පින්වත් යොවුන් දූ දරුවනේ,

සැපය, සුවය, සැනසීම කියන්නේ අපි ජීවිතේ පතන දේවල්. නමුත් සැපයක් සුවයක් සැනසුමක් පතාගෙන ඉන්න බහුතරයක් දෙනා ජීවත් වෙන පිළිවෙළ නිසා වෙන්නේ තියෙන පොඩි සැපය පවා නැති වෙලා යෑමයි. ඒකට හේතුව තමන්ගේ ජීවිතේ තිබෙන පොඩි සැපය හෝ ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා නොදන්නාකම.

ඉතින් ඒ නිසාමයි ‘සැපය අතුරුදහන් කරගන්න එපා!’ කියන ස්නේහනීය ආමන්ත්‍රණයෙන් මේ වටිනා ලිපිය ඔයාලා වෙනුවෙන් ලියැවෙන්නේ. මේ ලිපිගතේ අවසානය තෙක්ම කියවන්න. සැපය නැත්තට ම නැති කරන කාරණා හතරක් ඔයාලට දැනගන්න ලැබේවි! සැපය රැකගන්නේ කොහොමද කියලා තේරුම් යාවි! ජීවිතේට සැපය උණන උල්පත් හතරක් හමුවේවි!

රජකම් කළත් කෝ සැපයක්…!

අතීතේ පායාසපාණී නමින් රජෙක් හිටියා. මොහු බරණැස් නගරයේ මහරජු. මහරජෙක් වුණත්, බොහෝ ධන සම්පත් තිබුණත්, මහ පිරිවර වටකරගෙන හිටියත් මේ රජුට ජීවිතේ සැපයක් සුවයක් සැනසිල්ලක් තිබුණේ නෑ.

මොකද හේතුව? ඇත්තෙන්ම සැපය සුවය සැනසිල්ල තියෙන්නේ ධනයේ බලයේ වත්පොහොසත්කම්වල හෝ අපේ වටේ ඉන්න පිරිස මත නොවේ. සැපයක් සුවයක් සැනසීමක් කැමති කෙනා ජීවිතේ ඇති කරගත යුත්තේ ගුණධර්ම ම යි! ධනය, බලය, වත්පොහොසත්කම් ආදී දේ තිබුණත්, නැතත් ගුණධර්ම තිබ්බොත් ජීවිතේම සුවපහසුයි.

සැපය ගේන අංග හතරක්…!

පායාසපාණී රජුට ආරංචි වුණා තමන්ගේ ජීවිතේ විශේෂ අංග හතරක් රැකගෙන ඉන්න කරණවෑමියෙක් ගැන. ඒ කියන්නේ බාබර් කෙනෙක්. මිනිස්සුන්ගේ කොණ්ඩ රැවුල් කපන රැකියාව කරන කෙනෙක්. ඔහුගේ නම ඡත්තපාණී.

පායාසපාණී රජු අර ඡත්තපාණී කරණවෑමියාව කැඳෙව්වා. මෙහෙම ඇහුවා. “ම්… ඡත්තපාණී, නුඹ විශේෂ අංග හතරකින් යුක්තව ජීවත් වෙනවා කියන්නේ හැබෑවක් ද?”

“එහෙමයි මහරජතුමනි.”

“මොනවද ඡත්තපාණී ඒ විශේෂ අංග හතර?”

ඡත්තපාණී මහරජුට උත්තර දුන්නේ ගාථාවකින්.

අනුසූය්‍යකෝ අහං දේව – අමජ්ජපායකෝ අහං
නිස්නේහකෝ අහං දේව – අක්කෝධනෝ අධිට්ඨිතෝ’ති.

මහරජුනේ, මා සිත තුළ කිසිම දිනක – ඉරිසියාව නැත හටගන්නේ
ඒ වගේම කිසිම දිනක කිසිම සුරා බිඳක් – දෙතොලේ නොමැත තබන්නේ
කිසිම කෙනෙකු ගැන කිසිවිට මං ඇල්මක් – නොමැත කරන්නේ
ක්‍රෝධ සිතක් මහරජුනේ කිසිම දිනක – මගේ සිතේ නැත හටගන්නේ

පුදුම අධිෂ්ඨාන හතරක්…!

ඔය කරුණු හතර අසා සිටිද්දී පායාසපාණී රජු පුදුම වුණා. ඉරිසියා නොකිරීමට අධිෂ්ඨාන කරගෙන, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත නොකිරීමට අධිෂ්ඨාන කරගෙන, සෙනෙහසක් ඇල්මක් ඇති නොකර ගැනීමට අධිෂ්ඨාන කරගෙන, ක්‍රෝධ කේන්ති සිතක් නොමැතිව සිටීමට අධිෂ්ඨාන කරගෙන ඉන්න මේ සුන්දර කරණවෑමියා ගැන රජු පුදුම වුණා. ඇත්තෙන්ම ඒ සුන්දර කරණවෑමියා වෙන කවුරුත් නොවේ. ඒ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අතීත ජීවිතයක්.

ඇයි ඉරිසියා කරන්නේ නැත්තේ…?

“ඔව්…! පුදුම අධිෂ්ඨාන හතරක්. පින්වත් ඡත්තපාණී කියන්න මට. ඉරිසියා නොකරනවා කියලා නුඹ ඇයි බලවත් අධිෂ්ඨානයකින් ඉන්නේ?”

“පින්වත් රජතුමනි, මම මගේම අතීත ජීවිතයක් ගැන දන්නවා. මට ඒ ගැන ජාතිස්මරණයක් තියෙනවා. මේ බරණැස් නගරෙම මමත් අතීතේ රජ වී සිටියා. ඒ කාලේ මාගේ අගමෙහෙසි ඉතාම රූබර මනමෝහනීය රූ සපුවක් ඇති තැනැත්තියක්. ඇය ගැන හිතේ තිබුණු රාගය නිසාම මම තදබල ඉරිසියාවකින් හිටියා.

නමුත් ඇය චපල තැනැත්තියක්. මට හොරෙන් ඈ බොහෝ පුරුෂයින් එක්ක අනියම් සම්බන්ධතා පවත්වා තිබුණා. මට ඒ හැම දෙයක්ම මගේ අතටම අහුවුණා. එතකොට මා ගැනම මට ඇති වුණේ කලකිරීමක්. මගේ ඉරිසියාව නිසාමයි මට මේ හැම වෙහෙසක්ම වුණේ. ආයෙත් නම් ජාති ජාතිත් ඉරිසියාව එපා කියලා මං අධිෂ්ඨානයක් ඇති කරගත්තේ ඔන්න ඔය නිසයි.”

ඉතින් පින්වත් දරුවනේ, හිතට ගන්න මේ කථාව. අපේ ජීවිතේ තියෙන සැපය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න පුළුවන් ඉරිසියාවට. කොතරම් ධනය, වස්තුව, උගත්කම්, පිළිගැනීම් ආදිය තිබුණත් අපේ ළඟ ඉරිසියාව තිබ්බොත් ජීවිතේ සැපයක් නම් ලැබෙන්නේ නෑ. ඒ නිසා ඉරිසියා කරන්න එපා! ‘කිසිවෙකුත් තමා ලැබූ සුළු සැපයකින්වත් නොපිරිහේවා!’ කියන අදහසින් අන් අයගේ දියුණුවම පතන්න. මුදිතාව පුරුදු කරන්න.

ඇයි මත් වෙන්න ආසා නැත්තේ…?

“පින්වත් ඡත්තපාණී, මත්පැන් මත්ද්‍රව්‍ය බැහැර කරන්න හේතුව මොකක්ද?”

“රජතුමනි, මම දකිනවා ජාතිස්මරණයෙන්ම මගේ අතීත ජීවිතයක්. ඒ කාලෙත් මම රජෙක්. මම බොහෝ බීමත්කමට ඇබ්බැහි වී හිටියා. හැම දවසකම සවසට මත්පැන් බිව්වා. බීපු මට අනිවාර්යෙන්ම මස් එක්ක බත් කන්න ඕනි. දවසක් මම මත්පැන් බීලා රාත්‍රී භෝජනේට වාඩි වුණා. කෑම මේසේ මස් පේන්න නැති නිසා අරක්කැමියාගෙන් ඇහුවා, ‘කොයි මස්?’ කියලා.

අරක්කැමියා බියෙන් ගැහි ගැහී ‘අනේ රජුනේ, සැකැසූ මස් වෑංජනේ පොඩි අතපසුවීමකින් බල්ලෝ කෑවා. අද නැකැත් දවසක් නිසා වෙනත් පිරිසිදු මාංශයක් හොයා ගන්න බැරුව ගියා’ කියලා කිව්වා. බීමතින් හිටපු මට කරන්නේ මොකක්ද කියන සිහි කල්පනාව නැතිව කේන්තියෙන්, ‘එහෙමනං මේන්න මේකාගේ මස් උයාගෙන ඇන්න වර’ කියලා මගේ අවුරුද්දක් වයසැති පුංචි පුතාගේ හිස කඩලා මරා දැම්මා. ඒ සිඟිත්තාගේ මස් උයන්ට අණ කළා. වෙරියෙන් මත්වෙලාම ඒ මසත් එක්කම බත් කෑවා. කිසි කල්පනාවක් නැතිව කාලා නිදාගත්තා.

පහුවදා අවදි වෙද්දී මට උදෙන්ම මතක් වුණේ මගේ සිඟිති පුතා. මගේ ළඟට පුතා අරගෙන එන්න කියලා කියද්දී තමයි මම දන්නේ මං මගේ අතින්ම මගේ පුතු මරා පුතුගේ මස්කාලා නිදාගත් බව.

එදා මම රජමිදුලේ පස් කටේ පුරවාගෙන සපථ කළා ‘ආයෙත් නම් ජාති ජාතිත් මේ හීන වූ මත්පැන් මත්ද්‍රව්‍ය මම පාවිච්චි කරන්නේ නෑ’ කියලා.

ඉතින් පින්වත් දරුවනේ, ඔයාලගේ ජීවිතෙත් මත්රකුසාට ගොදුරු වෙන්න නම් දෙන්න එපා! ඇත්තමට මත්පැන් මත්ද්‍රව්‍ය රකුසෙක්මයි. ජීවිතේ සැපය වනසාලන රකුසෙක්මයි. ඒ රකුසාට නම් කවමදාකවත් ඔයාලගෙ ජීවිතේ ගොදුරු වෙන්න දෙන්න එපා!

ඇයි සෙනෙහසට භය…?

පායාසපාණී රජු අහනවා “කියාපන් ඡත්තපාණී, ඇයි නුඹ සෙනෙහස එපා කියන්නේ? සෙනෙහස ඇති වීමෙන් මොකක්ද වෙන හානිය?”

“පින්වත් රජුනේ, මා හට පෙර ජීවිතයක් මතක් වෙනවා. මම අතීතේ කිතවාස නම් රජු වී උපන්නා. ඒ කාලේ මට දුට්ඨකුමාර නමින් පුතෙක් සිටියා. මම ඔහුට ගොඩක් සෙනෙහසින් බැඳී හිටියා.

දවසක් මගේ පුත් කුමාරයා හස්තියාගේ පිටේ නැඟී පෙරහැරින් නගර චාරිකාවේ යද්දී පසේබුදු උත්තමයෙක් පිණ්ඩපාතේ වැඩම කරනවා දැකලා තියෙනවා. තමන්ගේ රාජකීය බවින් මත්වෙලා මගේ පුතා අර පසේබුදුරජාණන් වහන්සේට හිංසා කරලා උන්වහන්සේගේ පාත්‍රය බිඳලා දාලා. ඒ පාපකර්මයේ විපාකය ඒ මොහොතේම පල දීලා දුෂ්ඨකුමාර පුත්‍රයා දරුණු වේදනා විඳලා අසනීප වී මියගියා.

මගේ පුතාගේ අහිමි වීමෙන් එදා මසිතේ උපන් බලවත් ශෝකය නිසාම සෙනෙහස ගැන මට ඇති වුණේ කලකිරීමක්මයි. ඒ නිසාමයි ජාති ජාතිත් සෙනෙහස නම් මගේ සිතේ උපදින්න එපා කියලා මං අධිෂ්ඨාන කළේ.”

පින්වත් දරුවනේ, ජීවිතේ සැනසීම සුවය ඇතැම් විට සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අධික බැඳීම් නිසා. ඒ නිසා බුද්ධිමත් වෙන්න. බැඳීම් සුහදකම් සම්බන්ධකම් නුවණින් යුක්තවම පවත්වන්න.

ඇයි තරහා ගන්න අකමැති…?

පායාසපාණී රජු අවසාන ප්‍රශ්නෙත් විමසුවා. “ඡත්තපාණී, කියන්න මට තරහා නොගැනීමට අධිෂ්ඨානයක් ඇති කරගන්න හේතුව මොකක්ද?”

“පින්වත් රජතුමනි, මට අතීත ජීවිතේක මා විසින් තාපස දිවියක් ගත කරපු හැටි මතක් වෙනවා. මම ඒ කාලේ අවුරුදු හතක් මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන වඩමින් ගත කළා. එහි විපාක විදිහට සංවට්ට විවට්ට කල්ප හතක් තරම් දීර්ඝ කාලයක් මම බඹලොවේ උපන්නා. ඒ නිසාම මම මෛත්‍රියටමයි කැමති. මම ක්‍රෝධයට කේන්තියට කැමති නෑ.”

ඇත්තෙන්ම පින්වත් දරුවනේ, ජීවිතේක තිබෙන සුන්දරත්වය සම්පූර්ණයෙන්ම නැති කරන දෙයක් තමයි ක්‍රෝධය. ඒ නිසා කිසිවෙකුට ක්‍රෝධ කරන්න එපා! හැම දෙනාට මෙත් සිතම පතුරුවන්න.

ඉතිං හිතට ගන්න මේ තරුණ වයසේම ඔබත් මේ වටිනා ගුණධර්ම හතරම ඇති කරගන්න. සැපය උණන උල්පත් හතරම ඔබ ඇති කරගන්න.

ඉරිසියාවෙන් පීඩා නොවිඳින, මත් වීමට ලොල් නොවන, බැඳීම්වලින් පීඩාවට පත් නොවෙන, ක්‍රෝධ ගින්නේ නොදැවෙන සුවපත් සැපවත් සැනසිලිදායක ජීවිත ඇති කරගන්න ඔබ හැම දෙනාට වාසනාව ලැබේවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.