නොසිතූ ලෙසට, සිදුවන්නේ ම වෙනකකි

තමන්ගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තාම මවක් ඒ ගැන කොයි තරම් සතුටු වෙනවද? තමන්ගේ පිළිසිඳ ගත් දරුවා නිදුකින් බිහි කිරීම ගැන ඒ අම්මා කොයි තරම් සිහින මවනවද? ඇයත් ඒ විදියට ම සතුටු වුණා. ඒ විදියට ම සිහින මැව්වා. ඇය තමයි සුප්පාවාසා.

මව්කුසක පිළිසිඳගන්න දරුවෙක් සාමාන්‍යයෙන් නවමසක් දසමසක් ඇතුළත ඒ අම්මාගේ කුසින් මෙලොවට බිහිවෙනවා. ඒත් සුප්පාවාසාට වුණේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. ඇයගේ කුසෙත් දරු සිඟිත්තෙක් පිළිසිඳ ගත්තා. ඔහු නිදුකින් වැඩෙන බව ඇයට දැනෙනවා. දින සති ගෙවී ගියා. නවමස දසමස එළඹුනා. එහෙත් ඇයගේ දරුවා බිහිවුණේ නෑ. නිරෝගීව දරුවා කුසේ ම වැඩෙනවා.

සුප්පාවාසා කෝලිය වංශික රාජ දියණියක්. විවාහක කාන්තාවක් වී තම පළමු පිළිසිඳගැනීමේ දී ම, කිසිදු කාන්තාවකට සිදු වූවා කියා අසාවත් නැති, සිදු වේවි කියා සිතන්නේවත් නැති දේකට තරුණ වියේ සිටි ඇයට මුහුණ දෙන්නට සිදු වුණා. වාර්තාගත ඉතිහාසය තුළ ඇත්තෙන් ම මෙතරම් කලක් මවක් දරුගැබක් දරා සිටි වෙනත් පුවතක් ඇත්තේ නෑ. ඇයට ඒ දරු පැටියාව අවුරුදු හතක් ම දරා සිටින්ට සිදු වුණා.

අර්බුද අර්බුද අර්බුද….

ඔය වගේ හිතන්නේවත් නැති විදියට, හිතන්නේ නැති වෙලාවට නොයෙක් අර්බුද කඩාපාත් වීම මේ ජීවිතේ ගත කරද්දී හැම දෙනෙක්ට ම වගේ මුහුණ දෙන්නට සිදු වෙන දෙයක්. ඇතැම් අර්බුද හට ගන්නේ ස්වභාවික විපර්යාස නිසා. ඇතැම් ඒවා හදිසි අනතුරු නිසා. ජීවත් වෙන සමාජ වටපිටාවේ ඇතැම් මිනිසුන් නිසාත් තව අර්බුද ඇති වෙනවා. ඇතැම් අර්බුද උපදින්නේ අමනුෂ්‍යයන්ගෙන්. තවත් තියෙනවා කර්ම විපාක විපාක නිසා ඇතිවෙන අර්බුද. මේ මේ විදියට සජීව දේවල් නිසා වේවා, අජීවී දේවල් නිසා වේවා, මිනිසුන් නිසා වේවා, නොමිනිසුන් නිසා වේවා, කර්ම විපාක නිසා වේවා මේ සසරේ යන ජීවිතවලට නා නා ප්‍රකාර අර්බුද ඇතිවෙනවා.

සාමාන්‍යයෙන් අර්බුද ඉදිරියේ දකින්න ලැබෙන්නේ මිනිස්සු ශෝක කරන එක, වැලපෙන එක, සුසුම් හෙළන එක, පපුවේ අත්ගහමින් කෙහෙවලුු කඩාගෙන යන එක, උමතුවෙන එක, සියදිවි හානි කරගන්ට පෙලඹීම වගේ දේවල්. ඊළඟට “අප්පේ! උදේ හවා මල් පහන් තියාන, බුදුන් වැඳගෙන, බෝධි වන්දනා කරගෙන,.දන්පැන් පුදාගෙන ඉන්න අපිට ම ඇයි මේවා වෙන්නේ….” කිය කියා වැලපෙන කොට්ඨාසෙකුත්
දකින්ට ලැබෙනවා.

මෙහෙමත් කර්ම විපාකයක්…

ජීවිතේට එන ඔය නොයෙක් අර්බුද අතරේ සුප්පාවාසාට ආවේ කර්ම විපාකයක්. ඇයට තමන් විසින් ම සසරේ කරගත්තු දේකට විපාකය තරුණ වියේ ම විඳවන්ට සිදුවුණා.

ඈත අතීතයේ බරණැස්පුරේ ඇය උපන්නේ රජ කුලයක. යොවුන් වියේ බරණැස් රජු හා විවාහ වී ඇය බරණැස් රජුගේ අගමෙහෙසිය බවට පත් වුණා. ඇගේ කුසින් උපන්නා පුත් කුමාරයෙක්. පියරජුගේ ඇවෑමෙන් ඒ පුත් කුමාරයා රජ වුණා. ඔය රජු කල්පනා කළා තවත් රාජ්‍යයක් අල්ලාගන්ට.

ඒ රාජ්‍යයේ රජාට පණිවිඩයක් යැව්වා. “එම්බල රාජය, ඔය රාජ්‍යය මට දෙනු. නැතිනම් යුද්ධයට සැරසෙනු” කියලා. ඒ රජා බරණැස් රජුට පිළිතුරු එව්වා, “තොපට රාජ්‍යය නොදෙමි. තොපට දෙන්නේ යුද්ධයයි” කියලා. ඉතිං මේ රජු තම මෑණියන්ට ඔය කාරණේ දැනුවත් කළා. ඒ වෙලාවේ මව් බිසොව මෙහෙම උපදෙසක් දුන්නා.

“පුතණ්ඩ, ඔය රජා එක්ක යුද්ධ කිරීමෙන් ඵලක් නෑ. රාජ්‍යයට ඇතුල් වෙන්ට තියෙන සියලු පාරවල් වසා දමන්ට, ජලය, ආහාර, දර ආදී කිසිවක් ගෙනියන්ට බැරි වෙන විදියට. ටිකෙන් ටික ආහාරපාන නැති වී මිනිසුන් ක්ලාන්ත වෙද්දී, ඒකුන් ම ඔබට රාජ්‍යය ලබා දේවි.” පුත්‍ර රජු ඒ උපාය ක්‍රියාත්මක කළා. ඔය උපායෙන් රාජ්‍යය අල්ලාගන්ට ඔහුට හැකි වුණා.

එදා ඒ යුද උපාය දුන් අගබිසව තමයි සුප්පාවාසා. ඇගේ කුස පිළිසිඳගත් පුත්‍රයා තමයි යුද උපාය ක්‍රියාත්මක කරපු රජා. එදා ආහාරපාන ගන්ට බැරි වන විදියට මහා ජනකායක් සිර කරවා පීඩාවට පත් කරවූ කර්මය ඒ දෙදෙනා එකතු වෙලා කළා. මෙදා ඒ දෙදෙනාට ම එකතුවෙලා ඒ කර්මයට විපාකය විඳවන්ට සිදුවුණා. මේ තමයි සසරේ බියකරු බව.

ඇත්තෙන් ම ඇය ඒ විඳෙව්වේ සංසාරේ කරගත් කර්මයක විපාකයක් බව අපි දන්නේ සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ වදාළ නිසා. වර්තමානයේ ජීවත් වෙන අපි මොන මොන වගේ සාංසාරික දේවල් අපේ පස්සේ එනවාද කියල දන්නවා ද?

සුප්පාවාසා මොකද කළේ…?

මේ සිදුවීමේ වැදගත් ම දේ ඒක නොවේ. මේ අර්බුදයට සුප්පාවාසා මුහුණ දුන් විදිහයි වැදගත්.

බුදුරජුන් සරණ ගිය, ධර්මය සරණ ගිය, සඟරුවන සරණ ගිය උපාසිකාවක් විදිහට ඇය ඇඬුවේ වැලපුනේ නෑ. මොකද, බුදුරජාණන් වහන්සේ වදාළේ,

“න සෝචනාය න පරිදේවනාය -අත්ථෝ අලබ්භෝ අපි අප්පකෝපි
සෝචන්තමේනං දුඛිතං විදිත්වා -පච්චත්ථිකා අත්තමනා භවන්ති”

“ශෝක කිරීමෙන් වැලපීමෙන් මේ ජීවිතේට සැලසෙන සුළු හෝ යහපතක් නම් නැත්තේය. ශෝකීවන තැනැත්තා දුක සේ සිටිනු දැක සතුරෝ සතුටු වීම පමණි සිදු වන්නේ.”

