නිකෙලෙස් හදමඬලක් දරා වැඩසිටිමින් පන්සාලිස් වසරක් පුරාවට දෙව් – මිනිසුන්ට අමා නිවන් මඟ විවර කළ අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේගේ දින චරියාව ඉතා අසිරිමත් ය. තථාගතයන් වහන්සේගේ දින චරියාව පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පසුයම් කිස යනුවෙන් පස් වැදෑරුම් ය.

භාග්‍යවතුන් වහන්සේ උදෑසනින් ම අවදි වී උපස්ථායකයන්ට අනුග්‍රහ පිණිස ද ශරීරයට පහසුව පිණිස ද මුවදෙවීම් ආදී සිරුරු පිරියම් කොට, පිඬු පිණිස හැසිරෙන වේලාව තෙක් හුදෙකලා අසුනක සමාහිත සිතින් කල්ගෙවන සේක. පිඬු පිණිස හැසිරෙන වේලාවෙහි අඳනය හැඳ, පටිය බැඳ, සඟල සිවුරු පොරවා ඇතැම් විට තනිව ම ද ඇතැම් විට භික්ෂු සංඝයා පිරිවරාගෙන ද ගමකට හෝ නගරයකට හෝ පිඬු සිඟා වැඩම කරන සේක. ඇතැම් දිනක සාමාන්‍ය අයුරින් ද ඇතැම් දිනක ෂඞ්වර්ණ බුද්ධරශ්මි ධාරා විහිදුවමින් මහත් වූ ප්‍රාතිහාර්ය සහිතව ද පිඬු සිඟා වඩින සේක. තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා පිඬු සිඟා වඩින බව දැනගත් මිනිසුන් සැදැහැයෙන් ඉපිළෙමින්, මනාකොට හැඳ පොරවාගෙන සුවඳ මල් ආදියත් ගෙන නිවෙස්වලින් එළියට පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේට සුවඳින් මලින් පුදා සකසා වන්දනා කොට, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපට භික්ෂූන් දහනමක්, අපට විසිනමක්, අපට සියක්නමක් දෙනු මැනව.” යි අයැද, සුගතයන් වහන්සේගේ ද පාත්‍රය ගෙන තම තමන්ගේ නිවෙස්වල අසුන් පනවා, බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට පිණ්ඩපාතය පිරිනමති.

භාග්‍යවතුන් වහන්සේ බත්කිස නිමවා ඔවුන්ගේ සිත්සතන් තම සිතින් පිරිසිඳ බලා ඇතැම් කෙනෙක් සරණාගමනයෙහි පිහිටත් ද ඇතැමෙක් සෝතාපන්න වෙත් ද සමහරු සකදාගාමී, අනාගාමී වෙත් ද සමහරුන් පැවිදිව අග්‍රඵලය වූ අරහත්වය ලබා ගනිත් ද එසේ දහම් දෙසන සේක. මෙසේ ජනයාට අනුග්‍රහ කොට, වෙහෙරට වැඩම කර, භික්ෂූන් දන් වළඳා නැවත පැමිණෙන තෙක්, මණ්ඩලමාලයේ උතුම් සම්බුද්ධ ආසනයෙහි වැඩහිඳින සේක. භික්ෂූන් බත්කිස නිමවා වැඩි කල්හි, උපස්ථායක තෙරුන් ඒ බව දැනුම් දුන් කල්හි, භාග්‍යවතුන් වහන්සේ සුගන්ධ කුටියට පිවිසෙන සේක. මේ තථාගතයන් වහන්සේගේ පෙරබත් කිස යි.

ඔවදන් දෙවා මහ කරුණා මෙතින් හදේ….

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කරන ලද පෙරබත් කිස ඇති සේක්, සුගන්ධ කුටියෙහි උපස්ථායක හිමියන් විසින් පනවන ලද අසුනෙහි වැඩහිඳ, පා දොවා, වැඩසිටිමින් භික්ෂූන්ට අවවාද දෙන සේක. “මහණෙනි, අප්‍රමාදීව කුසල් දහම් වඩන්න (අප්පමාදේන භික්ඛවේ සම්පාදේථ). බුද්ධෝත්පාදය දුර්ලභ ය (දුල්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මිං). මිනිසත් බව දුර්ලභ ය (දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ). ක්ෂණ සම්පත්තිය දුර්ලභ ය (දුල්ලභා ඛණ සම්පත්ති). පැවිදි බව දුර්ලභ ය (දුල්ලභා පබ්බජ්ජා) සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය (දුල්ලභා සද්ධම්ම සවණන්ති) වශයෙනි.

එහි දී ඇතැම් භික්ෂූන් කමටහන් හෙවත් භාවනා අරමුණු විමසති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට චරිතානුකූලව භාවනා උපදෙස් ලබාදෙන සේක. ඉන්පසු සැම දෙනා වහන්සේ ම භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට තමන්ගේ වාසස්ථානවලට වැඩම කරති. ඇතැම් භික්ෂූන් ආරණ්‍ය වෘක්ෂ මූලාදී නිදහස් තැන්වලට වැඩම කරන අතර, ඍද්ධිමත් භික්ෂූහු දිව්‍ය ලෝකවලට ද වැඩම කරති. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියට පිවිස කැමති වන සේක් නම් මොහොතක් සිංහ සෙය්‍යාවෙන් සැතපී සිරුර සන්සිඳුවා අවදි වී ලෝකයා දෙස බුදු ඇසින් බලන සේක.

තථාගතයන් වහන්සේ යම් ගමක හෝ නගරයක වැඩ වසන සේක් ද එහි මහජනයා සවස් කාලයේ සුවඳමල් ආදිය ගෙන, මැනවින් හැඳ පොරවාගෙන දහම් ඇසීමට පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේ පැමිණි පිරිසට අනුරූප වූ පෙළහරින් වැඩම කොට දම් සභාවෙහි පනවන ලද උතුම් බුදු අසුනෙහි වැඩහිඳ සුදුසු දහමක් දෙසා, සුදුසු කාලයෙහි පිරිස විසුරුවා හරින සේක. බ්‍රහ්ම ස්වරයෙන් යුතු තථාගත සදහම් අසා ඔද වැඩී ගිය සිතින් යුතු පිරිස සුගතයන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට ආපසු යති. මෙය පසුබත් කිස යි.

තථාගත දම්සරින් බුදු පුතුන් සැනසුනා…

ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ පැන් පහසුවීමට කැමති නම්, නහන කොටුවට පිවිස ස්නානය කරන සේක. උපස්ථායක තෙරුන් සුගන්ධ කුටි මිදුලේ බුද්ධාසනය පැනවූ කල්හි, අඳනය හැඳ තනිපට සිවුර ඒකාංශ කොට පොරවා, එහි මොහොතක් හුදෙකලාව වැඩ සිටින සේක. එවිට භික්ෂූන් ඒ ඒ තැනින් එතනට වැඩම කොට සමහරුන් සදහම් පැන අසති. සමහරුන් භාවනා උපදෙස් අයැදිති. සමහරුන් දහම් දෙසන්නට ආරාධනා කරති. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව ඔවුනට ධර්මයෙන් අනුග්‍රහ කරමින් රාත්‍රියේ ප්‍රථම යාමය ගත කරන සේක.

දෙව් – මිනිසුන්ගේ උත්තම ගුරු දෙවිඳුන් වන්නේ….

එසේ පෙරයම අවසන් වී භික්ෂූන් වන්දනා කොට නික්ම ගිය විට, දස දහසක් ලෝකධාතුවලින් දෙව් බඹුන් පැමිණ දහම් පිළිසඳරේ යෙදෙති. භාග්‍යවතුන් වහන්සේ දෙව් – බඹුන්ගේ පැන විසඳමින් මධුර වූ සදහම් දේශනා කරමින් රාත්‍රියේ මධ්‍යම යාමය ගතකරන සේක. මෙය මැදියම් කිස යි.

බුදු සමිඳුගේ නෙතින් ගලයි කරුණා දහර….

උදෑසන පටන් ම බොහෝ වේලාවක් වාඩිවෙමින් ම කල් ගත කළ භාග්‍යවතුන් වහන්සේ, එයින් සිරුරට වූ විඩාව සන්සිඳවා ගැනීම පිණිස, රාත්‍රී පශ්චිම යාමයේ මුල් කොටසෙහි සක්මන් කරමින් වැඩ සිටින සේක. දෙවැනි කොටසෙහි සුගන්ධ කුටියට පිවිස දකුණු ඇළයට හැරී සිහිනුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපෙන සේක. තෙවන කොටසෙහි පිබිදී පෙර බුද්ධ ශාසනවලදී දාන – සීලාදී වශයෙන් පින් රැස් කළ, පිළිවෙත් සපිරූ අය බුදු ඇසින් දකිනු පිණිස මහා කරුණා සමාපත්තියට සමවැදී ලොව බලන සේක. ඒ එළඹෙන දිනයේ දී ඔවුනට මෙලොව – පරලොව යහපතත්, උතුම් ධර්මාවබෝධයත් ලබාදීමට උපකාර කරනු පිණිස ය.

විජ්ජාචරණින් යුතු වූ සමිඳුන් නමදින්නේ….

මහා කරුණාවෙන් යුතුව, විස්මිත ප්‍රඥාවෙන් යුතුව, මේ උතුම් සම්බුදු කිස, භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසරක් පුරාවට සිදුකරමින් අපමණ ලෝසතුනට සෙත ශාන්තිය උදාකළ සේක. ඒ සෑම දිනයක් ම සෑම ඉරියව්වක ම සුගතයන් වහන්සේ ගත කළේ සමාහිත සිතිනි. නිකෙලෙස් විහරණයෙනි. ඒ බව වරක් වේනාගපුර නම් බ්‍රාහ්මණ ගමේ වැසියන්ට පහදා දුන්නේ මෙලෙසිනි.

“බ්‍රාහ්මණය, මෙන්න මේකයි දිව්‍ය ආසනය. මම යම් ගමක හෝ නියම් ගමක හෝ වාසය කරද්දී උදේ වරුවේ පිඬු සිඟා – වැඩලා ලැබුණ දෙයක් වළඳනවා. ඊට පස්සේ වනාන්තරයක් ඇතුළට වැඩම කරලා, ගස් යට තියෙන කොළරොඩු ටිකක් එකතු කරලා, ඒ මත දෙපට සිවුර එලලා වාඩිවෙනවා. ඒ විදිහට වාඩිවෙලා, කාමයන්ගෙන් වෙන් වූ, අකුසලයන්ගෙන් වෙන් වූ, විතර්ක විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය සැපය ඇති ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඒ වගේ ම විතර්ක විචාර සන්සිඳුවලා ආධ්‍යාත්මයේ පැහැදීම ඇති, මනා ඒකාග්‍රතාවයෙන් යුක්ත, විතර්ක විචාර නැති චිත්ත සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපය ඇති දෙවෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. ඒ වගේ ම ඒ ප්‍රීතියටත් ඇලෙන්නේ නැතිව උපේක්ෂාවෙන් යුතුව, කයෙනුත් සන්සිඳීමක් ලබමින් ආර්යයන් වහන්සේලා යම් සමාධියකට ‘ප්‍රීති සැප ඇති විහරණය’ කියා කියනවා නම් අන්න ඒ තුන්වෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. ඒ වගේ ම සැප දුක් දෙක ම අත්හැර, මුලින් ම සෝමනස්ස දෝමනස්ස දෙක ම අත්හැරලා පාරිශුද්ධ උපේක්ෂා සතිය ඇති හතරවෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. බ්‍රාහ්මණය, මේක තමයි නිතර ලැබෙන, සුව සේ ලැබෙන මාගේ වටිනා සුඛෝපභෝගී දිව්‍ය ආසනය.
බ්‍රාහ්මණය, එබඳු ධ්‍යාන සිතින් මම සක්මන් කරනවා නම්, සිටගෙන ඉන්නවා නම්, වාඩි වී සිටිනවා නම්, සැතපී සිටිනවා නම් මම ඉන්නේ දෙවියන් වගේ.”

සිව් බඹ විහරණයෙන් වැඩි සුගතයාණෝ….

“ඒ වගේ ම බ්‍රාහ්මණය, මම දස දිශාවට ම වෛර නැති, තරහා නැති මෙත් සිත වඩනවා, කරුණාව වඩනවා, මුදිතාව වඩනවා, දශ දිසාවට ම උපේක්ෂාවත් වඩනවා. ඒ විදිහට මම බ්‍රහ්මවිහාර භාවනාවෙන් කල්ගෙවනවා. එබඳු විහරණයකින් මම සක්මන් කරනවා නම්, වාඩිවී සිටිනවා නම්, සැතපී සිටිනවා නම් මම වාසය කරන්නේ බ්‍රහ්මයා වගේ. ඒක තමයි මගේ වටිනා සුඛෝපභෝගී බ්‍රහ්ම ආසනය.”

කෙලෙසුන් තොර නුවණ ඇතිව තුන්ලොව ජයගන්නේ….

“බ්‍රාහ්මණය, මා තුළ රාගය නැති බව, ද්වේෂය නැති බව, මෝහය නැති බව හෙවත් නිකෙලෙස් බව සිහිකරමින් මම වාසය කරනවා. ඒ මගේ වටිනා සුඛෝපභෝගී ආර්ය ආසනය යි. මම ඒ විදිහට වීතරාගී වීතදෝසී වීතමෝහී බව මෙනෙහි කරමින් සක්මන් කරද්දී, සිටගෙන සිටිද්දී, වාඩිවී සිටිද්දී, සැතපී සිටිද්දී ඒක මම බොහෝ ම නිදුකින් පහසුවෙන් නිතර ලබන වටිනා සුඛෝපභෝගී ආර්ය ආසනය යි.”

මහා කරුණාවෙන් සිසිල් වී ගිය හදමඬලක් දරාගෙන, අසිරිමත් විස්මිත ප්‍රඥාවෙන් ලෝසතුනට යහපත සැපත සලසාලූ, අමා නිවන් දොර විවර කළ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!