ඉක්මන් ආහාර ගෙන ඉක්මනින් ලෙඩවීම.

“කට පරිස්සම් කර ගන්න” යයි අපට කිසිවකු අවවාද කරන විට ඉන් අදහස් වන්නේ ප්‍රවේශමෙන් කතා කරන්න යන්න ය. එහෙත් එම අවවාදය ම අද අපට වෙනත් අන්දමකින් තේරුම් කරන්නට හැකිව ඇත. එනම්, ‘ප්‍රවේශමෙන් ආහාර ගන්න, කටට දමා ගැනීමට හිතෙන හිතෙන දේ දමා නොගන්න’ යනාදී අර්ථයන් ය.

මෙම අවවාදය අදට වඩාත් වලංගු වන්නේ වර්තමානයේ අපට හැදෙන රෝගවලින් අඩකට වඩා අපගේ ම වැරදි ආහාර පුරුදු නිසා ඇති වන ඒවා බැවිනි. දළ වශයෙන් සියලු රෝග වර්ග දෙකකට වෙන් කර දක්වනු ලැබේ. එනම් බෝවන රෝග සහ බෝ නොවන රෝග වශයෙනි. මෙයින් බෝ වන රෝග සාමාන්‍යයෙන් වෙනත් කෙනෙකුන් විසින්, එනම් වෛරස්, විෂබීජ, තවත් පුද්ගලයකු හෝ සත්වයකු හරහා අපට බෝ කරන ඒවා ය.

බෝ නොවන රෝග යනු අප විසින් ම සාදා ගන්නා රෝගයන් ය. දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග, අධික රුධිර පීඩනය, පිළිකා ආදිය පෙරටු කර ගත් තවත් බොහෝ රෝග මෙම ගනයට වැටේ. ඒවා අප සාදා ගන්නේ අපගේ කට පරිස්සම් කර නොගැනීම නිසා ය. තවත් ලෙසකින් කියනවා නම්, දිව පිනවීමේ නොතිත් ආසාව සතපන්නට යාම නිසා ය.

සියලු සත්ව ජීවිත රැඳී පවතින්නේ ආහාර නිසා ය. සියලු ශිෂ්ටාචාරයන්, අතීතයේ මෙන් ම අද ද එමෙන් ම හෙට ද සමස්ත ව්‍යායාමයක යෙදෙන්නේ කෑමට ආහාර නිෂ්පාදනය කර ගැනීමට ය. රජයක ප්‍රධාන වගකීමක් ලෙස සලකන්නේ රටක ජනතාව ආහාර අතින් ස්වයංපෝෂණය කිරීම ය. ආහාර සුරක්ෂිතභාවය රටක රජයක ප්‍රමුඛ ම ඉලක්කය වන්නේ එනිසා ය. සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටකට සම්පතකි. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව එහිලා අත්‍යවශ්‍ය සාධකයකි.

කෘෂිකාර්මික ජීවන රටාවක සිට වඩාත් සංකීර්ණ වූ කර්මාන්ත සහ වාණිජ අර්ථ ක්‍රමයකට පරිවර්තනය වීමේ දී ආහාර පරිභෝජන රටාව ද සීඝ්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය වන්නට විය. පරිසරයෙන් එකතු කර ගත් ආහාර අමු අමුවේ ම කෑම මානව ශිෂ්ටාචාරය ආරම්භක යුගයේ සිදු වුව ද එහි වර්ධනය සමඟ ආහාර සකසා පරිභෝජනයට ගැනීමට මිනිසා පුරුදු විය. ආහාර පරිභෝජනය පහසු කිරීම හා කල් තබා ගැනීම සඳහා සැකසීම අත්‍යවශ්‍ය කාර්යයක් විය. ආහාර සැකසීමේ පරිණාමය අපට මෙලෙස වර්ග කර හඳුනාගත හැක.

ප්‍රාථමික මට්ටමෙන් ගතහොත්, ධාන්‍ය පොතු හැර, පිරිසිදු කර වියළා කල් තබා ගැනීම, ඇට වර්ග පොතු හැර, කුඩු කර ගැනීම, මාළු හෝ මස් වියළා තබා ගැනීම, තෙල් සිඳීම, කිරි සැකසීිම වැනි ක්‍රියාවලීන් ගත හැකි ය.

ද්විතීයක මට්ටමේ සැකසීම්වලට උදාහරණ නම් පිටිවලින් පාන් වැනි බේකරි නිෂ්පාදන සෑදීම, මස් මාළුවලින් සොසේජස්, පලතුරුවලින් වයින් වැනි නිෂ්පාදනවලට මිනිසා හුරු වීම ය.

තෘතීයික ආහාර සැකැස්ම යනු වාණිජ මට්ටමින් සැකසූ ආහාර යැයි අප හඳුන්වන ඒවා ය. මේවා බොහෝ විට ඍජු ව ම පරිභෝජනයට ගත හැකි ටින් කළ, පැකට් කළ, එමෙන් ම රත් කර කෑමට ගත හැකි ආහාර ය. වර්තමානයේ සුපිරි වෙළඳසැල්වල බහුලව ඇති ආහාර වර්ග ය. ඉක්මන් ආහාර (Fast Food) යයි හඳුන්වන බොහෝ ආහාර වර්ග ය.

ආහාර සැකැස්ම ගැන කතා කිරීම මෙම ලිපියේ පරමාර්ථය නොවුව ද ඉහත සඳහන් කළ කරුණු තුන අප කතා කරන්නට බලාපොරොත්තු වන මාතෘකාවට පෙරවදනක් නිසා මෙහි සඳහන් කළෙමි.

වත්මන් සංකීර්ණ ජීවන රටාව තුළ සියල්ල ඉක්මනට පහසුවට කර ගැනීමේ නොතිත් උවමනාවකින් අප වෙලාගෙන ඇත. අවදි වූ වෙලාවේ සිට නින්දට යන වෙලාව දක්වා අපට කරන්නට උවමනා කාර්යයන් සඳහා වෙලාවක් නැති තරම් ය. මෙම දුවන ගමනේ දී අප ආහාර වේලකට දෙන ස්ථානය ඉහත කී සංකීර්ණ ජීවන රටාවේ ම කොටසකි. කෙටි ආහාර, සකස් කළ ආහාර, එනම් බොහෝ විට ජන්ක් ෆුඞ් (Junk Food) යයි හඳුන්වන ආහාර අපගේ මෙම සංකීර්ණ ජීවන රටාවට ම ගළපාගෙන සිටිමු. (ජන්ක් යන්නට සුදුසු සිංහල වදනක් සොයා ගත නොහැකි නිසාත්, එම වදන සියල්ලන් හොඳින් දන්නා නිසාත් ඉංග්‍රිසි වදන එලෙස ම යොදා ගනිමි).

ජන්ක් ආහාර යනු, සීනි හෝ මේදය මගින් අධික කැලරි ප්‍රමාණයක් ලබා දෙන, එහෙත් තන්තු, ප්‍රෝටීන් විටමින් හෝ ඛනිජ වැනි සෞඛ්‍යමය ගුණයන් අවමයක් ඇති ආහාර ය. බේකරි ආහාර, අයිස් ක්‍රීම්, ලුණු රස ස්නැක්ස්, සිසිල් බීම ආදියේ පෝෂණ ගුණයන් නැති ම තරම් වුව ද කැලරි, ලුණු සහ මේදය බහුලව ඇත. ඉක්මන් ආහාර යනු ඇනවුම් කළ වහා ම ආහාරයට ගත හැකි ලෙස සකසා ඇති ඒවා ය. කෙටි ආහාර, ඉක්මන් ආහාර යයි අප හඳුන්වන සියල්ල ම නොවුව ද බොහෝ ඒවා ජන්ක් ආහාර ය. ජන්ක් ආහාර ඒවායේ විවිධ ස්වභාවයන්ගෙන් අද වන විට මිනිසාගේ ප්‍රධාන ආහාර වේල තරමට ම ජනප්‍රිය වී ඇත.

මිනිසා ජන්ක් ආහාරවලට මෙතරම් ඇළුම් කරන්නේ ඇයිදැයි යන්නට පැහැදිලි, එමෙන් ම සියලු දෙනාම එකඟ වන විද්‍යාත්මක විග්‍රහයක් නැත. මිනිසා සීනි, ලුණු සහ මේදය රසයට දක්වන විවිධ රුචිකම් හඳුනාගැනීම සඳහා ආහාර නිෂ්පාදන සමාගම් අති මහත් මුදල් ප්‍රමාණයක් පර්යේෂණ සඳහා වැය කරති. එලෙස නිපයන දෑවල පරමාර්ථය වන්නේ මිනිස් දිවට රසය දනවන අතර මනසට ඇබ්බැහිකමක් ඇති කරවීම ය. ඒ අතරතුර දී ම එම නිපැයුම් සඳහා හිතවත්කමක්, ඇල්මක් ඇති කිරීම අරමුණු කර ගත් අති මහත් වාණිජ ප්‍රචාරණයන් ද මෙහෙයවනු ලබයි. රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍ය මගින් පාරිභෝගිකයා නොමග යවන වෙළඳ දැන්වීම් ජන්ක් ආහාරවලට ඇති ඉල්ලුම වැඩි කරවන මානසික සාධකයකි.

මෑතක දී කරන ලද අධ්‍යයනවලින් හෙළි වී ඇති සත්‍යය නම් ධනවතුනට වඩා මැද පංතියේ හා දුප්පත් ගනයට වැටෙන අය ජන්ක් ආහාර වඩාත් පරිභෝජනය කරන බව ය. මෙයට එක් හේතුවක් නම් ඔවුනට තම ජීවන අරගලය සඳහා වැඩි කාලයක් ගත කරන්නට සිදුව තිබීම, නියමිත රටාවකට, කාල සටහනකට ආහාර ගැනීමට ඇති ඉඩප්‍රස්තා අඩු වීම නිසා පහසුවෙන් ලබා ගත හැකි ආහාරවලට ඇදී යාම ය.

ජන්ක් ආහාර ගැන වර්තමානයේ වැඩිපුර කතා කරනු ලබන්නේ ඒවා පරිභෝජනය නිසා ඇති වන සෞඛ්‍ය ගැටලු නිසාවෙනි. නිතර ජන්ක් ආහාර පරිභෝජනය නිසා අධික මේදය, කාබෝහයිඩ්‍රේට් සහ සීනි මගින් තරබාරුකමට, දියවැඩියාවට, හෘද රෝගවලට, පිළිකාවලට, අධික රුධිර පීඩනය හා තවත් දරුණු රෝගවලට මග සලසයි. මෑතක දී කරන ලද පර්යේෂණවලින් ජන්ක් ආහාර සහ තරබාරුකම අතර ඇති ඍජු සබඳකම ඔප්පු කර ඇත. එම අධ්‍යයනයෙන් ම හඳුනාගෙන ඇත්තේ එම තරබාරුකම නිසා ඇති වන අනෙක් සංකීර්ණ තත්ත්වයන්, එනම් හෘදයාබාධ වැළඳීමේ අවදානම වැඩි වන බව ය. වයස 30 දී පමණ පටන් ගන්නා ධමනිවල අවහිරයන් පසු කල හෘදයාබාධවලට ඉඩ සලසන බව ය. හඳුනාගත් තවත් සිත් ගන්නා කරුණක් නම් ජන්ක් ආහාර ගන්නා අය එක් වරකට අධික ප්‍රමාණයන්ගෙන් අනුභව කරන බව සහ එලෙස ඇබ්බැහි වූවන් පලතුරු සහ එළවළුවලට එතරම් රුචියක් නොදක්වන බව යි.

2008 දී කරන ලද පරික්ෂණයකින් පෙන්වා දී ඇත්තේ කොකේන් සහ හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලින් මොළයට කරන ඇබ්බැහි බලපෑමට සමාන අන්දමේ බලපෑමක් ජන්ක් ආහාර මගින් මොළයට කරන බව ය. තවත් වාර්තාවක් ජන්ක් ආහාර අනුභවය දුම්පානයට සමාන ඇබ්බැහියක් බව ප්‍රකාශ කරයි. සීනි අධික ජන්ක් ආහාර මගින් මානසික සෞඛ්‍යයට බලපෑමක් ඇති කරන බව තවත් අධ්‍යයනයකින් යෝජනා කර ඇත.

ඔබේ දරුවා කෙතරම් දුරට ඉක්මන් ආහාරවලට ඇබ්බැහි වී ඇත්ද?

ජන්ක් යැයි සැලකෙන කෙටි ආහාර, ඉක්මන් ආහාර පරිභෝජනය රැල්ලක් තරමට ජනප්‍රිය වී ඇත්තේ ළමුන් සහ තරුණයින් අතර ය. මේ සඳහා දෙමාපියන් වගකිව යුතු ය. පහසුව සහ ලාබය පමණක් සලකා කටයුතු කිරීමට මුල් තැන දී, දරුවාගේ අනාගත සෞඛ්‍යය අවදානමකට ලක් වන බව අවබෝධ කර නොගැනීම ඊට හේතුව විය හැක.

සායනික පෝෂණය සම්බන්ධ යුරෝපීය සඟරාව (European Journal of Clinical Nutrition) මගින් ප්‍රසිද්ධ කරන ලද අධ්‍යයන වාර්තාවක් අප රටේ ළමයින් සඳහා ද අදාළ කර ගත හැකි ඉතා වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරයි. ළමුන් 4000කගේ සෞඛ්‍ය වාර්තා යොදාගෙන කළ අධ්‍යයනයේ දී පෙනී ගොස් ඇත්තේ වයස 4-7 අතර දී අධික ජන්ක් ආහාර පරිභෝජනය කරන ලද ළමුන්ගෙන් 33%ක් අධික්‍රියාකාරීත්ව (Hyperactivity) රෝග තත්ත්වයට බඳුන් වූවන් බව ය.

සතියකට තුන් වරකට වඩා ඉක්මන් ආහාර ගැනීම තුළ ඇදුම සහ පීනස වැළඳීමේ ප්‍රවණතාව වැඩි ය. සතියකට 4-6 වරක් ජන්ක් ආහාර ගන්නා සිසුන්ගේ කියවීමේ සහ ගණිත හැකියාව අඩු ය.

අවශ්‍ය පමණට වඩා කැලරි, මේදය, සීනි හා අනෙක් කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර නිතර දීමෙන් ඔබේ දරුවාගේ ආහාර රුචිය ජන්ක් ආහාර සඳහා හැඩ ගැසෙන අතර එළවළු, පලතුරු, කිරි සහ කෙඳි සහිත ආහාරවලට එතරම් මනාපයක් නොදක්වයි. මෙහි එක් අතුරු ඵලයක් නම් බඩ වියළීම යි. එමෙන් ම දරුවා වැඩුණු වැඩිහිටියකු වූ පසු ද ජන්ක් ආහාරවලට රුචියක් දැක්වීම යි.

ජන්ක් ආහාරවල සීනි අධිකකම නිසා දරුවාට අධ්‍යයන කටයුතුවලට අවධානය යොමු කිරීමේ බාධාවන් ඇතිවන බව හඳුනාගෙන ඇත. ලේවල සීනි මට්ටම ඉහළ පහළ යාම තුළ අලසකම, අවධානය අඩුකම සහ සහභාගීත්වය අඩුකමක් දක්නට හැකි වේ.

ශාරීරික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පෝෂණ ගුණය නැති නිසා ඉක්මන් සහ ජන්ක් ආහාර වැඩිපුර ගන්නා සිසුන් එමගින් තම මානසික ශක්තිය ද හීන කර ගනිති. (https://www.news-medical.net/health/How-Fast-Food-Affects-Childrens-Health.aspx)

විකල්පය වන්නේ දරුවාට නිවසේ පිසින ලද ආහාර බහුල වශයෙන් දීම ය. නිවසේ පිසින ලද ආහාර අනුභවයෙන් අධික ලෙස ස්ථුල වීම අවම කර ගත හැකි ය. අඩු වයස්වල දී ජන්ක් ආහාර දීමෙන් වන්නේ දරුවා තුළ ඒ සඳහා ඇබ්බැහියක් වර්ධනය වීම ය. ඉන් දරුවා මුදා ගැනීම සෑම දෙමාපියකුගේ ම වගකීමක් විය යුතු ය.

කළ හැක්කේ කුමක්ද?

2014 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ වාර්තාවක් ඉදිරිපත් කළ ආනන්ද් ග්‍රෝවර්ගේ ‘සෞඛ්‍යාරක්ෂක නොවන ආහාර, බෝ නොවන රෝග සහ සෞඛ්‍ය සඳහා ඇති අයිතිය’ නම් වාර්තාව යෝජනා කරන්නේ, රජයයන් විසින් විවිධ සමාගම් මගින් සකස් කරනු ලැබ වෙළඳපළට එවන ආහාර සඳහා ආහාර සහ පෝෂණ උපදෙස් හා නීති රීති ක්‍රියාත්මක කළ යුතු බව ය.

එමෙන් ම එබඳු ජන්ක් ආහාර වෙළඳපළට ඒම සහ ප්‍රචාරණය පාලනය කළ යුතු බවත්, පාරිභෝගිකයාට නිවැරදි තීරණයක් ගත හැකි වන අන්දමේ ලේබල් කිරීම මගින් වගකීමේ ක්‍රියාපිළිවෙළක් සඳහා වෙළඳ සමාගම්වලට බල කළ යුතු බවත් ය.

ආහාර සැකැස්ම අද වන විට අති විශාල වාණිජ ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ක්ෂණික ව සහ පහසුවෙන් පිස ගත හැකි, අනුභව කළ හැකි ජන්ක් ආහාරවලට යොමු වීමේ ප්‍රවණතාව තව තවත් පෝෂණය කරනු ලබන්නේ වාණිජ සමාගම් මගිනි. ඒ, අති ආක්‍රමණකාරී වෙළඳ ප්‍රචාරණ සහ වෙළඳ උපක්‍රම තුළිනි. මෙම බොහෝ වෙළඳ උපක්‍රම පාරිභෝගිකයා අවුල් කරන, ඔහු රවටන ඒවා ය

උදාහරණයන් වශයෙන් ආහාර සැකසූ අසුරණවල ‘සෞඛ්‍ය සම්පන්න, කාබනික, අඩු මේදය සහිත, ජාන වෙනස් නොකළ, සීනි එකතු නොකළ, ස්වාභාවික ආහාර’ ආදී වශයෙන් එතරම් පැහැදිලිව නිර්වචනය කළ නොහැකි ගුණාංග ඇතැයි සටහන් කර ඇත. බොහෝ විට ආහාරයේ අඩංගු දේවල් සටහන් වන්නේ ඉතා කුඩා අකුරුවලිනි. මේ විස්තර කියවීමට පාරිභෝගිකයා නොපෙළඹෙන්නේ ඒ වන විටත් රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යවලින් එම ආහාර ගැන ඔවුන්ගේ මනස සකසා ඇති බැවිනි. ස්වාභාවික ලෙමන් ගෙඩි පෙන්වමින් රූපවාහිනී දැන්වීම්වල ප්‍රචාරය කරන ආහාරවල ඇත්තේ කෘත්‍රිම ලෙමන් රසය බව ලේබලයේ සඳහන් බව පාරිභෝගිකයා නොසලකා හරින්නේ එම වෙළඳ දැන්වීම්වල ප්‍රබලතාවය නිසා ය.

‘වැනිලා’ යනු ස්වාභාවික ශාකයකි. එහෙත් වැනිලා රසයට සමාන පෙට්‍රෝලියම් පාදක කර ගත් රසකාරක යෙදු අයිස්ක්‍රීම් වෙළඳපළට එන්නේ නියම වැනිලා රසය ඇති ඒවා ලෙස ය.
මේ අන්දමට පාරිභෝගිකයා මුළා කර අධික ලාබ ලැබීමට වාණිජ ව්‍යාපාරවලට ඉඩ ලැබී ඇත්තේ නීතියේ ඇති අඩුපාඩු, අවිනිශ්චිත බව සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ඇති අකාර්යක්ෂම බව නිසා ය. පාරිභෝගිකයාගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල ද තවත් ප්‍රබල හේතුවකි.

සටහන – කේ. ඒ. ජේ. කහඳව