ලංකා ඉතිහාසයේ අවුරුදු දෙදහසක පමණ කාලයකට පසුව හටගෙන ඇති තවත් දුර්භික්ෂ සමයකට මෙදවස අපි එළඹෙමින් සිටිමු. ව්‍යවහාර වර්ෂ පූර්ව පළමුවැනි සියවසේ ලක්දිවට ආ තීය නම් බමුණෙකුගේ පාලනයට යටත්ව පැවැති තුදුස් වස් කාල පරිච්ඡේදයෙන් දොළොස් වසක් පැවති මහා දුර්භික්ෂයකට අප හසුව පැවැතියේ මිසදිටු පාලනයකට එරෙහිව සොබා දහම කම්පා වීමේ ඵල වශයෙනි.

බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසින් පූජනීයත්වයට පත්ව, ඔකාවස් රජ පරපුරෙන් පැවත ආ දැහැමි පාලන තන්ත්‍රයක් ස්ථාපිතව මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ආගමනයෙන් පසුව සදහම් අමා සිසිලෙන් තෙමී ගිය දැහැමි රාජ්‍යයක් මිසදිටු පාලනයකට දිගු කලක් නතු වීම හේතුවෙන් බැමිණිතියා සාය ඇති වූ බව වංශකතාවෙහි සඳහන් ය. දිගු කලක් එවිපත පැවතියේ මහා සංඝයා වහන්සේගේ අනුශාසනා නොතකා එදවස පාලකයන් හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීම නිසා බව පැහැදිලි කර දෙන ඉතිහාස ග්‍රන්ථ දුර්භික්ෂය නිසා වූ විපත මෙසේ පෙන්වා දෙයි.

“භික්ෂූන් බොහෝ දෙනෙකු සිය දිවි රැක ගැනීමට වුවමනා ආහාර ස්වල්පය පවා ලැබ ගත නොහී රට හැර ඉන්දියාවට වැඩම කළ බව කියනු ලැබේ. ථූපාරාමය, මහාථූපය ආදී බෞද්ධ පූජනීය ස්ථාන වැඳුම් පිදුම් කිරීමට මිනිසුන් නොවූ බැවින් පාළුවට ගොස් තිබුණේ ය… දහස් ගණන් මිනිසුන් රැස් වූ ඒ සෑ මළු වල් පැළෑටිවලින් වැසී ගියේය. විහාර භූමිවල ගොවිතැන් කරන ලද්දේ ය. සාගතය නිසා මිනිසුන්ට විඳින්නට සිදු වූ දුක් කරදර ගැන අතිශය ඛේදජනක විස්තර පොත්වල දක්නට ලැබේ”.

(ලංකා විශ්වවිද්‍යාලය ලංකා ඉතිහාසය 1964, 162 – 163 පිටු)

මෙම දුෂ්කර කාල පරිච්ඡේදය සන්සිඳී ගියේ වළගම්බා රජු නැවත රාජ්‍යත්වය භාර ගැනීමෙනි. බුදුදහමේ අභිවෘද්ධිය උදෙසා කටයුතු යෙදූ එතුමා සංඝයා වහන්සේගේ උපදෙස් පිළිපැද්දේ ය. එතෙක් මුඛ පරම්පරාවෙන් පැවැත ආ සම්බුද්ධ දේශනා (තුන්පිටකය) ග්‍රන්ථාරූඪ කරන ලද්දේ එතුමාගේ කාලයේ දී ය. එදවස දුර්භික්ෂ, රෝ, සතුරු උවදුරු එළඹි හැමකල්හි දී ම මහා සංඝයා වහන්සේගේ පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වීම් මඟින් සෙත් පැතීමෙන්, සත්‍යක්‍රියා කිරීමෙන් එම උපද්‍රව සන්සිඳුවාගත් බව වංශකථා සහ දහම් ග්‍රන්ථයන්හි සඳහන් ය. සිරිසඟබෝ රජ සමය එක් නිදසුනකි.

සංඝයා වහන්සේගේ අනුශාසනා පිළිපදිමින් පෙර රජවරුන් කටයුතු කිරීම නිසා එදවස සාමකාමීවූත්, සෞභාග්‍ය සම්පන්නවූත් කාලයක් උදා වූ බවත්, කූටකණ්ණතිස්ස, භාතික අභය සහ මහාදාඨික මහානාග යන රජුන් තිදෙනා රාජ්‍ය විචාල අවුරුදු හැත්තෑ දෙකක කාලය තුළ රටවැසියන්ට පීඩා ගෙන දුන් කිසිදු අභ්‍යන්තර වියවුලක් සිදුනොවූ බවත් ලංකා ඉතිහාස ග්‍රන්ථයන්හිලා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙයි.

මේ කාල පරිච්ඡේදයේ දී (අවුරුදු හැත්තෑදෙක) බලයට පත් රජවරු තමන් තුළ පැවති ආශාවන් සමෘද්ධ කර ගැනීම සඳහා රට වැසියන් බිලි දීමට ඉදිරිපත් නොවූහ. තමන්ගේ නාමයන් නොනැසී පවතින්නට සලස්වනු සඳහා සුවිශාල ස්මාරකයන් ගොඩනැගීමට ඉදිරිපත් නොවූහ. දිවයිනේ ඉතිහාසයේ අවුරුදු දෙදහසක කාලය තුළ කිසිම යුගයක මිනිසුන් මෙතරම් ප්‍රීතියෙන් ජීවත් වූ බව නොපෙනෙයි.

(ලංකා ඉතිහාසය – 169 පිටුව)

එකී සශ්‍රීකවත් පින්බර යුගය පිළිබඳ දීර්ඝ විස්තරයක් මහාවංශයේ තිස්හතරවෙනි පරිච්ඡේදයේ තිස්වැනි ගාථාවේ සිට අනූහතරවැනි ගාථාව දක්වා දැක්වෙයි. පාලකයින් රටවැසියන් හා එක්ව බුදුදහමට අනුව හැසිරෙමින් ලක් ඉතිහාසය බැබළවූ එකී සිව් සැත්තෑ වසරක යුගයත්, එම අභිමානය අකාමකා දැමූ ඊට සමාන මෑත කාල වකවානුවත් (1948 – 2022) සසඳා බැලීම වටනේ ය. තමන් වහන්සේ ලියූ මහාවංශයේ නූතන සරල සිංහල අනුවාදනයට ප්‍රස්තාවනාවක් සපයන පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද මාහිමිපාණන් පහත දක්වන කියුම කෙරෙහි ද අවධානය යොමු කරනු මැනවි.

“පැරණි සිංහලයන් සතුව තිබූ ශිල්ප ශාස්ත්‍ර ක්‍රම, කෘෂිකාර්මික ක්‍රම, වාරිමාර්ග ක්‍රම සියල්ල පිළිබඳ වූ ඥානයෙන් දැන් සිංහලයෝ තොර වී සිටිති. ඔවුන්ට එයින් වැඩක් දැන් නැත. ඔවුහු මහාවංශයට සිනාසෙති. එය ප්‍රලාපයක් යැයි අපහාස කරති. මේ වන විට ලංකාවම ණයබරින් මිරිකී ගොස් තිබේ. රෝග පීඩාවලින් ආතුර වී තිබේ. ශ්‍රද්ධාවෙන් හීන වී තිබේ. උඩඟුකමින් නන්දොඩවමින් සිටියි. සිංහලයන්ගේ අනාගතය එතරම් දුරකට ගෙන යා හැකි වටපිටාවක් සැපයෙන බවක් නොපෙනේ.”

(මහාවංශය, සරල සිංහල අනුවාදය 14 පිටුව)

ඤාණානන්ද නාහිමිපාණන් එම අනාවැකිය පළ කොට දොළොස් වසරක් ගෙවී ගිය මෙසමයෙහි එය සැබෑ වී ඇති අයුරු අරුමය දනවන සුලුය. දෙදහස් වසරක් පැවතගෙන ආ අපගේ බෞද්ධ සම්ප්‍රදායට පටහැනිව වර්තමාන පාලකයන් මිසදිටු අසුර පාක්ෂික බලවේග ඇදහීමෙහි, තිරුපති වන්දනාවේ යෑමෙහි විපාක අද රටවැසියන්ට විඳින්නට සිදුවී ඇති බැව් කිව යුතුය. බුදු සසුනට කැප කොට පිරිත් පැන් ඉස සක්දෙවිඳුන් ප්‍රමුඛ සිව් වරම් දෙවියන්ට භාර කළ දේශයක් පාලනය කළ යුත්තේ සත්පුරුෂ නායකයන් ය. ගොවියන්, ගෘහණියන්, සියලු තරාතිරම්වල රැකියාවන්හි යෙදෙන්නන් මහමඟට ඇද දැමූ, දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කළ මේ ගොරතර විපත සමාජයට දරා ගැනීමට නොහැකි වූ තැන පැනනැගුණු තරුණ පිබිදීමෙන් රට කළ පාලකයන්ට යන එන මං නැති විය. ඒ අභීත තරුණ පරපුරේ අදිටන අනුව රට සක්‍රීය කළ අතීත යුගය දෙස බලා ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග ගැන යුහුසුළු විය යුතුය.

මහ සඟරුවන ප්‍රමුඛ ආගමික නායකයන්ගේ ආශීර්වාදය ලැබ, දෑ හිතැති වියතුන් හා තරුණ නායකත්වය ඉදිරිපත්ව රටට හිතකර වැඩපිළිවෙළක් සකස් කරන තුරු අනන්ත දුකට පත් රටවැසියන් උදෙසා මෙම අවස්ථාවේ කළ හැක්කේ රට සුරකින සම්‍යක් දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදය ලබා ගැනීමයි. ඊට මඟහසර පෙන්වන අර්ථ පූර්ණ වදන් ගෙත්තමක රසභාව විමසුමකට මේ උචිත කාලය යැයි සිතමි. වර්තමානයේ අප රට පත්ව ඇති මෙවන් විපත් සමයක් සිහිනෙන්වත් නොසිතූ අවධියක පබැඳි මෙම අපූර්ව ගීතයේ නිර්මාතෘවරයා වන්නේ ප්‍රවීණ ගීත නිබන්දක කිවියර රත්න ශ්‍රී විජේසිංහ කුලවතාණන් ය. ඊට සංගීතය මුසු කොට ගායනා කරන ලද්දේ මෑත යුගයේ පහළ වූ සිංහලයේ අග්‍රගණ්‍ය ගායක ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසිනි.

“සතර වරම් දෙව් මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්

පළා පෙති බැඳන් ගෙල වට
හංස පියාපත් සලමින
නුඹේ පා යටින් සඳකඩ පහණ පායලා
බ්‍රහස්පතී තාරකාව මුදුන් වී සරත් නුබ ගැබ
ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා

සතර වරම් දෙව් මහරජ…

කලා වැව් දියේ උත්පල නෙළා
ගෙනැ ඇඟිලි පොකුරට
අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා
වළාහක දෙවිඳු ඉසිවර
ඇසින් බල බලා පුතු දෙස
ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා

සතර වරම් දෙව් මහරජ…”

සම්බුදු සිරිපා පහසින් තෙවරක් පූජනීයත්වයට පත් වූ ද මිහිඳු මහරහතන් වහන්සේ විසින් උතුම් සම්බුද්ධ ශාසනය තිරසර ලෙස පිහිටුවන ලද්දා වූ ද දෙදහස් තුන්සිය වසරකට අධික අඛණ්ඩ ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකේය සංස්කෘතියේ මහිමය ගී පද දහයකට කැටි කළ මේ ගීතය සිංහල ගීත සාහිත්‍යයේ මහා ප්‍රාතිහාර්යයක් වැන්න.

උඬගුකමින් නන් දොඩවමින් සිටි, ශ්‍රද්ධාවෙන් හීන වූ පාලනයක අවසානය සනිටුහන් කළ තරුණ පිබිදීමක් සිදු වූ සමයක සතර වරම් දෙවි රජවරුන් සතර දෙසින් මතුවී ඇවිත් පිරිත් පැන් ඉසීම වූ කලී නව යුගයක් උදෙසා ආශීර්වාද කිරීමක් වෙයි.

“පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක්මල් කිනිත්තෙන්”

පිරිත් පැන් කළය තුළට ලූ පුවක් මල් කිනිත්තෙන් ඉසින පැන් පොද සියලු දිසාවන් කරා විසිර යන්නේ ආසිරි මල් වැස්සක් පරිද්දෙනි. එය සිංහල සංස්කෘතියට ම ආවේණික වූ චිරකාලීන සිරිතක් වෙයි. එසේ ආශීර්වාදාත්මක ස්ථායි ඛණ්ඩනයෙන් ඇරඹෙ​න ගීතයේ අන්තර් ගායන පදවැලේ හැම වදනක් පාසාම රැව් නඟන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ශ්‍රී විභූතිය පෑ අනුරපුර රාජධානියේ මුල් කාල පරිච්ඡේදය යි. පුරාණ සම්බුද්ධරාජ මාලිගයට පිවිසෙන පියගැටපෙළ පාමුල පිහිටි, සිංහල බෞද්ධ සංස්කෘතියේ සියලු අංගයන් සංකේතවත් කරන සඳකඩපහණේ හංස පේළිය පාරිශුද්ධත්වයේ සංකේතයක් වැන්න.

“පළා පෙති බැඳන් ගෙල වට හංස පියාපත් සලමින” නෙළුම් බටු තුඩින් රැගත් හංස පෙළ දිව යන්නේ බ්‍රහ්ම ශුද්ධාවාසය කරා පිය නඟන්නාක් මෙනි.

“තොප නම ඉදිරි කළ නමටත් උතුම් යෙකි තොප කැළ රැගෙන මහසත්හු ද හිරු දිනති”

ලක් පුතුන්ගේ දෙපතුල යට අලුත් ලෝකයක සෙවණැලි පහළ වී තිබෙයි.

“නුඹේ පා යටින් සඳකඩපහණ පායලා”

සරත් නුබ ගැබින් බ්‍රහස්පතී තාරුකාව පායා නැගෙයි. “උදේ සැපත් සුරගුරු අලු කර අවට” සුබ පෙර නිමිත්තක රැස් ධාරා රුවන්වැලි මහා සෑයේ කොත් කැරැල්ල මත පතිතව කැලුම් විහිදයි.

සිංහලයන්ට උරුම වූ වැවෙන් උපන් සභ්‍යත්වයෙහි මහිමයත්, අසමසම කලා නෛපුණ්‍යයේ උරුමයත් මෙදවස වෙසෙන දරුකැළ වෙත දායාද කළ යුතුව ඇත. වැව් තාවුල්ලේ හෝටල සෑදූ, පුරාණ වැව් බැමි මත ඇවිදින මංතීරු සලකුණු කළ යුගය ඔවුන් අවසන් කොට ඇත්තේ ය. නව යුගයක උදාව වෙනුවෙන් ඔවුන් අපේක්ෂා සහගත ව ක්‍රියාකාරී ව සිටිති.

“කලා වැව් දියේ උත්පල නෙළාගෙන ඇඟිලි පොකුරට අප්සරාවියන් ලෙන් දොර බලා සිටිනවා”.

ධාතුසේන රජ පරපුර ගොඩනැංවූ උරුමය ඉන් අවුරුදු එක්දහස් පන්සියයක් ඉක්ම ගිය ද අයත් වන්නේ ලක් පුතුන්ට ය. එය රැක ගත යුතුව ඇත්තේ ඔවුන්ම විසිනි. කලාවැවෙන් නෙළා ගෙනා උත්පල ඇඟිලි පොකුරු මත රඳවා අප්සරාවියන් පුතු දෙස බලා සිටින්නේ එදවස පැවති අභිමානය අනාගතයට ද රැක දෙන ලෙස අයැදින්නාක් මෙනි. අනෙක් පසින් ඉසුරුමුණි විහාරයේ ගල් බෙයදට නැගුණු වලාහක දෙවිඳු (පර්ජන්‍ය දේව) තිසාවැවෙන් ඔබ ඈත වෙල්යාය දෙස නෙත් යොමා බලා සිටින්නේ ලක් පුතුන් තම මව්බිම සශ්‍රීක කරන්නේ ද යනු නිරීක්ෂණය කිරීමට මෙනි.

“වලාහක දෙවිඳු ඉසිවර ඇසින් බලබලා පුතු දෙස ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා…!”

සටහන – දයාපාල ජයනෙත්ති.