මොනවද මේ සාරධර්ම ගුණධර්ම? කෙටියෙන් කියනවා නම් මිනිසෙකු ලෙස උපත ලද අපට සැබෑ මිනිසෙකු ලෙස ජීවිතය ගතකිරීමට උපකාරීවන දේවල්වලට යි. මෙලොව ඉපදී මියයන මිනිසා තුළ හොඳ හදවතක්, හොඳ මනුෂ්‍ය ගුණධර්ම, මිනිසෙකුගේ දුක, වේදනාව, සතෙකුගේ පවා බඩගින්න, දුක, වේදනාව තේරුම්ගෙන ජීවත්විය හැකි නම් ඔහු හෝ ඇය ගුණවත් මිනිසෙකු ලෙස අපි හඳුන්වමු. ගුණධර්මයන්ගෙන් තොර වූ මිනිසා තිරිසන් ගණයට වැටේ. අප ජීවත් වන්නේ ඉතා සුළු කාලය යි. ඒ ඉතා පුංචි කාලය ඇයි හොඳ මිනිසෙකු වශයෙන් ජීවත් වන්නට බැරි? ප්‍රශ්න තියෙනවා. ඒවා සාමකාමී ලෙස තේරුම්ගෙන කුලල් කා ගන්නේ නැති සමාජයක මිනිසුන් වියයුතුයි නේද අප?

රත්තරං මිනිසුනේ කෝ අද මිනිස්කම
නැතුව මිනිස්කම වැඩි විය අමනකම
නුඹෙ බර දරණ පොළවත් ඇද වෙයි පුදුම
පැලී පුපුරලා දෙදරයි මිහිකත ම

සාරධර්මවලින් ගුණධර්මවලින් මිනිසා දියුණු වියයුතු යි. සමාජයේ වගකිවයුතු පුද්ගලයන් අද මේවා ගැන දන්නෙත් නැහැ. කොහෙද අද ඔවුන් ළඟ සාරධර්ම? දන්නා අයගෙන් ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. රත්තරන් මිනිසුනි, හිතන්න සමාජය මෙච්චර පිරිහුණු සමාජයක් වුනේ ඇයි? භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරවලටත් වැඩම කරලා ධර්ම දේශනා කරනවා නම් කොයිතරම් හොඳ ද? මේ සමාජය යම් තරමකින් හරි හදන්න පුළුවන්.

අද බලන්න අහිංසක දරුවෝ කොච්චර නොමග ගිහිල්ල ද? මෙලොවට බිහිකරලා, හදලා වඩලා පෝෂණය කරපු තමන්ගේ රත්තරං අම්මලා තාත්තලා වැඩිදෙනෙකු අද මියයන්නේ මොනතරම් දුකෙන් ද? අම්මා තාත්තා කෙනෙක් දරුවෙක් හදන්න ගන්න අපරිමිත සෙනෙහස සමග දරන වෙහෙස ගැන හිතන්න. මේ හැඟීම මම කවියට ගොඩ නගනවා මෙහෙම.

අපේ රට අපේ ජාතිය ආගම දහම
අපේ පාසල අපේ පංසල අපේ ගම
අපේ මාපියන් අපේ ගුරුවරු යන හැඟුම
නැත්නම් කිම ද ඵල අප ලැබු මිනිස්කම

අද වර්තමාන සමාජයේ දරුවන්ගේ මනසවල් කුණු ගොඩවල්වලින් පිරිලා. ඔවුන්ගේ ජීවිත ෆෝන් එකටයි ලැප්ටොප් එකටයි සීමා කරලා. ඇතැම් දරුවන්ගේ පොතපතේ දැනුම කොතරම් හොඳ වුනත් මනුස්සකම පිරිහිලා. මෙහෙම ජීවත් වීම රටට ජාතියට පලක් නෑ. මේ විදියට මේ රට තව පුංචි කාලයක් ගියොත් නවතින තැන හිතාගන්න බෑ.

ලක්වැසියනි හැරී බලව් තොපි උපන් රට
යම් මෙහෙවරක් වෙනවද තොපගේ රටට
ඇඟේ බරටවත් මෙහෙයක් කොට රටට
ලක්වැසි එවුන් බව පෙන්වනු තොපි ලොවට

අද අම්මලා තාත්තලා සෑහෙන්න පිරිහිලා. මංගල උත්සවයක් වුණොත් මුල්තැන දෙන්නේ රහමෙර පානයට. දෙදෙනෙක් විවාහ දිවියට එළඹෙනවා කියන්නේ ඒක මුළු ජීවිත කාලයට ම යි. ඒ සැමියා සහ බිරිඳ බුදුහිමි කල ජීවත් වුණ නකුලමාතා, නකුලපිතා වගේ විය යුතුයි. සැමියාට බිරිඳත්, බිරිඳට සැමියාත් මිස අන් කෙනෙකු ලොව නැත.

අම්මා කියන නම ලෝකයේ බැබළේ නම්
මව් පදවිය අමිල බව වැටහෙනවා නම්
සැමියගෙ දරුවනගෙ නම්බුව නුඹ සතු නම්
යන්නට එපා බුදු අම්මේ නොමඟට නම්

මට දේශනයකින් මිස මේවා පත්තරයට දමන ලිපියකින් ලියා නිමකරන්න බෑ. මට දරුවන්ට කියන්න තියෙන්නේ “පුතේ කවියක්, පොතක්, පත්තරයකට අදහසක් ලියන්න. හොඳ ගුණධර්ම ඇති දරුවන් ලෙස ජීවත් වන්න.”

මගේ පුතේ ලෝකය දැකපං හොඳට
වැඩි දෙනෙකු ම යන්නේ නොදැන ම විනාශෙට
බලපං හරි පැත්ත පැනපං හොඳ අතට
නැත්නම් පුතේ දුක ම යි එනු බෑ ගොඩට

අද කාලේ දරුවෝ පොත්පත්, පත්තර එහෙම කියවන්නේ හරිම අඩුවෙන්. සියලු දෙනා ම තරඟකාරී ක්‍රමයක. ගුරුවරයෙකුට ගරු කරන්නේ නැහැ. ගුරුවරුන් දෙමාපියන් ඇස් පාදපු නිසා අද අපි මේ තැන ඉන්නවා කියලා හිතන්නේ නැහැ. ඇයි රත්තරං පුතේ මෙහෙම වෙන්නේ?

පළමු වසර සිට සිප්සත කියාදුන
ගුරුවරු වඳිමි මම පා දෙක අල්ලගෙන
දිවියෙහි මගේ බුදුහිමි වැඳ පුදාගෙන
පින් දෙමු ගුරුන් හට මගේ ඇස් පාදා දුන

මම මේ ලිපිය මෙතනින් නතර කරනවා. ඔබලා සැම දෙනා ම යහපත් මිනිසුන් වේවා!

බන්දුල ජයවර්ධන