නීල මාණික්‍යමය ප්‍රතිමාවක් සේ සමවත තුළ කිමිද නිසසලව වැඩ හිඳින මහ මුගලන් මුනිඳු අබියස, රඟ දෙන්නී මෑ විමලා නමින් පතළ මනමෝහනීය රූබර අභිසරු ලියයි. අනඟ රැඟුම් නිශ්ඵල විය. විරාගී මුනිඳු සිහ නද පැතිරුණි.

“ඒයි.. ඇටසැකිල්ලකින් කරපු කුටියක් ඇති තැනැත්තී…. මසින් නහරින් මහලා දාපු ඇඟක් ඇති තැනැත්තී…. අශූචි පුරවාගෙන දුගඳ හමන ඇඟක් ඇති තැනැත්තී. ඒ විදිහට ඉඳගෙන අනුන්ගේ ශරීර ගැන ‘මගේ මගේ’ කියා සිතන තිට නින්දා වේවා!”

රාගයෙන් මුසපත් ව හුන් විමලා… අභීත සිහනද අබියස ‘සංවේගය’ උපදවා ගත්තී ය. තම සිතේ උපන් අපවිත්‍ර රාගය ගැන බලවත් ව සංවේගය උපදවා ගත්තී ය. ඈ නුවණැත්තී… කලබල නොවුණා, සංවේගය ම උපදවා ගත්තී ය. මඩ වගුරකට බැස ගිලෙන නාකි හරකුන් සේ ස්ත්‍රී ශරීරයට ලොල් මිනිසුන් මැද, මෙවැනි වීර පුරුෂයන් බිහිකළ ශාස්තෘන් වහන්සේව ම සොයා යන්නට තරම් ඒ සංවේගය බලවත් විය.

නිකෙලෙස් මුනිවරයෙකු අබියස ලැජ්ජා – බය සිඳගෙන රඟ දෙන තරමට ම තමාව අන්ධ කළ රාගය ගැන උපදවාගත් ‘සංවේගයේ ආනුභාවයෙන්’ මුනිරජුන් සෙවණේ කසාවත් දරා සදහටම රාගය වනසා දැමූ ඈ…. විමලා රහත් මුනිවරියයි. ඕ තොමෝ සදා සැප-සතුට ලබන්නී, සංවේග විය යුතු තැන සංවේග උපදවා නුවණින් යුතුව වෙර වැඩූ නිසාමයි. එදා ඒ සංවේගය නූපන්නා නම්… ඈ තවමත් කාම මඩ ගොහොරුවේ කිමිදෙමින් බිහිසුණු සතර අපා දුක් මැදින් සසර සැරිසරන්නී නොවේ ද?

පින්වත නොවලහා කියනු මැන… උපන් රාගයේ ගිනි දැලින් වෙලී බලවත්ව පීඩිත සිතින් ඔබ ගත කළ වාර ගණන කොපමණ වේ යැයි කිව හැකි ද?

වරෙක ඒ ලෝල සිත ඇදී ගියේ දියණියක හෝ තම පුතෙකු බඳු අයෙකු වෙත නොවේ ද? මවක පියෙකු බඳු, තම සොයුරු සොයුරියන් බඳු අය වෙතද මේ ලෝලී සිත ඇදී ගියා නොවේ ද? කිසි ලෙසකත් කෙලෙසුන් නූපදවිය යුතු තැන පවා මේ සිත කෙලෙසුණු අවස්ථා සිහි වෙනවා නේද? මෙයයි රාගය දුරු නොකළ සිතක යථා ස්වභාවය.

නමුත්…. පින්වත වරද වූයේ එතැන නොවේ. එදා ඔබ සිත රාගයෙන් කැළඹී යද්දී ඔබට සිතුණේ කුමක්ද? ඒකාන්තයෙන් ම ඔබ එයින් ආස්වාදයක් ලබන්නට ඇති. සිතින් පමණක් නොවේ, කයින් වචනයෙන් පවා බලවත් ව පාපයේ යෙදෙන්නට ඇති. නැතහොත් ඔබ සිත කලඹවන පාපී සිතිවිලි සතුරෙක් බව ඔබට නොවැටහෙන්නට ඇති. ඇතැම් විට උපන් කිලුට ගැන ඔබ දුක් වී පසුව එය අමතක කර දමන්නට ඇති. එනිසා ම නොවේද දෙවැනි වරටත් රාග සතුරා ඔබට පහර දුන්නේ… තෙවැනි සිව්වැනි වර පමණක් නොවේ…, නැවත නැවතත් හාත්පසින් ඔබ වට කොට දවා හළු කර දමන්නේ, එදා ඔබ සංවේග උපදවා බලවත්ව නැණ වෙර ගෙන සතුරා පලවා නොහැරි නිසාම නොවේ ද?

එසේනම් පින්වත, සංවේග වනු මැනව! මේ කිලිටි රාගය තවම මා සිත දවනවා නේ දැයි කියා. විවර කර ගනු මැනව, සැප සතුට පිරි මාවත. සංවේගයෙන් දිරිගෙන නැණ වෙර වඩා අසුභ වූ දිවියේ සැබෑ තතු දකිමින් ගමන් කළ මැන නිවන් මගෙහිම.

පින්වත… බැලූ බැල්මට ඔබ වැදගතෙකු සේ පෙනේ. නමුත් ඉඳුරාම දනිමි මම, ක්ෂණික ව උපන් කෝප ගින්නට හසුව ඔබේ වැදගත්කම නසාගෙන මෝඩයෙකු සේ ඔබ හැසිරුණු වාර අනන්තව තිබෙන බව. එදා ඔබේ නපුරු වදනින් සෙනෙහෙබර මව් ළය තදින් පෑරී ඉරි තැලී ගිය වග සිහිකරන්නෙහි ද ඔබ? මහමෙරක වුව බර දැරිය හැකි සුවිශාල පියතුමන් හද පවා ඔබේ අමනාප වදන් අබියස සොවින් සැලී ගිය බව සිහි කළ යුතු ම වෙයි ඔබ. ඔබ වෙනුවෙන්ම දිවි කැප කර සිටින සෙනෙහෙබර ඈ…. කී වතාවක් නම් ඔබේ කෝපය ඉදිරියේ හඬා වැටෙන්නට ඇති ද? නපුරු වදන් පවසමින් ඔබේ පෙම්බර ස්වාමියාගේ සිත රිදවීම නොකටයුත්තක් නොවේ ද? ද්වේෂයෙන් අන්ධ වී ඔබ මෙතෙක් කළ කී දේ නිසා, කොතරම් නම් අවිහිංසකව ඔබට ළබැඳි සිත් තැලී පොඩි වී යන්නට ඇති ද?

පින්වත මම දනිමි…. ඇතැම්විට ඒ යටගියාව සිහිකිරිම පවා ඔබට වේදනාකාරී වන බව. ක්‍රෝධ කසය අතට ගෙන කළ කී දේ සිහිවන විට අද ඔබ හඬා වැටෙන බව. නමුත්, නැවත නැවතත් ඔබ අතින් සිදුවන්නේ එවැනිම දෑම නොවේද? එසේ නම්… වරද ඇත්තේ කොතැන ද?

පින්වත මෙය අසනු මැන. ඒ වෘෂභ රාජයා මංගල සම්මතයි. ජනපදවාසී මිනිසුන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වෙලා, මහා සත්කාර ලබමිනුයි සිටියේ. එදා තුඹසක් අසලින් ගමන් කරපු වෘෂභ රාජයාට වැරදීමකින් තමයි ඒ නාගරාජයා ව පෑගුනේ. බලවත්ව කිපුණු නාගයාගේ විෂ දළින් ලද ප්‍රහාරයෙන් ශ්‍රේෂ්ඨ වූ වෘෂභ රාජයා එතැනම මරණයට පත් විය. තමන්ගේ මංගල සම්මත වෘෂභ රාජයා මැරී සිටින ආකාරය දුටු බොහෝ ජනයා මහත් සේ වැළපුණි. මහත් ගෞරවයෙන් අවසන් කටයුතු සිද්ධ කෙරිණ. මේ සියල්ල බලා සිටි නාගයා සංවේග වූයේ ය. තමා තුළ උපන් පාලනය කර ගත නොහැකි කෝපය නිසා මහා අයහපතක් සිද්ධ වූ බව තේරුම් ගත් නාගයා බලවත්ව සංවේග වූයේ ය. “නැවත මෙවන් ද්වේෂයක් නිවන් දකින තුරුම මට එපා” කියා නුවණ, වීරිය උපදවා ගත්තේ ය. යමෙකුන් තමා පිටුපසින් පැමිණ තදින් පහර දුන් විට පවා කෝප නොවී මෙත් සිතම රැකගත් දයා කරුණා පිරි සාරිපුත්ත මුනිඳුන්ගේ පෙර ජීවිතයකි ඒ.

පින්වත ඔබට වැරදුනේ එතැනයි. ද්වේෂ සිතින් ඔබ කළ කී දෑ ගැන සැබැවින්ම ඔබ දුක් වුණත්, බලවත්ව සංවේග උපදවන්නට ඔබට බැරි විය. සංවේග පිරි සිතින්, නුවණින් යුතුව වීරිය අරඹන්නට ඔබට බැරි විය.

පින්වත…. එසේනම්, නොපමාව සංවේග වුව මැනව! මේ රුදුරු ද්වේෂය තවම මා දවනවා නොවේදැයි කියා. නුවණ පෙරට ගෙන වෙර වඩනු මැන මෙත් කිරුළ දරමින්…, කෙලෙස් දවා හළ උතුමන්ට සිරස නමා.

මේ පමණක් ද නොවේ. ඔබ දිවිය කළඹවන, ඔබේ හද ලැගුම්ගත් පාපී ක්ලේෂයෝ තව කොතෙක් නම් වේ ද? මෝහ, මද, මාන, පමාද ආදී කෙලෙසුන්ගෙන් පීඩිත සිත් ඇත්තෝ මෙය ද අසත්වා! සුරාවෙන් අත මිදෙනු නොහැක්කෝ, බොරු කීමෙන් ගැලවීගත නොහැකි තැනැත්තෝ, පස් පවින්, දස අකුසලින් වෙලී දුක් විඳින – ඉන් නැගී සිටිනු කැමැත්තෝ…. සාවධානව මෙය අසත්වා!

ඒ යහළු ගොවියන් දෙදෙනා දිනපතා කුඹුර වෙත ගියේ, දිය පිරවූ ලබු කැට දෙකකුත් රැගෙනයි. එදා.. එක් අයෙකු පිපාසිතව ගොඩට විත්, තම දිය ඉතිරි කොට සොර සිතින් අනෙකාගේ ලබු කැටයෙන් දිය බී නිහඬව සිටියේ ය. සවස් යාමයේ, තමාගේම හෘද සාක්ෂිය තමා කළ වරද හඬ ගා කියා සිටිය දී ඔහුගේ සිතේ මහා සංවේගයක් ඉපදුණි. “අහෝ! මේ තණ්හාව දිගටම ගියොත් මාව නිරයට යාවි.” කියා නුවණින් විමසන්නට පටන් ගත් මේ නැණවතා නතර වුණේ, පසේබුද්ධත්වයට පත් වී ය.

පින්වත අසනු මැන, සැබැවින්ම සංවේදී මේ පුවතත්… එදා ඒ මත්ලෝලී බරණැස් රජු, ආහාර බුදින වේලේ මාංශ රසයක් නොමැති නිසා සුරා මතින් තම සිඟිති පුතුගේ ගෙල කඩා මරා පිසවා අනුභව කිරීමට තරම් උම්මත්තක වූයේ ය. පසුදින පියවි සිහි ලැබ තම පුතුට මේ විපත සිදුවූයේ තම සුරාසොඬ බව නිසාම යැයි දැන මහත් සේ කම්පිතව සුරාව කෙරෙහි පිළිකුලෙන් යුතු විය. බලවත්ව සංවේගයට පත් රජු…. තම මුවෙහි පස් පුරවාගෙන “නිවන් දකිනතුරු සුරා බිඳක් තොල නොගාන්නෙමි” යි දැඩිව අදිටන් කළේ මැයි. ඒ අප සැරියුත් මුනිඳුන් සසරේ කෙලෙසුන්ට ගැරහූ අසිරිය යි.

කෙලෙසුන්ගෙන් පහර පිට පහර වදිද්දී…. සංවේගයෙන් වජ්‍රමය ආයුධ දරා සත්පුරුෂයන් ලද විජයග්‍රහණය නොදකින්නෙහි ද? එදා ඒ උතුමන් එසේ සංවේග නොවූවා නම්…. සංවේග වී නුවණින් යුතුව වීරිය නොකළා නම්…. සසර කෙලෙස් ගොහොරුවේ ම ගිලෙනු විනා, බුදු-පසේබුදු-මහරහත් උතුමන් කෙසේ නම් බිහි වන්න ද?

“සංවේගය” වනාහී ජය ටැඹ කරාම ඔබව රැගෙන යන ධර්ම යාත්‍රාව යි. සැප සතුට ලබා දෙන අමා උල්පත යි. නිවන් පුරට යන ස්වර්ණමය ද්වාරය විවර කරවන දිව මතුර යි.

එසේනම් පින්වත… සංවේග වනු මැනව! මේ රුදුරු කෙලෙසුන් තවම මා අත්හැර ගොස් නෑ නොවේදැයි කියා. වෙර වඩනු මැන නුවණ පෙරට ගෙන හැම කෙලෙස් නසන තුරා.

පින්වත… බැලූ බැලූ අත ඇත්තේ සංවේග ඉපදවීමට කරුණු විනා මුළාවෙහි ගැලීමට කරුණු නම් නොවේ. අශ්‍රැතවත් අඳබල් ජනයා මුළාවෙහි ගැලෙද්දී…. ශ්‍රැතවත් සත්දන සංවේග උපදවන අසිරිය…. දකිනු මැන.

මේ ‘උත්තිය’ රහත් මුනිඳුගෙ සිහනදයි. “මට ලෙඩ වුණ ගමන් සිහිනුවණ ඉපදුණා. මා දැන් ලෙඩ වෙලා ඉන්නේ. දැන් ඉතින් පමා නොවී මේ ධර්මයේ හැසිරෙන්ටයි කාලය උදා වුණේ.”

පින්වත ඔබට මතක ද… රෝ දුකින් පීඩිතව හුන් ඔබ මරණය අබියසට ම ගොස් දිවි රැකගත් අයුරු. සංවේග උපදවා වෙර වැඩුමට කරුණක් නොවේද එය. නමුත්…. ඔබේ මනසේ යළි යළිත් දෝංකාර දුන්නේ, “අහෝ! කවදා නම් මා සුවපත් වේ දැයි” කියා නොවේද? “දහමට දිවි පිදීමට මේ කාලය යි.” කියා සිතුණෙහි ද ඔබට?

බලනු මැන පින්වත, සසරේ සැබෑ තතු දකිනා උතුමන් සංවේග උපදවා ජය ලබන අසිරිය… මේ වීරෝදාර පුරුෂයා ‘මානව’ නම් රහත් මුනිඳුයි.

“ජරාජීර්ණ වෙච්ච කෙනෙක් දැක්කට පස්සේ, දුක් විඳින ලෙඩෙක් දැක්කට පස්සේ, ආයුෂ ඉවර වෙලා මැරුණ කෙනෙක් දැක්කට පස්සේ, මං සිත බැඳෙන මේ පංචකාම සැපය අත්හැර දැම්මා. ගිහිගෙය අත් හැරලා මහණ වුණා.”

ඔබේ සුදු පැහැ කෙස් රොද කළු පැහැ ගැන්නුවාට කම් නැත. නමුත් සංවේග වනු මැනව! ජරාවෙන් මා පහර කනවා නොවේදැයි කියා. සංවේග වී වෙර වඩනු මැන, නොපමාව අද අද ම පින් කළ යුතුයි… කුසල්දම් වැඩිය යුතුයි… දහම් මග හැසිරිය යුතු නොවේදැයි කියා.

යළිදු පින්වත, මෙනෙහි කළ යුතුම වෙයි ඔබ, ගෙවා ආ බිහිසුණු සසර මඟ ගැන. බිහිසුණු අසාර සසරේ ඔබ නොවිඳි දුකක් නම් නැත. නොවිඳි සැපක් ද නැත. නොලද ජය පැරදුමක් ද නැත. මුණනොගැසුණු අයෙකු ද නැත. අද… ඔබ ළඟ ඒ කිසිවක් නැත… ඒ කිසිවෙකුත් ද නැත.

සංවේග වනු මැනව!. මෙබඳු හිස් ගමනක ද මා යෙදුණේ කියා. එමතු ද නොවේ; බලනු මැන තව යා යුතු සසර මග දෙස… බිහිසුණු නිරා දොරවල් නිතියෙන් ම විවර වී ඇත. අසූචි වගුරක් වන් තිරිසන් අපාලොව දොරටු නොවැසී ම ඇත. රුදු අපා දුක් දරමින් සුගති දුගතිවල නොනිමි වෙහෙසකර මඟ තව බොහෝ දුර යා යුතුව ඇත. සංවේග වනු මැනව! අහෝ! මේ සසර මට උරුමයි කියා…. නැණ පහන් ගෙන වෙර වඩනු මැන, සසර දුක් දුරු වන තුරා.

සංවේගයේ ආනුභාවය ගැන අප මුනිරජුන් වදහළ මේ දහම් පද අසනු මැන.

“පින්වත් මහණෙනි, කරුණු දෙකකින් සමන්විත භික්ෂුව මේ ජීවිතයේ දී ම ගොඩක් සැපෙන් සතුටින් ජීවත් වෙනවා. ඒ කාරණයෙන් ඔහු ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස පටන්ගත් වීරියෙනුත් යුක්ත වෙනවා. ඒ කරුණු දෙක මොකක් ද?

සංවේගයට පත් විය යුතු තැන්වල දී සංවේගය පත් වීමත්, ඒ විදිහට සංවේගයට පත් වෙලා නුවණින් යුතුව විරිය කිරීමත් කියන දෙක. පින්වත් මහණෙනි, මෙන්න මේ කාරණා දෙකින් සමන්විත භික්ෂුව මේ ජීවිතයේදීම ගොඩාක් සතුටින් වාසය කරනවා. ඒ නිසා ඔහු අරහත්වය පිණිස වුවමනා වැඩපිළිවෙළත් පටන් ගත්තා වෙනවා.”

(සෝමනස්ස සූත්‍රය – ඛුද්දක නිකාය 1)

එනමුදු පින්වත….ඔබ දන්නවාද සංවේගයේ ඵල ලබන්නවුන් ලොව සුලභ නොවනා වග?

“පින්වත් මහණෙනි, මේ දඹදිව රමණීය ආරාම, රමණීය වනාන්තර, රමණීය භූමි, රමණීය පැන් පොකුණු තිබෙන්නේ ස්වල්පයයි. එනමුත් පින්වත් මහණෙනි, මේ බෑවුම්, පල්ලම්, ගංගා, දුර්ග කාණු කටු තියෙන තැන්, විෂම කඳු ගැට ආදියම තමයි බහුලව තියෙන්නේ. අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙක් සංවේගයට පත් විය යුතු තැන්වල දී සංවේගයට පත් වෙනවා නම් ඒ සත්වයන් ඉන්නේ ස්වල්පය යි. ඒත් යම් කෙනෙක් සංවේගයට පත් වන්නේ නැත්තම්, ඒ සත්වයන් ම තමයි බහුලව ඉන්නේ. ”

“….(පෙ)…. යම් කෙනෙක් සංවේගයට පත් වෙලා නුවණින් වීරිය කරනවා නම් ඒ සත්වයන් ඉන්නේ ස්වල්පයයි. ඒත් සංවේගයට පත් වෙලා නුවණින් වීරිය කරන්නේ නැති අය ඉන්නවා නම් ඒ සත්වයන් ම තමයි බහුලව ඉන්නේ.”

(ජම්බුදීප පෙය්‍යාලය – අංගුත්තර නිකාය 1)

ඉදින් පින්වත, නොපමාව එක් වුව මැනව ඒ ස්වල්ප වූ හෝ සත්ජන හා. සැබැවින්ම කෙලෙස් පිරි ලොව දොස් නැතියවුන් නොමැති මුත්, නැවත නැවතත් වරදට ම ඉඩදෙනු එපා! සංවේග වනු මැනව! උපන් අකුසල් ගින්න අබියස… ජරා මරණයෙන් පිරි සසරට ම නැවත නම් එන්නට එපා! සංවේග වනු මැනව! රුදුරු භව දුක් ගින්න අබියස…

නිතියෙන්ම සංවේගයේ
ආනුභාව ලැබ
නැණ බෙලෙන් වෙර
වඩා සරනු මැන,
සද්ධර්ම මාවතේ
නිවන් පුර හමුවන තුරා!

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි