බොදු ගීතයක ප්‍රසාද මාධූර්යය

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ දඹදිව මධ්‍ය මණ්ඩලය සිල් සුවඳින් සුවඳවත් කරමින් රහතුන් වහන්සේලා ධර්ම දූත පුණ්‍ය චාරිකාවේ යෙදී සිටි ආකාරය සිහියට නංවනසුලු ශ්‍රී ලාංකික පරිසරයක් නිර්මාණය වූයේ ඊට අවුරුදු තුන් හාරසියකට පසුව ය. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කොට සම්බුදු සසුන මෙරට පිහිටවූ දා සිට වසර හය සියයක් පමණ කාලයක් සිරිලක් දෙරණ රහතන් වහන්සේලාගෙන් බැබළුණ බව ලෙන් ලිපි හා සෙල්ලිපි ආදියෙනුත්, පුරා විද්‍යාත්මක සාධකවලින් හා වංශ කතා තොරතුරුවලිනුත් නිගමනය කළ හැකි ය.

බුදු සසුන සශ්‍රීක ව බැබළුණ ඒ අසිරිමත් යුගය අලලා ජෝන් ද සිල්වා නම් වූ දේශප්‍රේමි නාට්‍යවේදියාණන් විසින් මීට සියක් වසරකට පෙර ‘සිරි සඟබෝ’ නාට්‍යය උදෙසා රචනා කරන ලද “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” නමැති ගීතය එම විෂය අරභයා ලෝක ඉතිහාසයේ ම රචනා වූ එක ම ගීපද රචනය ලෙස දැක්විය හැකි ය. ගීතයේ පසුබිම ලෙස වර්ණනා කර ඇත්තේ අනුරාධපුර රාජධානියේ වැඩ විසූ රහතන් වහන්සේලා පිටු දුන් පරිසරය ය. එම ගීතයේ විශේෂය නම් අනුරාධපුර පූජනීය පරිසරයකට ආගන්තුක ව සපැමිණුන කුමාරවරුන් තිදෙනෙකුගේ තුන්විධ මනෝභාවයන් අනාවරණය වීම ය.

වංශකථා තොරතුරු අනුව ව්‍යවහාර වර්ෂ තුන්වැනි සියවසේ මුල් කාලයේ මහියංගණය මිනිපේ ජනපදයේ ප්‍රාන්ත පාලකයකු වූ ලම්භකර්ණ වංශික සේලාභය කුමරුන්ගේ පුතුන් තිදෙනා වූ සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යන කුමාරවරු නන්ද තෙරුන් වහන්සේගේ අනුශාසනා පරිදි රාජ්‍ය උරුමය සොයාගෙන අනුරාධපුරයට පැමිණෙති. කෙමෙන් පූජනීය නගරයට පිවිසෙන ඔවුන් නෙතට හසුවන පරිසරය පිළිබඳ සිතැඟි වදන්වලට නැඟී ප්‍රකට වන පරිද්දෙන් ගීතය නිර්මාණය වී ඇත.

සංඝතිස්ස :

“දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේ වී රකිති සොඳ සීල නිබන්ධා
ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේ ය බෝ සේ
රහතුන් නිවසනා පාය ප්‍රකාසේ”

සංඝබෝධි :

“භූ ලෝ මතේහී දෙව් ලෝ පෑවා සේ
පේනා මෙපුර මුනි සාසන වාසේ
එර්දියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ”

ගෝඨාභය :

“මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල රාසී
සේරූ පන්ති පන්තී පීනති බෝ සේ
අනුරාධ නගරය දැන් පෙනේ ඕසේ”

කුමාරවරුන් තිදෙනා පියවරින් පියවරට කෙමෙන් කෙමෙන් අනුරාධපුර නුවර මධ්‍යයට පා ගමනින් යන ආකාරය ධ්වනිත කෙරෙන සේ ගීතයේ පද මාලාව සංවිධානය කොට තිබේ. හැම වදනක ම දැවටී ඇත්තේ පුරවරයේ ආගමික හා පාරිසරික සමෘද්ධිය ධ්වනිත කෙරෙන හැඟීම් ය.

සංඝතිස්ස කුමරා පෙර තමන් අසා තිබූ බෞද්ධාගමික පරිසරයත්, එහි වෙසෙන ගිහි පැවිදි උතුමන්ගේ සීල සමාධි ප්‍රඥා ගුණයත් පිළිබඳ ප්‍රසාදය පළ කරමින් පෙරටුව ගමන් කරයි. කෙමෙන් නගරයට අවතීර්ණ වන්නා හා ම සංඝබෝධි කුමාරයාගේ සිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඇලලී යයි. ඔහුගේ උද්දාමය පළ කිරීම සඳහා උචිත භාවික වදන් ජෝන් ද සිල්වා සූරින් යොදා ඇති ආකාරය අතිශයින් ගැළපෙයි. සංඝබෝධි කුමරු අනුරපුරය දකින්නේ මහ පොළව මත දිව්‍ය ලෝකය පහළ වූවා සේ ය. ඊට හේතුව බුදුරජාණන් වහන්සේගේ ශාසනය අනුරපුර රජදහන වසා පැතිර පැවතීම යි. අහසින් වැඩම කරන්නා වූ සිය දහස් ගණන් රහතන් වහන්සේලා කුමරුන්ගේ ඇස ගැටෙයි. අහසින් වැඩම කරන ‘රහතුන්ගේ සෙවණැල්ලෙන් හිරු රශ්මිය වැළකී යනු’ එතුමා දකියි. වී පැදුරක්වත් වේළා ගැනීමට නො හැකි තරමට රහතන් වහන්සේලා ඒ සමයේ අහසින් වැඩි බවට ජනප්‍රවාදයෙහි පවත්නා සඳහන සඟබෝ කුමරු පැවසූ අර කියුම හා සැසඳෙන අපූරුව කදිම ය.

රාජ්‍ය ලෝභය යටි හිතේ දරා පැමිණෙන ගෝඨාභය කුමරුන්ගේ මනෝභාවයන් සිය දෙටු කුමරුන්ගේ සිතැඟිවලට වඩා හාත්පසින් වෙනස් ය. ඔහු බුදු සසුන ගැනවත්, රහතන් වහන්සේලා ගැනවත් කිසිවක් නො කියයි. ඔහුට පෙනෙන්නේ යස ඉසුරින් සපිරුණු අනුරාධපුර නගරයේ භෞතික හා සෞන්දර්යාත්මක පරිසරය යි. මානෙල් නෙළුම් හා ඕලු ආදි පුෂ්පයෙන් ගැවසී ගත් වැවු සමූහය මහා පොකුණු සේ ය ඔහු දකින්නේ. වැවු තලා මතින් පීනා යන සේරුන් පන්ති එකිනෙකා ලුහුබැඳ දිවයන්නා මෙනි. අනුරාධපුර නගරය සිත් සේ (ඕසේ) දැකබලා ගන්නා ඔහු ලෞකික ආශාවන්ගෙන් ප්‍රබෝධයට පත්වෙයි.

ලක්දිව කැත්කුල පරපුරක දෙවැනි පරපුර ඇරඹෙමින් ලමැණි ගොත් රාජ පෙළපතට රාජ්‍ය බලය මාරුවන අවස්ථාව සංඝතිස්ස රජුගෙන් ඇරඹෙයි. ජෝන් ද සිල්වා නාට්‍යවේදියාණන්ගේ අරමුණ වී ඇත්තේ සිරිලක බෞද්ධ රාජාවලියේ මුදුන් මල්කඩක් බඳු සිරි සංඝබෝධි බෝසත් චරිතය නිරූපණය කොට සිංහල බෞද්ධ උරුමය සමකාලීන ලාංකේය ජන සමාජය වෙත ඉස්මතු කොට දැක්වීම යි.

දහනව වන සියවසේ අගභාගය වන විට බි්‍රතාන්‍ය ආධිපත්‍යය යටතේ බුදු දහම හා සිංහල භාෂාව යටපත් වී ගිය පසුබිමක පහළ වූ දේශප්‍රේමියකු ලෙසත්, කලාකරුවකු ලෙසත් නිතීඥ ජෝන් ද සිල්වා සිරිසඟබෝ නාට්‍යයෙන් පමණක් වුව ද ලක්වැසි ජනතාවගේ සදා බුහුමනට ලක්විය යුතු වෙයි. තම නිවසේදීවත් සිංහල කතා කිරීම, සිංහල සිරිත් අනුව ජීවිත ගත කිරීම හෙළා දුටු සමයක, ශ්‍රී ජයවර්ධනපුර ඇතුල්කෝට්ටේ සිංහල පවුලක දරුවකු ලෙස උපන් එතුමා දේශවාත්සල්‍යය හා බෞද්ධ උරුමය පණ ගැන්වීම සඳහා මාධ්‍ය කොට ගත්තේ වේදිකා නාට්‍යය යි.

දහඅටවැනි සියවස අග වන විට අනුරාධපුරය පොළොන්නරුව ආදි පැරණි නටඹුන් නගර ඝන කැලෑවෙන් වැසී පැවතිණ. සියවස් ගණනාවක් පරසතුරු උවදුරුවලට හසුවී ජනශුන්‍ය ව පැවති රජරට පෙර පැවතී ශ්‍රී විභූතිය නාටක මගින් හෙළි කොට ඊට උචිත සංගීතයෙන් පණ පොවා බෞද්ධ ජනකාය අවදි කිරීමේ උදාර කාර්යය ජෝන් ද සිල්වාගෙන් ඉටු විය. තත් කාලවකවානුවේ දී මේ කාර්යය අනගාරික ධර්මපාලතුමා දේශනයෙන් ද පියදාස සිරිසේන නවකථාවෙන් හා කවියෙන් ද බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා පුරාවිද්‍යා තොරතුරු සම්පාදනයෙන් හා බෞද්ධ උරුමය රැක ගැනීමෙන් ද ඉටු කළහ.

හින්දුස්ථාන් සංගීතඥයකු වූ විශ්වනාත් ලව්ජි ලවා සිංහලයෙන් ගීත රචනා කිරීමට පොළඹවාගෙන ඔහු ගායනා කොට පෙන්වූ ‘පෙයාර් නිර්මල තේරී’ නම් හින්දුස්ථාන් ගීතයට අනූව ජෝන් ද සිල්වා රචනා කළ මුල් ම බෞද්ධ ගීතය වූයේ ‘තේරී නිර්මල ධර්ම තිලෝනා’ නම් ගීතය යි. එතැන් සිට සිංහල නාට්‍ය නිෂ්පාදනයේ යෙදුණ ඔහු ‘සිරිසඟබෝ’ නාට්‍යය නිර්මාණය කරමින් සර්වකාලීන අගයෙන් යුතු විශිෂ්ට බෞද්ධ ගීතයක් සිංහල ජාතියට දායාද කොට දුන්නේ ය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධර්මස්කන්ධය හෙළ බසින් පැතිර ගිය ආකාරයත්, ඒ නිසා මෙරට ජනතාව සමෘද්ධිමත් වූ සැටිත්, ඉන් පරිසරය පවා ප්‍රබෝධවත් වූ අයුරුත් “දන්නෝ බුදුන්ගේ” නම් ගීතයෙන් වර්ණිත ය. එදා මෙදා තුර ශ්‍රාවක ජන සමූහයා ආගමික හා දේශ වාත්සල්‍යයෙන් ප්‍රබෝධවත් කරවන මේ ගීතය දේශ දේශාන්තරවල ප්‍රචලිත වී ඉංග්‍රීසි හෝ වෙනත් බසක වැරදි උච්චාරණයෙන් ගැයුවත් රසය අඩු නොවන අපූර්වතම භක්ති ගීතයක් වන්නේ ය.

සටහන – මා(ර්)ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති