මේ කියා දෙන්න හදන්නේ ඔබට ඉතාමත් වැදගත් දහම් කරුණක්. ඉතිං ඔබ කළ යුත්තේ මෙයයි. හදිස්සි වෙන්න නම් එපා. නිදහස් මනසින් මෙය කියවන්න. ඒ විතරක් නෙවෙයි; ශ්‍රද්ධාව පෙරටු කර ගන්න ඕන. එහෙම කීවේ, අපි බොහෝ දේ කර්මයට ගළපන්න හදනවා. ඔබ හොඳට මතක තියා ගන්න ධර්මය කියන්නේ ලෝකේ තියෙන ගණිතය, විද්‍යාව, ඉතිහාසය වගේ සාමාන්‍ය විෂයක් මෙන් හදාරන්න තියෙන දෙයක් නම් නොවේ. ධර්මය තියෙන්නේ සරණ යන්නයි. එහෙම නැතුව අරක කොහොමද, මේක කොහොමද, කොහොමද එහෙම වෙන්නෙ, මෙහෙම වුණා නම් හරි නේද කියලා ප්‍රශ්න තර්ක හදාගත යුත්තක් නොවේ. මේ ධර්මය “අතක්කාවචරෝ” – තර්කයට ගෝචර නොවන දෙයකි. තර්කය යනු මෝඩයාගේ අවියයි. නුවණින් විමසීම ප්‍රඥාවන්තයාගේ අවියයි.
මේ ධර්මයේ හිමිකරුවාණෝ ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ යි. ඒ නිසා අපි සිටින්නට ඕනේ “භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක. මම කිසිවක් නොදනිමි. භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘහු වන සේක. මම ශ්‍රාවකයා වෙමි.” යන තැන යි. එබැවින් අපගේ ශාස්තෘන් වහන්සේ යමක් වදාළ සේක් ද එය එලෙසින් ම දරා ගැනීම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාගේ ලක්ෂණයයි.
‘සංස්කාර’ කියලා කියන්නේ ධර්මයේ බොහෝ තැන්වල දී හමුවන අපට ඉතා හුරුපුරුදු වචනයක්. නමුත් මේ සංස්කාර බොහෝ තැන්වල යොදා තිබෙන්නේ සමාන අර්ථයකින් නම් නොවෙයි.
එය අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත ප්‍රඥාව ම ය. නමුත් බොහෝ පින්වතුන් එය පටලවා ගන්නා බවක් පෙනෙන්නට තිබෙයි. එබැවින් මේ උත්සාහය එය යම් තරමකට හෝ නිරවුල් කර දීමටයි.
සංස්කාර වර්ග කීපයකි.
1. පටිච්චසමුප්පාදයේ සංස්කාර
2. පංච උපාදානස්කන්ධයේ සංස්කාර
3. පුඤ්ඤාභිසංස්කාර, අපුඤ්ඤාභිසංස්කාර, ආනෙඤ්ජාභි සංස්කාර
4. ආත්ම දෘෂ්ටිය තුළ හට ගන්නා සංස්කාර
01. පට්ච්චසමුප්පාදයේ සංස්කාර
අප බොහෝ දෙනෙක් නිතර කතා බස් කරනා සංස්කාර මෙයයි. පටිච්චසමුප්පාදයේ “අවිජ්ජා පච්චයා සංඛාරා” – “අවිද්‍යාව නිසා සංස්කාර හට ගනී” යනුවෙන් සඳහන් වන්නේ මෙයයි. පළමුව අපි මේ සංස්කාර ගැන ඉගෙන ගනිමු. ඒ ගැන මෙසේ ධර්මයේ සඳහන් වෙනවා.
“පින්වත් මහණෙනි, සංස්කාර යනු මොනවා ද? පින්වත් මහණෙනි, සංස්කාර තුනක් තිබේ. එනම්, කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර වශයෙන් ය.”
(විභංග සූත්‍රය, සං. නි. 02)
අපට හොඳ දහම් දැනුමක් තියෙනවා නම් මේකෙ පටලවා ගන්න දෙයක් නෑ. ඉතිං මේ ‘සංස්කාර’ ලස්සනට විස්තර කරපු තැන් වෙනත් සූත්‍ර දේශනාවල අපට හමු වෙනවා. බලන්න, මේ තියෙන්නේ ‘චූළ වේදල්ල’ සූත්‍රයේ එය විස්තර වන අයුරු.
“පින්වත් ආර්යාවෙනි, කාය සංස්කාර යනු මොනවාද? වචී සංස්කාර යනු මොනවාද? චිත්ත සංස්කාර යනු මොනවාද?”
“පින්වත් ආයුෂ්මත් විශාඛ, කාය සංස්කාර කියන්නේ, ආශ්වාස – ප්‍රශ්වාසයටයි. වචී සංස්කාර කියන්නේ විතර්ක – විචාරවලට ය. චිත්ත සංස්කාර කියන්නේ සඤ්ඤා වේදනාවලට ය.” ඉතිං ඔබට මෙය තවදුරටත් තේරුම් ගන්න එහි මෙසේත් සඳහන් වෙනවා.
“පින්වත් ආයුෂ්මත් විශාඛ, ආශ්වාස ප්‍රශ්වාස අයත් වන්නේ කයටයි. ආශ්වාස – ප්‍රශ්වාස කය හා බැඳී තිබේ. (ඒ තේ ධම්මා කායපටිබද්ධා) එම නිසා ආශ්වාස ප්‍රශ්වාස කාය සංස්කාර නම් වේ. පින්වත් ආයුෂ්මත් විශාඛ, කලින්ම විතර්ක කොට විචාර කොට (සිතුවිලි හසුරුවා) පසුවයි වචන කතා කරන්නේ. එම නිසයි විතක්ක විචාර වචී සංස්කාර වන්නේ.
සඤ්ඤා, වේදනා අයිති වන්නේ සිතටයි. සඤ්ඤා, වේදනා සිත හා බැඳී පවතී. (ඒතේ ධම්මා චිත්තපටිබද්ධා) ඒ නිසයි සඤ්ඤා, වේදනා චිත්ත සංස්කාර වන්නේ.”
(චූල වේදල්ල සුත්‍රය, ම. නි. 01)
දැන් මෙහි ඔබට පටලවාගන්නට දෙයක් තිබේ ද? අවශ්‍ය අපගේ ශාස්තෘන් වහන්සේ ඒ ඒ තැන ඒ ඒ අයුරින් දේශනා කොට ඇති බව දරාගෙන සිටීම පමණයි. මෙහිදී ඔබ ඉතා වටිනා දෙයක් තේරුම් ගත යුතුයි. ඒ තමා මේ සංස්කාර අවිද්‍යාවෙන් හට ගත් දෙයක් බව. ඒ නිසා මේ කියූ කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර තුළ ද අවිද්‍යාව පවතින බව සිත්හි දරා ගත යුතුයි.
මෙහිදී ඔබට තවත් ප්‍රශ්නයක් ඇති වන්නට පුළුවන. ඒ, එතකොට කොහොමද සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය හට ගන්නේ? යන්න. එය ඉතාම සරලව මේ විදිහට තේරුම් ගනිමු. ඔබ ඉතා හොඳින්ම දන්න කරුණකි විඤ්ඤාණය පවතින්නේ පණ ඇති සත්වයෙකුගේ මිස ප්‍රාණය නිරුද්ධ වී ගිය සත්වයෙකුගේ නොවන බව. එසේනම් මේ සියල්ලම සිදුවන්නේ නාම – රූප විඤ්ඤාණයන්ගේ සජීව ප්‍රාණවත් එකතුවකින් යුතු සත්වයා තුළයි. මියගිය කෙනෙකු තුළ නොවෙයි. ඔහුගේ විඤ්ඤාණය නොසිඳ පවතින්නේ හුස්ම ගැනීම – හෙළීම නැමැති කාය සංස්කාරත්, විතර්ක විචාර නැමැති වචී සංස්කාරත්, හැඳිනීම් විඳීම් නැමැති චිත්ත සංස්කාරත් පවත්වන නිසායි.
රහතන් වහන්සේ හැර අනෙක් සියලු සත්වයෝ මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියට යටත්. තවත් කරුණක් ඔබ මෙයට එකතු කර ගන්න.
එය ද පටලවා නොගත යුතුයි. නිරෝධ සමාපත්තියට සමවැදී සිටින අනාගාමී හෝ අරහත් උත්තමයන් තුළ ද ඒ සමවතේ දී කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර නිරුද්ධ වී පවතිනවා. නිරෝධ සමාපත්තිය යනු බුද්ධ ශාසනයක් තුළ පමණක් ම පවතින අසිරිමත් සමවතක්. එහිදී දෙවන ධ්‍යානයේ දී වචී සංස්කාරත්, හතරවන ධ්‍යානයේ දී කාය සංස්කාරත්, නිරෝධ සමාපත්තියේ දී චිත්ත සංස්කාරත් නිරුද්ධ වනවා. නමුත් මියගිය කෙනෙක් ද නොවෙයි. ධ්‍යානයෙන් අවදි වූ සැණින් යළි සංස්කාර පිළිවෙළින් හට ගන්නවා. දැන් ඔබට පටිච්චසමුප්පාදයේ සංස්කාර ගැන තරමක් දුරට හෝ වැටහීමක් ලැබෙන්නට ඇති. මෙය කීප වතාවක් කියවා බලන්න.
2. පංච උපාදානස්කන්ධයේ සංස්කාර
ඔබ දැන් ඉගෙන ගන්නට හදන්නෙත් ඉතාමත් වැදගත් දහම් කොටසක්. පටිච්චසමුප්පාදයේ සංස්කාර හා පංච උපාදානස්කන්ධයේ සංස්කාර අතර ඉතා ලොකු වෙනසක් තිබෙනවා. එය තේරුම් ගන්නට නම් සිහියෙන් යුතුව ම මෙම කොටස කියවන්න.
“පින්වත් මහණෙනි, සංස්කාර යනු මොනවාද? පින්වත් මහණෙනි, එය වනාහී සය ආකාර වූ චේතනාවන් ය. එනම්, රූප සංචේතනාව ය. ශබ්ද සංචේතනාව ය. ගන්ධ සංචේතනාව ය. රස සංචේතනාව ය. පහස සංචේතනාව ය. (මනසේ ඇති වන) අරමුණු සංචේතනාව ය.
පින්වත් මහණෙනි, මේවාට ය සංස්කාර කියා කියන්නේ. ස්පර්ශය හට ගැනීමෙන් සංස්කාරයෝ හට ගනිත්. ස්පර්ශය නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙත්.”
(උපාදාන පරිවත්ත සූත්‍රය, සං. නි. 3)
ඔබට මෙහිදී ඉතාම පැහැදිලි ලෙස දැන ගත යුතු කරුණු දෙකක් තිබෙනවා. පළමු කරුණ නම්, ‘සංස්කාර’ යන වචනයට ‘චේතනාව’ යන අර්ථය දී තිබීමයි. ඊළඟ කරුණ නම් මෙහි සංස්කාර හට ගන්නේ ස්පර්ශය හේතු කොටගෙන බවයි. පටිච්චසමුප්පාදයේ සංස්කාර හට ගන්නේ ‘අවිද්‍යාව’ නිසා බව ඔබ මුලදී ඉගෙන ගත්තා. දැන් අපි මෙය තේරුම් ගන්නට උත්සාහ ගනිමු. ‘සංචේතනාව’ කියලා කියන්නේ ‘අරමුණත් එක්ක චේතනාව පැවතීම’ යි. අපේ චේතනාව හැමතිස්සේම පවතින්නේ අරමුණත් සමඟමයි.
01. ඇසට ඉලක්ක වන අරමුණ රූපය. ඒකට අනුව චේතනාව ඇති වෙනකොට එයට අපි කියන්නේ රූප සංචේතනා කියලයි.
02. කනට ඉලක්ක වන්නේ ශබ්ද. ඒකට අනුව චේතනාව ඇති වෙනකොට කියනවා ශබ්ද සංචේතනා කියලා.
03. නාසයට ගඳ සුවඳ ඉලක්ක වෙනවා. ඒකට අනුව චේතනාව ඇති වෙනකොට කියන්නේ ගන්ධ සංචේතනා.
04. දිවට ඉලක්ක වෙන්නේ රස. ඒකට අනුව චේතනාව ඇති වෙනකොට කියන්නේ රස සංචේතනා.
05. කයට ඉලක්ක වෙන්නේ පහස. ඒකට අනුව චේතනාව ඇති වෙනකොට කියන්නේ පහස (ඵොට්ඨබ්බ) සංචේතනා කියලයි.
06. මනසට ඉලක්ක වෙන්නේ අරමුණු. ඒකට අනුව චේතනාව ඇති වෙනකොට එයට කියන්නේ අරමුණු (ධම්ම) සංචේතනා කියලයි.
ඇත්ත වශයෙන් ම චේතනාව කියන්නේ අන් කවර දෙයක්වත් නොවේ. ඔබ ඉතා හොඳින් දන්නා දෙයකටයි. ඒ තමා “කර්මය”. භාග්‍යවතුන් වහන්සේ වදාළේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” – “පින්වත් මහණෙනි, මම චේතනාව ම කර්මය යැයි පවසමි.” යනුවෙන්.
(නිබ්බේධික සූත්‍රය, අං. නි. 4)
එසේනම් අපි ඇස, කන, නාසය, දිව, කය, මනස ඔස්සේ අරමුණු විඳිමින් කරනු ලබන්නේ කර්ම සකස් කිරීමයි. ඒ කියන්නේ චේතනාව මුල් කරගෙන සිතින් කයින් වචනයෙන් කටයුතු කිරීමයි. කර්ම සකස් වෙනවා නම් අපට යළි උපදින්නට සිදු වෙයි. එසේ නම් චේතනාව තුළ තිබෙන්නේ යළි යළිත් මේ භව පැවැත්ම සකස් වීමයි. එවිට ඒ තුළින් යළි යළිත් සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධයන් ම යි. එම නිසා එය භාග්‍යවතුන් වහන්සේ වදාළේ “අභිසංස්කරණයක්” වශයෙන්.
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments