සියොතුන්ගේ කිචිබිචි නදින් ලොව පුබුදුවාලමින් ළහිරු කිරණින් ලොව නහවන හිමිදිරියේ පටන්… මළ හිරු ගොළු මුහුදේ ගිලී ගොස් ඝනඳුරින් ලොව වසාලන සන්ධ්‍යාව තෙක්ම… රන් යදමින් දෙඅත් දෙපා බැඳුණ ද සීමාවකට හසුනොවුණ නිදහස් සිතින්, හෙතෙම… සිර මැදුරේ කවුළුව අතරින් ඈත බලා සිටියි. ගිජුකුළු පව්වෙන් වඩින සොඳුරු බුදුරුව දකින සුවපත් සිතැති නිරිඳුන් තමාට සිදුවූයේ අසාධාරණයක් බව එකදු මොහොතකට හෝ සිහි නොකළේ ය.
අපමණ සෙනෙහසින් ළෙහි හොවා වැඩූ තම පුතුම තමාට එරෙහි වෙද්දී… දහම ම සිහි කරමින් සැනසුනු නිරිඳුන්… දිව රැයේ දෙනෙතින් මෙන්ම දහම තුළින් ද බුදු සමිඳුන්ව ම දැක ගත්තේ ය. හේ අන් කිසිවකු නොව, තුනුරුවන කෙරෙහි අචල ශ්‍රද්ධාවට පත්… අසත්පුරුෂ ඇසුරින් විපරීත සිත් ඇති අජාසත් කුමරුන් වෙතින් හිංසනයට ලක් වූ බිම්බිසාර නිරිඳුන් ය.
දැඩි අසාධාරණයකට ගොදුරුව, දඬුවමින් පීඩිත කය බිඳී යද්දී… දහමින් සුවපත් වූ සිත විසින් නිරිඳුන් ව දෙවියන් අතරට රැගෙන ගියේ ය. එනමුදු… අසාධාරණයට එරෙහිව නැගී සිටි අයෙකුට නම්, සාධාරණය හඹා ගිය අයෙකුට නම්, එවන් සුවපත් සිතක් සිහිනයෙකිනුදු ලද නොහැක්කේ ම ය.
සැබැවින්ම… මේ රුදුරු සසරේ සාධාරණයක් කෙසේ… කාගෙන්… බලාපොරොත්තු වන්න ද?
සැවැත්නුවර විසූ ප්‍රභූ කුල කතක් වන – සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් වන විශාඛාවන්, කොසොල් මහරජු ලවා ඉටු කරවා ගත යුතු කටයුත්තක දී… එය සිතැඟි පරිදි කරගත නොහී වෙහෙසට පත් වූ මොහොතක, අප තථාගතයාණෝ මෙසේ වදහළ සේක.
සබ්බං පරවසං දුක්ඛං – සබ්බං ඉස්සරියං සුඛං
සාධාරණේ විහඤ්ඤන්ති – යෝගා හි දුරතික්ක මා’ති.
“අනුන්ගේ යටතේ තියෙන හැම දෙයක්ම දුකක්. සියලු ලොව්තුරු ඉසුරුමත් බව සැපයි. සාධාරණය ඉටුකර ගන්න යන හැම දෙනෙක්ම පීඩා විඳිනවා. මේ කෙලෙස් බන්ධනවලින් නිදහස් වෙන එක නම් ලේසි දෙයක් නොවෙයි.” (විශාඛා සූත්‍රය, ඛු.නි. 1)
එමතුද නොව, සාධාරණය ඉටු කරගනු වස්, අසාධාරණයට එරෙහිව නැගී සිටීමට ගොස් සිතින් – කයින් – වචනයෙන් වරද්දා ගත් කල, එහි විපාක වින්ද යුත්තේ ද තමා විසින් ම ය.
මනුලොව මිනිසෙකු ව රසැති බොජුන් වැළඳූ, සීතල උණුසුම නසනා නිවහන්හි නිවැසූ අයෙකු මරණින් මතු නිමා නොවන ගිනිදැල් ඇති නිරයේ පැසෙයි නම්, සෙම් සොටු පමණවත් අහරක් නැති ප්‍රේත ලොව දැවෙයි නම්, අසූචි වළක් බඳු තිරිසන් උපතකට ඇද වැටෙයි නම්… ඒ අසාධාරණය කරන ලද්දේ අන් කිසිවෙකු නොවේ ම ය. එය වනාහී තමා විසින් ම තමාට කරගත් බලවත් අසාධාරණයකි.
