මෙ ලක්දිව යුගයෙන් යුගය නොයෙක් නම්වලින් හැඳින්වින. මේ මහා භද්‍ර කල්පයෙහි පළමුව බුදු වූ කකුසඳ බුදුන් කල මෙ රට ‘ඕජදීප’ නම් විය. එකල මෙහි මිනිස් වාසය තිබින. දෙවනුව පහළ වූ කෝණාගමන බුදුන් සමයෙහි ලක්දිව හැඳින්වූයේ ‘වරදීප’ නමිනි. එකල ද මෙය මිනිස් වාසයෙකි. තුන්වැනිව පහළ වූ කාශ්‍යප බුදුන් දවස ද මිනිස් වාසයක් ව පැවති මෙ රට ‘මණ්ඩදීප’ නම් විය. ‘ලංකාදීප’ යන නමින් මෙ රට හැඳින්වූයේ අප ගෞතම බුදුන් දවස ය. එකල මෙය බිහිසුණු යකුන්ගේ වාසභූමියෙකි.

බුදුබව පතා පෙරුම් පිරූ අප මහබෝසත් එක්තරා අවදියෙක වළාහක නම් අහස් ගමන් ඇති අසෙකු ව හිමවතෙහි ඉපිද සිටියේය. එකල ලක්දිවට කීවේ ‘තම්බපණ්ණි’ යන නාමය ය. තම්බපණ්ණි ද්වීපයෙහි තම්බපණ්ණි විල්තෙර සරුවට වැවී තිබූ හැල්වී අනුභවයට බෝසත් අශ්වයා වරින් වර පැමිණේ. වෙළඳාම් පිණිස මුහුදු ගමන් යන්නවුන්ගේ නැව් මෙ රට ආසන්නයේ ආපදාවට ලක්වූ විට එහි මිනිස්සු ද මෙ රටට වරින් වර ගොඩබැස්සෝය. වළාහක අශ්වයාත් එසේ ගොඩබට මිනිසුන් මෙහි යකුන්ට බොජුන් වීමට පෙර හැකිතාක් දෙනා සිය පිට මතින් යළි මිනිස් පියසෙකට රැගෙන යාමට අමතක නොකළේය.

ඒ තම්බපණ්ණි ද්වීපයෙහි ‘සිරීශවාස්තු’ නමින් යකුන්ගේ නුවරක් තිබින. එහි ප්‍රධානයා මහාකාලසේන නම් බිහිසුණු යකෙකි. එකල මෙහි වුසූ යකුන් යකිනියන්ගේ ප්‍රියතම බොජුන වූයේ මිනිස් ලේ හා මස් ය. ඔවුහු මිනිසුන් බතල අල කන සෙයින් නරබිලි කෑමට රුසියෝ ය. ඒ අමනුෂ්‍යයෝ යක්ෂ ඉර්ධියෙන් නොයෙක් වෙස් ගනිත්. බිඳීගිය නෞකාවලින් මෙ රට ගොඩබස්නා මිනිසුනට පෙනෙනුයේ දරුවන් ඇකයට ගත් රුවැති ළඳුන්ය. ඔවුන් හා ගැවසෙන බල්ලන් බළලුන් ය. තැන තැන ලගින ගව මහිෂයන් ය. මිනිසුන්ගේ නෙත් අබියස බැලූ බැල්මට පෙනෙනුයේ ඒකාන්ත මිනිස් වාසයෙකි. එහෙත් සැබෑ තතු එයට ඉඳුරා ම වෙනස් ය. දිවි රැකගනු වස් මෙ දිවයිනට එන මිනිසුන් හා හාද වීමට ඒ යකින්නියෝ ඉතා සමත්යහ. මවන ලද මනුෂ්‍ය ආහාරපාන දෙමින් ඔවුන් හා එක් යහනේ වසන අතර මිනිසුනට සිතෙනුයේ මේ වනාහී සැබැවින් ම ගුණවත් ස්ත්‍රීන් කියාය. අලුතින් මේ දිවයිනට මිනිසුන් ගොඩබට සැණින් තමන් හා එක්ව වුසූ මිනිසුන් මායා බන්ධනයකින් සිරකොට උමඟෙක සඟවති. කෑමට ගනු ලබනුයේ ඒ මිනිසුන් ය. මිනිසුන් නොමැති කාලවලදී මිනිස් ළඳුන්ගේ වෙස් ගත් යකිනියෝ කැලණියත් නාගදීපයත් අතර මුහුදු වෙරළේ ඔබමොබ ඇවිදිමින් සිටිත්. එසේ ඇවිදිනුයේ තම්බපණ්ණියට එන මිනිසුන් මායා දැලෙහි සිරකොට අනුභව කරනු පිණිස ය.

අපගේ ශාස්තෘවර ගෞතම බුදුන් දවස ලක්දිව නමැති මෙ රට මිනීමස් අනුභව කරන බිහිසුණු යකුන්ගෙන් පිරීගිය යක්බිමක් බව මැනවින් දුටු සේක. අනාගතයෙහි මේ ද්වීපය මිනිසුනට වාසභූමි කරනු වස් අප භාග්‍යවතුන් වහන්සේ පළමුව මෙහි වැඩම කොට පෙළහර දක්වා ඒ අති බිහිසුණු මනුෂ්‍යඝාතක යකුන් මෙරටින් බැහැර කොට මුහුද මැද පිහිටි වෙසමුණි දෙව්රජුට අයත් ‘ගිරි’ නම් දිවයිනෙහි රැඳවූ සේක. එසේ ම මෙරටෙහි වෙරළබඩ උතුරු බටහිර පෙදෙස්හි විමන් තනා වාසභූමි කරගත් භූත නාගයන් ද බුදුන් කෙරෙහි පැහැදවිය යුතු විය. එයද අනාගත මිනිස් වාසයට පහසුව සදනු පිණිස ය. ඒ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දෙවනුව ද තෙවනුව ද මෙරටට වැඩම කොට මුළුමනින් ම මිනිස් වාසයට හිතකර පරිසරයක් ගොඩනැගූ සේක.

භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම සිදු වූ දා මෙරට ස්ථිර මිනිස් වාසයක ආරම්භය සිදුවිය. විජය නම් රජකුමරෙකු සත්සියයක පිරිවර සමග මෙරටට ගොඩබට දා සක්දෙවිඳුගේ අණින් ඔවුනට උපුල්වන් දෙවියන්ගේ රැකවල් නොලැබුණි නම් ඔවුන් ද කුවේණිය ඇතුළු යකුන්ගේ බොජුන් වනු නිසැක ය. අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් හෙබි විජය රජකුමරා යක් උවදුර දුරුකොට මහාකාලසේන යක් රජහුගේ යක් පලඳනා පැලඳ මෙලක්දිවෙහි ප්‍රථම නරදේවයා වීමට සමත් විය.

මිනිස් වාසය ක්‍රමයෙන් පැතිර ගොස් ලක්දිව පුරා තැන තැන අභිනව ජනපද පිහිටැවිනි. කකුසඳ බුදුන් දවස ‘අභයපුර’ නම් වූ, කෝණාගමන බුදුන් සමයෙහි ‘වඩ්ඪමානකපුර’ නම් වූ, කසුප් බුදුන් සමයෙහි ‘විසල්පුර’ නම් වූ මේ අගනගරය අභිනව මිනිස් වාසයෙන් පසු ‘අනුරපුර’ නම් විය.

අප භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවනින් දෙසිය සතිස් වසක් ගත වූ එක් පොසොන් පොහෝ දිනෙක අනුරපුරට පෙරදිගින් දිස්වන මිස්සක පව්වට අලුතින් රජ පත් තිස්ස නම් නිරිඳා සිය පිරිවර හා දඩයම් ගියේය. මිස්සක පව්වට නැගි නිරිඳාගේ නෙත් හමුවේ දිස්වූයේ තණ බුදිමින් සිටින මුවෙකි. නිරිඳා දුනුදිය පොළා මුවා කලබලයට පත් කැරවීය. වන වදුල අතරින් මුවා කඳුමුදුනට දිව යන කල්හි හඹාගියේය. සැණෙකින් මුවා ආගිය අතක් නොපෙණින. කවුදෝ කෙනෙකු ‘තිස්ස! තිස්ස!’යි තමාට නමින් අමතනු ඇසී රජ විස්මයට පත්විය.”

‘ඕ… මෙ ලක් දෙරණේ අධිපති රාජයා වන මා නමින් අමතන්ට තරම් ඔද තෙද ඇත්තා කවරෙක්ද!’ යි සිතා වටපිට බැලීය. ඉදුණු නුගඵලයෙක පැහැගත් වතක් පොරවාගත්, හිස මුඩුකළ අයෙක් ගල මත සිටී. කවරෙක් ද මොහු? රන් පැහැගත් මනස්කාන්ත යොවුන් සිරුරක් ඇතියෙකි. බබළන සුවිසල් නෙත් සඟල ය. අමුත්තා නිරිඳු දෙස දයාර්ද්‍ර බැල්මකින් යුතුව මෙසේ තෙපළේය.

‘මහරජුනි, ශ්‍රමණයෝ යැ ඇපි
දම්රජහුගේ සව්වෝ මු
තොප කෙරෙහි මැ වූ කරුණායෙන්
දඹදිව් සිට ආමු මෙහි’

මෙවදන් ඇසූ සැණින් තිස්ස නිරිඳුට සිහිපත් වූයේ සිය නුදුටු මිත්‍ර දඹදිව ධර්මාශෝක මහනිරිඳුන් විසින් තමාට එවන ලද හසුන්පත ය. එහි මෙසේ ලියා තිබුණි.

‘සබඳ නිරිඳුනි මම්
– බුදුන් දම් සඟුන් සරණ ගියෙමි
සැකි කුල මුනිහුගෙ
– සසුනෙහි උවසුවෙක් මි
තෙපිදු මෙ උතුම්
– තුන් තන්හි මැ
සැදෑ සිත් වඩා
– පහන් සිතින් සරණ බෙජෙ’

තිස්ස නරදේවයන්ට මෙය සිතුණි. ‘එසේ නම් මේ වනාහී දඹදිව දම්සෝ නිරිඳුන් කියූ දම්රජහුගේ සව්වෝ යැ. අපට ආගන්තුක පැවිදි උතුමෝ වනැ’ යි එකෙණෙහි දුනු හී බැහැර කොට තෙරිඳුනට ළංවැ වැඳ එකත්පස් වැ හිඳ පිළිසඳර දොඩන්ට වන. රාජපුරුෂයෝ ද වහා දිව අවුත් රජු පිරිවැරූහ. එසඳ මිහිඳු තෙරණුවෝ තමා හා කැටුව ආ අනෙක් සදෙනා ද දක්වාලූහ. ‘ඕහ්… මේ ශ්‍රමණවරු වැඩියෝ මෙහි කවදා ද?’

‘මහරජ, මා හා ය.’

‘නුඹවහන්සේ දඹදිව් සිට මෙහි වැඩියෝ කෙසේ?’

‘නරදේවයෙනි, දියෙනුත් නොවේ. ගොඩිනුත් නොවේ!’

‘හිමියනි, දඹදිව මෙවන් ශ්‍රමණවරු සිටිත් ද තව?’

‘එසේය නරදේවයෙනි, තව බොහෝ යැ. මෙකල දඹදිව කසාවතින් දිලේ.

පෙර වුසූ කඳපිළිවෙළ දත්
– මැරෙන ඉපදෙන සැටි දත්
කෙලෙස් හැම නසාලූ
– ඉදුහයෙන් අග පත්
අන් සත්හුගේ සිත දත්
– දිවැස් ඇති දිවකන් ඇති
තව බොහෝ සිටිත් එහි
– උහු සව්වෝ යැ බුදුහු ගෙ’

ඉක්බිති භගවත් මුනිඳුගේ අසිරිමත් බුදුබණ වටහාගැනුමට තිස්ස නිරිඳා සමත් වේ දැයි විමසා බලනු වස් මිහිඳු තෙරණුවෝ අසල තිබූ අඹගස පෙන්වා අඹපැන විමසූහ. නිරිඳා බුහුටි ලෙස එය විසඳාලීය. යළි නෑයන් ගැන ඇසූ කල්හි එය ද විසඳාලීය. ‘හෝ… නරදේවයෙනි, තෙපි වහා වැටහෙන නැණැතියෙකි!’යි පැසසූ මිහිඳු තෙරණුවෝ අප බුදුන් විසින් ලෝසත කෙරෙහි ළෙහි උපන් මහකුළුණින් වදාරන ලද සුවාසූ දහසක් මහ දම් කඳින් සුඟක් නගා ‘සුළු ඇත්පිය උවම’ නම් සුතුර පහදා සොඳුරු ව බුදුබණ වදාළෝ. තිස්ස නිරිඳහුගේ සිත බුදුන් කෙරෙහි දු දහම කෙරෙහිදු සව්වන් කෙරෙහි දු පහන් විය. පහන් වැ සිය පුරුෂයන් හා එක්වැ මිහිඳු තෙරුන් අබියස නොවක් සිතින් තෙරුවන් සරණ ගියෝ. එදා පටන් ලක්වැසි රජුන්ගේත්, ලක් දනන්ගේත්, මෙලොව පරලොව අභිවෘද්ධිදායක, මුල් මැ ගුරුදෙවි වූවෝ අප මහමිහිඳු තෙරණුවෝ ය.

මෙතෙක් කල් යකුන් යකිනියන් උදෙසා දොළ පිදේනි බලි බිලි කෙළි පුද දෙමින් ආ යක් ඇදහිලි නැතිව ගොස් සුසිල්වත් භික්ෂු, භික්ෂුණීන්ගෙන් ද උවසු, උවැසියන්ගෙන් ද මෙසිරිලක බැබළිණි. මහබෝ, දාගප් ඉදිවිනි. දනන් තුඩ තුඩ බුදුගුණ, දම්ගුණ, සඟගුණ රැව්දිනි. කසාවතින් බැබළුනි. මිහිඳු තෙරුන් රන් බඳුනක් වන් සිය ළයෙහි රුවාගෙන ආ සිංහතෙල් බඳු අසිරිමත් බුදුබණ ලක්බිම උපන් සිහල පුතුන්ගේ ළයෙහි රැඳැවිනි. ඔවුහු දහම වනපොත් කළහ. එදහම්හි හැසිර නිකෙලෙස් වූවෝ ලක්දිව රහතුන්ගෙන් පිරිනි.

සිරිලක දනන් හට
– කලණ මිත් යැ පරම
අනුබුදු කෙනෙකු සේ
– උදා වූ හිරු සඳු සේ
මහ මිහිඳු තෙරහු
– බැබළුවෝ මුළු සිරිලක
දෙවියෝ ද සක්වළැ
– මුළු දුන්නෝ මෙහි මැ
පිනට ලක් දනන්ගේ
– බුදු සසුන පිහිටැවූ
මිහිඳු මහතෙර ම යැ
– සිහලුන ගෙ ආදි ගුරුදෙවි
පොසොන් සඳ නැගෙන සඳ
– එ හැම පොහො දිනයෙ ම
කළගුණ දත් සිහලු
– සිහි කරත් මැ යි එය

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