බෝසතුන් කුලය විලෝකනය කරති

සියලු සර්වඥයන් වහන්සේලා ගොවි කුලයෙහි හෝ වෙළඳ කුලයෙහි නූපදිති. බ්‍රාහ්මණ කුලයෙහි හෝ රජ කුලයෙහි උපදින්නාහ. යම් කාලයක රජදරුවෝ, බමුණන්ට වඳිත් නම් බමුණු කුලයෙහි උපදිති. බමුණෝ රජදරුවන්ට වඳිත් නම් බෝසත්හු රජ කුලයෙහි උපදිති. එම නිසා අප බෝසතාණන් වහන්සේ මිනිස් ලොව බලා මේ කාලයේ රජ කුලය උතුම් බව දැන ගත්හ. අනතුරුව දඹදිව් තලයෙහි හැට තුන් දහසක් රාජධානිවල හැට තුන්දහසක් රජවරුන් අතර කවර නම් රජතුමා බුදු කෙනෙකුට පිය තනතුර ප්‍රාර්ථනා කොට කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සිටින්නේ දැයි බලන්නාහු, අප බෝසතුන් කපිලවස්තු පුරයෙහි ශාක්‍ය වංශයෙහි ජයකොඩියක් වැනි වූ උභය කුල පාරිශුද්ධ ශුද්ධෝදන රජතුමා දුටු සේක.

උභයකුල පාරිශුද්ධ යනු කුමක් ද?

ප්‍රථම අන්තඃකල්පයෙහි සූර්ය කුල පුත්‍ර වූ මහා සම්මත නම් රජෙක් ඕපපාතික ව ඉපදුණි. ඒ රජතුමා මහජනයාගේ සම්මතයෙන් පළමුවන අභිෂේකයට පැමිණි නිසා ‘මහා සම්මත’ නම් විය. ඒ රජතුමාගේ ශරීරය හිරු රැස් කළඹක් මෙන් ආලෝකයෙන් බබළයි. ආකාශයෙහි පලක් බැඳ සියලු ජනතාවට අනුශාසනා කරති. මහා ඍද්ධි ඇත්තාහ. ඔහුගේ ශරීරයෙන් නිකුත් වූ දිව සඳුන් සුවඳ සතර ගව්වක් පුරා පැතිරුනි. ඔහු කථා කරන විට මුඛයෙන් නිකුත් වන මහනෙල් මල් සුවඳ යොදුනක් පුරා පැතිරුනි. මේ රජතුමා කිසිම රෝග පීඩාවක් නැතිව, දූ පුතුන්ගේ ශෝකයකුත් නැතිව අවුරුදු අසංඛ්‍යයක් පුරා මුළු දඹදිව රාජ්‍ය කළේ ය. ඒ කාලයේ සියලු සත්වයන්ට ම ආයුෂ අසංඛෙය්‍යක් ම විය. කුසල ධර්මයන් නිසා ම ඔවුන් උපදින, මිය යන කාලය නො දනී. අජරාමර වූවා වැනි නිසා දෙව්ලොව දෙවියන්ට පවා ආයුෂ මදි වී යයි අපහාස කළහ. ඒ කාලයේ මිනිස් ලොව දෙව්ලොවටත් වඩා ආයුෂ සම්පත් බොහෝ විය. සිව්පාවුන් පවා සිංහයා ව රජ කළහ. දියෙහි ජීවත් වූ මාළුවන් ආනන්ද මත්ස්‍යයා ව රජ කළහ. කොටින් ම කිවහොත් කුරා කුහුඹුවන් පවා තම තමන්ට රජුන් ඇතිකර ගත්හ. මේ පිළිබඳ ව ජාතක කථාවලින් මොනවට පැහැදිලි වෙයි.

අවුරුදු අසංඛෙය්‍ය බැගින් රජ වූවෝ…

මේ අයුරින් මහා සම්මත ය, රෝජ ය, වර රෝජ ය, කල්‍යාණ ය, වර කල්‍යාණ ය, උපෝසථ ය, මන්ධාතු ය, වර මන්ධාතු ය, චර ය, උප චර ය, චේති ය, මුචල ය, මුචලින්ද ය, සගර ය, සාගර ය, භරත, භගීරථ, රුචි, සුරුචි, ප්‍රතාප, මහා ප්‍රතාප, පනාද, මහා පනාද, සුදර්ශන, මහා සුදර්ශන, නේරු, මහානේරු, අච්චිමන්ත යන මේ රජවරුන් විසි අටදෙනා ම කුසාවතී නුවර, රජගහනුවර, මියුලු නුවර යන මේ උතුම් වූ තුන් නුවරෙහි ම අසංඛෙය්‍ය – අසංඛෙය්‍ය බැගින් අවුරුදු රාජ්‍ය කළාහු ය.

ක්‍රමයෙන් ආයුෂ අඩු වෙයි

මෙසේ කාලයක් ගත වන විට රජවරුන්ගේ ආයුෂ අඩුවන්නට පටන් ගත්හ. එම පරම්පරාවේ අවසාන රජු වූ අච්චිමන්ත රජතුමාගේ දරු මුණුපුරෝ අසංඛෙය්‍යක් ආයුෂ නො ලැබූහ. කෝටි ගණන් ආයුෂ වැළඳූ ලක්ෂයක් පමණ රජවරු පරම්පරාවෙන් රාජ්‍ය කළහ. ඒ රජවරුන්ගේ ‘සගර්’ නම් රජතුමාගේ පුත් වූයේ මඛාදේව නම් රජු ය. ඔහු දෙලක්‍ෂ පනස් දෙකෝටි ගණනක් ආයු වළඳා මියුළු නුවර රාජ්‍ය කරන්නේ පළමු වන නරකෙස දැක, අනිත්‍ය ලක්‍ෂණ පහළ වූවා යයි දැක, නරකෙස පෙන්වූ කපුවාට ගම්වර තෑගි කොට, මඛාදේව නම් දෙවන පුතුට රාජ්‍යය පවරා මඛාදේව උයනේ අවුරුදු අසූ හාරදහසක් තපස් රැක ආයු කෙළවර බ්‍රහ්ම ලෝකයේ උපන්නාහ. ඉන් පසු මහා සම්මත යුගය අවසන් වී මඛාදේව රාජ වංශය පහළ විය. ඒ රාජ පරම්පරාව අවුරුදු ලක්‍ෂ තිස් දහසක් පරම්පරාවෙන් රාජ්‍ය කළ අතර අවසානයේ රජ වූ රජතුමා නරකෙස දැක තපසට නොගියහ. මඛාදේව රාජ වංශයේ අවසන් රජ වූ කාලා රජනක රජුගේ පුත්‍රයා අශෝක නම් විය. ඔහුගේ පුත්‍රයා වූ ඔක්කාක නම් රජුගෙන් උදා වූයේ ඔක්කාක රාජ වංශය යි. ඒ වංශයේ කුසරජ, දිලීප, රඝු, අජය, දසරථ, රාම ආදි ලක්‍ෂයක් ඔක්කාක රජ දරුවෝ පනස් දහසක්, හතලිස් දහසක් අවුරුදු රජකරමින් කාලය ගෙවෙද්දී ක්‍රම ක්‍රමයෙන් දස දහසක් අවුරුදු වන තුරු ආයුෂ බැස යන්නට විය.
මෙසේ ලක්‍ෂයක් රජවරුන්ගෙන් කෙළවර දෙවන ඔක්කාක නම් රජු රජ විය. ඔහුගේ ජරම්පරාවේ උදයභද්ද, ධනංජය, කෝරව්‍ය, වේදේහ, සජය, වෙස්සන්තර, ජාලිය, සිංහවාහන ආදි ලක්‍ෂයක් රජවරු රාජ්‍ය කළහ. දස දහසක් අවුරුදු ආයුෂ තිබූ ඒ කාලයේ එම වංශය අවසානේ සුජාත නම් රජතුමා ද ඔහුගේ පුත් අඹඨ නම් රජු තුන් වන ඔක්කාක විය. ඒ රජතුමාට හසතා, චිත්‍රා, ජන්තු, ජාලිනී, විශාඛා යන නමින් අග බිසෝවරු පස් දෙනෙක් සිටියාහ. ඒ බිසෝවරුන්ට පන්සියය බැගින් පුර ස්ත්‍රීන් ද වූහ. ඒ බිසෝවරුන්ගෙන් හසතා නම් බිසවට උල්කාමුඛ, කලඩුක, හස්තිනික, සිරිනිපුර යන පුතුන් සතර දෙනෙක් ද ප්‍රියා, සුප්‍රියා, නන්දා, විජිතා, විජිතසේනා යන දූවරුන් පස් දෙනෙක් ද වශයෙන් දරුවන් නව දෙනෙකු රජුට දාව ලැබුණි. නොබෝ කලකින් ඇය පරලොව ගියා ය. බිසව මියගිය පසු රජතුමා වෙනත් යෞවන ස්ත්‍රියක් අගමෙහෙසිය බවට පත්කර ගත්හ. ඒ බිසව ද ජන්තු නමින් පුත්‍රයෙකු වැදුවා ය. ඒ කුමරු ඉපදී පස් දිනක් ගිය පසු කුමරු සරසා මල් දමක් මෙන් දෑතින් ගෙන රජු ඉදිරියට ගෙන ආ පසු, පුතුගේ රූ සිරි දුටු රජතුමා “දේවිය, මෙවන් පුතෙකු දුන් ඔබට වරයක් දෙමි. දැන් ම අරගනුව.” කීහ. ඒ මොහොතේ වරය නො ගත් බිසව් තොමෝ කුමරු වැඩි වියට පැමිණි පසු ව රජු ඇමතුවා ය. “හිමියනී… මට වෙනත් වරයක් වැඩක් නැත. මාගේ පුතුට රාජ්‍යය දෙන්න” යි ඉල්වී ය. ඒ බසට රජතුමා කෝපයෙන් “වැඩිමහලු පුතුන් හතර දෙනෙකු ම සිටිය දී තී බාල පුතුට රාජ්‍ය ඉල්වයි. මාගේ පුතුන් මරන්නට තී කැමති වීදැ?” යි ඇසූහ.
පුතුන් හතර දෙනා රටින් පිටමන් වෙති

බිසවගේ වරය ගැන තව දුරටත් සිතූ රජතුමා ‘රජ දරුවන් බොරු නො කියති. අතීතයේ බොරු කිවූ රජෙකු පොළොව පලා ගිලුනේ ය. මුලින් වරයක් දී එය ඉල්ලූ විට කැමති වරය නොදීම ලෝකයාගේ නින්දාවට කරුණකි.’ යි සිතමින් වැඩිමහලු පුතුන් හතර දෙනා කැඳවී ය. “දරුවනි, තොපගේ බාල මලණු වූ ජන්තුට මම සිටිය දී රාජ්‍ය දෙන්නෙමි. මම නැති කල තොපට රාජ්‍ය දෙමි. ස්ත්‍රීන් විශ්වාස නැත. තොප කැමති කැමති සෙනඟ හා කැමති පමණ මැණික් ආදිය ගෙන වෙනත් දේශයක වාසය කරව.” යි පුතුන් වැළඳ වැලපෙමින් දරුවන් පිටත් කොට යැවූහ. රජකුමරුවෝ සතර දෙනා පිය රජුට වැඳ සමුගෙන යන්නෝ රජතුමාගේ දියණිවරු පස්දෙනා ද සොයුරන් නො දැක සිටීමට නොකැමති වී ඔවුන් සමඟ කැමති පිරිවර ගෙන නික්මුණාහ. මුළු නුවර ම අසුරයන් අරක් ගත් සුරපුරය මෙන් විය. රජ දරුවන් රටින් නික්මෙන බව දනන් තුඩ තුඩ පැතිරින. ‘අපගේ රජුගේ දරුවෝ රටින් පිටමන් වන්නේලු, නැවත රාජ්‍ය ගන්නට පැමිණේලූ. එම නිසා නැවත රාජ්‍ය ගන්නට අප ද ඔවුන් හා යා යුතු ය.’ යි සිතමින් මැති ඇමතිවරු, බ්‍රාහ්මණවරු, සිටුවරු, මහාවෙළඳවරු ආදි දස දහස් ගණන් පිරිස කුමාරවරු සමඟ නික්මුණාහ. මේ පිරිස පළමු දිනයේ ගවු හතරක් තෙක් පිරී ගියාහ. දෙවන දිනයේ අටගව්වක් පිරුනි. මෙසෝ fදාළොස් ගවුවක් පිරිස පිරී ගියාහ.

මෙසේ රජකුමරුවෝ මේ සා මහත් ජනකායක් සමඟ නුවරින් පිට වී බරණැසට අග්නි දිගින් යොදුන් ගණනක් ගොස් ඔවුනොවුන් හා මෙසේ කතිකා කර ගත්හ. “අපගේ බලසෙනඟ මේ දඹදිව කැමති රාජ්‍යයක් උදුරා එහි රජකරන්නට තරම් බොහෝ ය. ඒත් වෙනත් රජෙකු අනුභව කළ රාජ්‍යයක් අපට පිළිකුල් ය. එය අපගේ ඔක්කාක රාජවංශයට සුදුසු නො වේ. අනුන්ගේ දේ උදුරා ගැනීම රාජධර්මය නො වේ. ඒ නිසා රාජ්‍යයක් තනා ගැනීමට අලුතින් සුදුසු බිමක් සොයා ගත යුතු ය.” යි එක් තැනක පිරිස රඳවා ඇමතියන් පිරිසක් සමඟ සුදුසු බිමක් සොයන්නට වූහ.

කපිල තාපසතුමාගේ ආරාධනාව

ඒ කාලයේ අපගේ මහා බෝධි සත්වයන් වහන්සේ කපිල නම් තාපසයෙක් වී එක විලක් සමීපයෙහි වෘක්ෂයෙන් ගහන වූ වනයක් මැද පන්සලක් සාදාගෙන වාසය කරන්නාහ. මේ අතර වනයේ ඇවිදින රජකුමරුවෝ තාපසතුමා දැක වන්දනා කොට එකත්පස්ව සිටියහ. ඒ මොහොතේ තාපසතුමා මේ කුමරුවෝ ඔක්කාක රාජ දරුවෝ යයි හැඳිනගෙන “දරුවනී, ඔබලා අසරණ ව කුමක් සොයා ඇවිදින්නේදැ?” යි ඇසූහ. රජකුමාරවරු සියලු විස්තර පැවසූහ. එම භවයේ බෝසතාණන් වහන්සේ ‘භූමි විජය’ නම් ශිල්පයක් තුළින් ආකාශයේ අසු රියනක් ද පොළොවෙන් අසූ රියනක් ද දැනගෙන සිටියාහ. ඒ වනයෙහි එක් ස්ථානයක තෘණ ආදි ගස්වැල් දකුණු පසට නැමී තිබුණි. නරියන්ට බියෙන් දුවන සාවුන් ආදි සතුන් ඒ බිමට පැමිණි පසු නරියන් ලුහුබැන්දාහ. නයින් දැක බියෙන් දිව යන මැඩියන්, මීයන් වැනි සතුන් ඒ බිමෙහි දී නයින් ලුහුබැන්දාහ. බෝසතාණන් වහන්සේ මේ කාරණා දැක මෙසේ සිතූහ. ‘මේ භූමිය නම් ජය භූමියකි. සක්විති රජවරු හා ලොව්තුරා බුදුවරු පහළ වන බිමකි. මතු දිනෙක අපටත් මෙය උවමනා වේවි.’ මෙසේ සිතා එම ස්ථානයෙහි පන්සලක් සාදාගෙන වාසය කරනා සේක. එදින ඒ කුමරුවන්ගේ උවමනාව ඇසූ තාපසතුමා “දරුවනී, නුවරක් අවශ්‍ය නම් මාගේ මේ පන්සල් භූමිය ගනුව. මේ බිමෙහි චණ්ඩාලයෙක් හෝ වසයි නම් චක්‍රවර්ති රජවරුන් පරදවන ආශාවක් ඔහුට ඇත. මතු දිනෙක මේ භූමියෙහි උපදින එක් පුරුෂයෙක් මුළු ලෝකවාසීන්ගේ ම සත්කාර ගරු බුහුමනට පත් වෙයි.” කියමින් එම භූමිය පිළිබඳ ව වර්ණනා කොට ඒ පන්සල් භූමිය දෙමින් “දරුවනී, මට කරන උපකාරයක් තිබේ නම් මේ භූමියෙහි රාජ්‍යය සාදා නිමා කළ පසු ඒ රාජ්‍යයට මාගේ කපිල යන නම තබව.” යි කීවාහු ය. ඉන් පසු රජකුමරුවෝ එම භූමියට ම නුදුරු තැනක පන්සලක් සාදා බෝසතුන් වහන්සේට පිළිගන්වා එම මහ වනය සිඳ දමා පන්සල් භූමියෙහි මහා මාලිගාවක් සාදා එම රාජ්‍යයට තාපසතුමාගේ නමින් ‘කපිලවස්තුපුර’ යන නම තැබූහ.

මෙසේ රාජ්‍යය පිහිටුවා ගත් රජකුමරුවෝ එකිනෙකා සමඟ කතිකා කරන්නේ, “මේ දඹදිව් තලයෙහි අපට සරණ පාවා ගැනීමට කාන්තාවන් නො එවන රජෙක් නම් නැත. නමුත් එසේ වෙනත් කුලයන් හා සම්බන්ධයක් වුවහොත් එය අපගේ රාජවංශයට කිලුටකි. එසේ ම අපගේ නැගණියන් පාවා දෙන්නට ද සුදුසු රජෙක් නැත. එසේ වුවහොත් එය ද අප වංශයට කිලුටකි. එම නිසා අපගේ ඥාතීන් ම සම්බන්ධ වීම උතුම් ය.” යි හැමට ම වැඩිමහලු ‘ප්‍රියා’ නම් කුමරිය මව් තනතුරෙහි තබා කුමරුවන් හතරදෙනා තම තමන්ට කුඩා නැගණියන් අගමෙහෙසුන් ලෙස තබාගෙන ආරක්‍ෂා කළහ. එම කුමරුවන් හතර දෙනා දූවරු අටදෙනෙකු ද පුතුන් අටදෙනෙකු වශයෙන් දහසයක් දරුවන් ලැබූහ. මේ සියලු තොරතුරු පියමහ රජුට ආරංචි විය. ‘තමන්ගේ දරුවෝ රටින් පිටත්ව ගොසින් රාජවංශය ආරක්‍ෂා කර ගත්හ.’ යි සිතා සාදු නාද කරමින් “මේ රාජ කුමරුවෝ ‘පරම ශාක්‍ය’ රාජ කුමාරයෝ ය.” යයි ප්‍රීති උදාන ගායනා කළාහුය.
අඹඨ ශාක්‍ය රාජ වංශය වෙයි.

‘අඹඨ’ නම් ඔක්කාක රජු පැවසූ ප්‍රීති උදානය හේතු කොටගෙන එතැන් පටන් ඔක්කාක වංශය අබඨ ශාක්‍ය වංශය නමින් ප්‍රසිද්ධ විය. මෙසේ ඒ ශාක්‍ය වංශයෙහි රජවරු එම කපිලවස්තු පුරයෙහි (කිඹුල්වත් නුවර) දෙලක්‍ෂ විසිදහස් හත්සිය හැට නමයක් රජ පරම්පරා ගෙවී ගිය පසු අවසානයේ බුදු කෙනෙකුන්ට මුත්තණුවන් වීමට පින් ඇති ‘ජයසේන’ නම් රජතුමාගේ පුත්‍රයෙකු වූ ‘සීහහනු’ නම් රජතුමා රජ විය. ඔහුගේ ‘කසුයින්’ නම් අගබිසවුන් හට ශුද්ධෝදන, අමිතෝදන, ධෝතෝදන, සුක්කෝදන, සමිතෝදන යයි පුතුන් පස් දෙනෙක් ද අමිතා, පාරලී යයි දූවරු දෙදෙනෙක් ද වශයෙන් දරුවෝ සත්දෙනෙක් ලැබිණ.
මේ දරුවන්ගෙන් ශුද්ධෝදන නම් කුමරු පිය රජු ඇවෑමෙන් කපිලවස්තු පුරයෙහි දශරාජ ධර්මයෙන් රාජ්‍ය කළේ ය. ඒ කාලයේ අපගේ බෝධිසත්වයන් වහන්සේ තුසිත පුරයෙහි වැඩ හිඳ දෙවියන් කළ ආරාධනාවෙන් මිනිස් ලොව බලා වදාරන්නේ මේ මහා සම්මත රජතුමාගේ කාලයේ පටන් ශුද්ධෝදන රජතුමා දක්වා ක්‍රම ක්‍රමයෙන් රාජ්‍යය කළ හත් ලක්‍ෂ හත්දහස් හත්සිය අනූවක් වූ මහා සම්මත හා සූර්ය වංශයෙහි රජවරුන් දැක ‘මේ රාජවංශය මාගේ උත්පත්තියට උතුම් වන්නේ ය.’ යි අධිෂ්ඨාන කළ සේක.

මේ ශාක්‍ය වංශයෙහි පාරමිතා සැපිරූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතීත රාජ පරම්පරාව මෙසේ දක්වා වදාළ සේක.

“බෝධි සම්භාර ධර්මයන් පුරමින් සිටි මම පළමු වන මහා සම්මත නම් රජු වීමි. මහා මන්ධාතු චක්‍රවර්ති රජු වීමි. මහා සුදස්සන සක්විති රජු ද මඛාදේව රජු ද වීමි. මෙසේ නිමි රජු, කුස රජු, රාම නම් රජු, උදයභද්ද රජු, මහා ජනක රජු, චුල්ලපදුම රජු, මහා පදුම රජු, චුල්ල සුතසෝම රජු, මහා සුත සෝම රජු, පංචායුධ රජු, ධර්ම නම් රජු සත භාතුක රජු ද සහසු භාතුක රජු, ධම්මිෂ්ට නම් රජු, භාගිනෙය්‍ය නම් රජු, රාජෝවාද රජු, අලීනචිත්ත රජු, වේදේහ රජු, අසදෘශ නම් රජු, සක්කදත්තීය රජු, තව ද ගන්ධාර නම් රජු ද වීමි. තව ද අදාස මුඛ නම් රජු ද, සුධාභෝජන රජු ද අනිත්ථිගන්ධ නම් රජු ද වීමි, තව ද කුරු ධර්ම නම් රජු ද, සත නම් රජු, ධර්මපාල නම් රජු ද මහා දීඝායුක නම් රජුව ද ඉපදුණෙමි. තව ද සුසීම නම් රජු ව ද කුම්මාසපිඬ නම් රජු ව ද පරන්නප නම් රජු ව ද උදය නම් රජු ව ද භරද නම් රජු ව ද තදසාධීන නම් රජ, සිව රජ, මහා සිව නම් රජ, සෝමනස්ස නම් රජ, අයෝඝර, අලීන සත්තු, අරින්ද, තේමීය, චන්ද්‍ර නම් රජවරුන් ද වීමි. තව ද දහනම වාරයක් බරණැස් රජු ලෙස උපන්නෙමි. අවසානයේ වෙස්සන්තර නම් රජ ලෙස ඉපදී සත් වාරයක් මහ පොළොව කම්පා වන ලෙසට මහ දන් දී පාරමිතා පූරණය කොට තුසිත පුරයෙහි ‘සන්තුසිත’ දිව්‍යරාජ ව උපන්නෙමි.”

මෙසේ උන්වහන්සේගේ ම මහා සම්මත වංශයෙහි උපන්නා වූ පෙර සඳහන් වූ පරිදි උභය කුල පාරිශුද්ධ කුලයෙහි ම රජ වූ ශුද්ධෝදන රජතුමා බුදු කෙනෙකුන්ට පීතෘ ස්ථානය පතා පිරූ පාරමිතා ඇති බව දුටු සේක. එම නිසා කපිලවස්තු දේශය උපත ලැබීම සුදුසු දේශය ලෙස තෝරා ගත් බව අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

(පොත පත ඇසුරින්)
සටහන – ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