(අලබ්භනීයඨාන සූත්‍රය)

ඉතිං ඇය සතුරෝ සතුටු කරන්ට ගියේ නෑ. ඒ මහා අර්බුදයට ඉතාම අසිරිමත් විදියට ඇය මුහුණ දුන්නා. තෙරුවන් සරණ ගිය හැම දෙනාට ආදර්ශයක් ගත හැකි අයුරින් ඇය එයට මුහුණ දුන්නා.

ඉවසන්ට දුෂ්කර වූ, කිසිසේත් නොපැතූ විරූ මේ අර්බුදය ඉදිරියේ ඇය, තමන් ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියා සරණ ගිය බුද්ධ රත්නය ම සිහි කළා. (සම්මාසම්බුද්ධෝ වත සෝ භගවා, යෝ ඉමස්ස ඒවරූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දේසේති.) ‘අහෝ! මෙබඳු කටුක වූ කර්කශ වූ දුක්පීඩා දුරු කිරීමට දහම් දෙසා වදහළ, ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම සම්මා සම්බුද්ධ යි!’

උහුලන්ට අමාරු දුකක් උහුලමින් ඇය තමන් ‘ධම්මං සරණං ගච්ඡාමි’ කියා සරණ ගිය ඒ උතුම් ධර්ම රත්නය ම සිහි කළා. (සුසුඛං වත තං නිබ්බානං, යත්ථිදං ඒවරූපං දුක්ඛං න සංවිජ්ජතී) ‘මේ සද්ධර්මයේ හැසිරෙන කෙනෙකුට පමණක් ලැබිය හැකි වූ යම් අග්‍ර ඵලයක් වේද මෙබඳු දුක් කිසිවක් නැති තැන වන ඒ නිවන නම් ඒකාන්තයෙන් සැපයක් ම යි!’

බිහිසුණු කර්ම විපාකයක පීඩාව දැනෙද්දී ම ඇය තමන් ‘සංඝං සරණං ගච්ඡාමි’ කියා සරණ ගිය සංඝ රත්නය ම සිහි කළා. (සුපටිපන්නෝ වත තස්ස භගවතෝ සාවකසංඝෝ, යෝ ඉමස්ස ඒවරූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නෝ) ‘මෙබඳු දුක් ප්‍රහාණය කිරීම පිණිස ම පිළිපන් ඒ උතුම් ශ්‍රාවක සඟරුවන නම් ඒකාන්තයෙන් ම සුපටිපන්නයි!’

“අපිත් තෙරුවන් සරණ ගිය අය” යැයි කියාගන්නා බොහෝ දෙනෙක් කරදර කම්කටොලු පැමිණෙන විට ම තම සරණ අතහැර නානාප්‍රකාර දේ පසුපස යද්දී, ඒ සුප්පාවාසාවෝ තෙරුවන් සරණට ම සමීප වූ අයුරු අසිරිමත්! ‘අයියෝ!බුදුන් වඳින අපිට ම ඇයි මේවා වෙන්නේ….? දන්පින් කරන අපිට ම ඇයි කරදර එන්නේ….?’ ආදිය කියමින් කරදර ඉදිරියේ සරණ මුල් කරගෙන තමන්ට ශාප කරගන්නා පිරිසක් මැද ඇය තමන්ගේ දුක්ගිනි ගැන සිත සිතා නොසිට සියලු දුකින් නිදහස් කරවන සරණ ම සිහි කළ අයුරු සැබැවින් ම අසිරිමත්!

පැහැදීම රැකගත යුත්තේ තමාමයි…

ඔය විදියට සුප්පාවාසා සරණ ම සිහිකරමින් ඉවසුවා. හත් අවුරුද්දක් ම ඇය ඉවසුවා. ඒ සත් අවුරුද්ද ඇවෑමෙන් මේ දක්වා ම කුස තුළ මේරූ දරුවා බිහිවීමට ඇයට ප්‍රසූත වේදනා ඇති වුණා. එහෙත් ගැබ සිරවීම හේතුවෙන් ඉතාමත් කටුක වූ වේදනා උපන්නා. ඒ වේදනාවත් ඇය පෙර පරිදි ම තෙරුවන් සිහි කරමින් ඉවසුවා. මෙසේ දින හතක් ගත වෙද්දී ඈ තම ස්වාමියා වන සුප්පිය උපාසකතුමාට කියා හිටියා, භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට තමාගේ තත්ත්වය දන්වන්න කියලා.

ඉතින් සුප්පිය උපාසකතුමා බුදුරජාණන් වහන්සේට මේ කරුණ සැල කළා. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ සුප්පාවාසාට සෙත් පැතුවා.“සුප්පාවාසා, සුවපත් වේවා! සුවපත් වූ දරුවෙකු බිහි කරාවා!” කියා මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුව මඬලින් වදාරද්දී ම ඒ මොහොතේ ම ඇය සුවපත් වුණා. සුවසේ දරුවා බිහි වුණා. සුප්පිය උපාසක යළි නිවසට පැමිණෙද්දී සුවපත් ව සිටින සුප්පාවාසාවත්, දරු පැටියාවත් දැකලා අතිශයින් ම සතුටට පත් වුණා.

තම දරුවා බිහි වීම මුල් කරගෙන සුප්පාවාසා සහ සුප්පිය උපාසකතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සඟරුවනට දානයක් පූජා කිරීමට කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් සත් දිනක් මුළුල්ලේ බුද්ධ ප්‍රමුඛ සඟරුවනට දන් දීමට අවසර පැතුවා. භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව සිටීමෙන් ඒ ඇරයුම පිළිගෙන වදාළා.

ඒත් ඒ වෙද්දී බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය දීම පිණිස එක්තරා උපාසකයෙක් සූදානම් වෙලයි හිටියේ. ඔහු මුගලන් මහරහතන් වහන්සේගේ දායකයෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අමතා මෙසේ වදාළා.

“මොග්ගල්ලාන ඔබ යන්න. ඒ උපාසකයාට පවසා සුප්පාවාසාවගේ දානයට අවස්ථාව අරගන්න.”

මුගලන් මහරහතන් වහන්සේ ඒ උපාසකයා සමීපයට වැඩම කොට මෙහෙම පැවසුවා. “පින්වත් ගෘහපතිය, සුප්පාවාසා නම් වූ කෝලිය වංශික දියණිය හත් අවුරුද්දක් මුළුල්ලේ ම දරුගැබක් දරාගෙන ඉඳලා ඇය දැන් සුවපත් වූ දරුවෙක් වැදුවා. ඈ දැන් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දවස් හතක් මුළුල්ලේ දානයට ආරාධනා කරනවා. ඉතිං ඇයගේ ඒ දානයට අවකාශය ලැබේවා! ඒ දින හත ඇවෑමෙන් ඔබට පසුව දානය දෙන්න පුළුවන්නේ.”

එතකොට ඒ උපාසකයා මෙහෙම කිව්වා. “ස්වාමීනී, ආර්ය වූ මොග්ගල්ලානයන් වහන්ස, මම දානයට අවශ්‍ය කළමනා මේ වෙන විටත් සූදානම් කරලයි තිබෙන්නේ. ඉතිං ඒ මගේ දාන වස්තූන්ට හානියක් නොවෙනවා නම් ඔය දින හත තුළ මට ජීවිත අන්ත්‍රාවකුත් නොවෙනවා නම් ඊළඟට මගේ ශ්‍රද්ධාවේ වෙනස් වීමකුත් නොවෙනවා නම් සුප්පාවාසාගේ දානය සිදු වේවා! මම පසුව දන් දෙන්නම්.”

“ගෘහපතිය, මම ඔබේ ජීවිතය සම්බන්ධයෙන් ඇප වෙන්නම්. ඔබේ දාන වස්තුව සම්බන්ධයෙනුත් ඇප වෙන්නම්. හැබැයි ශ්‍රද්ධාව නම් මට රැකදෙන්ට බෑ. එය ඔබ විසින්ම යි රැක ගත යුත්තේ.”

“හොඳයි ස්වාමීනී, ඔබ වහන්සේ මගේ ජීවිතයත්, දාන වස්තුත් රැක දීම ගැන ඇප වෙනවා නම්, මම ශ්‍රද්ධාව රැක ගන්නම්. සුප්පාවාසාවගේ දානය සිදුවේවා!” කියලා ඒ උපාසකයා දානයට අවකාශ සැලසුවා. ඉතිං සුප්පාවාසාත්, සුප්පිය උපාසකත් දින සතක් මුළුල්ලේ ම බුද්ධ ප්‍රමුඛ සඟරුවනට මහදන් පූජා කළා.

මේ සිදුවීමෙන් අපට තේරෙනවා පැහැදීම කියන දේ රැක ගන්න තියෙන්නේ තමන්ට ම යි. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ අසිරිමත් වූ ඉර්ධිමය හැකියාවෙන්වත් බැරිවුණා තව කෙනෙකුගේ පැහැදීම රැකලා දෙන්න. ඒ නිසා ජීවිතේට කොයි තරම් කරදර පීඩා ආවත්, තෙරුවන් ගැන ඇති වූ පැහැදීම රැකගන්න. එය රැකගත යුත්තේ අප විසින් ම යි.

ඒ සඳහා සුප්පාවාසා කල්පනා කරපු විදිහ අපට බොහෝ සෙයින් උපකාර වේවි. කරදර කම්කටොලු ඉදිරියේ අපි සමීප විය යුත්තේ තෙරුවනට ම යි. මොකද මේ ජීවිතේ යම්තාක් දුක් පීඩාවෝ ඇත් ද ඒ සියල්ලෙන් නිදහස්ව සැපයට පත් වුණ මුනිවරුන් මුනිවරියන් බිහිවුණේ තෙරුවන් සරණ සහිත මේ බුදුසසුනේ ම නිසා.

මේ ඉරහඳ යට අපිට ඇති එකම සරණ…

වරක් හිරුට අධිපති දෙවියා වන සූරිය දේවපුත්‍රයාත්, සඳුට අධිපති දෙවියා වන චන්ද්‍ර දේව පුත්‍රයාත් රාහු නම් වූ මහා අසුරයාගේ ග්‍රහණයට පත් වුණා. මේ සූරිය චන්ද්‍ර දෙවිවරු කියන්නේ තෙරුවන් සරණ ගියපු දෙවිවරු. ඉතිං ඔවුන් සිහිකළේ තෙරුවන් සරණ ම යි.

“නමෝ තේ බුද්ධ වීරත්ථු – විප්පමුත්තෝ’සි සබ්බධී
සම්බාධපටිපන්නොස්මි – තස්ස මේ සරණං භවාති”

“බුද්ධ වීරයන් වහන්සේට නමස්කාර වේවා! අපි දැන් විශාල සම්බාධකයකට හසු වෙලා අසරණ වෙලයි සිටින්නේ. අප හට සරණ වන සේක්වා!”

එකල සම්බුදුරජුන් ජීවමානව වැඩ සිටි සමය. බුදුරජාණන් වහන්සේ එකම එක ගාථාවයි රාහු අසුරයා අරභයා වදාළේ. ඒ මොහොතේ හිරු සඳු දෙවිවරු අත්හැර රාහු අසුරයා පලා ගියා. ඉතිං මේ ලෝකෙ හිරුට අධිපති දෙවියාත් සරණ කරගත්තේ බුදුරජාණන් වහන්සේව නම්, සඳුට අධිපති දෙවියාත් සරණ කරගත්තේ බුදුරජාණන් වහන්සේව නම්, මේ ඉරහඳ යට ජීවත් වෙන අපිට වෙන සරණක් තිබේ ද?

අපිත් හදවතින් ම බුදුරජාණන් වහන්සේව සරණ යමු. උතුම් ශ්‍රී සද්ධර්මය ම සරණ යමු. ආර්ය මහා සඟ රුවන ම සරණ යමු.

“ඒතං ඛෝ සරණං ඛේමං
-ඒතං සරණ මුත්තමං
ඒතං සරණමාගම්ම
-සබ්බ දුක්ඛා පමුඤ්චති”

“ඔය තිසරණය තමයි බිය රහිත වූ සරණ. ඔය තිසරණය තමයි උතුම් ම සරණ. යමෙක් ඔය තිසරණය තුළට පැමිණුනොත් තමයි සියලු දුකින් නිදහස් වෙන්නේ.

(ධම්මපදය)

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි