පඩි නොඉල්ලා, දවස පුරා ම තොරතෝංචියක් නැතිව හැල්මේ වැඩකරන කෙනෙක්ව අඳුනනවා ද? ඒ කෙනා තමා අපි හැමෝම ළඟ තියෙන ‘හිත’. මේ හිත මෙච්චර කාර්යබහුල වෙලා තියෙන්නේ විතර්කවලින්. ඒ හිතට විවේකයක් ලැබෙන්නේ සමාධියකින්. ඒ තාක් ම සාමාන්‍ය හිතකට කිසිම විවේකයක් නෑ.

නොසංසිඳුනු, අවිවේකී, තෙහෙට්ටු සිත සංසිඳුවන්න තියෙනවා නම් ඇත්තටම කොච්චර දෙයක් ද? නොහික්මුණු අකීකරු සිත දමනය කරලා කෙලෙස් පීඩා නැතිව සිත සනසන දෙයක් විතරක් මේ සිතේ රඳවා ගන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද? ඒත් ඒක ලේසි නෑ. අතිශයින් ම දුෂ්කරයි.

බුදු සසුනක, තථාගත සම්බුදු ඔවදනකින් හැර එබඳු වික්‍රමයක් ගැන අහන්නටවත් ලැබෙන්නේ නැහැ.

මේ සිත අවුල් කරන ගිනි අවුළුවලා පීඩාවට පත් කරන්නේ අකුසල් සිතිවිලිවලින්. ඒ පාපී අකුසල් සිතිවිලි ඕනෑම එකක් හටගන්නේ අකුසල් මුල් තුනකින්. ඒ තමයි රාගයත්, ද්වේෂයත්, මෝහයත්.

එතකොට අපේ සිත පීඩාවට පත් වෙද්දි පළමුවෙන්ම අපි අඳුනගත්තොත් මේ අකුසල් සිත හටගත්තේ රාගයක්, කැමැත්තක්, ආශාවක්, ප්‍රිය බවක් මුල් කරගෙන ද තරහක්, අමනාපයක්, අප්‍රිය බවක් මුල් කරගෙන ද මෝහයක්, මාන්නයක්, ආත්ම දෘෂ්ටියක් මුල් කරගෙන ද කියලා ඒ ඒ අකුසල් දුරු කරන්න මොන වගේ උපක්‍රමයක් කළ යුතු ද කියන එක දහම් දැනුමක් තියෙන කෙනෙකුට හිතා ගන්න පුළුවන්.

පොදුවේ ඕනෑම අකුසල් සිතිවිල්ලක් ඉදිරියේ හිත රැකගන්න කැමති නම්, ඒ වෙනුවෙන් මේ ලෝකේ කරන්න පුළුවන් පොදු උපක්‍රම පහක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාවරණ ඤාණයෙන්, සර්වඥතා ඤාණයෙන් පෙන්වා දී තිබෙනවා. අකුසල විතර්ක – අකුසල් සිතිවිලි බැහැර කරලා කෙලෙසුන්ගෙන් හෙම්බත් වුණු ජීවිතේට විසඳුම් ගන්න මේ ක්‍රම පහෙන් පුළුවනි.

1. අවධානය වෙනස් කිරීම

අපි තුළ ආසාව, තරහ, ඉරිසියාව, මාන්නය ආදී අකුසල් සිතුවිලි උපදිද්දී ඒ අකුසල් අරමුණට තියෙන අවධානය ඉවත් කරලා කුසල් අරමුණක සිත පිහිටුවන්න ඕන.

සාමාන්‍යයෙන් වෙන්නේ ඒ ඇලීම හෝ ගැටීම හෝ මුළාව උපදින්න හේතු වුණ කෙනා, සිදුවීම් ආයෙ ආයෙ හිත හිත ඒකෙම ජීවත් වෙවී, අකුසලය ම පෝෂණය කරන එක. හැබැයි හිතේ ගිනි නිවාගන්න ඕන කෙනා හිතේ හිතුවක්කාරකමට ඉඩ නොදී අවධානය වෙනස් කරන්න ඕන. උදාහරණයක් විදිහට තරහක් උපන්නොත් මෛත්‍රිය වැඩීම, ගුණ කල්පනා කිරීම, කර්මය ගැන, සසර ගැන සිතීම ආදී කුසල් අරමුණක් ගන්න ඕන. ‘මං සරණ ගිය බුදුරජාණන් වහන්සේට මේ කෙලෙස් නෑනේ’ කියලා බුදුගුණ සිහිකරන්න පුළුවන්. අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසල් අරමුණු ගැනීමේ දී ඒ කෙලෙස් ප්‍රහාණයට උදව් වන ඒ කුසල් අරමුණු ගැන බුද්ධ වචනය ඉගෙනගෙන තියෙන්න ඕන. මේ උපක්‍රමය හරියටම දක්ෂ වඩුවෙක් සියුම් ඇණයක් අරන් ගොරෝසු ඇණයක් තද කරනවා, බුරුල් කරනවා, නැත්නම් ඇදලා දානවා වගෙයි.

2. භයානක ප්‍රතිවිපාක සිතීම

කුසල් පැත්ත හිතද්දිත් හිත තවත් අකුසලයේ ම බැහැගන්නවා නම් ඊළඟ උපක්‍රමය තමයි අකුසල් විතර්කවල භයානකකම සිතීම. ‘මේක අකුසලයක්, මේක ම හිත හිත හිටියොත් පව ම වැඩිලා යාවි. මෙලොවත් පරලොවත් දුක් විපාක විඳින්න වේවි.’ කියලා රාග – ද්වේෂාදී අකුසල් නිසා හිත දුර්වල වෙලා නුවණ වැනසෙන හැටි, අතීතයේ සත්වයන් සසර දුකට වැටුණු හැටි සිතද්දි, ධම්මපද කතා – ජාතක කතා ආදී අකුසල්වල දුර්විපාක කියාදෙන දහම් කතා, සූත්‍ර දේශනා සිහිකරද්දී කියවද්දි ඒ පාපී සිතිවිලි පවත්වන්ට බය හිතෙනවා. ලැජ්ජා හිතෙනවා. එතකොට අකුසල් දුරු කරන්න හයිය ලැබෙනවා. හරියට ලස්සනට සැරසෙන තරුණ දරුවෙකුගේ ඇඟට සර්ප කුණක් හරි, බලු කුණක් හරි, මිනී කුණක් හරි වැටුනොත් අප්පිරියාවෙන් අහකට වීසි කරනවා වගේ පාපී අකුසල විතර්ක පිළිකුලෙන් බැහැර කරන්න ඕන.

3. සිහි නොකර සිටීම

පාපී අකුසල්වල භයානකකම සිතද්දී සිතද්දීත් තවත් අකුසල් සිතිවිලිම ලුහුබඳිනවා නම් ඊළඟ උපක්‍රමය තමයි ඒ ගැන නොසිතා සිටීම. ඒක හරියට දකින්න අකමැති රූපයක් තමන් ඉස්සරහට ආවොත් ඇස් පියා ගන්නවා වගේ. නැතිනම් අහක බලාගන්නවා වගේ. ඒක ම හිත හිත නොඉඳ ඒ පාපී විතර්ක මෙනෙහි නොකර සිහි නොකර ඉන්න ඕන.

තරහක් ආවම ඒ සිදුවීම ම හිතට එද්දි ‘ඕන එකක්’ කියලා හිතින් අත ඇරලා දාලා පාඩුවේ තමන්ගේ කටයුතුවල යෙදුණාම ඒ තරහ අමතක වෙලා යනවා.

4. මුල විමසීම

එහෙම නොසිතා ඉද්දිත් හිතට ඒ ප්‍රශ්නෙම කඩා පනිනවා නම් ඊළඟට තියෙන්නේ අකුසලය හටගන්න, සකස් වෙන විදිහ නුවණින් විමසා බැලීම.

‘මෙතනදි වුණේ ඇහැයි රූපයයි විඤ්ඤාණයයි එකතු වුණා. ඇසේ ස්පර්ශය නිසා සැප විඳීමක් හටගත්තා. විඳින රූපය මං අසවලා කියලා හඳුන ගත්තා. ඒ අනුව නොයෙක් සරාගී) චේතනා පහළ වුණා. ඒ රූපය ස්පර්ශ වෙද්දී සැප විඳීමක් හටගත් නිසා ආශාවක් හටගත්තා. මං මේ ඇසත්, රූපත්, ස්පර්ශයත්, විඳීමත්, සඤ්ඤාත්, චේතනාත්, තෘෂ්ණාවත් ඔක්කොම මම මගේ කියල ගත්ත එකයි වරද. ඇසත් අනිත්‍යයයි. රූපත් අනිත්‍යයි. චේතනාවත් අනිත්‍යයි. රූප තණ්හාවත් අනිත්‍යයයි.’ කියලා රාගාදි කෙලෙස් සකස් වන විදිහ සිහි කරනවා නම් අකුසලය පස්සේ හිත වැටෙන එක නවතිනවා. හිත සංසිඳෙනවා.

ඒක හරියට මේ වගේ. බොහොම වේගයෙන් යන කෙනෙකුට හිමින් යන්න හිතෙනවා, ටික දුරක් ගියාම නවතින්න හිතෙනවා. හිටගෙන ඉන්න බෑ කියලා වාඩිවෙනවා. ඊට වඩා හොඳයි හාන්සි වෙන එක කියලා හාන්සි වෙනවා. අමාරු අමාරු ඉරියව්ව අතෑරලා ලේසි ඉරියව්වලට එනවා. ඒ වගේ අකුසලය මුල පටන් සකස් වෙන විදිය හිතද්දි, හේතුඵල විමසද්දී අකුසලය දුරු වෙලා යනවා.

5. දත්මිටි කාගෙන හිතට ගැරහීම

මෙච්චර උපක්‍රම කරද්දිත් අකුසල් දුරු වෙන්නෙ නැත්නම් එතැන ඉතිරි වෙන්නේ එක දෙයයි. දත් මිටි කාගෙන, දිව තල්ලට තද කරගෙන කුසල් සිතින් අකුසල් සිතට හොඳට ගරහන්න ඕන. මඩින්න ඕනෑ. වෙහෙසවන්න ඕන. ඒක හරියට ශක්තිමත් කෙනෙක් දුර්වල කෙනෙකුගේ ඔළුවෙන් හරි, ඇඟෙන් හරි අල්ලගෙන තදින් නිග්‍රහ කරල වෙහෙසවනවා, තර්ජනය කරනවා වගේ. ‘මේ ජරා හිත නිසා තමයි, මේ හිත කියපු කියපු පදයට නටපු නිසයි මම මෙච්චර කල් සංසාරෙ දුක් වින්දේ… ක්ෂණ සම්පත තියෙන වෙලාවක මාව අපායට ඇදලා දාන්න ද හදන්නේ…’ කිය කියා හොඳට හිතට තර්ජනය කරල, දොස් කියලා, වෙහෙසවලා හිත මෙල්ල කරන්න ඕන.

අපි එක එක්කෙනා සංසාරේ පුරුදු කළ රටාවන්ට අනුව අපිට වඩාත් සාර්ථක ක්‍රමය මොකක්ද කියන එක වෙනස් වෙන්න පුළුවන් මේ ක්‍රම පහෙන් කීපයකින් හෝ එකකින් හිතේ උපදින ඕනෑම අකුසලයක් දුරුකරන්න පුළුවන් ම යි. ඒක සියල්ල අවබෝධ කළ බුද්ධ ඥානයෙන් කළ විවරණයක්.

භාවනාව වඩන, හිත සමාහිත කරන ශ්‍රාවකයන් හිත දැහැන්ගත කිරීම දක්වාම හිතේ අකුසල් විතර්ක දුරු කරන්නේ මේ ක්‍රම පහෙන් ම යි. පුරිසදම්මසාරථීන් වහන්සේ වදාළා.., “මේ විදිහට සිත දමනය කරලා, එකඟ කරලා, සමාධිමත් කරගත් භික්ෂුව කැමති විතර්ක විතරක් හිතන, අකැමැති විතර්ක නොහිතන, සිතිවිලි සැරිසරණ මඟ වසඟ කරගත් කෙනෙක්.” කියලා. අහෝ ආශ්චර්යයි! මේ මායාකාරී, වේගවත් ව හැසිරෙන, හිතුවක්කාර, චපල සිත දමනය කරලා තමන්ගේ වසඟයට ගත හැකි අද්භූත උපාය අපගේ ශාස්තෘන් වහන්සේ අවබෝධ කළානේ. දේශනා කළානේ.

ඒ සිත වසඟ කළ නරවීරයන් වහන්සේ තෘෂ්ණාව දුරු කළ, කෙලෙස් සංයෝජන උදුරා දැමූ, උත්සාහයෙන් වීරියෙන් ජීවිතයේ සැබෑ ස්වභාවය අවබෝධ කර, දුක් අවසන් කළ රහතන් වහන්සේනමක් ම යි! අමා නිවන බලා යන ගිහි පැවිදි සියලු සම්බුදු ශ්‍රාවකයන්ට පිහිටවන අමා දම්පදය මෙයයි. චපල සිත දමනය පිණිස,

බුද්ධං සරණං ගච්ඡාමි!
ධම්මං සරණං ගච්ඡාමි!
සංඝං සරණං ගච්ඡාමි!

ඇසුර – විතක්ක සණ්ඨාන සූත්‍රය

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.