සවාහිනිය ලංකාවේ වාසය කළ වේදේහ මහා ස්වාමීන් වහන්සේ විසින් රචිත පාලි ග්‍රන්ථයකි. රසය වහනය වන කථා වස්තූන්ගෙන් යුක්ත නිසා මෙම ග්‍රන්ථයට රසවාහිනී යන නම තබා ඇත. රසවාහිනිය වංශ කථාවක් වශයෙන් නොසැලකුවත් ඉතිහාසය කියා පාන මූල ග්‍රන්ථයක් වශයෙන් ගිනිය හැක. ඓතිහාසික සිද්ධීන් බොහෝ ගණනක් මෙහි ඇතුළත් ය. මේ ග්‍රන්ථය දඹදිව උපන් කථා – ජම්බුද්දීප උත්පත්ති කථා, ලංකාදීප උත්පත්ති කථා වශයෙන් කොටස් දෙකකට වෙන් කොට ඇත. මුල් කොටසේ දහම්සොඬ කථාව මුල්කොට කථා වස්තු 40කි. මිගපෝතක කථාව මුල් කොට කථා වස්තු 63කි. දුටුගැමුණු රජතුමන්ගේ, දස මහා යෝධයන්ගේ කථා හා සාලිය රාජකුමාරයන්ගේ කථා වස්තුව ද විස්තර වශයෙන් දක්වා ඇත. මේ කොටස සවිස්තර ව දක්වා තිබීම විශේෂ අවස්ථාවකි. මහාවංශයේ ද මේ පිළිබඳ ව සඳහන් වන්නේ ගාථා කීපයකින් පමණි.

රසවාහිනියෙහි සඳහන් කතා වස්තු බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඇති වූ සිද්ධි වශයෙන් සැලකිය හැකි ය. මේ ග්‍රන්ථයෙහි දන් දීමේ ආනිශංස ප්‍රකාශ කිරීමටත් ධර්මානිශංස ප්‍රකාශිත කරුණු ඉදිරිපත් කිරීමටත් කතුවරයා විශේෂ උත්සාහයක් ගෙන ඇත. සිල් රැකීම ගැනත්, කෙළෙහිගුණ සැලකීම පිළිබඳවත් කථා වස්තූන් ඉදිරිපත් කරමින් රසවාහිනී කතුවරයා මේ ග්‍රන්ථය පාඨක ලෝකයාට බුදු දහමේ විස්තර වන සාරධර්ම පිළිබඳ ඔප්පු කිරීමට නිදසුන් ඉදිරිපත් කොට ඇත.

වේදේහ හිමිපාණන් වහන්සේගේ ගුරුවරයා ආනන්ද වනරතන මහා ස්වාමිපාදයාණන් වහන්සේ බව සඳහන් ය. මෙතුමා වැඩ සිටි කාලය මහා පැරකුම්බා රජුට පෙර විය යුතු ය. කර්තෘ හිමියෝ මගධ භාෂාව (පාලි) ඉතා රසවත් ව ඉදිරිපත් කිරීමෙහි සමතෙකි. සරල බවින් ද මේ ග්‍රන්ථය වැදගත් ය. පද්‍ය රචනාවෙහි ද උන්වහන්සේ තුළ පුදුම හැකියාවක් ඇති බව උන්වහන්සේ විසින් ම රචිත සමන්තකූට වර්ණනාවෙන් ඔප්පු කෙරේ. බොහෝ ධර්ම දේශකයාණන් වහන්සේලා තම ධර්ම දේශනාව සරු කර ගැනීමට රසවාහිනියෙහි සඳහන් කථා වස්තු නිදසුන් වශයෙන් ගෙනහැර පෑම අද ද සිදුවන්නකි.

රසවාහිනී ග්‍රන්ථයට ටීකාවක් ද සිද්ධත්ථ නම් තෙරපාණන් කෙනෙකුන් විසින් රචනා කරන ලද බව ප්‍රකට ය. උන්වහන්සේ බුරුම රටේ හෝ සියම් රටෙහි වාසය කළ කෙනෙකු බව සඳහන් ය. සිංහල සාහිත්‍ය අඹරෙහි නොනැසෙන බණ කථාවන් ලියා තැබූ ධර්මකීර්ති හිමිපාණන් මේ රසවාහිනිය මුල්කොට සිංහල බණ පොතක් වූ සද්ධර්මාලංකාරය ලියා තබා ඇත. සද්ධර්මාලංකාරයට මුල් වූ කථා වස්තු රසවාහිනියෙන් ගත් බව නොරහසකි.

රසවාහිනිය පිරිවෙන්වල භාවිතයට යොදාගත යුතු ග්‍රන්ථයක් ලෙස අද ද සලකා ඇත. පාලි භාෂාව ඉගෙන ගන්නා ආධුනිකයන්ට වරනැගිලි ආදී ග්‍රන්ථ හැදෑරූ පසු සාහිත්‍ය ග්‍රන්ථයක් වශයෙන් ශිෂ්‍යයන් අතට දෙන්නේ මේ රසවාහිනිය යි. මෙහි කථා වස්තු රසයෙන් අනූන නිසා පාලි වචන නොදන්නා ආධුනිකයාට කථා රසය විඳගැනීමට ඇති කැමැත්තෙහි පොළඹා හැකිතාක් ඉක්මනට පාලියට හුරු වීම නිරායාසයෙන් ම සිදු වේ.

රසවාහිනියෙහි සඳහන් ‘නාගාවගේ කථා වස්තුව’ නමැති කථාවෙහි මෙසේ සඳහන් වේ. “භගවති ධරමානේ ලංකායං නාගදීපේ චූලෝදරෝ, මහෝදරෝති ද්වේ මාතුලභාගිණෙය්‍යා මණිපල්ලංකස්ස කාරණා මහා සංගාමං පච්චුපට්ඨාපේසුං. තදා කිර භගවා බෝධිතෝ පඤ්චමේ වස්සේ ජේතවනේ විහරන්තෝ, පච්චූසසමයේ ලෝකං ඕලෝකෙන්තෝ තේ දිස්වා අජ්ජ මයා තත්ථ ගන්ත්වා කලහං වුපසමේතුං වට්ටතීති චින්තෙත්වා ඕලෝකෙන්තෝ සමිද්ධිසුමනං නාම දේවරාජං අද්දස.”

තේරුම:- බුදුරජාණන් වහන්සේ ජීවත් ව වාසය කරන සමයෙහි ලංකාවෙහි නාගදීපයෙහි දී චූලෝදර, මහෝදර යන මාමා බෑණලා අතර මැණික් පුටුවක් උදෙසා මහා යුද්ධයක් එළඹ සිටියේ ය. එකල්හි බුදුරජාණන් වහන්සේ බෝධියෙන් පස්වෙනි අවුරුද්දෙහි දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරමින් අලුයම ලොව බලන්නෝ ඔවුන් දැක ‘අද මම එහි ගොස් කලහය සන්සිඳවීම සුදුසු යැ’ යි සිතා බලන්නේ සමිද්ධි සුමන නම් දෙව් රජුන් දුටහ.’

ඉහත සඳහන් කතාවේ පාලි කොටස කොපමණ රසවත්දැයි පැහැදිලි වේ. මෙම ග්‍රන්ථය මෙන්ම ආධුනිකයන්ට පරිශීලනයට පහසු වන සේ සැකසූ ව්‍යාකරණ ග්‍රන්ථ කීපයක් ඇත. සද්ධර්මාලංකාරය රචනා කිරීමේ මුල් අදහස වූයේ පාලි නොදන්නා අයට මේ සදහම් කථා සිංහලයෙන් කියවා තේරුම්ගෙන කථා රසය විඳගැනීමට ය. අද ද පාලි දැනුමට නියම කරන රසවාහිනිය මුල දී අපහසු තත්ත්වයක් උදා වුව ද සද්ධර්මාලංකාරය කියවා දෙතුන් විටක් රසවාහිනියේ සඳහන් කතාව කියවන විට කථා රසයට පමණක් නොව පාලි භාෂාවේ කෝමළ ශෛලිය ද ඉබේ ම හුරු පුරුදු වන්නේ ය. මෙවන් වටිනා ග්‍රන්ථ කියවා භාෂා දැනුම දියුණු කර ගැනීමට පමණක් නොව කථා රසයන් ද විඳගැනීමට උත්සුක වන්නේ නම් එය මේ ග්‍රන්ථ කර්තෘවරයන් වහන්සේලාට කරන්නා වූ කළගුණ සැලකීමක් ද වන්නේ ය.

සටහන – ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ.