ලොව අනෙක් කිසිදු ආගමකින් නො ලැබිය හැකි නිදහසක් හා ස්වාධීනත්වයක් ආදී ම සිංහලයෝ බුදු සමයෙන් ලැබූහ. එ් නිසා ම අනෙක් හැම පෙරදිග ජාතීන් ඉක්මවන සුඛනම්‍ය මනසක් උරුම කොට ගත් ඔවුන් අන් දැයකට නොදෙවෙනි වන සාහිත්‍ය කලා නිර්මාණයන් ද බිහි කළ බවට අපමණ සාධක ඇත.

පද්‍ය කාව්‍යය උතුම් කලාවක් බවට පත් කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ ශ‍්‍රාවක, ශ‍්‍රාවිකාවන් විසිනි. එ් උතුම් කලාව වූ කලී මානව අධ්‍යාත්ම තතු හා ලෝකයෙහි සුන්දරත්වය මෙන් ම භයංකරත්වය ද පොදුවේ හෙළි කළ හැකි මඟක් වෙයි. එය කෙලෙසුන් තවන්ට අනුබල දෙන කලාත්මක උපායක් කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි.

බුදු දහමෙහි හරය ගද්‍යයට, පද්‍යයට, කැටයමට, පිළිමයට, සිත්තමට හා ස්තූපයට පිවිසවන ලද්දේ අනුරාධපුර යුගයෙහි විසූ දැහැමි ජනකාය විසිනි. යතිවරුන්, රජුන්, ඇමතියන්, ලේඛකයන්, කම්කරුවන්, ගොවීන් ඇතුළු සියලූ දෙනාම එකම අධ්‍යාත්ම බන්ධනයකින් වෙලූණ ජන සංඝයක් ලෙස නැඟීමේ ඵලයක් වශයෙන් සියවස් දහසකට ආසන්න කාල පරිච්ඡෙදයක් තුළ ලෝකයේ දියුණු ම පැරණි සාහිත්‍යයත් කලාංගත් බිහිවූයේ ලක්දිව අනුරාධපුර යුගයේ දී ය. භාරතයේ තක්ෂිලා, වික‍්‍රමශිලා, නාලන්දා වැනි ලෝ පතළ විශ්වවිද්‍යාල පැවති වකවානුවේ දී අනුරාධපුරය කේන්ද්‍ර කොට ගෙන වැඩුණු මහා සාහිත්‍ය කලා සම්ප‍්‍රදාය ස්වාධීන සිංහල සංස්කෘතියක පහළ වීමටත්, අවිච්ýන්න විකාශනයටත් බලපෑ ය.

බුදුරජාණන් වහන්සේ නින්දා කොට බැහැර කළ ගූඪ වාදය පසු කලෙක හිස එසවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය වර්ෂ දෙවැනි තුන්වැනි සියවස් වන විට දකුණු ඉන්දියාවේ මහායානවාදය පැතිරී ගිය අතර හින්දු සමය ද රණකාමී වෙස් ගත්තේ ය. මෙහි බලපෑම් ලංකාවට පිවිසුණේ 4 වැනි සියවසේ මහසෙන් රජුගේ කාලයේ දී ය. ථේරවාදී බුදු දහමේ නිර්මල සංකේතයන් ලෙස පැවති වෙහෙර විහාර වනසා දමා උඳු වැපිර වූ බවත්, මහා විහාරයේ වැඩ විසූ දහස් සංඛ්‍යාත භික්ෂූන් වහන්සේලා ආරක්ෂා සහිත ස්ථාන කරා පළා ගිය බවත් මහාවංශයේ සඳහන් වෙයි. යළි අඩ සියවසකට පසුව මහාවිහාරය බලසම්පන්න වුව ද පෙර පැවති ප‍්‍රභාව හා ස්වාධීනත්වය හීන වී ගිය අයුරු පෙනෙයි.

ගයාවේ ගමක උපන් බුද්ධඝෝෂ බමුණු තරුණයා වේදයෙහි කෙළ පැමිණ පසුව මහණ වී වාද කරමින් සංචාරයෙහි යෙදී සිටිය දී රේවත නමැති හිමිනමක් ඔහු වාදයෙන් පරාජය කොට සිංහල අටුවා පාලියට නගනු පිණිස ලක්දිවට එවුයේ මහානාම රජුගේ කාලයේ දී (5 වන ශතවර්ෂයේ දී) ය. බුද්ධඝෝෂ හිමි ලංකාවට පැමිණ ‘හෙළදිව ඇජරන් හෙළ බසින් තැබු’ ධර්ම ග‍්‍රන්ථ පාලි භාෂාවට නැගීමත්, බුදු වදනට අටුවා ප‍්‍රකරණ ලිවීමත් නිසා මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා මෙහි පිහිටුවා වදාළ නිර්මල බුදු දහම වෙනස් අර්ථ කථනයන්ට භාජනය වීමට අවකාශ සැලසිණ. රාජ්‍ය වර්ෂ පළමු වන සියවස වන විට සාමාන්‍ය රටවැසියා අතර පවා පැතිර පැවති ධර්ම ඥානයේ මහිමයත්, එහි හැසිරි පිළිවෙතින් සපිරුණු සඟරුවනේ අසිරියත් බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවා ග‍්‍රන්ථයන්හි පවා සඳහන් වී තිබිණ:

‘‘සීහල වෙටිකාය අතීතෙ සීහල දීපේ සස්සං රක්ඛන්තියා ඉත්ථියා සීහල කෙනෙව ජාති ජරා මරණ පටිසංයුත්ත ගීතං ගායන්තියා සුත්වා මග්ග පස්සෙ ගච්ඡුන්තා ඝට්ඨිමන්තා භික්ෂු අරහන්්තං පත්තා.” (පරමත්ථජෝතිකා අට්ඨකථා)

කෙත් රකින ගෙවිලියන් හෙළ බසින් ගැයු ජාති ජරා මරණ ප‍්‍රතිසංයුක්ත කවි අසා සඟ සැටනමක් රහත් බව ලැබු එපුවත මෙන් ම, වී පැදුරක් වේළා ගැනීමට නො හැකි වන අන්දමට රහතන් වහන්සේලා එදවස අහසින් වැඩි බව කියැවෙන ජනශ‍්‍රැති පුවත් ද විමසා බලන කල්හි අනුරාධපුර යුගයේ මුල් භාගයේ දී නිර්මල බුදු දහම ලක්දිව පැතිර පැවති අයුරු සිතාගත හැකිවෙයි.

මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්මදූත පිරිස රාජ්‍ය වර්ෂ පූර්ව තුන්වැනි සියවසේ දී ලක්දිවට හඳුන්වා දුන් බුදු දහමට පදනම් වූයේ තුන්වන ධර්ම සංගායනාවේ දී අනුමත කරන ලද ත‍්‍රිපිටක ධර්ම දේශනාවන් ය. මගධ බසින් පැවති එම ධර්ම දේශනාවන්හි දුරවබෝධ තැන් පැහැදිලි කිරීම සඳහා එකල ව්‍යවහාරිත හෙළ බසින් ලියූ ග‍්‍රන්ථ පෙළක් ද පැවති බව ඓතිහාසික මූලාශ‍්‍රවල දැක්වේ. එකී ග‍්‍රන්ථ මහා’ටුවා පච්චරී, මහා පච්චරි, කුරුන්දි යනාදී නම්වලින් හැඳින්විණ. මේ හෙළටුවා මිහිඳු මහරහතන් වහන්සේගේ කාලයේ සිට අවුරුදු අටසියයක් පමණ කාලයක් භාවිතයේ පැවතුණි. හෙළබසින් පැවති එම ධර්ම ග‍්‍රන්ථ හදාරා විමුක්ති මඟට පිළිපන් රහතන් වහන්සේලාගේ යුගය පස්වැනි සියවසේ දී පාලි අට්ඨකතා බිහිවීමත් සමග අභාවයට යාමට හේතු වූ කරුණු කවරේ ද යන්න සිතා බැලිය යුතු ය.

එය වූ කලී එතෙක් හෙළ බසින් පැවති බුදු දහම වෙනත් භාෂාවකට නැඟීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් සිදුවූවක් ද? බුදුවදනට වෙනත් ව්‍යතිරේක එක් කිරීමේ ඵලයක් ද? නො එසේ නම් දකුණු ඉන්දියානු රණකාමී හින්දු සංස්කෘතියට හසුවීමේ ඵල වශයෙන් සිදු වූවක් ද? මහාගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ සූරින් මීට අවුරුදු හතළිස් හතරකට පමණ පෙර මේ අරභයා ඉදිරිපත් කළ නිගමනය යට දැක් වූ පැනයට දුන් හොඳ පිළිතුරක් යයි සිතමි.

‘‘බුදුගොස් හිමියන්ගෙන් පසු අපේ යතිවරයෝ තර්කයෙන් නිවන දකින්ට වෑයම් කරන්ට වූහ. එහි ඵල වශයෙන් ශ‍්‍රද්ධා පුණ්‍ය චේතනාව වැඞීමෙන් ප‍්‍රඥා චෛතසිකය සාක්ෂාත් කර ගත් යතිවරයන්ට අනුබල දුන් නියම බෞද්ධ සම්ප‍්‍රදාය නැති විය.”
(නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය – 35 පිටුව)

මහ සංඝයා උදෙසා ලෙන් සකසා පූජා කිරීමෙන් ඇරඹි ආරාම සේනාසන පිදීම රාජ්‍ය වර්ෂ 1 වැනි සියවස වනවිට සත්මහල් ප‍්‍රසාදයන් ඉදිකිරීම දක්වා විකාශනය වූ අයුරු හා ශ‍්‍රී මහා බෝධි ශාඛා රෝපිත ආරාම හා යෝජනා ස්ථූප දිවයින පුරා ගොඩනැංවුණ අයුරුත් පළ කරන නටබුන් හා ජීවමාන සාධක අද පවා ශේෂ වී තිබේ. මෙම පරිසරය, භාරත දේශයට වඩා ලක්දිව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හිතකර වූයේ කලින් කල එළඹි බාධක හිරිහැර මධ්‍යයේ ය.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩමවීමෙන් පසු මෙහි මුල් බැස වැඞී ගිය නිදහස් බෞද්ධ සම්ප‍්‍රදාය තිරසර ලෙස ජන අධ්‍යාත්මය තුළ තැන්පත් වී පරපුරින් පරපුරට දායාද විය. අනුරාධපුර යුගයේ දී සිංහල ජනකායගේ අදීන චින්තන ධාරාව, සීගිරි කැටපත් පවුරේ ගී ලියැවුණු යුගයේ දී පවා නො බිඳී පැවතිණ. සිරිලක දස දෙසින් පැමිණි විවිධ තරතිරම්වලට අයත් ජනකාය නිදහසේ වන්දනා ගමන් ගිය බවත්, අධ්‍යාත්ම සොම්නස ගීයට නඟා පළ කළ අයුරුත් සීගිරි කැටපත් පවුරු නිර්මාණයන්ගෙන් හෙළිවෙයි. අධ්‍යාත්ම විමුක්තිය සාක්ෂාත් කර ගැනීම පරමාර්ථ කොටගත් සාහිත්‍යය කල්යෑමේ දී ලෞකික දෘෂ්ටියට හසුවීමේ ප‍්‍රතිඵල සීගිරි ගී යුගයෙන් පසු බිහිවූ නිර්මාණයන්ගෙන් පසක් වෙයි.

පස්වන සියවස පමණ වනවිට ඉන්දියාවේ සකු කවි සමය ප‍්‍රභාවිත වුව ද අදීන බෞද්ධ සම්ප‍්‍රදාය ලක්දිව මුල් බැස පැවති හෙයින් එය සසල කිරීමට බාහිර බලවේගයන්ට හැකිවූයේ නැත. අලංකාර ශාස්ත‍්‍රය එදවස විසූ යතිවරයන් වහන්සේලා පිළිකෙව් කළහ. සීගිරි කැටපත් පවුරේ ලියන ලද කාව්‍යයන්හි සකු කවි සමයෙහි ආභාසය නො දිස්නේ එහෙයිනි. එනමුත් අනුරාධපුරය අගභාගය වන විට සංස්කෘත අලංකාර වාදයේ බලපෑමට ලක්දිව පඬිවරුන් හසු වූ බව I වැනි සේන රජුගේ කාව්‍යාදර්ශයෙන් සනාථ වෙයි. කවියට සිංහල ජනකාය මහත් රුචියක් දැක්වූ හෙයින් පද්‍ය සාහිත්‍යය ඔස්සේ සකු අලංකාරවාදය මෙරට පැතිර ගියේ ය.
හින්දු සමයත්, මහායාන දර්ශනයත් සංස්කෘත කාව්‍යයේ බලපෑමට හසුවීමෙන් ලක්දිව ගූඪවාදය හිස ඔසවන්නට විය. අධ්‍යාත්ම සුන්දරත්වය වෙනුවට බාහිර විසිතුරුව හැම අංශයකින් ම මතුවන්නට විය. ‘විචිත‍්‍ර: කල්වයං ජීව ලොක:’ (මේ ජීව ලෝකය විචිත‍්‍ර වූවක් වෙයි) යන සකු යෙදුම එය සනාථ කරයි. කලා නිර්මාණයන්හි අධ්‍යාත්ම චමත්කාරය පරයා බාහිර හැඩරුව ඉස්මතු විය. මේ සඳහා දිය හැකි හොඳ ම නිදසුන නම් බුද්ධ ප‍්‍රතිමාවයි. අනුරාධපුර මහමෙව්නාවේ සමාධි ප‍්‍රතිමාවෙන් නිරූපණය වුණ අධ්‍යාත්ම ගුණ සමුදාය පොළොන්නරු යුගය වන විට නිර්මාණය කරන ලද ප‍්‍රතිමාවල බාහිර ස්වරූපයෙන් මතුකර දැක්වීමට පෙළඹී ඇති බැව් පෙනී යයි. සමාධි ප‍්‍රතිමාව, තොලූවිල ප‍්‍රතිමාව ආදි නිර්මාණයන්හි දිස්වුණ අධ්‍යාත්ම සුන්දරත්වය හෙවත් නිවන් මුහුණුවර පසුකාලීන බුද්ධ ප‍්‍රතිමාවල දක්නට නොමැත. බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ බාහිර ස්වරූපයෙන් ඉස්මතු කර දැක්වීමට සිරුරු අංග හා සිවුරු රැලි ප‍්‍රකටව පෙනෙන සේ නෙළා ඇතිවාක් මෙන් ම ප‍්‍රමාණයෙන් විශාල ප‍්‍රතිමා නිර්මාණය කොට තම භක්තිය පළ කිරීමට ද පසුකාලීන ශිල්පීහු පෙළඹුණහ.

අධ්‍යාත්ම ගැඹුරක් විනිවිද දැකිය නො හැකි තැන ප‍්‍රකට ව පෙනෙනුයේ මතුපිට විසිතුරුව පමණි. එම බාහිර ඔපය ප‍්‍රතිමා, කැටයම් කලාවට වඩා පිළිබිඹු වූයේ ව්‍යාජ වර්ණනා බහුල සංස්කෘත කාව්‍ය අනුකරණයට පෙලඹුණ පොළොන්නරු යුගයේ දී ය. මහ පැරකුම්බා රජුගේ කාලයෙහි සිංහලය සකුවට හැරවිණ. මිහිඳු මහරහතන් වහන්සේ විසින් හඳුන්වා දෙන ලද පොදු ජන බසට හෙවත් ප‍්‍රාකෘතයට අනුව වැඩුණු සිංහලය ග‍්‍රාම්‍ය යයි බැහැර කරනු ලැබීම නිසා නිදහස් බෞද්ධ සාහිත්‍ය කලාවන් පොදු ජනයාගෙන් ඈත් කරනු ලැබිණි. පස්වැනි සියවසේ සිට පාලියෙන් හා සකුවෙන් බුදු දහමට අටුවා, ටීකා, ප‍්‍රකරණ සැපයීම හේතු කොට ගෙන හෙළටුවා ග‍්‍රන්ථ අභාවයට ගියේ ය. මුල් පිටක ග‍්‍රන්ථයන්හි ඇතුළත්ව තිබුණු බුද්ධ දේශනා කවරේදැයි හඳුනාගත නො හැකි තරමට විස්තරාර්ථ වර්ණනාවලින් එය වැසිණ.

පසුකාලයේ දී බුදු දහම උගත යුතු, පරීක්ෂණයට හා විමසුමට භාජනය කළ යුතු වාග් විද්‍යාව වැනි විෂයක් කිරීමෙන් පසුව පිරිවෙන් ඇතුළු බොහෝ විහාරස්ථානයන්හි උගන්නා භික්ෂූන් හා සිසුන් වෙතින් සද්ධා හැඟීම තුරන් විය. ගැමියන්ගේ සිතින් හැර අනික් උගතුන්ගේ සිතින් ආගමික හැඟීම් අතුරුදහන් වී ගියේ ය.

බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍යය ප‍්‍රකාශිත දහම දේශනා කොට වදාළේ බමුණන්, ප‍්‍රභූන් විසින් සම්භාවිත බස බැහැර කොට එදවස සාමාන්‍ය ජනයා වැහැරූ කාටත් තේරෙන බස උපයෝගි කොට ගනිමිනි. ඉන් සියවස් තුනකට පසුව මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට බුදු දහම මෙහි පතළ කොට හැරියේ මගධ බසට නෑකම් කියන, එවක මෙහි ව්‍යවහාරිත පොදු ජන බස වූ දීප භාෂාවෙනි. ගැමියන්, උගතුන් ඇතුළු මුළු මහත් ජනතාව තුළ සද්ධා හැඟීම් රෝපණය කොට අධ්‍යාත්ම ප‍්‍රමුදිත භාවයක් ළඟා කර දිය හැක්කේ නිර්මල බුදු දහම මුළු මහත් ජනතාවට තේරෙන බසින් පැහැදිලි කොට දීමෙනි.

මහාමේඝ 2016 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති