ශාසනේ හැම සිව්පිරිස තුළ ගෞරවය ඇත ඔබ නමින්…

මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ හා නාගසේන මහරහතන් වහන්සේ වනාහී අනතුරු උපද්‍රවලින් බුදුසසුන ආරක්ෂා කර මේ වනතෙක් පැවැත්ම පිණිස කටයුතු කළ විශේෂ පැවිදි උතුමන් දෙනමකි. දුටුගැමුණු මහ රජතුමා වනාහී සුන්දර වූ බුදු දහමට වෙමින් තිබූ විනාශය වළක්වා දෙකට බෙදී තිබූ ලංකා රාජ්‍යය එක ම රටක් ලෙස සමෘද්ධිමත් කළ අසහාය උත්තමයා ය. මෙම උතුමන් තිදෙනා ම බුදු සසුනට වන විපත් දැක සිල්වතුන් ගුණවතුන් විසින් විශේෂ ලෙස ආරාධනා කොට මනුලොවට වඩමවා ගත් පින්වන්තයන් ය.

සසුන බබළවන පින ඇති – පිනැති දෙව්බඹුන් ලොව ඇති…

අප මෙය හොඳින් තේරුම් ගත යුතු ය. එනම්, බුදු සසුනේ දියුණුව කැමති, එය දියුණු කිරීමට හැකි රට ජාතිය ආගම බොහෝ කල් පැවැත්ම පිණිස කටයුතු කළ හැකි පින්වන්තයන් ලොව සිටිනා බවයි. උන්වහන්සේලාට ආයාචනා කොට මනුලොව පැමිණෙන්නට ආරාධනා කළ විට එසේ පැමිණෙන බවයි. එසේ පැමිණි පසු අප විසින් මේවා මේවා කළ යුතු යැයි පැවසීමට අවශ්‍ය නො වේ. හිතකර කුමක් ද අහිතකර කුමක් ද යන්න එතුමන්ලාට සහජයෙන් ම වැටහේ. පෙර කර ඇති පින්වල විපාක නිසා පුණ්‍ය ඍද්ධියෙන් ම රට දැය සසුනේ යහපත පිණිස කළ යුතු සියල්ල සුවසේ සිදු කරයි. අප සියලුදෙනාගේ පැතුම ද එය යි.

රැකදෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ ශාසනේ…

අපගේ සිත් සංවේගයට පත්වන කරුණක් වන්නේ, අප උපන් මව්බිමේ යහපත පිණිස, අප උපන් ශ්‍රේෂ්ඨ ජාතියේ යහපත පිණිස, අප ව සියලු දුකින් මුදවන බුදු දහමේ යහපත පිණිස අවංක ව කටයුතු කරනා උතුමන් දුලබ වීමයි. එවැන්නක් කිරීමට හැකි උතුමන් කවුරුන්දැයි දැන ගැනීමට අපට හැකියාවක් නැති බව සැබෑ ය. එනමුත් බුදුරජාණන් වහන්සේ වදාළ දෙය අදහාගෙන, ආයුෂ අවසන් ව මනුලොව ඉපදීමට සිටින එවැනි හැකියාවක් ඇති පින්වත් බ්‍රහ්මරාජයන්ට හා දිව්‍යරාජයන්ට අප විසින් ආරාධනා කොට මනුලොව ලංකාදීපයේ සිල්වත් බෞද්ධ මව්කුසක පිළිසිඳ ගන්නා ලෙස ඉල්ලීම කළ හැක. එවිට එම උත්තමයන් විසින් එම ඉල්ලීමට සවන් දී තම මෑණියන් වීමට සිටින, පියාණන් වීමට සිටින දෙදෙනාගේ ඉල්ලීම් විශේෂයෙන් සොයා බලනු ඇත. එසේ අවශ්‍ය ගැළපෙන සුදුසුකම් ඇත්නම් පින්වන්ත කවුරු හෝ එම මව්කුසට, එම පවුලට වඩිනු ඒකාන්ත ය. එවන් පින්වන්ත දරුවෙකුගේ උපතක් ම බලාපොරොත්තු වන දෙමව්පියන් විසින් ඒ සඳහා අනුගමනය කළ යුතු සිරිත් විරිත් පේවීම් ආදිය හොඳින් දැන සිටිය යුතු ය.

මව්පියවරුන් දිවි හිමියෙන් පේවීලා – කළ යුතු පිළිවෙතක් ඇත සැම ගැන හිතලා…

පින්වන්ත දරුවෙකු පිළිසිඳ ගැනීම පිණිස මවත් පියාත් අනුගමනය කළ යුතු ආර්ය චාරිත්‍ර පේවීම් මෙසේ ය.

1. දෙදෙනා ම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් (පැය විසි හතර පුරාවට පූර්ණ උපෝසථයක් ලෙස) සතියක් පුරාවට අෂ්ටාංග උපෝසථ සිල් සමාදන් වී පිරිසිදුව ගෞරවයෙන් ආරක්ෂා කළ යුතු ය.

2. එම සතිය පුරාවට දිනකට දෙවරක් (උදේ – සවස) මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස පූජාකර තෙරුවන් වන්දනා කළ යුතු ය. පිරිත් ධර්මයන් සජ්ඣායනා කළ යුතු ය. (තුන් සූත්‍රය – ධජග්ග පිරිත – මහාසමය සූත්‍රය – දම්සක් පැවතුම් සූත්‍රය ආදිය…) වන්දනාව අවසන බ්‍රහ්මරාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝවාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදන් කළ යුතු ය. (වෙනත් ඉල්ලීම් කිසිවක් නො කළ යුතු ය.)

3. එම සතිය පුරාවට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ඇතුළත් පොත්පත් කියවමින් ඒවා තේරුම් ගනිමින් ගත කළ යුතු ය.

4. දවසේ හැකි සෑම විට ම බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව ආදි භාවනා පුරුදු කළ යුතු ය.

5. මහා සඟරුවන උදෙසා දන්පැන් පූජා කළ යුතු ය.

6. මෙලෙස සතියක් පුරාවට උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කොට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින, ස්වර්ණමාලී මහාසෑ රජුන් වැඩ සිටින අනුරාධපුර පින්බිම වන්දනා කිරීමට යා යුතු ය.

7. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් තුන් වරක් දක්ෂිණාවර්තව පැදකුණු කළ යුතු ය. මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස පූජාකර තෙරුවන් වන්දනා කළ යුතු ය. පිරිත් ධර්මයන් සජ්ඣායනා කළ යුතු ය. වන්දනාව අවසන බ්‍රහ්මරාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝවාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදන් කළ යුතු ය. (වෙනත් ඉල්ලීම් කිසිවක් නො කළ යුතු ය.)

8. ස්වර්ණමාලී මහා ස්ථූපය අබියසට පැමිණ, අවිද්‍යා අන්ධකාරය දුරු කොට ප්‍රඥාලෝකයෙන් තුන් ලොව ම එළිය කළ භාග්‍යවතුන් වහනසේගේ සම්බුදු ප්‍රඥාලෝකයට උපහාර පිණිස යැයි සිතා පහන් දල්වන්න. තුන්ලොව පුරාවට විහිදී ගිය අපරිමිත සම්බුදු ගුණ සුවඳට උපහාර පිණිස යැයි සිතා සුවඳ දුම් දල්වන්න. සතළිස් පස් වසරක් පුරා ගත කළ පරම පිවිතුරු නිර්මල සම්බුදු දිවියට උපහාර පිණිස යැයි සිතා පිවිතුරු සුවඳ මල් පූජා කරන්න. ඉන් පසු මිහිරට සැදැහැයෙන් හඬනගා තෙරුවන් ගුණ සජ්ඣායනා කරමින් මහා සෑය තුන් වතාවක් දක්ෂිණාවර්ත ව පැදකුණු කරන්න. එසේ කිරීමෙන් පසු පේසා වළලු මත නළල තබා උතුම් බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත්, මහාසෑ රජාණන් වහන්සේටත් මාගේ ජීවිතය පූජා කරමි.. පූජා වේවා! යි සිතා ජීවිතය පූජා කරන්න.

උදෑසන කලයක දී නම් කිරිපිඬු පූජා කරන්න. සවස් කාලයක දී නම් ගිලන්පස පූජා කරන්න. සෑ මළුවේ ම මහාසෑය හොඳින් පෙනෙනා තැනක අසුන් ගන්න. මිහිරට සැදැහැයෙන් තෙරුවන් වන්දනා කොට ගාථා කියමින් මල්, පහන්, සුවඳ දුම් ආදි පූජාවන් පූජා කරන්න. පසුව මෙසේ දේවතා ආරාධනය සිදු කරන්න.

“සමන්තා චක්ක වාලේසු – අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස – සුණන්තූ සග්ග මොක්ඛදං
පරිත්තස්සවණ කාලෝ – අයං භදන්තා
පරිත්තස්සවණ කාලෝ – අයං භදන්තා
පරිත්තධම්මස්සවණ කාලෝ – අයං භදන්තා”

‘හාත්පස සක්වළ සිටින සදහම් අසනු කැමති දෙවියෝ සැදැහැසිත් උපදවාගෙන අප මුනිරජුන් වදහළ මිහිරි සදහම් ඇසුමට දැන් මෙතැනට පැමිණෙත්වා! පින්වත් දෙවිවරුනේ මේ එයට කාලය යි! ’

ඉන් අනතුරුව දම්සක් පැවතුම් සූත්‍රයත්, රතන සූත්‍රයත්, කරණීයමෙත්ත සූත්‍රයත් සජ්ඣායනා කරන්න. ඉන් පසු දෙනෙත් පියාගෙන ටික වෙලාවක් බුදුගුණ භාවනාවත්, මෛත්‍රී භාවනාවත් සිදු කරන්න. ඉන් පසු සතියක් පුරාවට රැස්කළ සියලු පුණ්‍ය ධර්මයන් වචනයෙන් පවසා ඝටීකාර බ්‍රහ්මරාජයා, සහම්පතී බ්‍රහ්මරාජයා, සනංකුමාර බ්‍රහ්මරාජයා ආදි බ්‍රහ්මරාජයන්ට පින් අනුමෝදන් කරන්න. රැස්කළ පින් සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝවාසී දෙවියන්ටත් අනුමෝදන් කළ යුතු ය. එමෙන් ම ශාසන භාරධාරී විෂ්ණු දෙවිඳුන්ටත්, සුමනසමන් දෙවිඳුන්ටත්, ස්වර්ණමාලී දෙවඟනටත් පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන් දුටුගැමුණු දිව්‍යරාජයාට පින් අනුමෝදන් කරන්න. භූමාටු දෙවිවරුන්ගේ පටන් සදෙව් ලෝවාසී සියලු දෙවිවරුන්ටත් බ්‍රහ්මකායික සියලු දෙවියන්ටත් පොදුවේ පින් අනුමෝදන් කරන්න.

ඉන්පසු ආයුෂ අවසන් වී මනුලොව වඩින්නට සිටිනා පින්වත් දිව්‍යරාජයෙකුට හෝ බ්‍රහ්මරාජයෙකුට පින්වත් දරුවෙකු බලාපොරොත්තු වන මෑණියන් විසින් තම කුසේ පිළිසිඳ ගන්නට මෙලෙසින් ආරාධනා කරන්න.

“සුගති ලොවක් වූ මිනිස්ලොව ඉපදීමට බලා සිටිනා දිව්‍යරාජයිනි, බ්‍රහ්මරාජයිනි මිනිස්ලොව ඉපදී උතුම් ම ලාභය වූ තිසරණ සහිත ශ්‍රද්ධා ලාභය ලැබීම පිණිසත්, බුදු සසුන සුරැකීම පිණිසත්, ලංකාදීපය ආරක්ෂා කර සිංහල ජාතිය ආරක්ෂා කිරීමටත්, රට දැය සසුන බොහෝ කල් සුවසේ පැවැත්ම පිණිසත් ඔබ වහන්සේලාගෙන් කවුරු හෝ තෙරුවන් කෙරෙහි පැහැදුන සිත් ඇති සීලවන්ත මාගේ කුස පිළිසිඳ ගනු මැනවි. අපි දෙදෙනා ම මහත් වූ සෙනෙහසින් ඔබ රැකබලා ගන්නෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මාගේ කුසේ පිළිසිඳ ගන්නා සේක්වා!” මෙසේ දෙවනුව ද තෙවනුව ද ආරාධනා කොට සිටින්න.

මෙසේ කරනා විට ඒකාන්තයෙන් ම පින්වන්තයෙකු ඔබගේ මව්කුසට, ඔබගේ පවුලට වඩිනු ඇත. මෙසේ ශාසනික ප්‍රතිපත්තීන්හි පිහිටීමෙන් පින්වන්ත දරුවෙකු කුස තුළ පිළිසිඳ ගත් පසු කටයුතු කළ යුත්තේ මේ අයුරිනි.

දරු සම්පත පිළිසිඳ ගත් පසු සිදු කළ යුතු ආර්ය චාරිත්‍ර

1. මව්කුසේ දරු සම්පතක් පිළිසිඳ ගත්තේ ය යන දැනීම පහළ වූ සැණින් මව්පිය දෙදෙනා තෙරුවන් වන්දනා කොට දරුවාව තෙරුවනට පූජා කළ යුතු ය.

2. ඉන් පසුව මහත් ඕනෑකමකින් දරු ගැබ ආරක්ෂා කර ගනිමින් පන්සිල් රකිමින් සඟරුවනට දන්පැන් පුදන්න.

3. තිසරණ ගුණ සඳහන් වන උතුම් දහම් පොත් කියවමින් ධර්මය සිහි කරන්න.

4. මෛත්‍රී භාවනාව නිතර වඩන්න.

5. උදේ සවස තෙරුවන් වන්දනා කරමින් සැදැහැසිතින් සෙත් පිරිත් සජ්ඣායනා කරන්න.

6. දරුවා බිහිවීමට කාලය ළඟාවන විට සංඝරත්නය බැහැදැක වන්දනා කොට උතුම් අංගුලිමාල පිරිතෙන් ආශීර්වාද ලබාගන්න. තුනුරුවනේ ගුණ සිහි කරමින් එම පිරිත් පැන් පානය කොට මව්කුසේ පැන් තවරා ගන්න.

ජාතිය රන් විමනක් වේ… ආගම මිණි පහනක් වේ… එය රැක ගන්නට මෙලොවේ… සමත් වෙතොත් පුත නුඹ වේ…

මෙසේ ආර්ය පිළිවෙත් පිරීමෙන් පින්වන්ත දරු උපතක් සිදු වේ. දෙමව්පියන්ට කරදරයක් නො වී, සමාජයට බරක් නො වී ලොකුමහත් වී, ඔහු පැමිණි කටයුත්ත නිර්භීතව සිදුකරනු ඇත. ඔහු උපන් පවුල දිනෙන් දින ධන ධාන්‍යයෙන් දියුණු වේ. මෙවන් පින්වන්තයින් දහපහලොස් දෙනෙක් පවුලක සිටිය ද මව්පියන් දෙදෙනාට සවියක් මිස බරක් නො වේ. ඔහුගේ සහෝදර සහෝදරියන්ට ශක්තියක්, ආඩම්බරයක්, ගෞරවයක් වේ. ඔහු අපගේ අවිහිංසාවාදී කෘෂිකර්මාන්තය දියුණු කරනු ඇත. ගෘහ නිර්මාණ ශිල්පය දියුණු කරනු ඇත. වාරි කර්මාන්තය දියුණු කරනු ඇත. වියළී ගිය රට සශ්‍රීක කරනු ඇත. බුදු සසුනේ දියුණුවට වෙහෙර විහාර ඉදිකරනු ඇත. සංඝරත්නය නො සිඳී පවතින්නට කල්‍යාණ වැටක් ඉදිකරනු ඇත. නිරෝගී ජනතාවක් වෙනුවෙන් ආරෝග්‍යශාලා ඉදිකරනු ඇත. සුවසේ ගමන් බිමන් යාමට මංමාවත් ඉදිකරනු ඇත. විදෙස්වලට ද ධාන්‍ය අතිරික්තය යවනු ඇත. සෑම පවුලක ම අගහිඟකම් දුරුකරනු ඇත. මෙසේ සොඳුරු පින්බිමක් නැවත තනන්නට ඔහු කටයුතු කරනු ඇත. අනුරාධපුර යුගයේ මෙන් සෑම මිනිසෙකුගේ මුහුණක ම සිනහ රැල්ලක් නැගෙන කලක් ඇති කරනු ඇත. මෙවන් බොහෝ පින්වත් දරුවන් ඇති බවේ වටිනාකම මෙවිට අන් අයට ද දැනෙනු ඇත. වත්මන් ජනගහනය මෙන් දෙගුණයක් සිටි පැරකුම්බා රජුගේ යුගය මෙන් වනු ඇත. මේ සියල්ල ඒ අයුරින් ම සිදුවීමට නම් අප විසින් අමතක නොකර පින්වත් බ්‍රහ්මරාජයන්ට, දිව්‍යරාජයන්ට ආරාධනා කර අපගේ සිංහල බෞද්ධ මව්කුසවලට ම වඩින්නට අවැසි කටයුතු කළ යුතු ය. රට දැය සසුන ගැන සිතනා මව්පියවරුන්ට, විවාහ වූ තරුණ තරුණියන්ට මෙය මහා අනර්ඝ අවස්ථාවක් වනු ඇත. එකලට අප මේ ලක්දෙරණේ ජීවත්ව නො සිටිය ද ඔවුන් හැම ඒ යහපත් දේ අත්දකිනු ඇත. මේ සඳහා මඟ පෙන්වූ අයට ද පින්පෙත් අනුමෝදන් කරනු ඇත. රට දැය සසුනට මහඟු සේවාවන් කළ ඔවුන් හැම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හැසිරී සියලු දුක් නිමාකර අමා නිවන අවබෝධ කරනු ඇත.

මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.