වීදාගම වෙහෙරෙහි මෙත් තෙරිඳු සඳ – සාධාරණව පැවසූ මෙත් සිතින් නද

කෝට්ටේ රාජධානි සමයෙහි වීදාගම මහා විහාරාධිපතිව වැඩ විසූ මෛත්‍රිය මහ තෙරුන් වහන්සේ සයවන සිරි පැරකුම්බා (ව්‍ය. ව. 1412-1467) සහ සයවන බුවනෙකබා (ව්‍ය. ව. 1467-1476) යන රජවරුන් දෙදෙනාගේ ම රාජ්‍ය කාලය තුළ ජීවත්ව කටයුතු කළ බවට සාක්ෂි ලැබේ. සයවන බුවනෙකබා රජුගේ කාලය තුළ උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ශාසනික කටයුතුවල ප්‍රධානත්වය ගෙන කටයුතු කළ බව ඓතිහාසික ලේඛනවලින් හෙළිවේ. ත්‍රිපිටක ධර්මයෙහි විශාරදත්වයට පැමිණ සිටි විචිත්‍ර ධර්ම කථිකයෙකු වූ උන්වහන්සේ යාපනය ප්‍රදේශයේදී පැවැත්වූ ධර්ම දේශනාවක් අසා, බුවනෙකබා රජු ඉතා පැහැදී කළ පූජාවක් පිළිබඳ විස්තරයක් සෙල්ලිපියක සඳහන් වේ. උන්වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව, බුදුගුණ අලංකාරය යන කාව්‍ය ග්‍රන්ථ දෙක සිංහල බෞද්ධ සමාජයෙහි බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇත. එදා පටන් අද දක්වා පොදු ජන ගුණ වගාවට මේ පොත් දෙකෙන් සැලසුනු මෙහෙය ඉතා විශාල ය.

ලෝවැඩ සඟරාව උන්වහන්සේ මුලින් ම කරන ලද කෘතිය ලෙස සැලකේ. මෙය උපදේශාත්මක ගණයෙහි ලා දැක්විය හැකි ය. මෙම කාව්‍ය ග්‍රන්ථය රචනා කිරීමට ද වීදාගම හිමියන්ට හේතුවක් තිබිණි. එකල 15 වන ශතවර්ෂය යි. ලංකාව දේශපාලන, ආගමික, ආර්ථික හා සංස්කෘතික වශයෙන් පරිහානියට පත්වෙමින් පැවති කාලයකි. දකුණු ඉන්දීය සතුරු ආක්‍රමණයන්ට මුහුණපෑමට අසමත් වූ සිංහල රාජ්‍යය ක්‍රමයෙන් දිවයිනේ බටහිර දක්වා පසු බැස්සේ ය. මේ වන විට දිවයිනේ අගනුවර ශ්‍රී ජයවර්ධනපුරය යි.

ඉහත සඳහන් පරිහානිය සමාජයේ සෑම අංශයකට ම බල පෑවේ ය. භික්ෂූන් වහන්සේලා ක්‍රමයෙන් අපිස් ජීවිතයෙන් ඈත්ව වෛදික, හින්දු හා මහායාන සිරිත් විරිත්වලටත් දේව පූජා ආදියටත් වඩ වඩා නැඹුරු වූහ. උපුල්වන්, ශිව, නාථ, දෙවිවරු ආගමික සංස්ථාවේ පෙරමුණේ සිටියහ. සිංහල භාෂාවට ද මෙය අපල කාලයක් විය.

‘දෙමළ, සකු, මගද නොහසල සතට දද’ යනුවෙන් අලගියවන්න පඬිතුමා සුභාෂිතයේ සඳහන් කළේ දෙමළ, සංස්කෘතික, පාලි ආදී භාෂාවන් නොදන්නවුන් නූගතුන් බවයි. වීදාගම හිමියන් ලෝවැඩ සඟරාව රචනා කිරීමේ දී
“එබැවින් එළුවෙන් කීවයි අනදර
නොවමින් බැතියෙන් අදරින් නමකර”

යනුවෙන් ‘සිංහල භාෂාවෙන් කීවා ය කියා අගෞරවයක් නොකර භක්තියෙන් මේ දහම් අසන්න’ යනුවෙන් සඳහන් කළේ එම නිසා ය. ආගමික වශයෙන් සිදුවන මේ පරිහානියට විරුද්ධව නැගී සිටි වීදාගම මෛත්‍රිය හිමියෝ පොදු ජනයා මිථ්‍යා දෘෂ්ටියෙන් බැහැර කොට බුදු දහමේ මූලික ඉගැන්වීම්වලට අනුගත ජීවිතයක් ගත කිරීමට පෙළඹවීමට ගත් ව්‍යායාමය ලෝවැඩ සඟරාවෙන් පැහැදිලි වේ. උන්වහන්සේට අවශ්‍ය වූයේ, ‘කළ කම් පල දැන් හෙළි කොට’ පැවසීමටයි. උදාහරණ වශයෙන් දස අකුසල් විස්තර කරන පද්‍ය දහතුනෙන් හතරක් ම දසවැනි අකුසලය පිළිබඳ ව කියන්නට වෙන්කර ඇත්තේ මිථ්‍යා දෘෂ්ටිය වේගයෙන් සිංහල ජන ජීවිතයට ඇතුළු වන බව වටහාගැනීම නිසා විය යුතු ය. ලෝවැඩ සඟරාවට මූලික වශයෙන් ත්‍රිපිටකය හා අටුවා පදනම් වූ අතර දෙවන, සිව්වන ශතවර්ෂයන්ට අයත් යැයි සැලකෙන නාගර්ජුනයන්ගේ ‘සහෘදලේඛා’ කෘතිය හා සද්ධම්මෝපාන යන කෘතීන් දෙකෙහි ආභාෂය ලබා ඇති බව මහාචාර්ය ඩී. ජේ. කළුපහන මහතාගේ අදහස යි.

වීදාගම හිමියන්ගේ භාෂාව ඉතාම සරල ය. කනට මිහිරි ය. සිංහල සාහිත්‍යයෙහි මුල්බැස ගත් ගතානුගතික උපමා රූපක යොදන තන්හි දී පවා ආශාවෙන් කියවිය හැකි අන්දමින් රසයෙන් අනූන කොට උන්වහන්සේ පද්‍ය රචනා කරයි.

“කාලා රසමුසු භෝජන කැර පෙම්
ගාලා සුවඳැති සඳුනුත් මනරම්
ලාලා අබරණ නිසිලෙස සැරසුම්
පාලා ගිය වැනි බහුරූ කෝලම්”

සැම විට ම කන පිනවන සුගම ශෛලියක් යොදාගෙන ඇති අතර තමන් වර්ණනා කරන විෂයට උචිත විරිතක් තෝරා ගැනීමෙන් උන්වහන්සේ කාව්‍යයෙහි ඒකාකාර බව බිඳීමට ද සමත් වී ඇති බව පෙනේ.

“සාර නූ කුණු කයක් ඇරගෙන කරන බහු නාටක තදේ
නෑර තම හිමි සමඟ දවසැර උන් නමුත් සැප විඳ විඳේ
ගෝර මරුවා පැමිණි කල් දැන යන්ට කැඳවා එම සඳේ
බාර වම සිටුවන්ට බැරිව ද පිනක් කර ගත්තොත් සොඳේ”

ලෝවැඩ සඟරාව සාහිත්‍ය කෘතියක් වශයෙන් අගය කරන්නන් විරල ය. එය එදත් අදත් පන්සලේත්, පිරිවෙණේත්, බණ මඩුවේත්, දහම් පාසලේත් පුළුල් වශයෙන් පරිහරණය කරන ජනප්‍රිය කෘතියක් බව නොරහසකි. සරල සුගම භාෂාවෙන් එය ලියා ඇත්තේ පොදු ජනයා සඳහා ම ය.

“ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
සැපයක් යයි කකුළුව දිය කෙළියේ”

ලෙසට පාපකර්මයන්ගේ විපාක දක්වන වීදාගම හිමියෝ කුඩා පුණ්‍යකර්මයක වුව ද ආනිශංස පෙන්වා දෙති.

“දුක්පත් සතෙක් මුනිඳුන් වෙත සිත පැහැදී
එක් දාගැබක දිය බෙරලිය මලක් පිදී
සක්විති සැපත් ඉන් පන්සිය වරෙක ලදි
දුක් නැත මෙපුද කරතොත් අකුසලින් මිදී”

දාන, සීල, භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරමින් සුගතිගාමීව නිවන් මඟ හෙළිකර ගන්නැයි වීදාගම හිමියෝ පෙන්වා දෙති.

“සීල ගුණේ පිහිටාගෙන නොයිඳේ
ආලය කැර තොප රකිනා නිබඳේ
ආල පිය’ඹු දරුවෝ නම් මෙසඳේ
බාල කලට කෙළිනා උතු වළඳේ”

සීල ගුණයෙහි පිහිටා සිල් රකිමින් නොයිඳ මෙකල ආදරය කරමින් නිතර ආරක්ෂා කරන්නා වූ ප්‍රිය භාර්යාවෝ, දරුවෝ වනාහි ළමා කාලයේ ක්‍රීඩා පිණිස ගත් පොල්කටු වැනි ය.

මීට ශතවර්ෂ හයකට පමණ පෙර රචිත පද්‍ය කාව්‍ය නිසා මෙය මීට පෙර සංස්කරණය කළ පඬිවරු පාඨකයන්ගේ වැඩි අවබෝධය සඳහා ඊට භාව සන්න යෙදූහ. ඉංග්‍රීසි භාෂාවට ද පරිවර්තනය විය. 1910 දී මුල්ම ඉංග්‍රීසි පරිවර්තනය ප්‍රසිද්ධ විය.

දයාව, කරුණාව, ක්ෂමාව ආදී සද්ගුණයන් වර්ධනය කරන්නා වූ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මදමානය ආදී දුර්ගුණයන් මර්දනය කරන්නා වූ පව, පින ගැන අවබෝධය ඇති කරවන මෙවැනි සම්භාව්‍ය කෘති යළිත් සිංහල දරුවා අතට පත් කරවීමට අවස්ථාව එළඹී ඇති හෙයින් එය ඉටුකර දීම වැඩිහිටි සෑම ජාතිමාමක සිංහලයෙකුගේ ම යුතුකමකි.

“නොදැනෙනුවන් හට පව් පින් නියම කොට
බඳ ලෝවැඩ සඟරා පිනෙනි හැම විට
ලද සැපතින් තොර නොව ලැබ නිති පිහිට
වැද සව්සත සැනසෙත්වා මොක් පුරට”

පව්, පින් දෙක නොවැටහෙන අයට ඒ පව් පින් මේ යැයි නියම කොට ලෝවැඩ සඟරාව බැඳි පින්කම නිසා ලැබූ සැපතින් වෙන් නො වී නිතර එහි පිහිට ලැබ සියලු සත්වයෝ නිවනට වැද සැනසෙත්වා..! යනු එහි අදහසයි.

සටහන – මානෙල් පොඩිමැණිකේ