිඳාණන් මහා ප්‍රඥාවෙන් යුතුව, අනන්ත කරුණාවේ දෑස් යොමා තිළිණ කළ, සියලු දුක් නිමා කරන අමිල නිමල සුපිරිසිදු සදහම් නිධානය පමණක් ම ය.

එබැවින් භාග්‍යවතුන් වහන්සේ වදාළේ තමාව පිහිට කර ගන්නා ලෙසත් (අත්ත සරණා), ධර්මය පිහිට කර ගන්නා ලෙසත් (ධම්ම සරණා) ය. ඉතින් ඒ සදහම් නිධානය තමා තුළින් ම මතුකර ගත යුතු නිසා සද්ධර්මය ඕපනයික ගුණයෙන් යුක්තයි. තම තම නැණ පමණින් ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ඒ ධර්මය සතළිස් වසරක් පුරා අව් වැසි නොබලා, බඩගින්න පිපාසය ගැන නොසිතා දේශනා කරමින්, අසරණ සත්වයන්ගේ දුකෙන් පිරුණු ඒ සසර සයුර තුළ මහා වීරියෙන් යුතුව සදහම් නෞකාවක්; එසේත් නැත්නම් සදහම් නගරයක් බිහි කළ බුද්ධ රාජ්‍යයේ අගරජු වන ගෞතම මහ මුනිඳුන්ට අපගේ වන්දනාව වේවා…!

වෙසක් පුන් පොහෝ දවසක මනුලොව පහළ වී, වෙසක් පුන් පෝ දවසක ම සම්බුදු බවට පත් වී, වෙසක් පෝ දිනයක ම පිරිනිවනට වැඩි අපගේ ශාස්තෘන් වහන්සේ තම තමන් තුළ ම ධර්මය පුරුදු කරගෙන සසර ගමනේ නිමාවක් දකින්නට තමන් තුළ ම දහම් නගරයක්; එසේත් නැත්නම් දහම් දිවයිනක් පිළියෙල කර ගන්නා ආකාරය නගරයක් උපමා කර ගනිමින් වදාළ සේක. දැන් ඔබට තිළිණ කරන්නේ එසේ නගරයක් උපමා කරගෙන වදාළ නගරූපම සූත්‍රය යි.

එදා දෙව්රම් වෙහෙරේ දී අප සම්බුදු හිමියන් ළඟ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාටයි මේ සුන්දර ධර්මය වදාළේ. සතුරන් මැඩලූ, බිය සැක නැති, මනා ආරක්ෂාවකින් යුතු රාජ්‍යයක ආරක්ෂක අංග හතක් තිබිය යුතු ය. එසේ ම නගර වැසියන්ගේ සැප විහරණය පිණිස ආහාර වර්ග 4ක් ද තිබිය යුතු ය. පුරාණ නගරවල ආරක්ෂාව පිණිස නගරයේ (ඒසිකා ස්ථම්භයක්) බොහෝ උසට පිහිටවූ ගල් කණුවක් තිබිණ. ඒ කණුව උඩට නැගි විට ඈතින් සතුරන් එනවා නම් හඳුනාගන්නට පුළුවන. නගරය වටේට ම මනා දිග පළලට සෑදූ දිය අගලක් තිබිය යුතු ය. සතුරන් නගරයට ඇතුල් වීම වළක්වන්නට දිය අගල බොහෝ ප්‍රයෝජනවත් ය. තුන්වෙනි ආරක්ෂිත අංගය වන්නේ අනුපරියාපථය හෙවත් නගරය වටේට ම යා හැකි පාර ය. ඒ වගේ ම හොඳ ආයුධ ගබඩාවකුත් තිබිය යුතු ය. ඒ හතරවෙනි කරුණ යි. පස් වෙනි කරුණ නම් හොඳින් පුහුණු වූ, දක්ෂ, බිය නැති හමුදාවක් සිටීම යි. එය නගරයේ ආරක්ෂාවට බලපාන ප්‍රධාන අංගයකි. ඒ වගේ ම නගරයට ඇතුල්වෙන දොරටුව ළඟ ඉන්නා දොරටු පාලකයා හොඳ නුවණැත්තෙක් විය යුතු ය. නගරයට ඇතුල්වන, පිටවන අය ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නා, මිතුරු වේශයෙන් එන සතුරන්ව පලවා හරිනා නුවණැති දොරටු පාලක නිලධාරියා නගරයේ ආරක්ෂාව වෙනුවෙන් විශාල වගකීමක් දැරිය යුතු ය. නැත්නම් එක හතුරෙකුට වුව ද විශාල හානියක් කරන්නට පුළුවන. නගරයේ හත්වෙන ආරක්ෂිත අංගය වන්නේ නගරය වටේට ම තිබෙනා විශාල තාප්පය යි. මීයෙකුට බළලෙකුටවත් රිංගන්නට බැරි ආකාරයේ තාප්පයක් නගරයේ ආරක්ෂාවට ලොකු උපකාරයකි.

ඉතිං මේ ආරක්ෂිත කරුණු හතත් සමඟ නගරවැසියන්ට ප්‍රීතියෙන් සතුටින් ඉන්නට හේතුවන ආහාර වර්ග හතරක් ද තිබිය යුතුයි. ඒවා නම්, සහල් යව වැනි ධාන්‍ය, තල මුං වැනි සෙසු ආහාර, දර දිය සහ ගිතෙල් වෙඬරු මී පැණි වැනි බෙහෙත් වර්ග ය. ඉහතින් සඳහන් කළ ආරක්ෂිත අංග හතත්, ආහාර වර්ග හතරත් තිබෙයි නම් කිසිම සතුරෙකුට එම නගරය ආක්‍රමණය කළ නො හැකිවා සේ ම නගරවැසියන්ටත් බියක් සැකක් නැතුව පහසුවෙන් සතුටින් වාසය කිරීමට පුළුවන.

බුදුරජාණන් වහන්සේ වදාළේ නගරයේ ආරක්ෂාවට හේතු වුණු කරුණු හත සේ ම තමාගේ ජීවිතය නම් වූ නගරය; එසේ නැත්නම් සිත, අකුසල් නමැති සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට උපකාරක වන කරුණු හතක් තිබෙන බවත් – නගරවැසියන්ගේ සැපයට හේතුවන ආහාර වර්ග හතර සේ ම ශ්‍රාවකයාගේ සතුටට ප්‍රීතියට හේතුවන ආහාර හතරක් තිබෙන බවත් ය.

නගරයේ ආරක්ෂාවට හේතු වුණ ඒසිකා ස්ථම්භය මෙන් ශ්‍රාවකයාගේ සිත අකුසලවලින් වළක්වා ගන්නට හේතුවන මූලික අංගය ශ්‍රද්ධාව යි. නගරයක ඒසිකා ස්ථම්භය බොහෝ උස්වන තරමට ඈත දී ම සතුරන් හඳුනාගත හැකි සේ තමන්ගේ ශ්‍රද්ධාව බලවත් වන තරමට තමන්ට අකුසල් දුරුකර කුසල් උපදවා තමා තුළින් ම දුක් සහිත සසර සයුරේ ධර්මයෙන් නිර්මිත දහම් දිවයිනක් සකසා ගත හැකි ය. ඒ නිසා ශ්‍රද්ධාව දශමයෙන් දශමය හෝ දියුණුකර ගැනීමට අප උනන්දු විය යුතුයි.

නගරයේ ආරක්ෂාවට හේතු වුණ දෙවැනි කරුණ වූ දිය අගල සේ තමන්ගේ දහම් දිවයින කෙලෙස් සැඩපහරට හසු නොවන්නට උපකාරී වන්නේ පවට ඇති ලැජ්ජාව යි. ‘මං භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්, මේ වගේ දේවල් කරන එක, කියන එක, සිතන එක මට ගැළපෙන්නේ නෑ’ කියා අකුසල් ඇති වන විට සිහි කළ යුතුයි. ඒ විදිහට හිතන වාරයක් පාසා උදැල්ලෙන් පස් ටිකක් කපා දිය අගලක් කපනවා සේ තමන් කෙලෙස් සතුරන්ට ගොදුරු නොවන අයුරින් පවට ලැජ්ජාව නම් කුසලය සිත තුළ වැඬේ.

පවට ඇති බිය නගරයේ ආරක්ෂාවට හේතු වන, පවුර වටා යා හැකි පාර වැනි යැයි බුදු සමිඳුන් පෙන්වා දුන් සේක. ‘මේ වගේ අකුසල් සහගත දේවල් සිතුවොත්, කිව්වොත්, කළොත් මට මෙලොවත් පරලොවත් දුක් විඳින්න වේවි’ යි කියා සිතමින් අකුසල් ඇතිවෙන විට පවට භය නම් වූ අනුපරියාපථය සකස්කර ගත යුතුයි. නගරය වටේට යන්නට තිබෙන පාරේ කටු ලැහැබ් සුද්ද කරන අයුරින් පවට භය ඇතිවන විදිහට ම අප මෙනෙහි කළොත් පවට භය නම් වූ කුසලය තමන්ගේ මනසේ වැඩී යාවි.

භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි නගරයේ ආරක්ෂාවට ආයුධ ගබඩාවක් තිබිය යුතු සේ කෙලෙස් යුද්ධය ජයගැනීමට තමන් සතුව හොඳ දහම් දැනුමක් (බහුශ්‍රැත) තිබිය යුතු ය. යුද්ධයක් කරද්දී ආයුධ දිරා ඇති නම්, මුවහත් නැති නම්, පිළිවෙළකට නැති නම් යුද්ධය කිරීම පහසු නැත. ආයුධ ගබඩාව මනා කොට පවත්වාගෙන යා යුතු ම ය. එසේ ම කෙලෙස් සටන ජයගැනීමට නම් භාග්‍යවතුන් වහන්සේගේ නිමල දහම මනා කොට දරාගෙන, මතක තියාගෙන, නැවත නැවත මෙනෙහි කරමින් අර්ථ වටහා ගැනීමට උත්සාහ කළ යුතු වේ.

නගරයේ ආරක්ෂාවට උදව් කරන ආරක්ෂක හමුදාව පස්වෙනි අංගය යි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ තමන් තුළ දහම් දිවයිනක් ගොඩනගා ගැනීමට හේතුවන පස්වෙනි කාරණය පටන්ගත් වීරිය බව යි. ආරක්ෂක හමුදාව කම්මැලි නම්, නිතර පුහුණු වෙන්නේ නැති නම් රජු සතුරාට ගොදුරු වෙනවා සේ තමන් තුළ අකුසල් දුරුකිරීමට – කුසල් වැඩීමට බලවත් වීරියක් නැති නම් අකුසලයට ම ගොදුරු වීමට සිදු වේ.

නගරයේ ආරක්ෂාවට හේතුවන ප්‍රධාන වගකීම උසුලන්නේ දොරටු පාලකයා ය. ඔහු නිදි නම්, කම්මැලි නම්, හතුරා මිතුරා තේරුම් ගන්නට නුවණ නැති නම් ඒ රාජ්‍යය අල්ලා ගන්නට සතුරාට ඉතා පහසු ය. ඒ අයුරින් තම ඉන්ද්‍රියයන් හය ළඟ සිටින සතිය නම් දොරටු පාලකයා අකුසල්වලට ඉඩදෙනවා නම්, කුසල් අකුසල් අඳුරන්නේ නැති නම් තමන් කෙලෙස් සටන පරදිනවා ම ය. ඒ නිසා ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගනිද්දී කුසල් අරමුණු පමණක් ගෙන, අකුසල් නොගෙන සිටින විදියේ බලවත් සිහියක් පැවැත්විය යුතුයි. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ දොරටු පාලකයා සතියට (සිහියට) උපමා කළේ.

නගරයේ ආරක්ෂාවට හේතුවන හත්වෙනි කරුණ වූයේ නගරය වටා ඇති පවුර යි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ දහම් දිවයිනේ ප්‍රාකාරය ප්‍රඥාව කියා යි. ප්‍රඥාව නම් වූ ප්‍රාකාරය වටේට ම උසට විශාල ව හදා ගත්තොත් අකුසල් නමැති සතුරන්ට ජීවිතය නම් වූ නගරයේ සිත නම් වූ නගර ස්වාමියාට කිසි අනතුරක් කළ නො හැකි ය.

මේ ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට භය, දහම් දැනුම, වීරිය, සතිය, ප්‍රඥාව යන අංග හත තමන්ගේ ජීවිතය (සිත) තුළ දියුණු කර ගතහොත් දසමාර සේනාවට, පංච නීවරණයන්ට, සංයෝජන, තණ්හා, මාන ආදී කිසිම කෙලෙස් සතුරෙකුට තමාව යටත් කළ නො හැකි ය. එනිසා අපි මේ ගුණධර්ම හත දියුණු කිරීම කරගැනීම කැමති විය යුතුයි.

මේ විදිහට අකුසලයන්ගෙන් සිත ආරක්ෂා කරගත් සම්බුදුරජුන්ගේ ශ්‍රාවක දරුවා ප්‍රීතියෙන් සිටින්නේ සමාධි සුවයෙන් ය. බුදුරජාණන් වහන්සේ වදාළේ නගරවැසියන්ට ප්‍රීතියෙන්, සතුටින් සිටින්නට ආහාර වර්ග හතරක් තිබෙනවා සේ සම්බුදු සසුන් කෙතේ වැඩෙන ශ්‍රාවක දරුවා පළමුවෙනි ධ්‍යානය, දෙවන ධ්‍යානය, තුන්වන ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය යන ධ්‍යාන උපදවාගෙන සතුටින් සිටින බව ය. එවිට මාරයාගේ ඇස්වලට වැලි ගැහුවා බඳු නිසා ශ්‍රාවකයාට කිසිම අනතුරක් කළ නො හැකි ය.

නමුත් අද බොහෝ දෙනෙක් බණ භාවනාවට බොහෝ උනන්දු වුව ද සාර්ථක ප්‍රතිඵලයක් නෙළා ගන්නට අසමර්ථ වන්නේ සිතේ ආරක්ෂාවට හේතුවන මුල් අංග හත ගැන නො සිතා, ඒවා දියුණු කරන්නට මහන්සි නො වී භාවනාවට විතරක් ම තැන දීම නිසා ය. ඒ නිසා බණ භාවනා දියුණුකර ගන්නට, සමාධි ධ්‍යාන උපදවා ගන්නට, මග ඵල සාක්ෂාත් කරගන්නට ආසා කරන හැමෝම මුලින් පෙන්වා දුන් ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, ශ්‍රැත, වීරිය, සතිය, ප්‍රඥාව යන අංගයන් හොඳින් දියුණු කරගන්නට මහන්සි විය යුතු ය. ඒවා දියුණු කරගන්නටත් බණ භාවනා කළ යුතු ය. එවිට පැමිණි දීර්ඝ සසර සයුර තරණය කර නිවන නම් වූ දූපතට ටිකෙන් ටික ළඟා විය හැකි ය.

“උට්ඨානේනප්පමාදේන
සඤ්ඤමේන දමේන ච
දීපං කයිරාථ මේධාවී
යං ඕඝෝ නාභිකීරති”

“බුද්ධිමත් ශ්‍රාවකයා වීරියෙන් නැගී සිටිමින් අප්‍රමාදයෙන් යුක්ත වෙනවා නම්, සංවර වෙනවා නම්, දමනය වෙනවා නම්, කෙලෙස් සැඩ පහරට යට වෙන්නෙ නැති ඒ අමා නිවන නමැති දිවයින ඒ තුළින් ම යි ඔහු හදාගන්නෙ.”

(ධම්මපදය – අප්පමාද වර්ගය)

ඇසුර – නගරූපම සූත්‍රය, අං. නි. 4

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි