නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

දිව්‍ය බ්‍රහ්මාදීන් විසින් ද ශ්‍රමණ බ්‍රාහ්මණ ගෘහපතීන් විසින් ද අවසරය ලද තැන්හී දී දන් දෙමියි ගැල්පුරවා බඩු භාණ්ඩ රැගෙන, කරුණාවට නිධානයක් බඳු, අනුන්ගේ දුකෙහිදී පිහිට වන, තුන්ලොවෙහි වටිනා මාණික්‍යයක් බඳු වූ, ධර්මය නමැති ආභරණයෙන් අලංකෘත වූ, සියල්ල අවබෝධ කළ, සර්වඥ ආදී කීර්තිඝෝෂා නගන පිරිවර ඇති, තමන් වහන්සේගේ රුව බලා දොහොත් මුදුනේ තබා වැඳ වැඳ සැනසෙන, නෘත්‍ය ගීත වාද්‍යයෙන් හා දිවසළු නගමින් දිව්‍ය මදාරා ආදි දිවමල් ඉසිමින් පුද දෙන අනන්ත අපරිමාණ දිව්‍ය පිරිවර ඇති, නොයෙක් පෙණ ගොබ නගමින් කඩුපුල් මල් ආදියෙන් පුද දෙන නොයෙක් දිව්‍ය නාග පිරිවර ඇති,

තමන් වහන්සේගේ සිරිපාද පිළිගන්නට ගැල් සකක් (කරත්ත රෝදයක්) තරම් වූ මහා පියුම් මතු වී මුළු සක්වළ ම සුවඳ කරවමින්, ශ්‍රී පාදය දිගු කළ විට මහාමේරුව සේ උස්තැන් සම වී පහත් තැන් පිරී බිම සම කරමින්, සම්බුදු වූ තැන් දවසේ පටන් පිරිනිවන් පාන දවස දක්වා මේ අතරතුර වූ සතලිස් පසක් මුළුල්ලෙහි ඉඳගෙන සිටින විට වේවා, සිටගෙන විටින විට වේවා, සැතපී සිටින විට වේවා, මේ සෑම අවස්ථාවක දී ම දකුණු ශ්‍රී පාදය ම දිගු කරමින්, දණින් දණ නොගටමින්, ශරීරය දැඩිනොකොට, නෞකාවක තැබූ රන් පිළිමයක් සේ ඉණ ප්‍රදේශයෙන් උඩ ශ්‍රී ශරීරය නොසොල්වමින්, ශ්‍රී ශරීරයෙහි දහඩිය නොසොල්වමින්, දෙඅත් නොපද්දවමින්, ඈත මෑත වටපිට නොබලමින්, නව වියතක් පමණ දුරට ඇස්හෙළා, බිමට යොමු කළ ඇස් ඇතිව, මුළු ලොව ම සනසවමින් සැදැහැතියන් විස්මයට පත් කරවමින්, තීර්ථකයන්ගේ මන් බිඳවමින්, තමන් වහන්සේගේ වඩිනා රුව දැක, සියලු සම්පත් අත්හැර කෙස් රැවුල් කපා බුදු සසුනේ පැවිදි වූ නොයෙක් ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ආදි නොයෙක් කුලවලට අයත් පිරිස් පිරිවරා, බැලූ බැලූවන්ට අමා නිවන බෙදමින්, සිතූ සිතූවන්ට අමාමහ නිවන දන්දෙමින්, රැස් විහිදුවමින් මිහිරි ගමනින් වඩිනා බුදුන් සරණ යන්නෙමි’ යි බුත්සරණ යා යුත්තේ ය.