ජීවිතයකට නොසිතූ ලෙස පහර පිට පහර වදිද්දී… තමාට සාධාරණය ඉෂ්ට කර ගැනීමට වෙහෙසෙනු වෙනුවට, ජීවිතයේ අරුත සොයා යා නම්, සැබැවින්ම හෙතෙම මහා නැණැතියෙකි. බුදුවරයන් වහන්සේලාගේ පහළවීමක් නොමැති යුගවල මිනිසාට මුහුණ දීමට තිබෙන්නේ ම නේක දුක්, කම්කටොළු, කෙලෙස් පීඩා පිරුණු අසාධාරණකම්වලට පමණි. ඒ පීඩාවන්ම ජීවිතයේ එකම ප්‍රශ්නය කරගත් මිනිසුන් ඊට විසඳුම් සොයමින්, අසාධාරණයට එරෙහිව සටන් වදිමින් සිට හිස් අතින් මැරී ගොස් සසරට ම ඇද වැටෙති. ඉන් ඔබ්බට ගිය ජීවිත අරුතක් ගැන කතාවක් ඒ යුගවල නොමැත.
නමුත් සිරි සදහම් ලොව පවතින යුගයක දී ද සාධාරණය ඉටුකර ගැනීම මත්තේ ම දිවිය දිය කර හරී නම්, ඔහු ජීවිත අරුතට පිටුපාන්නෙකි. යමෙකු ඒ සියලු කලකෝලාහල මැද, ඒවාට සංවේදී නොවී තම යහපත සලසා ගැනීමට නැඹුරු වේ නම්, ඔහු සදහටම ඒ දුකින් මිදෙනු ඇත.
අග්‍ර ශ්‍රාවක උතුමන්ගේ උපස්ථායක පවුලක දියණියක වූ ඇය… ඉතා මනස්කාන්ත රූ සපුවකින් හෙබි ගුණවන්ත කුමරියකි. දෙමාපියන්ගේ ආශීර්වාදය මැද ඕ පතිකුලයට පිවිසියේ සැනසිලිදායක අනාගතයක් ගැන සුභ සිහින දකිමිනි. ඇගේ අවිහිංසක සිහිනය දෑස් ඉදිරිපිට ම බොඳ ව යන්නට විය. තමා පැතූ ආදරය තම සැමියාගෙන් නොලැබුණා පමණක් නොව, ඇය නිවසේ සිටී ද කියාවත් ඔහු සොයා බැලුවේ නැත. සිතු මනාපයේ අන් ස්ත්‍රීන් සමඟ සබඳතා පවත්වමින් ඔහු වෙනම ලොවක සැරිසැරුවේ ය. හදවතින් කඩා වැටුනත්… සිතට තද දුකක් නොගත් ඇය, තම සිත හදාගත්තා ය.
ඇය තම සැමියා සමඟ රණ්ඩු කරන්නට සිතුවේ නැත. පලිගන්නට හෝ එකට එක කරන්නට සිතුවේ නැත. කොටින්ම… ඇය තමාට සාධාරණය ඉෂ්ට කර ගැනීමට වෙර දැරුවේ නැත. නුවණැති ඇයට තමාට සිදු වූ අසාධාරණය ලෝකයාට චෝදනා කිරීමට කරුණක් නොව, ජීවිතයේ අරුත සොයා යාමට අරමුණක් ම විය.
තම ස්වාමියාගේ කිසිම උපකාරයක් නැතිව ම ඇය අග්‍ර ශ්‍රාවක උතුමන් ප්‍රමුඛ මහ සඟරුවනට සතුටින් දන්පැන් පිදුවා ය. එදින භුත්තානුමෝදනා දෙසුම අවසන ඈ සෝතාපන්න ශ්‍රාවිකාවක් බවට පත් වූවා ය. එතැන් පටන් මහත් සතුටක් සැනසිල්ලක් අත්විඳි ඕ තොමෝ, තවදුරටත් ජීවිතයේ අරුත ම සෙවීමට උත්සුක විය.
සැමියාගෙන් අවසර ගෙන ගිහිගෙදරින් නික්මුණු ඕ නිවන ම සොයා ගියා ය.
සැබවින්ම… සියලු පීඩා, අසාධාරණකම්, බලාපොරොත්තු බිඳවැටීම් මැද නොසැලුනු ඇය… සකල කෙලෙස් නැසූ අරහත් උත්තමාවියක් බවට පත් වූවා ය.
(අසිතාභු ජාතකය)
තමාට සිදුවූ අසාධාරණයට එරෙහිව නැගී සිටියා නම්, සාධාරණය ම හඹා ගියා නම් ඇයට මේ සැනසුම මඟහැරී යනු නොඅනුමාන ය.
අප ද දිවිය දෙස විමසිලිමත් නෙතින් බැලිය යුත්තේ ම ය. කොතෙකුත් අසාධාරණකම්, අභූත චෝදනා, කැපිලි, කෙටිලි, නින්දා අපහාස ආදියෙන් දිවිමග පිරී ඇති බව නොරහසකි. මේ සියල්ල හමුවේ කාට නම් චෝදනා කරන්න ද? කොයි දිසාවට ඇඟිල්ල දිගු කරන්න ද? මේ සංසාර දෝෂය ම විනා අන් කිසිවක් නොවේ ම ය.
නේක ගැටලු පීඩා දුක් කරදර හමුවේ, සාධාරණය ඉටු කරගැනීමට ම වෙර දැරුවහොත්, අසාධාරණය ලොවෙන් තුරන් කිරීමට සටන් වැදුනහොත්, ඒ මත ම නිමා වන ඔබේ දිවියට නැවත සසරේ අසාධාරණය ම මුණගැසෙනු ඇත. යළි යළිත් විසඳුම් සෙව්වද… නොවිසඳෙන සංසාර අසාධාරණය විසින් යළි යළිත් ඔබ පෙළනු ඇත.
දිවි මගේ සුව පතා, මුහුණ දෙන ගැටළුවලට දැහැමින් පිළියම් කළ යුතු වුව ද… කිසිදා දුක් නැති ලොවක් මුණ නොගැසෙන බව දත යුත්තේ නුවණින් ම ය. නොවෙනස් සනාතන රැකවරණ ස්ථානය වන නිවන් පුරය කරා ම යා ගතහොත්… ඔබට අසාධාරණයක් කිරීමට සමතෙකු කොහි නම් සිටී ද? ඒ නිසා බුදුසසුනක් මුණගැසුන මේ දුර්ලභ මිනිසත් බව තුළ තමා තමාට ම කිසිදා නොවෙනස් වන සාධාරණයක් ඉෂ්ඨ කර ගත යුතු ම ය.
“ධර්මය ම” විනා අන් පිහිටක් තමාට නැති බව වටහා ගැනීමට සමත් විය යුතු ම ය.
මෙයද ඇසුව මැන… කොසොල් රජුගේ ඇමතියෙකු වූ ඔහු දක්ෂයෙකි. ගුණවන්තයෙකි. ඔහුගෙන් සැලසුන උපකාර නිසා ම රජු ඒ ඇමතිතුමාට බොහෝ යස ඉසුරු ලබා දුනි. මෙය ඉවසා ගත නොහැකිව ඉරිසියාවෙන් පෙළුණ ඇතැම් ඇමතිවරුන් මොහුට විරුද්ධව කේළාම් කියා රජුගේ සිත බිඳවීමට සමත් විය. කරුණු සොයා නොබැලූ රජ තෙමේ, සිල්වත් නිර්දෝෂී ඇමතියා ව බන්ධනාගාරගත කළෝය.
ඔහු තමා හට එරෙහි වූවනට ශාප කළේ නැත. වෛර කළේ නැත. කොටින්ම තම සතුරන් ගැන සිත සිතා සිටීමට තම උදාර සිත යෙදවූයේ නැත. ඔහු තම සිතෙහි ධර්මය පමණක් රඳවා ගැනීමට සමත් විය. ‘මට දැන් ධර්මය හැර වෙන පිහිටක් නැතැ’ යි සිතූ ඔහු, තම සිත භාවනාවට යෙදවීය. චිත්ත සමාධිය උපදවා විදසුන් නුවණ ද වඩා සිපිරි ගෙදර සිටිය දී ම ඔහු සෝතාපන්න ඵලයට පත් වූයේ ය. සැබැවින්ම ඔහු තම දිවියට අරුතක් එක් කර ගත්තේ ය. හිස් ලොවෙන් එල්ලවන තාඩන-පීඩන මැද නොසැලී, තමාට සිදු වූ කරදරය ම තම යහපතට යොදා ගැනීමට තරම් හේ නැණැතියෙක් වූයේ ය. (සෙය්‍යංස ජාතකය)
එනිසා අප ද තම විපත ම – සැපතට හරවා ගැනීමට තරම් දක්ෂ විය යුතු ය. තම දිවියට නොසිතූ විපත් කරදර පැමිණෙද්දී, නොකළ වැරදිවලට පවා තමා වැරදිකරු වෙද්දී, ලාභ – සත්කාර – කීර්ති – ප්‍රශංසා නැත්තටම නැතිවී තමාව පහතට ඇද වැටෙද්දී අසාධාරණකම්වලට ගොදුරුව මුළු ලොව ම ඔබට එරෙහි වෙද්දී පවා… සිහි කළ මැනව. ඔබට සරණක් ඇත්තේ ම ය.
කිසිදා ඔබව අත්නොහරින සම්බුදුරජුන් ව ම සරණ කරගනිමින්, තිසරණය තුළ ම පිහිටා, ධර්මයේ ම හැසිරීම හැර වෙන පිහිටක් නැති බව දත යුතු ය. සතුරන් ගැන හෝ සතුරුකම් ගැන හෝ සිත සිතා සිටීමට ඔබේ සිත නොයෙදවුව මැනව. උතුම් දහම ම සිතේ රඳවා දහමින් ම ජය ලබනු මැන.
“ධම්මාරාමෝ ධම්මරතෝ – ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්ඛු – සද්ධම්මා න පරිහායති”
“ධර්මය තුළ ජීවත් වන, ධර්මයට ම ඇලුන, ධර්මය ම හිත හිතා ඉන්න, ධර්මය සිහි කරන භික්ෂුව කවදාවත් සද්ධර්මයෙන් පිරිහෙන්නේ නෑ.”
(ධම්මපදය)
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments