පින්වත් මහා සංඝරත්නය උදෙසා දන්පැන් පූජා කිරීම, සිවුරු පිරිකර පූජා කිරීම, ඇප උපස්ථාන කිරීම, වැඩ වාසය කිරීමට කුටි සෙනසුන් ඉදිකර පූජා කිරීම, වන්දනාමාන කිරීම, උන්වහන්සේලාගේ කටයුතුවලට උපකාර කිරීම වශයෙන් සංඝෝපස්ථාන කිරීම කියන්නේ කෙනෙකුගේ ජීවිතයට මහා පින් වැඩෙන දෙයක් කියලා අපි කවුරුත් දන්නවා.

ඒ කරන සංඝෝපස්ථානයෙන් කෙනෙකුගේ දහම් මඟ තුළ ලබන්න තියෙන අභිවෘද්ධියේ ඇති උවදුරු දුරු කර රැකවරණය දෙනවා ය යන්න අපි එතරම් නොහිතන දෙයක් නේද? මේ මතු කරන්න යන කාරණය කෙනෙකුට ස්පර්ශ වුණොත්, සංවේදී වුණොත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ශ්‍රේෂ්ඨ බව, මහානීය බව, අනුග්‍රහ සම්පන්න බව පසක් වේවි. ඒ වගේ ම අපට පිහිට පිණිස මේ උත්තම සඟ පිරිස හැරෙන්නට තවත් පින්කෙතක් නැති බවත් වැටහේවි. ඒ සංඝරත්නයට ජීවිතය කැප කොට සංඝෝපස්ථාන පින කරන්න හැකි වේවි. අපිට අනුකම්පාවෙන් සිල් ගුණ දම් පුරාගෙන වැඩ වසන මේ සංඝරත්නය මට නම් වාසනාවක් කියලා හිතේවි.

මේ සිදුවීම දෙස බලන්න. අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන කාලයේ ‘කුණ්ඩ’ කියන නුවර ධීවර ගම්මානයක පුතෙක් උපන්නා. මේ දරුවා වැඩෙද්දී සිහි වෙනවා පෙර තමා නිරාදුක් විඳපු හැටි. ජාතිස්මරණ ඥානය හේතුවෙන් ‘මෙහෙම දුකක් විඳින්න උනේ කරපු පව් නිසා.’ කියලා තේරුම්ගෙන දරුවා මසුන් මරණ කටයුතුවලට එකතු වුණේ නෑ. පවුලේ අය, ඤාතීන් මසුන් අල්ලන්න යද්දි මේ දරුවා සැඟවෙනවා. මසුන් අල්ලන දැල් කපලා දානවා. අල්ලපු මසුන් අතර පණ තියෙනවුන් හොරෙන්ම දියට ගිහින් දානවා. මේ කරන දේවල් මහා අමුත්තක් විදියට දැකපු පිරිස අවවාද කළත් ස්වකීය චර්යා රටාව වෙනස් නොකරන, හැමෝටම මහා කරදරයක් විදිහට පෙනුන මේ දරුවාව ගෙදරින් පන්නා දැමුණා. යන්න ඉන්න තැනක් නැතිව ඇවිදිමින් සිටි මේ දරුවව මුණගැහුනේ දයාවන්ත, කරුණාවන්ත සිතක් ඇති අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේට.

බඩගින්නෙ ඉන්න දරුවාට උන්වහන්සේ අනුකම්පාවෙන් කන්න බත් ටිකක් දුන්නා. ආ ගිය තොරතුරු විමසද්දී තමන්ට සිදු වුණ දේ නොසඟවා කියා සිටියා. තමන්ම තමන්ව වරදට යා නොදී රැකගත් හේතු දැනගෙන සසරේ භයානකකම, මේ දුකෙන් නිදහස් වීම ගැන සම්බුදු දහම ටිකක් පැහැදිලි කරලා දුන්නා. ධර්ම කතාව වදාළා. ඇසුණ ධර්මයෙන් පහන් වූ සිතින් ඔද වැඩුණු දරුවා දැකලා, “දරුව, බුදු සසුනේ පැවිදි වෙන්න කැමැති දැ?” යි උන්වහන්සේ අසා වදාළා. සසරේ බිය තමන්ටම පේන නිසාම “කැමතියි ස්වාමීනී.” කියලා පිළිතුරු දුන්නා. නවාංග ශාස්තෘ ශාසනය මනා කොට දරන, ධර්මධර වූ, මේ බුදු සසුනේ ධර්මාරක්ෂකයන් වහන්සේ – ආනන්ද ස්වාමීන් වහන්සේ වැනි උත්තමයන් වහන්සේනමක් ආචාර්යපාදයන් වහන්සේ කොටගෙන පැවිදි බවට පත් වෙන්නට තරම් ඒ දරුවා වාසනාවන්ත වුණා.

උන්වහන්සේගේ දයානුකම්පිත අනුග්‍රහයෙන් ලෝකනාථ වූ අප භාග්‍යවතුන් වහන්සේගේ දර්ශන ලාභයත්, පරම දුර්ලභ වූ තථාගත ශාස්තෘ අනුශාසනාවත් ලබන්නට වාසනාවන්ත වුණා. මේ සියලු ලෝකධාතුවේ අතීත, අනාගත, වර්තමාන තුන් කල්හි අසීමාන්තික ලෙස සියල්ල දැක්ක හැකි බව, ඒ සම්බුදු නේත්‍රා අබියස සිටින්නේ යමෙක් ද ඔහුගේ සාංසාරික වාර්තා සටහන සැණෙකින් දැක්ක හැකි බව තථාගතයන් වහන්සේලා තුළ ඇති කොතරම් ආශ්චර්යයක් ද? පෙර සංසාරයේ කළ වරදක් මේ භික්ෂුව හඹා එන බව බුදුරජාණන් වහන්සේ මොහොතින් දැක වදාළා. සීමා මායිම් නොමැති වේගවත් විනිවිද දැකීමකින් යුතු, අභිනීල සම්බුදු දෙනෙතට මහා කරුණාව මුසු වූ අතිශයින්ම සුන්දර සිදුවීමේ දී ඒ නේත්‍රයට හසුවන්නා වූ සත්වයෝ නම් මහා වාසනාවන්තයෝ ම යි.

‘දුර්ලභව ලද ශාස්තෘ සම්පත්තියේත්, සසර දුකින් නිදහස් කරවන අවබෝධය ඇති කරවන ශ්‍රී සද්ධර්මයේත් ඇසුර ලද මේ ක්ෂණයේ මා පුත්‍රයාගේ පැවිදි බව වඳ බැසගත් එකක් නොවේවා!’යන අනුකම්පාවෙන් ම භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා වදාළා.

“පින්වත් ආනන්ද, ඔය භික්ෂුවට අනුකම්පා කරන්න. ඒ භික්ෂුව සසරේ කුසල් කරල නෑ. පින් කරලා නෑ. පැවිද්දකු ලෙස ලැබිය යුතු දෙයක් ඇද්ද ඒවා ලැබෙන්නේ අල්ප වශයෙන්. ඔය භික්ෂුව අල්පලාභියෙක්.” දුර්ලභව බුදු සසුනක විශ්මිත සමාගමය ලද මොහොතේ මහා සැපයක් කරා යන්නට ඉඩ නොදී මඟ අවුරා, තම තමන් කළ කර්මයන් කොයිතරම් නම් සත්වයා ව ආපස්සට සසරට ම අදිනවා ඇද්ද? දුකට ම අදිනවා ඇද්ද? දඩයම් බල්ලෙකුගේ ඉව වරදින්න පුළුවනි. කර්මයේ ඉව නම් වරදින්නේ නෑ. සුදුසු වෙලාවට, සුදුසු තැනේ දී, මොහොතක පමාවක් නොකොට අදාළ කෙනාවම තෝරාගෙන විපාක දෙන්නට තරම් කර්මය අතිශයින් ම තියුණු වූ, සියුම් වූ දෙයක්.

කොයි ආකාරයේ වරදක් ද ඔහු පසුපස ලුහුබඳින්නේ…? ඔහු ඒ කාලයේ රාජකුමාරයෙක්. බරණැස කිතවාස රජුගේ එකම පුත් කුමාරයා. නමින්, ‘දුෂ්ට කුමාරයා’. යම් දවසක මේ කුමරු මිය යන්නේ පානය කරන්නට පැන් නැතිව අධික පිපාසයෙන් වග මේ කුමරු උපන් මොහොතේ නේමිත්ත පාඨකයන් ප්‍රකාශ කළා. පියෙකු ලෙස හද සිදුරු කරන්නාක් වැනි වූ ඒ කර්කශ වදනින් සසල වුණ, දුකෙන් මැළවුණු රජු තම පුත් කුමරුගේ එකම ගැලවුම්කරුවා බවට පත් වෙන්නටත්, එවන් ඉරණමකට පුතු ගොදුරු නොවෙන්නටත් තමන්ට කළ හැකි සියලු දේ කළා. පුත් කුමරු රජුගේ ඡායාව බඳු වුණා. යනෙන තැන ඔහු අත්නොහැරම රඳවා ගත්තා. සතර වාසල් දොරටුව, නගරය පුරා තැනින් තැන පැන් පොකුණු කෙරෙව්වා. සතර මංසන්ධිවල මණ්ඩප කරවලා ඒවායේ පින්තාලි පිහිටුවා, රාජ පෙරහැර පසුපස හැම විට පැන් කළ එකසිය පනහක් රැගෙන මිනිසුන් ගමන් කළා.

දිනක් රජුගේ වෙනත් කටයුත්තක පමාවෙන් කුමාරයා සිය පිරිස සමඟ තනිවම උයන් කෙළියට යමින් සිටිය දී ඒ මොහොතේ ම ඒ මගෙහි ම සුනෙත්ත නම් පසේබුදු රජාණන් වහන්සේ ද පිඬු පිණිස වැඩම කරමින් සිටියා. මහජනයා ශාන්ත ඉඳුරන් ඇති පසේබුදුරජුන් දෙස බලමින් වන්දනාමාන, ප්‍රශංසා කරද්දී මහා කෝපයක් කුමරුගේ හිතේ හට ගත්තා. “මං වගේ කුමාරයෙක් දැක දැකත් මේ වගේ මුඩු මහණෙකුට ම ප්‍රශංසා කරනවා නොවේදැ.” යි කිපුණු සිතින් ඇතු පිටින් බැස පසේ බුදුරජුන් ළඟට ගොස් ”බත් ලැබුණා දැ?” යි අසා පාත්‍රය උදුරාගෙන බිම හෙළා පයින් පොඩිකර පා පහරින් සුණුවිසුණු කළා.

‘මහා විනාශයක් කරගත්තා නොවේදැ’ යි අනුකම්පා සිතින් පසේබුදුරජුන් කුමාරයාගේ මුහුණ බලද්දි “මම කිතවාස රජුගේ පුතා… මුඩු ශ්‍රමණය, නුඹ මට කුමක් කරන්න ද?” යැයි අවමන් කළා. පසේබුදුරජුන් නොපෙනී ගිය ඇසිල්ලේම නිරා ගිනිදැලින් දැවුණ ශරීරය පුරා හටගත් දැවිල්ලෙන්, මහා සන්තාපයෙන්, දැඩි කායික දුක් වේදනාවෙන් මිරිකී අධික පිපාසයෙන් මරණයට පත්ව අවීචි මහා නරකයේ උපන්නා. බොහෝ අවුරුදු දහස් ගණන් දුක් විඳ ඉන් මිදී, සා පිපාසාවෙන් දුක් විඳින්නට ඇති ප්‍රේත සත්වයෙකු වී උපන්නා.

පසේබුදුරජුන්ගේ භික්ෂාවට හානි කළ පාපී කර්ම විපාකයෙන් සා පිපාසයෙන් ම දුක් වින්දා. සම්මා සම්බුදු කෙනකුන් අබියස දැන් භික්ෂුවක්. කළ පව හේතුවෙන් පිණ්ඩපාතයවත් ලබන්නට පින නෑ. මේ භික්ෂුව ගලවා ගන්නා අදහසින් අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට විශේෂ වතක් පනවා වදාළා. ඒ තමයි භික්ෂූන්ගේ පරිභෝජනය සඳහා පැන් කළ පිරවීමේ වත. අල්පලාභී බව දුරු කරන්න පැවරූ වත සංඝෝපස්ථානය යි.

ඉතිරි කර්ම ගෙවා දමන්න පැවරූ වත සංඝෝපස්ථානය යි. ආයෙ ආයෙමත් සසරේ සා පිපාසයෙන් මැරෙන කර්මය ගෙවා දමන්න පැවරූ වත සංඝෝපස්ථානය යි. ඒ ජීවිතයේ දී ම අරහත්වයට පත් වන ගමන රැකදෙන්න පැවරුවේ ද සංඝෝපස්ථානය යි. පසේබුදු කෙනෙකුන්ට කළ හානියේ ඉතිරි පව ගෙවා දමන්න පුළුවන් මහානීය ගුණය සංඝරත්නය තුළ තිබුණා.

අපට තවම විපාක නොදුන්න මොන විදියේ කර්ම, මතුවට විපාක දෙන්න ගොඩ ගැහිලා ඇද්ද? අපි මේ අනතුරක් නැතිව ඉන්නේ දැනට මේ කරන සංඝෝපස්ථාන පිනෙන් නම්, ඒ පින කරගන්න. හෙට මගහැරුනොත්? සසරේ අපිට වැරදුනු බව ඇත්ත. ඒ පරණ වැරදි නිවැරදි කරන්න බැරි බවත් ඇත්ත. හැබැයි පින් රැස් කරමින් කර්ම ගෙවා දමන්න පුළුවන්. වැරදුණු අතීතය අමතක කොට අද අලුතින් පටන් ගත්තොත් ලස්සන අවසානයක් කරා නම් යන්න පුළුවන්.

ඒ සඳහා අප හැම දෙනාටම පින්බර සඟරුවනේ පිහිට ම සැලසේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි