සීමැදුරු කවුළුව අසල සිටි නිරිඳුන්ගේ තියුණු දෑස් යොමුව තිබුණේ, තමා විසින් සැටදහසක් බමුණන්ට දන් වළඳවන දන්හල වෙත ය. සන්සුන් බවින් තොරව, අවිනීත ලෙස බොජුන් අනුභව කරන පිරිස දුටු රජ තෙමේ ඒ කරුණින් ම ඔවුන් තුළ හරයක් නොමැති බව පසක් කර ගති. සිත් පහදවන අන්දමේ දක්ෂිණාර්හයන්ගේ දර්ශනය පතමින් සිටි නිරිඳුන් සීමැදුරු කවුළුව අතරින් රාජාංගනය දෙස විඩාබර දෙනෙතින් බලා සිටින්නට විය.

සකල ජම්බුද්වීපය ම තනි රාජ්‍යයක් බවට පත් කොට, අහසේත් පොළොවේත් යොදුනක ප්‍රදේශය පුරා නිරන්තරයෙන් තම ආඥාව පිහිටන රාජ ඍද්ධිය සහිතව සිටින මෙතෙම පාටලීපුත්‍ර නගරයේ දී රාජාභිෂේකය ලැබූ අශෝක නිරිඳුන් ය.

රාජ්‍යත්වය හේතුවෙන් බොහෝ පව් කළ බැවින් ‘චණ්ඩාශෝක’ නමින් පතළව සිටි අශෝක නිරිඳුන්ගේ දිවි ගමනේ දිශානතිය වෙනතකට යොමු කරවමින් දැමුණු ඉඳුරන් ඇතිව සංසුන් පියොවින් රාජාංගනය හරහා වඩින සත් හැවිරිදි නිග්‍රෝධ නම් වූ රහත් සාමණේරයන්ගේ දසුන නිරිඳුන්ගේ විඩාබර දෙනෙතට රසඳුනක් විය. නරපතිඳුන්ගේ ඇරයුමෙන් රාජමාලිගයට වැඩම කොට සිංහාසනය මත වැඩ හුන් නිග්‍රෝධ රහතන් වහන්සේට රජු සියතින් ම දන් පැන් වැළඳවූයේ දක්ෂිණාවට සුදුසු උත්තමයකු මුණගැසීමේ ප්‍රීතිය භුක්ති විඳිමිනි.

දහම් අසනු කැමැති වූ නිරිඳුන්ට නීග්‍රෝධ මහරහතන් වහන්සේ සිඟිති මුවින්, ගම්භීර සරින් උතුම් ධම්මපදයේ අප්පමාද වර්ගයට අයත් සියලු දෙසුම් මැනවින් දෙසූ සේක. පිරිස සහිත රජු තිසරණ සහිත පංච ශීලයේ පිහිටවූ සේක. තෙරුවන් සරණේ මනාව පිහිටීමෙන් පසු අනේක පින්කම් කිරීම හේතුවෙන් හේ ධර්මාශෝක නමින් සුපතලව ගියේය. රජුගේ මෙම පරිවර්තනය ගෞතම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සනිටුහන් කළ හැරවුම් ලක්ෂ්‍යය විය.

නිරන්තරයෙන් සැට දහසක් භික්ෂූන්ට රජ ගෙයි දන් වැළඳවූ රජ තෙමේ සියලු සංඝෝපස්ථානයන්හි නිරතුරුව ම අප්‍රමාදී විය. හිරු මඬලක් සෙයින්, සඳ මඬලක් සෙයින් සුපතල මිහිමත එකල වැඩ සිටි සංඝඍෂීන් වහන්සේ වන සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා ම මනුලොව වැඩි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උතුම් දහම් ඇසුර ද රජුට නිබඳවම ලැබුණි. අප භාග්‍යවතුන් වහන්සේ අසූහාරදහසක ධර්මස්කන්ධයක් වදහළ බව තෙරුන් වහන්සේ වෙතින් දැනගත් නිරිඳාණෝ දඔදිව්තලය පුරා අසූහාරදහසක් වෙහෙර විහාර තැනවීය. එකම දවසේ සියලු විහාර පූජා කිරීමට කැමති වූ රජ කෙරෙහි අනුකම්පා ඇති අරහත් මුනිවරු විසින් සිදුකරන ලද ‘ලෝක විවරණ පූජා’ නම් ප්‍රාතිහාර්යය තුළින් දඹදිව් තලය පුරා සිදු වුණ සියලු විහාරවල සොඳුරු පූජාවන් සියැසින් ම දැකගත් නිරිඳාණෝ අතිශයින් ම සුපහන් සිත් උපදවා ගති.

බලවත් සතුටට පත්වූ දම්සෝ නිරිඳාණෝ “ස්වාමීනි, මේ මහා සුගත ශාසනයේ පරිත්‍යාග කළ අය අතර අග්‍ර කවුරු ද?” යැයි සංඝයා වෙතින් විමසීය. මහා නුවණැති මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ රජු සතුටට පත් කරවමින් මෙසේ වදාළ සේක. “මහ රජුනි, අප සුගත තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදීවත් ඔබට සමාන ත්‍යාගවන්තයෙක් බුද්ධ ශාසනයේ නොසිටියේ ය.” “එසේ වී නම් ස්වාමීනි, මා වැනි කෙනෙක් බුද්ධ ශාසන දායාදය ලැබූවෙක් නේද?”

ධර්මාශෝක නරේන්ද්‍රයාගේ පුත්‍ර මහින්ද කුමාරයාගේත්, රාජ දියණිය වන සංඝමිත්තා කුමරියගේත් නිවන් අවබෝධයට සුදුසු වූ පුණ්‍ය වාසනා සම්පත් අඳුරු ගුහාවක දිලෙන පහන් එළියක් සෙයින් දැක වදාළ අප තෙරුන් වහන්සේ ඔවුන් විසින් අනාගතයේ ගෞතම බුද්ධ ශාසනය බබුළුවන බව ද නුවණින් දුටු සේක.

සුගත තථාගත සසුනේ සුරක්ෂාව සහ චිරස්ථිතියට කැපවී සිටි මහ තෙරුන් වහන්සේ මේ සියලු කරුණු සලකා බලා දුන් පිළිතුර අතිශයින් ම තීරණාත්මක විය.

“මහරජුනි, ඔබ ඉතා ත්‍යාගවන්තයෙක් වුණත් බුද්ධ ශාසනයෙහි දායාද ලැබූවෙක් නොවේ. ඔබ සිව්පසය පුදන දායකයෙක් පමණි. මහරජුනි යමෙක් තමන්ගේ පුත්‍රයකු හෝ දියණියක හෝ බුදු සසුනෙහි පැවිදි කරවනවා නම් ශාසන දායාදය ලැබූවෙක් වන්නේ ඔහු ය.”

බබළන නුවණින් යුතුව තෙරුන් වහන්සේ වදාළ මේ වදන් පෙළ…. මතුදිනක ලංකා ධරණිතලයේ සම්බුද්ධ ශාසනය බබුළුවන මූල බීජය විය.

මෙවදන සවනත වැකි සැණින් දහම්සෝ නිරිඳුන් හද, ශාසන දායාදය ලබනු වස් නිම්හිම් නැති ආශාවක් ඇති විය. නිරිඳුන් තම නෙතු සඟලවන් මහින්ද රාජ කුමාරයා දෙසත්, සංඝමිත්තා රාජ කුමරිය දෙසත් ආදරයෙන් බලා පවසා සිටියේ “කිම මාගේ දරුවනි, තෙපි පැවිදි වන්නාහු ද? බුදු සසුනේ පැවිද්ද වනාහි ඉතා උතුම් දෙයක් නොවැ.” පිය රජුන් ඉදිරියේ පවසාගත නොහැකිව බොහෝ කලක් තම හදවත්හි තෙරපෙමින් තිබූ උතුම් පැවිදි බව පිළිබඳ පැතුම ඉටුවන කල කුමකට නම් තවත් පමා වන්න ද? ඔවුන් පවසා සිටියේ “දේවයන් වහන්ස, ඔබ වහන්සේ කැමැති වන සේක් නම් අපි අදම පැවිදි වන්නෙමු.” යනුවෙනි.

පිය සෙනෙහස හදේ දරාගත් ධර්මාශෝක නිරිඳුන් විසින් ශාසන දායාදය පතා බුද්ධි බලයෙනුත් – රූප බලයෙනුත් බබළන මිහිඳු නැමැති ප්‍රිය පුත්‍රයාත්, සංඝමිත්තා නැමැති රාජ දියණියත් මහත් ගරු සත්කාර සහිතව ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි කරවීය. පියරජුගේ මනදොළ සපුරා දුන් මිහිඳු කුමරු ඒ වන විට විසිවන වියේ පසු වූ අතර සංඝමිත්තා රාජ දියණිය දහඅට වන වියේ පසු වූවා ය.

අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මිහිඳු කුමරුගේ උපාධ්‍යායන් වහන්සේ වූ අතර මහාදේව තෙරුන් වහන්සේ කුමාරයා ව පැවිදි කරවූ සේක. උපසම්පදාවේදී කර්ම වාක්‍ය පැවසුවේ මජ්ඣත්තික තෙරුන් වහන්සේ විසිනි. පැවිදි වූ දිනම උපසම්පදාව ලද අප මුනිඳුන් උපසම්පදා මාලකයේ දී ම සතර පටිසම්භිදා සහිතව උතුම් අරහත් ඵලයට පත් වී වදාළහ.

මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා තුන් අවුරුද්දක් ඇතුළත දී සිය උපාධ්‍යායන් වහන්සේ වූ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ වෙතින් තුන්පිටකය ම මැනවින් ඉගෙන, සිය නිකෙලෙස් හද මඬල නැමැති සොඳුරු රන් බඳුනෙහි තථාගත ශ්‍රී සද්ධර්මය නමැති විශ්මිත සිංහ තෙල බහා ගත් සේක. ශ්‍රී සම්බුද්ධ ශාසන ගගන තලය ශෝභමාන කළ හිරුමඬල සේ මිහිඳු මහරහතන් වහන්සේ සුපතළ ව ගිය සේක.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යන්නට විය. ගෞතම සම්බුද්ධ ශාසනය කරා ගලා ආ අපමණ ලාභ සත්කාරයන්හි ගිජු වූ අන්‍ය තීර්ථකයෝ තමන් ම සිවුරු පොරවාගෙන සුපේශල භික්ෂූන් අතරට වැදී ශාසන පරිහානියට මං විවර කරන්නට විය. මේ බරපතළ ශාසනික අර්බුදය දුටු මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ශාසන උන්නතියට සුදුසු කල් බලමින් විවේකී ව හුන් සේක.

ශාසනය යළි නගා සිටුවීමේ අවශ්‍යතාවය දුටු ධර්මාශෝක නරේන්ද්‍රයාණන් මහත් ගෞරවයෙන් උත්තම සංඝපීතෘන් වහන්සේ වැඩම කරවාගෙන මිථ්‍යාදෘෂ්ටික වූ සැට දහසක් පමණ දෙනා සිවුරු හරවා සංඝයා වහන්සේ පිරිසිදු බවට පත් කරවී ය. ධර්මාශෝක රජු විසින් සලසන ලද ආරක්ෂාව ඇතිව උතුම් රහතන් වහන්සේලා දහස්නමකගේ සහභාගිත්වයෙන් නව මාසයක් පුරාවට තුන්වන ධර්ම සංගායනාව සිදු කොට වදාළ මොග්ගලීපුත්ත තිස්ස නැමැති අපගේ සංඝ ඍෂීන් වහන්සේ ගෞතම සම්බුද්ධ ශාසන චිරස්ථිතිය සිදු කොට වදාළ මොහොතේ සාදුකාර දෙන්නියක සෙයින් මහ පොළොව කම්පාවට පත් වූවා ය.

සුගත තථාගත ශාසනය බබුළුවාලූ අපගේ ශ්‍රීමත් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ තුන්වැනි ධර්ම සංගායනාව සමාප්ත කොට අනාගතයෙහි සම්බුදු සසුන පිහිටන ප්‍රදේශ පිළිබඳව නුවණින් බලා වදාළ සේක. තෝරාගත් ඒ ඒ ප්‍රදේශවලට රහතන් වහන්සේලා පිටත් කොට යවා මහා මහින්ද මහරහතන් වහන්සේ ඇතුළු තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වන ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල නැමැති රහතන් වහන්සේලාට “ඔබ වහන්සේලා ඉතා රම්‍ය වූ ලංකාදීපයට වැඩම කොට ඉතා සොඳුරු වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවව්” යි පැවසූ සේක.

අප තථාගතයාණෝ දිවමන් කල ලංකාදීපය වනාහි යක්ෂාවාසයකි. අප්‍රමාණ වූ අවබෝධ ඤාණයෙන් යුක්ත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලංකාදීපයේ අනාගත යහපත සලසනු පිණිස සසුනට විරුද්ධ ගති ඇති පිරිස් නැමැති කටු කොහොල් හරවනු පිණිස, අසුර නාග ආදී පිරිසට සෙත සලසනු පිණිස අනාගත ඤාණයෙන් බලා වදාළෝ තෙවරක්ම ලංකාදීපයට වැඩම කොට වදාළ සේක. අතිශයින් දයා කරුණා ඇති, මහා කාරුණික වූ, ලොවම එළිය කරන පහනක් බඳු වූ බුදුරජාණන් වහන්සේ ඉතා සුන්දර වූ ලක්දිවට තුන්වරක් වැඩමවා වදාළ කාරණයෙන් ලංකාදීපය පාරිශුද්ධත්වයට පත් විය.

බුද්ධ කෘත්‍යය සම්පූර්ණ කොට, පිරිනිවන් පෑම පිණිස උපවත්තන සල් වනයේ යමා සල් රුක් අතරේ පනවන ලද සයනයෙහි සැතපී වදාළ අප තථාගත භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳුන් අමතා මෙසේ වදාළ සේක.

“සිංහබාහු නැමැති රජුගේ පුත්‍රයා වන විජය කුමාරයා සත්සියයක් පිරිවර සහිතව ලාට රටින් පිටත්ව අද ලංකා දිවයිනට ගොඩ බැස්සේ ය. දේවේන්ද්‍රය, මාගේ සම්බුද්ධ ශාසනය පිහිටන්නේ ලංකාදීපයේ ය. එනිසා පිරිවර සහිත ඔහුවත්, ලංකාදීපයත් හොඳින් ආරක්ෂා කරව.”

නිසැක බස් ඇති අප මුනි රජුන් වදාළ අයුරින්ම සම්බුද්ධ පරිනිර්වාණය වූ දිනයේ දී ම ලක්දිවට ගොඩබට විජය රජුගෙන් ඇරඹි රාජ පරම්පරාව ක්‍රමයෙන් විකාශනය විය.

තුන්වන ධර්ම සංගායනාවෙන් පසු ධර්මදූත රහතන් වහන්සේලා ඈත රටවලට වැඩම කරන කාලය වන විට අපගේ මහා නුවණැති මහා මහින්ද මහරහතන් වහන්සේ උපසම්පදාව ලබා දොළොස් වසරක් ගත වී තිබුණි.

උන්වහන්සේ ගෞතම සම්මා සම්බුදු සසුන කෙරෙහි ලංකාදීපවාසීන් පහදවනු පිණිස ඊට සුදුසු කාලය බලාපොරොත්තුවෙන් වැඩ සිටි සේක. එවකට ලක්දිව රජකළ මුටසිව රජු ඉතා මහලු බැවින් ඔහුගේ පුත් දේවානම්පියතිස්ස කුමරු රජ බවට පත් වූ පසු ලංකාදීපයට වැඩම කිරීමට අදිටන් කරගත් අප මහරහතන් වහන්සේ ලංකා රාජ්‍යයේ අලුත් රජෙක් බිහි වන කාලය අතරතුර තමන් වහන්සේගේ ඥාතීන්ට අනුග්‍රහ පිණිස දක්ෂිණා ගිරි ජනපදයට වැඩිසේක.

සුදුසු කල් දන්නා අපගේ මිහිදු මහරහතන් වහන්සේ මෙසේ අධිෂ්ඨාන කොට වදාළ සේක.

“මාගේ පිය රජුගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන දෙවන අභිෂේකෝත්සවය දේවානම්පියතිස්ස මහ රජු අනුභව කරත්වා!

පියරජු විසින් යවනු ලබන දූතයන්ගෙන් තුනුරුවන් ගුණ අසා දැනගනිත්වා!

ඒ දෙවන පෑතිස් රජු ලබන පොසොන් පොහෝ දිනයේ දී මිස්සක නැමැති පර්වතයට නගීවා! ඒ දවසෙම අපි උත්තම ලංකාදීපෙට යන්නෙමු.”

උතුම් පොසොන් පොහෝ දිනය උදා විය. ඒ අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා දෙසිය තිස්හයවන වර්ෂය යි. ලංකාදීප ප්‍රසාදක ගුණයෙන් යුතු, ලංකාවට ශාස්තෘන් වහන්සේ බඳු අපගේ මිහිදු මහරහතන් වහන්සේ ලක්වැසි දෙවියන්ගෙන් පිදුම් ලබමින් ලංකාවේ යහපත උදෙසා ගුවන් ගැබෙන් වැඩම කොට වදාළ සේක. ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල රහතන් වහන්සේලාත්, සුමන සාමණේර රහතන් වහන්සේත්, භණ්ඩුක නැමැති අනාගාමී උපාසකතුමා සමගින් රම්‍ය වූ මිස්සක පර්වතයේ ඉතා සිත්කලු වූ උතුම් අම්බස්තල ගල්කුල මත වැඩ සිටියහ.

හතළිස් දහසක් පිරිස පිරිවරා ගත් අපගේ දේවානම්පියතිස්ස රජු පොසොන් පුන් පොහෝ දිනයේ ම මුව දඩයම පිණිස මිස්සක පර්වතය දෙසට දිවයන්නට විය.

ගෝන වෙස් ගත් පර්වතවාසී දේවතාවෙකුගේ මෙහෙයවීමෙන් දේවානම්පියතිස්ස රජු දහම් දායාදය දරා වැඩ සිටි මිහිඳු මහරහතන් වහන්සේ අබියසට ම පැමිණියේ ය.

දුටු දසුනෙන් රජු තැති ගත් බව දැනගත් රහතන් වහන්සේ “මහරජුනි, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ම දඹදිව සිට මෙහි ආවෙමු.” යි වදාළහ.

මහා නුවණැති තෙරුන් වහන්සේ අඹ පැනය විමසා රජු නුවණැතියෙකු බව වටහාගෙන අප මුනි රජුන් වදාළ චුල්ල හත්ථිපදෝපම සූත්‍රය මුල් කොට රජුට දහම් දෙසූ සේක. පුණ්‍ය ඍද්ධි ඇති අප මහ රජ්ජුරුවන් වහන්සේ, සතලිස් දහසක් වූ පිරිවර මිනිසුන් සමගින් තෙරුවන් සරණෙහි පිහිටියාහු ය. දහම් මෙහෙවරෙහි බර දරා ගත් අප මහරහතන් වහන්සේ පසුදින රජමාලිගයට වැඩම කොට ප්‍රේත වත්ථු, විමාන වත්ථු ඇසුරෙන් දහම් දෙසද්දී අනුලා දේවිය ප්‍රධාන පරිවාර ස්ත්‍රීන් සෝතාපන්න ඵලයට පත් වූහ. එදින රැස්වූ නුවර වැසියන්ට දේවදූත සූත්‍රය මුල් කොට දහම් දෙසද්දී ඔවුන් අතරින් දහසක් දෙනා දහම් ඇස උපදවා ගත්තාහු ය.

මෙසේ ඇරඹි අනුබුදු මිහිදු මුනිඳුන්ගේ සදහම් ආලෝකයෙන් මුළු දඹදිවම ඒකාලෝක වන්නට විය. අනුබුදු මිහිඳු මුනිඳුන් මුවගින් ගලාගිය දහම් ගඟුල ලක්වැසි දනන් සිත් සුවපත් කරමින් ගලා බසින්නට විය. අධර්මයෙන් මුදවා ධර්මයට සත්වයන් පමුණුවාලීමේ දී අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වූහ. ෂඩ්අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන් කතා කරන දීප භාෂාවෙන් ම ධර්මය වදාළ සේක.

සුළු කලක දී ම ලංකාදීපය ද දඹදිව් තලය සේ කසාවතින් බැබළී ගියේය. මගඵලලාභී උතුමන්ගේ ගුණ තේජසින් ලක් දිවයින ශෝභමාන විය. සුදුවත් දරන ගිහි උපාසක උපාසිකාවන්ගෙන් ගැවැසී ගත්තක් විය. අනුකම්පා ඇති ලංකාදීපප්ප්‍රසාදක මහරහතන් වහන්සේ අතීත බුද්ධශාසන ලක්දිව පිහිටි ආකාරයත්, ගෞතම සම්බුදුරජාණන් වහන්සේ තෙවරක් මෙහි වැඩම කොට බුදු පහසින් පාරිශුද්ධත්වයට පත් කළ පූජනීය ස්ථානත්, දඹදිව මුදුන් මල්කඩ බඳු වූ ද්‍රෝණයක් මුනි ධාතුන් වහන්සේලා වඩා හිඳුවමින් ඉදිවන ස්වර්ණමාලී මහා සෑරජුන් පිහිටන ස්ථානයත් ඇතුළු සියලු තොරතුරු මැනවින් පෙන්වා දුන් සේක.

අපගේ ආදි ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ලෝකනාථ අප මුනිරජුන්ගේ දකුණු අකු ධාතූන් වහන්සේත්, බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලාත් ලබාදී මේ ලංකාදීපය දිවමන් මුනි රජුන් වැඩ සිටින සුගන්ධ කුටියක් බවට පත් කරවූ සේක. රන්කොත්වලින් පැන නගින රන් රැසින් අහස්කුස බබුළුවන, කිරි සුදෙන් බබළන සෑ රජාණන් වහන්සේලාගෙන් ශෝභමාන පින්බිමක් බවට හෙළදිව පත් කරවූ සේක.

අපට ශාස්තෘන් වහන්සේනමක් බඳු වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිංහල මහරහතන් වහන්සේලා බිහි කොට, ඒ උතුමන් මුව මුව අමා දම් පද රැඳවූ සේක. ඒ දහම් සරින් දෙව් මිනිස් ලොව ඒක නින්නාද කරවූ සේක. සිල් රකින, ගුණ පුරන, දන් පුදන උවසු උවැසියන් බිහි කළ සේක. ලක්වැසි දනන් හට ධර්ම විනය මැනවින් පහදා දුන් සේක.

පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින් ලෝකනාථයන් වහන්සේ සිදු කළ අධිෂ්ඨාන ගැන මැනවින් දන්නා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ උත්තම ශ්‍රී මහා බෝධි දක්ඛිණ ශාඛාව ලංකාදීපයට වැඩම කරවා දුන් සේක. සිරිමා බෝ සමිඳුන්ගේ ආශීර්වාදය ලක්වැසි දනන් හට සලසා දුන් සේක. මහා අනුකම්පා ඇති මිහිඳු මහරහතන් වහන්සේ තම සොයුරියව සිටි සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ව ලංකාදීපයට වැඩම කරවා ලක්වැසි කතුන්ට ගෞතම බුදු සසුනේ පැවිදි උපසම්පදාවට මං විවර කර දුන් සේක. දහස් ගණනින් සිංහල භික්ෂුණීන් වහන්සේලා අර්හත්වයට පත් වූහ. සිංහල මව්වරුන්ගේ කුසින් බිහිවූ, සිංහල පොළොවේ හැදී වැඩුණු සිහලුන්ගේ හද පියුම් දම් රසින් පුබුදුවාලූ හිරු මඬල වූයේ මිහිඳු මහරහතන් වහන්සේ ය.

යුග යුග පුරා පැතිර ගිය මෝහාන්ධකාරය දුරු කොට අමා මිණි පහන දැරූ පැණවතාණෝ මිහිඳු මහරහතන් වහන්සේ ය. නැණ පහන දැරූ ගුරු දෙවි වෙතින් ලක් දනන් නැණ මඩුලු දැල්විණි. දරා සිටි මිසදිටු වැරහැලි ඉරා ලක් දනන් සම්දිටු සළු පිළියෙන් සැරසවූ කාරුණිකයාණෝ මිහිඳු මහරහතන් වහන්සේ ය.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් සම්බුද්ධ ශාසනය මෙහි පිහිටුවා ඉතා යහපත් ලෙස ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරවීම් ආදියෙන් භාණක පරම්පරා බිහිකොට ලංකාදීපය බැබළවූහ. ලංකාවට මහත් පිහිටක් ලබා දුන්හ. මහා සංඝ පිරිවරකින් යුක්ත වූහ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ශාස්තෘන් වහන්සේ හා සමානව සත්වගට සෙත සදමින් නිවන් පුරට මං දෙසූ සේක.

තිස් දෙහැවිරිදි වියේ දී ලංකාදීපයට වැඩම කොට වදාළ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අසූ වෙනි වියතෙක් කෙදිනකවත් නැවත දඹදිව් තලයට නොවැඩි සේක. අප කෙරෙහි අනුකම්පාවෙන් අපට සෙත සලසමින් මෙහි ම වැඩහුන් සේක. උපසම්පදාවෙන් සැට වසරක් ගත වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා සෑ ගිරි විහාරයෙහි වැඩ වාසය කළහ. ලොව එළිය කළ හිරු මඬල බැස යන සෙයින් වප් මස පුර අටවක දිනෙහි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.

පිරිනිවන් පා වදාළ, ලංකාදීපප්‍රසාදක, අපට ශාස්තෘන් වහන්සේ බඳු අපගේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

අපගේ සිත, කය, වචනය යන තිදොරින් දැන හෝ නොදැන හෝ සිදුවී තිබෙන සියලු වරදට අපගේ ආදි ගුරු ගුරුදේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට සමාව ලැබේවා!

-ඇසුර මහාවංශය-

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි.