නේක තරු පිරිවරා නුබ ගැබ සරනා සුපුන් සඳ සේ රහතුන් පිරිවරා වඩිනා භාග්‍යවතුන් වහන්සේ දැකගන්නට මග දෙපස ජනයාගෙන් පිරී ඉතිරී ගියේ ය. මුතු පැහැයෙන් දිලෙන සුුදුවැලි අතුල මග දණක් පුරා පස් පැහැ මලින් විසිර ගියේ ය. ධජ පතාක එසවී ගියේ ය. අනේක සැරසිල්ලෙන් මග අලංකාර වී ගියේ ය. බිම්සර නිරිඳුන්ගේ අපමණ සැදැහැ සිත කියා පෑවේ ”අමා නිවන් දෙන මුනිඳුන්ට මේ සියල්ල ම පූජා පිණිස ම වේවා!”… කියා ය.

සුදුසු කල් දත් භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් භික්ෂු සංඝයා පිරිවරා ගත් සේක. ඉනික්බිති මහා හස්ති රාජයෙකු සේ සුවඳ මලින් විසිරී ගිය මගට පිළිපන් සේක.

සැදැහැයෙන් පිරුණු සිත් ඇති බිම්බිසාර නිරිඳුන් මලින් සුවඳින් බුදුරජාණන් වහන්සේ පුදමින් භික්ෂු සංඝයා උදෙසා මහා දන් පැවැත්වී ය. භාග්‍යවතුන් වහන්සේට සේසත් දෙකක් එසවී ය. භික්ෂු සංඝයා උදෙසා එක් සේසත බැගින් එසවී ය. භාග්‍යවතුන් වහන්සේ ද දිනකට යොදුන බැගින් වඩිමින් දින පසක් පුරා මග අලංකාර කළ විහාරයන්හි විවේකයෙන් වැඩහුන් සේක. අනතුරුව භික්ෂු සංඝයා පිරිවරා සුවඳ පියුම් මතින් ගංගා නදී තෙරට වැඩම කළ සේක.

භාග්‍යවතුන් වහන්සේට ගංගා නදිය තරණය කරන්නට බිම්බිසාර නිරිඳුන් කළ රමණීය නැවක් විය. එය මාලාදාමයෙන් අලංකාර වූයේ, අනේක සැරසිල්ලෙන් විසිතුරු වූයේ විය. භාග්‍යවතුන් වහන්සේට රත්නමය ආසනයක් විය. සංඝයා උදෙසා පන්සියයක් ආසන පිළියෙල විය. මගධයන් පිරිවරනා බිම්බිසාර මහ නිරිඳුන් අනේක අග‍්‍ර පූජාවන්ගෙන් තෙරුවන් පුදමින් ගංගා නදී තෙර සිට විශාලාවට පණිවිඩ යැවී ය.

‘එම්බා ලිච්ඡවීනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා ගංගා නදී තෙර වැඩ සිටින්නේ ය. වහා සැරසෙව්! පෙර ගමන් කරව්! භාග්‍යවතුන් වහන්සේට පූජා පවත්වව්!’

ලිච්ඡවී රජවරුන් ‘අපි බිම්බිසාර රජුට වඩා දෙගුණයක් පූජා පවත්වන්නෙමු’ යි විශාලාව දක්වා යොදුන් තුනක් වූ මග සමතලාකොට සුදුවැලි අතුරා සර්වාලංකාරයෙන් මග විසිතුරු කළෝ ය. භාග්‍යවතුන් වහන්සේට සේසත් සතරක් ද භික්ෂු සංඝයා උදෙසා සේසත් දෙක බැගින් ද ගෙන ගංගා නදී තෙරට පැමිණියෝ ය. බිම්බිසාර නිරිඳුන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් සිප වැඳ වැටෙන්නට විය. නිරායාසයෙන් ම මෙ වදන් පිටව ගියේ ය..

‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නැවත මගධයට වඩිනා තුරු මාගේ නිවහන මේ ගං තෙර ම වන්නේ ය.”

භාග්‍යවතුන් වහන්සේ පැනවූ අසුනේ වැඩහුන් සේක. පුද සත්කාරයන්ට නො ඇළුණු සිතින් ගංගා නදිය තරණය කරන්නට විය. බිම්බිසාර නිරිඳුන් ද කරවටක් දක්වා දියට බැස නෙත් සිත් සනසන රූපශ‍්‍රීය දකිමින් බලා සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ යොදුනක් වූ ගංගා නදිය තරණය කරද්දී අකණිටා බඹලොව දක්වා දෙවියෝ පූජා පැවැත්වූහ. අහස් කුසින් වැගිරෙනා දිව්‍ය මදාරා මලින් ගංගා නදී දිය සුවඳවත් වී ගියේ ය. පුදනා කඩුපුල් මලින් ගංගා නදිය විසිතුරු වී ගියේ ය. හාත්පස කඩුපුල්, මදාරා මලින් ම ගැවසී ගත් හෙයින් ගං දිය නො පෙනෙන්නේ ම විය.

දිව්‍ය මදාරා, කඩුපුල් මලින් නැෙඟන සුවඳ වා තලය සිසාරා පැතිර ගියේ ය. ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට පූජා පිණිස ම විය. උතුම් සම්බුදු ගුණයට උපහාර පිණිස ම විය.

දෙව්බඹුන්, නාගයන්ගේ අනේක පූජා සත්කාරයන් මැද භාග්‍යවතුන් වහන්සේ ගංගා නදිය තරණය කළ සේක. විශාලා වැසියන්ගේ සීමාවට පැමිණි සේක. ලිච්ඡවී රජවරු ද බිම්බිසාර රජු කළ පූජාවන්ට වඩා දෙගුණයක් පූජා පවත්වමින් කරවටක් දියට බැස භාග්‍යවතුන් වහන්සේට පෙර ගමන් ගියෝ ය. ලොවට උතුම් පින්කෙත වූ මහා සඟ රුවන පිරිවැරූ භාග්‍යවතුන් වහන්සේ විශාලාවට ළඟා වූ සේක. ඒ මොහොතේ ම ඒ ක්ෂණයෙහි ම මහා මේඝ ගර්ජනා කරමින් අහස ගිගුම් දෙන්නට විය. අන්ධකාරය සිඳ විදුලි එළි අහස් කුස සිසාරා දිවෙන්නට විය. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා පහස ලබමින් මුළු විශාලාව ම පොකුරු වැස්සෙන් නැහැවී ගියේ ය. තෙමෙනු කැමැත්තෝ ම තෙමෙන්නෝ ය. නො තෙමෙනු කැමැත්තෝ නො තෙමෙන්නෝ ම විය. ඉක්බිති බොහෝ දනන් සිත් සතුටු කරමින් සිවු දිශාවෙන් මහා මේඝයක් පැන නැගී ආවේ ය. දුර්භික්ෂය නිමා විය. දනන් නෙත් තුටු කඳුළු වගුරුවමින් ‘ගල ගල’ හඬ නඟමින් විශාලාව පුරා වැසි වසින්නට විය. සියලූ තැන්හි ජලය ගලන්නේ ම ය. දනක් පමණ ද ජලය ගලන්නේ ය. කලවා පමණ ද ජලය ගලන්නේ ය. ඉඟක් පමණ ද ජලය ගලන්නේ ය. කිසිවකුට කිසිදු අනතුරක් නම් නැත්තේ ම විය. සියලූ කුණපයෝ ගංගා දියේ ගසා ගියෝ ය. භූමිය පිරිසිදු විය. ලිච්ඡවී රජවරු ද සම්බුදු අසිරිය දැක ඔද වැඩුණු සිතින් භාග්‍යවතුන් වහන්සේ යොදුනක් යොදුනක් තැන්හි වඩා හිඳුවා මහා දන් පැවැත්වී ය. දින තුනකින් විශාලා නගරයට වැඩම කරවී ය. සක්දෙව් රජ ද මහත් දිව්‍ය පිරිවරින් භාග්‍යවතුන් වහන්සේ පිරිවරා ගත්තේ ය. මිනී කුණු ගඳ වෙනුවට හාත්පස සිසරා දිව්‍ය සුවඳ පැතිර ගියේ ය.

මහේශාක්‍ය දෙවිවරුන්ගේ දේවානුභාවයෙන් බොහෝ අමනුෂ්‍යයන් මිනිසුන් අතැර පලා ගියෝ ය. මහත් වූ ආනුභාවයෙන් බැබළි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගර දොරටුවේ වැඩ සිටිමින් ම ආනන්ද තෙරුන් ඇමතූ සේක.

‘‘පින්වත් ආනන්ද, මේ රතන සූත‍්‍ර දේශනාව හොඳින් ඉගෙන ගන්න. හොඳින් ධාරණය කර ගන්න. පැන් පිරිත් කරමින් විශාලා නගරයේ ඉසින්න.”

ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේගේ පාත‍්‍රයට පැන් ගෙන රතන සූත‍්‍රයෙන් පිරිත් කරමින් නගරය පුරා ඉසින්නට විය. සියලූ අමනුෂ්‍යයන් නගරය අතැර පලා ගියෝ ය. මිනිසුන්ට වැළඳී තිබූ රෝග පීඩා සංසිඳී සැපත උදා විය. යහපත උදාවිය. සියලූ නගර වැසියෝ රැස්වීම් ශාලාවට රැස් වූහ. රැජිණ පිරිවරනා බිඟුන් කැළ සේ භාග්‍යවතුන් වහන්සේව ම පිරිවරා ගත්තෝ ය. භාග්‍යවතුන් වහන්සේගේ ගම්භීර වූ සම්බුදු ස්වරය අවධි විය. භාග්‍යවතුන් වහන්සේ සියල්ලන්ට ම රතන සූත‍්‍රය දේශනා කළ සේක. දහම් ගොස පැතිර ගොස් බොහෝ දෙව් මිනිසුන් හට දහම් අවබෝධය ඇති කරවී ය. සිත් සතන් අමා සුවයෙන් සුවපත් කරවී ය.

එකල්හි කාශ්‍යප බුදු සසුනේ සසුන් පිළිවෙත් පිරූ මිතුරු වූ ලිච්ඡුවී රජ කුමරුන් පස් දෙනෙක් ඒ පිරිස අතරේ විය. හැමදෙන ඉක්මවා ආනුභාවයෙන් බබළන භාග්‍යවතුන් වහන්සේ දෙස ඔවුහු නෙත් අයා බලා සිටියෝ ය. දහමට කන් යොමනා කල අපමණ සැදැහැයෙන් සිත් පිරී ගියේ ය. සසරේ පුරුදු කළ දහම් ඇති ඔවුන්ට තවදුරටත් ගිහි ව සිටින්නට නො හැකි විය. සියලූ කාම බන්ධන බිඳ අනගාරික සසුනේ පැවිදි විය.

දිනක් මෙසේ පැවිදි වූ එක් තෙරුන් වහන්සේ නමක් සවස් කාලයේ කෙතක් අසලින් යමින් සිටිය හ. එකල්හි මහ වැස්සක් ඇද හැලෙන්නට ව්ය. වටපිට බලන විට දුටු කෙත් රකින්නෙකුගේ හිස් කුටියකට පිවිසියේ ය. කායගතාසතියෙහි සිහිය පිහිටුවා එළා තිබූ තණ ඇතිරිය මත වැඩ සිටි තෙරුන් වහන්සේගේ සිත මනාකොට සමාධිමත් වී ගියේ ය. හුන් පළඟින් ම දැහැන් සුව විඳිමින් විදසුන් වඩන්නට විය. ඒ මොහොතේ ම සියලූ කෙළෙසුන්ගෙන් සිත මිදී ගියේ ය. අරහත්ඵල සමවතෙහි මනා ව සිත බැසගත්තේ ය.

තෙරුන් වහන්සේ ද අරහත් සුව විඳිමින් ඒ කුටියෙහි ම වැඩ සිටි සේක. එකල්හි කෙත් රකින්නා පැමිණියේ ය. කුටිය දෙස බැලූ ඔහුට වෙනදා නො වූ අමුත්තක් දැනෙන්නට විය. හේ විපරම් කළේ ය.

‘‘ඔය කුටියේ ඉන්නේ කවුද?”

අරහත් සමවතින් නැගී සිටි තෙරුන් වහන්සේ ස්වකීය වීතරාගීබව සිහි කරමින් හටගත් ප‍්‍රීති සොම්නස පිළිතුරු වදන් බවට පෙරලී ය.

‘‘සිත ඉතා හොඳින් සමාධිමත් කරගත් වීතරාගී භික්ෂුවක් මේ කුටියෙ ඉන්නෙ. ඇවැත්නි, මෙය ඔය විදිහටයි දැනගන්න ඕනි. ඔබගේ මේ කුටිය කිරීම හිස් දෙයක් නම් නෙවෙයි.”
එ් වදන් අසන්නේ ම කෙත් රකින්නාගේ සිතත් කයත් අපමණ ප‍්‍රීතියකින් පිනා ගියේ ය. කෙත් රකින්නාගේ සිතේ හටගත් සැදැහැ සිත වදන් බවට පෙරළී ය.

‘‘මට එ්කාන්තයෙන් ම ලාභයක් විය. මට එ්කාන්තයෙන් ම මනා ලැබීමක් විය. මේ කුටියෙහි මෙවැනි ආර්යයන් වහන්සේ නමක් වැඩ සිටියේ ද, ඒකාන්තයෙන් ම මට ඉමහත් ලාභයක් ම විය.”

භාග්‍යවතුන් වහන්සේ ද මේ කථා සල්ලාපය දිව කනින් අසා සිටි සේක. කෙත් රකින්නාගේ අනුමෝදන්වීම දැන වදාළ සේක.

‘‘මේ ඔබේ කුටියේ ශාන්ත සිත් ඇති, නිකෙලෙස් භික්ෂුවක් වාසය කළෝ ය. මේ පුණ්‍ය විපාකයෙන් ඔබ ශක‍්‍ර දේවේන්ද්‍ර වන්නේ ය. තිස්හය වතාවක් ශක‍්‍ර දේවේන්ද්‍රව දෙව්රජය කරන්නේ ය. තිස්හය වතාවක් සක්විති රාජ්‍යය කරන්නේ ය. ‘රතන කුටික’ නමින් පසේ බුදුවරයෙක් ව වීතරාගීව පිරිනිවන් පාන්නේ ය.”

එතැන් පටන් ඒ රහත් මුනිඳුන් කෙත් රකින්නාගේ කුටියේ ම අමා නිවන් පසක් කළ හෙයින් ‘කුටි විහාරිය’ නමින් ප‍්‍රකට වූහ. තෙරුන් වහන්සේ ද ජය පරාජ දෙකින් තොර නිසසල වූ නිවනට පත් වූ හෙයින් තමන් නිවන් පිණිස කළ පින සිහිපත් කරන්නට විය.

එ් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමය යි. එ කල මිනිසෙක් ව ඉපිද සිටි තෙරුන් වහන්සේ අහසින් වඩිනා භාග්‍යවතුන් වහන්සේ දුටුවේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ ස්වර්ණ වර්ණයෙන් බබළන්නට විය. මහා පුරිස් ලකුණින්, සවණක් බුදුරැුසින් බබළන දිලෙන ගිනි කඳක් සේ විය. අහසින් වඩිනා භාග්‍යවතුන් වහන්සේගේ අසිරිය දුටු ඔහුගේ සිත බුදුරජාණන් වහන්සේ කෙරෙහි මනා ව පැහැදී ගියේ ය. අතිශය චිත්ත ප‍්‍රසාදයට පත් වූ ඔහු හට බුදුරජුන් පුදන්නට දිය මිස අන් කිසිවක් නො වී ය. හේ දිය දෝතට ගෙන ‘භාග්‍යවතුන් වහන්සේට පූජා වෙත්වා!’ යි අහසට විසි කළේ ය. ඒ දිය රිදී බුබුලක් සේ අහසේ පිහිටියේ ය. මහා කාරුණික වූ, මහා ඍෂි වූ බුදුරජාණන් වහන්සේ ඔහුගේ සිත දැන ඒ දිය පිළිගෙන වැළඳූ සේක. අහස් තලයේ සිටිමින් ම මෙය වදාළ සේක.

‘‘පින්වත, මේ ජල දානයෙන් ද, ලැබූ ප‍්‍රීති සොම්නසින් ද ඔබ කල්ප සිය දහසක් පුරා දුගතියක නූපදින්නේ ය.”

උපන් සැදැහැ සිතත්, හටගත් පින් ඵලයත් නිසා ඇති වූ සතුට නිම්හිම් නැති විය. ඒ පුණ්‍යානුභාවය පෙරටුව මරණින් මතු දෙව්ලොව ඉපදුණේ ය. මින් කල්ප හය දහස් පන්සියයකට පෙර ‘සහස්සරාජ’ නම් සක්විති රජවරු තිදෙනෙක් ව ඉපදුනේ ය. සිව්මහා සයුරු කෙළවර කොට ඇති මහා පෘථිවිය ජය ගත්තේ ය. ගෞතම භාග්‍යවතුන් වහන්සේ සරණ ගොස් විමෝක්ෂයන් ද සාක්ෂාත් කළේ ය. සිව් පටිසම්භිදා නුවණ ද සාක්ෂාත් කළේ ය. සයක් වූ අභිඤ්ඤා නුවණ ද සාක්ෂාත් කළේ ය. බුදුරජුන්ගේ අනුශාසනාව සම්පූර්ණ කළේ ය.