මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලොව පහළ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සර්වඥතා ඥානය පසක් කොටගෙන ගෙවී යමින් තිබුණේ පස්වන සතියයි. විමුක්ති සුව විඳිමින් අජපල් නුග රුක් සෙවණේ වැඩහුන් තථාගතයන් වහන්සේ මෙසේ සිතන්නට පටන් ගත් සේක.

‘‘ගුරුවරයෙකු රහිතව සිටීම දුකකි. මා යම්කිසි ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ සත්කාර කොට, ගෞරව කොට, ඇසුරු කොට වාසය කළ යුතු නම් එබඳු කෙනෙක් ලෝකයෙහි සිටිත් ද?”

ඒ මොහොතෙහි තථාගතයන් වහන්සේ සියලූ ලෝක ධාතූන් සිසාරා පිරික්සා බලමින්, නො පිරිපුන් සීලය, සමාධිය, ප‍්‍රඥාව හෝ විමුක්තිය පිරිපුන් කර ගනු පිණිස එයට සුදුසු ආකාරයේ ආචාර්යවරයෙක් ලොව සිටීදැයි විමසා බැලූ සේක. එවන් කිසිවෙකු සම්බුදු නෙතට හමු වූයේ නැත. අසමසම වූ සර්වඥතා ඥනය හා සම වන්නේ සම්මා සම්බුදුවරයෙකුගේ ප‍්‍රඥ බල මහිමය ම මිස අනෙකක් නම් නො වේ…!

තථාගතයන් වහන්සේගේ සිතුවිල්ල දුටු සහම්පතී බ‍්‍රහ්මරාජයා එකෙණෙහි ම උන්වහන්සේ ඉදිරියේ පහළ විය. දණ මඬල නමා බිම වැටී වන්දනාමාන කරමින් තථාගතයන් වහන්සේට මෙසේ කියා සිටියේ ය.

‘‘එය එසේ ම ය භාග්‍යවතුන් වහන්ස, එය එසේ ම ය සුගතයාණන් වහන්ස… අතීතයේ වැඩසිටි අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ධර්මයට ම සත්කාර, ගරුකාර කොට, ඇසුරු කොට වාසය කළ සේක. අනාගතයෙහි පහළ වන්නා වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වෙත් ද උන්වහන්සේලා ද ධර්මයට ම සත්කාර, ගරුකාර කොට ඇසුරු කොට වාසය කරන්නාහු ය. එහෙයින් මෙකල පහළ වූ අරහත් වූ සම්මා සම්බුද්ධ වූ අප භාග්‍යවතුන් වහන්සේ ද අවබෝධ කොට වදාරණ ලද උතුම් ශී‍්‍ර සද්ධර්මය ම සත්කාර කොට, ගෞරව කොට, ඇසුරු කොට වසන සේක්වා!”
(ගාරව සූත‍්‍රය – සං.නි.)

මේ ආකාරයෙන් අපගේ ශාස්තෘන් වහන්සේ අජපාල නුගරුක සෙවණේ වැඩ වෙසෙමින් උතුම් ශී‍්‍ර සද්ධර්මය ආචාර්ය තනතුරෙහි තබාගත් සේක. එතැන් පටන් පන්සාලිස් වසරක් මුළුල්ලේ ගම් දනව් සිසාරා පැතිර ගියේ ඒ අමා දහම් ස්වරය යි.

ඒ සදහම් ඇසුරු කරගත් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ධර්මයෙහි බහුශ‍්‍රැත බවට, විශාරද බවට, ව්‍යක්ත බවට පත් වූහ. අන්‍ය මතවාදයන් ධර්මය තුළින් බිඳ හෙළන්නට සමත් වූහ. එසේ අනුත්තර පින්කෙත ලොව සනසාලන මඟට සම්පූර්ණයෙන් බැස ගත්තාට පසුව ය තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය අත් හැරියේ. එකල්හී කම්පාවට පත් ආනන්ද තෙරුන් වහන්සේ විමසා සිටියේ ‘‘ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑ පසු අප කවුරුන් ශාස්තෘත්වයේ තබා ගත යුතු ද?” යනුවෙනි. එවිට තථාගතයන් වහන්සේ වදාළේ තමන් වහන්සේ සේ ම ශ‍්‍රාවක පිරිස ද ධර්මය ම ශාස්තෘත්වයේ තබා ගත යුතු බවයි.

එනම්, අප සවන්පත්හි වැකෙනා සෑම බුදු වදනක් තුළ ම ජීවමානව වැඩ සිටින්නේ අප සැමගේ එකම ශාස්තෘ වූ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය. ධර්ම ගෞරවයෙන් යුතුව ධර්මය ශ‍්‍රවණය කළ යුත්තේ එය වනාහී ශාස්තෘන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කිරීමක් ම වන නිසාවෙනි.

අමා දහම් බෙරය වයන්නට තථාගතයන් වහන්සේ පිය නැඟූ පළමු මොහොතේ පටන් ම ධර්ම ගෞරවය ආරක්ෂා කෙරෙන ආකාරයට සියල්ල සකස් වීම එක් ආකාරයකින් අසිරියක් ම ය.

ඝෝර වූ තපස් රැක ජීවිතාවබෝධයට පත්වීමක් ගැන විශ්වාස කරමින් සිටි පස්වග ශ‍්‍රමණයන් වහන්සේලා එවැන්නකින් තොරව උපදවා ගත හැකි විමුක්තියක් ඇතැයි නො සිතූහ. එනිසා කටුක වූ තපස්වී ජීවිතය හැරපියා ගිය ගෞතම බෝසතාණන් වහන්සේට විමුක්තියක් ලැබීමට කිසිදු අවකාශයක් නො වූවා පමණක් නොව ජීවිතාවබෝධය පිණිස දරනා වෑයම අතින් තමන්ට වඩා පහළ තැනක ඉන්නේ යැයි ඔවුහු සිතූහ. රජ කුලයේ උපන්නෙකු නිසාවෙන් යම් ගෞරවයක් දැක්විය යුතු ය යන්න විනා ශ‍්‍රමණයෙකු වශයෙන් තමන්ට වඩා උසස් තැනක ලා නො සැලකිය යුතු බව ඔවුන්ගේ පූර්වාකල්පය විය.

එහෙත් ඒ ඔවුන් වෙත වැඩම කරමින් සිටියේ උතුම් වූ සර්වඥතා ඥනයෙන් යුතු වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. මේ මහා භද්‍ර කල්පයේ සතරවනුව ලොව පහළ වී වදාළ මහා මුනිවරයාණන් වහන්සේ ය. සියලූ ලෝකයන්ගෙන් නිදහස් වී, විමුක්ති අමා සුව වළඳමින් වෙසෙනා උන්වහන්සේගේ වත කමල වීතරාගයෙන් ප‍්‍රභාවත් ය, දැකුම් ප‍්‍රිය උපදවන සුළු ය. ඒ ආශ්චර්යවත් වූ දම්කාය දරා වැඩවෙසෙනා උත්තුංග සම්බුදු කාය අභිමුව පිනැත්තෝ දමනය වන්නෝ ය, නිවී සැනසෙන්නෝ ය. ඒ තරමට ම සර්වඥතා භූමිය අසිරිමත් ය.

බොහෝ පුද සත්කාර දක්වා තථාගතයන් වහන්සේ පිළිගත් ඔවුහු දහම් ඇසීමට සිත් උපදවා ගත්තේ උන්වහන්සේ සත්‍යවාදී බව දැන හුන් නිසාත්, සැබෑ ජීවිතාවබෝධය නිසාවෙන් ප‍්‍රසන්නව ගිය සම්බුදු වත කමල ඔවුන්ට යම් සුවිශේෂී පෙරළියක් සිදුව ඇති බව ඉඟි කළ නිසාත් ය. ගෞතම සම්බුදු සසුනේ පළමු ධර්ම ශ‍්‍රවණය සිදු වූයේ එලෙස පැහැදුනු සිතින් යුතු ශ‍්‍රාවක පිරිසකගෙනි.

‘‘ඕදහථ භික්ඛවේ සෝතං” ‘‘මහණෙනි, හොඳට කන් යොමු කරවා අසා සිටින්න” යැයි පවසා තථාගතයන් වහන්සේ ඒ අමා දම්කඳ වදාළ සේක. මනාව, විශ්වාසයෙන් යුතුව ඒ අසා සිටි කොණ්ඩඤ්ඤයන් වහන්සේට දේශනාව අවසන් වනවාත් සමඟ ම දහම් ඇස පහළ විය.

සැබැවින් ම යම් කෙනෙකුට නොයෙකුත් මතවාදයන්ගෙන් බැහැර ව සම්මා දිට්ඨිය ඇතිවන පිළිවෙළකට ධර්ම ශ‍්‍රවණය කිරීම පහසු කටයුත්තක් නම් නො වේ. නමුදු සම්මා දිට්ඨීය ඇති කර ගැනීමට උපකාර වන්නේ ම සද්ධර්ම ශ‍්‍රවණය සහ යෝනිසෝමනසිකාරය යි. ධර්ම ශ‍්‍රවණය යනු සාමාන්‍ය කටයුත්තක් මෙන් වැඩි අවධානයක් යොමු නො කොට කළ යුත්තක් නො වේ. ධර්ම ගෞරවය ආරක්ෂා කෙරෙන ආකාරයෙන් ධර්මය දේශනා කළ යුතු ආකාරයන් පවා ධර්ම විනයෙහි සඳහන්ව ඇත. විනය පිටකයේ පාචිත්තිය පාළියෙහි සේඛියා ශික්ෂා පදවල සඳහන් වන ආකාරයට පහත අවස්ථාවල ධර්ම ගෞරවයට නො රැකෙන නිසා ධර්මය දේශනා නො කළ යුතු ය.

– සේසත්, ඡත‍්‍ර දරන අත් ඇති නො ගිලන් වූවෙකු හට
– දඬු, අවි ආයුධ, අසිපත් අතින් ගත් නො ගිලන් වූවෙකු හට
– පයලූ මිරිවැඩි, පාවහන් ඇති නො ගිලන් වූවෙකු හට
– යානාවෙහි හෝ යහනෙහි සිටින්නා වූ නො ගිලන් වූවෙකු හට
– හිස වෙළා සිටින, හිස වසා පොරවා සිටින නො ගිලන් වූවෙකු හට
– තමන් බිම හිඳගෙන සිටිද්දී අසුනක සිටින්නා වූ නො ගිලන් වූවෙකු ට
– තමන් මිටි අසුනේ හිඳගෙන උස් අසුනක සිටින්නා වූ නො ගිලන් වූවෙකු හට
– තමන් නැවතී සිටිය දී ගමනේ යෙදෙන්නා වූ නො ගිලන් වූවෙකු හට
– තමන් පසුව යමින් සිටිය දී පෙරටුවෙන් යන්නා වූ නො ගිලන් වූවෙකු හට
– තමන් නො මඟින් යමින් සිටිය දී මඟින් යන්නා වූ නො ගිලන් වූවෙකු හට

උතුම් ශ්‍රී සද්ධර්මයේ ඇති මහානීය භාවය සම්බුදු ශ‍්‍රාවකයෝ මනාකොට දැන සිටියහ.

ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේගේ දහම් කථාවෙන් ප‍්‍රමුදිත වූ වේරහච්චානිගෝත‍්‍ර බැමිණියගේ සේවකයෙක් සිදු කළ ගුණ වර්ණනාව අසා සතුටු වූ ඕ දහම් අසනු කැමතිව උන්වහන්සේට දානයට ආරාධනා කළා ය. දන් පැන් වළඳා අවසන ඇය පාවහන් පැළඳ, උස් පුටුවක වාඩි වී, හිසත් වසා පොරවාගෙන හිඳ ‘‘ශ‍්‍රමණය, බණ කියන්න” යැයි කීවා ය.

‘‘සොහොයුරිය, එයට සුදුසු කල් පැමිණේවි” කියූ උන්වහන්සේ පෙරළා වැඩම කළහ. මේ සිදුවීම ඇසූ සේවක තරුණයා ධර්මය ගුරු කොට සිටින ඒ ස්වාමීන් වහන්සේලා ධර්ම ගෞරවයෙන් යුතු නිසා පාවහන් පැළඳ, උස පුටුවක හිඳ, හිසත් වසා පොරවා ‘‘බණ කියන්න” යැයි කියූ විට ධර්ම දේශනා නො කරන බව කියුවේ ය.

ඒ ඇසූ බැමිණිය යළි තෙරුන් වහන්සේට දනට ඇරයුම් කොට, මැනවින් සත්කාර කොට පා වහන් ගලවා, මිටි අසුනක හිඳගෙන, හිසත් විවර කරවා දහම් දෙසන්නට ඇරයුම් කළා ය. ධර්ම ගෞරවයෙන් යුතුව තෙරුන් වහන්සේ සිදු කළ ධර්ම දේශනාව අවසන ඕ තිසරණ සරණයේ පිහිටියා ය.
(වේරහච්චානි සූත‍්‍රය – සං.නි.)

ඛුජ්ජුත්තරාව සාමාවතී බිසව මල් ගෙන එන්නට දුන් මුදලින් අඩක් සොරකම් කිරීම නැවතුවේ සද්ධර්මය අසා තිසරණ සහිත ශීලයෙහි පිහිටි පසුව ය. එකට එකක් ලෙස මල් තොගය වැඩි වූයේ කෙසේ ද යන්න විමසූ සාමාවතිය සිය දාසියගේ සොරකම ගැන කෝප වූයේ නැත. ඒ වෙනුවට ඕ මෙවන් හික්මීමක් ඛුජ්ජුත්තරාව තුළ ඇති කළ දහම කවරක්දැයි විමසුවා ය.

ශ්‍රේෂ්ඨ වූ ධර්මයෙන් පෙරටු වූ ඛුජ්ජුත්තරා ඒ ධර්මය රාජ මහේෂිකාවට කියා දුන්නේ උස් අසුනක හිඳගෙන ය.

ඒ සෑම විට ම අග‍්‍ර භාවයෙහි ලා පිදුම් ලැබුවේ තථාගත ධර්මය මිස අන් දෙයක් නො වේ….!

සියල්ලට ම වඩා පෙරටු වන්නේ ද ගරු කටයුතු වන්නේ ද ධර්මය ම නිසාවෙන් කිසිදු ආකාරයකින් ධර්මය නො දෙවෙනි වන ආකාරයටත්, ධර්ම ගෞරවය නො සිඳෙන ආකාරයටත් කටයුතු පිළියෙළ කරවීම ධර්මය ශ‍්‍රවණය කරන පිරිසගේත්, ධර්මය දේශනා කරන දේශකයාණන් වහන්සේලාගේත් යහපත පිණිස ම පවතින්නේ ය. එනිසාවෙන් ම නිවැරදිව ධර්මය අසන ආකාරය ගැන සටහන් තැබීම කාලෝචිත වන්නේ යැයි අපි කල්පනා කළෙමු.

සිතා මතා නො වූවද ධර්මය ශ‍්‍රවණය කිරීමේ දී ශ‍්‍රාවකයන්ගෙන් සිදුවන අඩුපාඩු නිසා කවරෙකුටත් වඩා අපහසුතාවයන්ට ලක්වන්නේ ධර්ම දේශකයාණන් වහන්සේ ය. තථාගත සදහම් සන්දේශය ලෝ සතගේ හිතසුව පිණිස ප‍්‍රචාරය කරවමින් උදාරතර ශාසනික හා සමාජීය මෙහෙවරක් ඉටු කරනා සංඝ පීතෘන් වහන්සේ නමකගෙන් අපි මේ ගැන විමසා සිටියෙමු.

– පින්වත් ස්වාමීන් වහන්ස, තථාගතයන් වහන්සේගේ ධර්මය ලෝ සත උදෙසා විවර කරවමින් ඔබ වහන්සේලා බොහෝ ස්ථානයන්හි ධර්ම දේශනාවන් සඳහා වැඩම කරවනවා. එවන් අවස්ථාවල එම කටයුත්ත සංවිධානය කරන අයගෙන් සහ ධර්මදේශනයට සවන් දෙන අයගෙන් නො දැනුවත්ව ම සිදු වන දේවල් නිසා ඔබ වහන්සේලා පවා අපහසුතාවයට පත් වන්නට පුළුවන්. එ් ආකාරයට සිදු විය හැකි අඩුපාඩු ගැන අපට පහදා දෙන්නට පුළුවන් නේ ද?

ඇත්තට ම මෙය බොහොම කාලෝචිත දෙයක්. මා ධර්ම දේශනාවලට වැඩම කරවීමෙන් බොහෝ අපහසුතාවලට ලක්වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් යම් යම් සුළු දේවල් ගැන නො සිතන නිසා සහ නො දැනුවත්කම නිසා තමයි එහෙම වෙන්නේ.

ගොඩක් වෙලාවට දඟලන, දුවන, පනින වයසේ කුඩා දරුවන් සමඟ ම අම්මලා ඉදිරියෙන් අසුන් ගැනීම දකින්න පුළුවන්. මේ නිසා අර කුඩා දරුවන් පැය භාගයක් යන්න කලින් දඟලන්න, දුවන්න, සෙල්ලම් කරන්න පටන් ගන්නවා. අවසානයේ අම්මලාට සිද්ධවෙන්නේ ඒ අයව පාලනය කරන්නට මහන්සි වීමට මිස බණ ඇසිමට නො වේ. මෙය දේශකයාණන්ගේ ද දෙසුමට බාධාවක්. මේ ගැන සලකා බලලා එවැනි ස්වයං සංවරයකින් හික්මෙන වයසක නැති කුඩා දරුවන් සමඟ දෙමාපියන් ඈතින් අසුන් ගැනීම හැම දෙනාට ම පහසුවක් වෙයි.

ඒ වගේ ම බොහෝ අය ජංගම දුරකථන ක‍්‍රියා විරහිත කළත් නිවසේ දුරකථනය අක‍්‍රිය කරන්නේ නැහැ. සමහරවිට එහි ශබ්දය ජංගම දුරකථනයකටත් වඩා වැඩියි. ඒ නිසා ධර්ම දේශනාව පටන් ගන්නට පළමු ජංගම දුරකථනය වගේ ම ගෘහස්ත දුරකථනයත් කි‍්‍රයා විරහිත කිරීමයි සුදුසු වෙන්නේ.

අනිත් එක ස්වාමීන් වහන්සේලාගේ දෙපා අල්ලා වන්දනා නො කිරීම යහපත්. ඇතැම් අය මීට දැඩි ලෙස හුරු ව තිබෙනවා. අප දෙපා පුටුව යට සඟවාගෙන සිටියත් අසළට පැමිණ වන්දනා කරන ඇතැම් අය පුටුව යටින්, දැඩි අමාරුවෙන් අපේ දෙපා සොයා රිංගා දෑත් දමා ස්පර්ශ කිරීමට ම උත්සාහ කරනු ලබනවා. ඇතැමුන් එපා කිවුවාට අසන්නේ ම නැහැ. මෙය සුදුසු දෙයක් නො වෙයි. දේශකයාණන් වහන්සේටත් අපහසුවක්. එනිසා එයිනුත් මිදෙන්න ඕනේ.

ධර්ම දේශනාවක් පිණිස කටයුතු සකස් කෙරෙන අපට ම අනන්‍ය වූ පිළිවෙළක්, සංස්කෘතියක් තිබෙනවා. උදාහරණයක් විදිහට, ධර්ම දේශනාව ආරම්භ කිරිමට සියල්ල සුදානම් බව දැනුම් දීම ඈත අතීතයේ පටන් ම සිදු කෙරුණෙ දැහැත් වට්ටියෙන්… මෙය අද බොහෝ දෙනාට අමතක ව ගොසින්… එවැනි පුරාණ චාරිත‍්‍ර තව දුරටත් පවත්වා ගැනීම ඉතා ම යහපත්. එයින් අපට ම ආවේණික වූ බොදු සංස්කෘතිය තව දුරටත් ආරක්ෂා කෙරෙනවා.

ඒ වගේ ම අප දැක තිබෙනවා ධර්ම දේශනාවට ස්වාමීන් වහන්සේ වඩින විට සඟ ගුණ සජ්ඣායනා කරන බව. එය යහපත් දෙයක්. ඒත් සඟ ගුණ පමණක් නො වේ, බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ යන තෙරුවන ම සිහි කිරීම, තෙරුවන් ගුණ ම සජ්ඣායනය කිරීම තමයි වඩාත් උචිත වෙන්නේ. මොකද බුද්ධ රත්නයට හා දැන් අපට ශාස්තෘ වන ධර්ම රත්නයට සත්කාර කිරීම මුල්වන හෙයින්.

තවත් දකින්න ලැබෙන දෙයක් තමයි දේශනාව අවසන් වන්නට මත්තෙන් පිරිකර උස්සාගෙන අතගැස්වීමට ඇතැමුන් හදිසි වෙන බව. මෙහි දී පුණ්‍යානුමෝදනාවට පෙර පරිෂ්කාර පූජා කිරීමට අවශ්‍ය නම්, ඒ බව ස්වාමීන් වහන්සේට බණට පෙර දැනුම් දීම යහපත්. එවිට දේශකයාණන් වහන්සේ බණ අවසන් වු පසු පරිෂ්කාර පුජාවට අවස්ථාව ලබාදෙනු ඇති. එසේ නො පවසා සිටිය දී බණ අවසන් වු පසු ‘‘හා, දැන් පිරිකර ගේන්න” යනුවෙන් පැවසීම සංඝශෝභන නොවන බැවින් උන්වහන්සේලා බොහෝ විට ඒ සමග ම පුණ්‍යානුමෝදනා කර ඒ කටයුතු අවසන් කරනු ඇති. ඒ නිසා කටයුතු සිදු කිරීමට අවශ්‍ය පිළිවෙළ දේශකයාණන් වහන්සේට කල්තියා දැනුම් දෙන්න.

මේ හිතට ගත යුතු තවත් කාරණයක්. හිඳගෙන සිටින දේශකයාණන් හට හිස තබාගැනීමට පහසු ඉරියව්ව ‘ඉදිරිපස බලාගෙන සිටීම’ යි. ඒ නිසා… අතීතයේ සිට බණ අසන්නා දේශකයාණන්ට කෙලින්, ඉදිරියෙන් හිඳ ගන්නේ නැහැ. එකත්පස් ව පමණක් හිඳ ගන්නවා. එයට හේතුව නම්, උන්වහන්සේ දේශනාව තුළ බොහෝ විට ඉදිරිය ම බලාගෙන බණ කීමට ඉඩ තිබෙන අතර පසෙක සිටින අයෙකුට පෙනෙනුයේ උන්වහන්සේ ඉදිරියේ සිටින එක ම කෙනෙකු දෙස නිතර බලමින් බණ කියන බවක්. මෙය වැළැක්වීම පිණිස දේශකයාණන්ට එකත්පස් වන සේ ශ‍්‍රාවකයා හිඳගැනීම සිදු කරනවා. මෙයින් ඉදිරිපසට ඉලක්ක වූ කිසිවෙකු නැති වෙනවා. මෙය බොහෝ දෙනෙක් නො දන්න කාරණයක්. එමෙන් ම, මෙය බොහෝ පිරිසක් සිටින තැනකට ආදේශ කිරීම අපහසු යි. නිවසක බණක් සිදු කරන අවස්ථාවක නම් මෙය අනුගමනය කරන්න පුළුවන්.

නිවසේ ඇති කරන සතුන් ගැනත් සිතන්න ඕනේ. බණට පෙර බල්ලාට හොදින් කන්න දී බැඳ තබන්න… එය වඩාත් යහපත්. දිනක් ධර්මාසනයේ මේසය යට බල්ලා නිදා සිටින විට මා බණ කීම ඇරඹුවා. ඒ සතාගේ ඇඟේ මගේ පය වැදී මර ලතෝනි දෙන විටයි මා දන්නේ එහි බල්ලෙකු සිටි බව!!! ඇතැම් විට පූසා පැමිණ ඇඟ දැවටෙනවා. ඇතැම් විට කූඩුවේ සිටින බල්ලා බඩගින්නේ බුරන්නට පටන් ගන්නවා… මේ සියල්ල ම දේශකයාණන්ටත්, ධර්මය ශ‍්‍රවණය කරන අයටත් අපහසුවක් ම යි ඇති කරන්නේ. ඒ නිසා ධර්ම දේශනාවක් සඳහා සූදානම් වීමේ දී මේ කාරණා ගැනත් අවධානය යොමු කරන්නට සිතට ගන්න ඕනේ.

සැබෑවකි… ශාස්තෘන් වහන්සේ පෙරටුවේ තබාගෙන ශාස්තෘ ගෞරවයෙන් යුතුව ධර්ම ශ‍්‍රවණය කරන්නේ ය යන සම සිතින් මෙකල ද අප සද්ධර්ම ශ‍්‍රවණයට යොමු වන්නේ නම් කිසිදු අගෞරවයක් හෝ බාධාවක් හෝ සිදු නොවන ආකාරයට සියලූ කටයුතු සකසා ගැනීමට අප වග බලා ගන්නා බව නිසැක ය. ඉදින් දැනුදු අප සවන්පත් අතරට යොමු වන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ විසින් ද ශාස්තෘත්වයෙහි ලා සැලකූ ඒ නිර්මල බුද්ධ භාෂිතයන් ම ය. සකසා බණ ඇසීම ඒ ධර්මාවබෝධය උපදවා ගන්නට මහඟු උපකාරයක් ම වන්නේ ය.

තථාගතයන් වහන්සේ සුතය හෙවත් බහුශ‍්‍රැත භාවය පෙන්වා වදාළේ නගරයකට මනා ආරක්ෂාව සලසාලන ආයුධ ගබඩාව ලෙස ය.

‘‘මහණෙනි, තම තමන්ගේ ධර්ම රාජ්‍යය තුළ ආරක්ෂාව සලසා ගන්නා කෙනා තුළ තිබිය යුතු ආයුධ ගබඩාව තමයි බහුශ‍්‍රැත බව. හොඳට අහල මතක තබාගෙන (සුතධරෝ සුතසන්නිචයෝ) ඒ ශ‍්‍රාවකයා කළ දේ තම ජීවිතය තුළ රැස් කර ගනී. ඒ තමයි, මුල මැද අග යහපත් වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප‍්‍රකාශන ක‍්‍රමයෙන් යුතු වූ, මුළුමනින් ම පරිපූර්ණ වූ නිවන් මඟ (යේ තේ ධම්මා ආදිකල්‍යාණං, මජ්ඣේ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං, සාත්ථං, සබ්‍යඤ්ජනං, කේවල පරිපුණ්ණං පරිසුද්ධං බ‍්‍රහ්මචරියං අභිවදන්ති). ඒ ධර්මය බොහෝ සේ අසා (බහුස්සුතා), හොඳින් දරාගෙන, මතක තබාගෙන (ධතා), වචනයෙන් ප‍්‍රගුණ කොට (වචසා පරිචිතා), නුවණින් හොඳට විමසා (මනසානුපෙක්ඛිතා), පැහැදිලි අවබෝධයකට පැමිණෙයි (දිට්ඨියා සුප්පටිවිද්ධා).
(නගරූපම සූත‍්‍රය – අං. නි.)

නිවැරදිව සද්ධර්මය ශ‍්‍රවණය කරමින් සේඛ බලයක් වන ‘සුතය’ තම තමන්ගේ ජීවිත තුළ උපදවා ගන්නටත්, දහම් ඇස පහළ කර ගන්නටත් සියල්ලන්ට ම භාග්‍යය උදා වේවා!

මඟ පෙන්වූ කලණ මිතුරු සඟ රුවනට අපමණ පුණ්‍යානුමෝදනා වේවා!!!

සටහන
භාරත සූරියබණ්ඩාර