ලෞකික දියුණුව සෑම මිනිසෙකුගේ ම අපේක්ෂාවකි. එසේ ම දියුණු චින්තන සම්ප්‍රදායන් ඔස්සේ පුහුණු කෙරෙන සිතක ලෝකෝත්තර හෙවත් ආධ්‍යාත්මික දියුණුව ද බලවත් අපේක්ෂාවක් බවට පත් වේ. අප වනාහී ලෝකෝත්තර දියුණුවේ මුදුන් පැමිණීම වගට පත් වන සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ පහළ වීම සිදු වූ බුද්ධෝත්පාද යුගයක, ඒ බුද්ධ රාජ්‍යයේ පුරවැසියන් ව මිනිස් ලොව උපන්නවුන් වීම නිසා අපට ලෞකික සේ ම ලෝකෝත්තර වශයෙන් ද අභිවෘද්ධියට පත් වීමේ අවශ්‍යතාවයක් ඇති වීම පුදුමයට කරුණක් නො වේ.

එහෙත් ලෞකික සේ ම ලෝකෝත්තර දියුණුව ද අවශ්‍යතාවය තිබූ පමණින් අත්පත් වන්නේ නැත. ඒ කෙරෙහි ප්‍රබල ව බලපවත්වන තවත් සාධක තිබේ. පින ද උත්සාහය ද නිවැරදි ප්‍රතිපදාව ද සුසංයෝජනය වූ කල්හි එවැන්නෙකුගේ ලෞකික දියුණුව ද ලෝකෝත්තර දියුණුව ද ලොව කිසිවකින් වළක්වාලිය නොහැක.

පින යනු සියලු මානුෂීය සම්පත්තීන් ද සියලු දිව්‍ය සම්පත්තීන් ද එමතුදු නොව නිර්වාණ සම්පත්තිය පිණිස ද උපනිශ්‍රය වන නිධානයක් බව භාග්‍යවතුන් වහන්සේ නිධිකණ්ඩ සූත්‍ර දේශනාවේ වදාරා තිබේ. පෙර කළ පින් තිබීම මංගල කරුණකි. මේ ජීවිතයේ කොපමණ උත්සාහ කළ ද පෙර කළ පින් නැත්තේ නම් ඒ උත්සාහය ඵල දරන්නේ උපරිම ව නො වේ. එය ලෞකික ව ද ලෝකෝත්තර ව ද නොවෙනස් ධර්මතාවයකි. බොහෝ උත්සාහවන්ත ව කටයුතු කළ ද අල්ප දියුණුවක් මිස විපුල දියුණුවක් නොලබන්නවුන් අපි කොතෙකුත් දැක ඇත්තෙමු. ඒ වනාහී පෙර කළ පින් මඳකමේ ප්‍රතිවිපාක වන්නට පුළුවන.

පෙර කළ පින් කොතෙක් වූව ද මේ දෙඅංශයෙහි ලා අභිවෘද්ධියට පත් වන්නට අල්පෝත්සාහී ව, හීන වීරියෙන් යුතුව සිටින්නේ නම් එවිට ද ඒ තැනැත්තා අසාර්ථක ය. ලෝකෝත්තර වශයෙන් උපරිම දියුණුව ලබා උතුම් අරහත්වය සාක්ෂාත් කරන්නට ද නැති නම් ලෞකික වශයෙන් දියුණුවට පත් ව මහා සිටු තනතුරු ලබන්නට ද වූ සියලු පින් කාමාස්වාදය පිණිස ම ගෙවී යාමෙන් මහමඟ සිඟා කන තත්ත්වයට ද මරණින් මතු නිරයේ උපදිනා අවාසනාවන්ත ඉරණමට ද ගොදුරු වූ රජගහනුවර සිටු යුවළගේ පුවත එයට නිදසුනකි. එසේ නම්, පිනෙහි ඵල නෙළන්නට ද වීරිය තිබීම අත්‍යවශ්‍ය ය.

බලවත් ව වීරිය තිබියදීත් කවරෙකුට හෝ ලෞකික දියුණුව ද ලෝකෝත්තර දියුණුව ද මඟ හැරෙන්නේ නම් ඒ වනාහි නිවැරදි ප්‍රතිපදාව මුණනොගැසීමේ ප්‍රතිවිපාකය යි. වැරදි ප්‍රතිපදාවක් අනුගමනය කිරීමෙන් තමන් අපේක්ෂා කරනා සාර්ථකත්වය ලබන්නට හැකියාවක් නැත. වර්තමානයේ ආගමික නැඹුරුවකින් යුතුව සිටිනා බොහෝ පිරිසකට අත්ව තිබෙන ඉරණම ද මෙයට සමාන ය. උතුම් මග ඵල ලැබීම ඉලක්කය කොටගෙන ඔවුහු නොයෙක් අයුරින් වීරිය කරති. එහෙත් එසේ වීරිය කරන්නේ නිවැරදි ප්‍රතිපදාව තුළ නො වේ. එහෙයින් ම එය මිච්ඡා වායාමයක් බවට පත් වේ.

කිරි ගවයෙකුගෙන් කිරි ලබා ගන්නට වෑයම් කරන්නේ, අංවලින් ඇද කිරි ලැබිය නොහැක්කේ ය. එය වැරදි ප්‍රතිපදාව යි. කිරි ලබා ගැනීමට නම් භාජනය තන පුඩුවලට යටින් තබා තන පුඩුවලින් ම ඇදිය යුතු ය. ඒ නිවැරදි ප්‍රතිපදාව යි. ලෞකික, ලෝකෝත්තර දියුණුව සලසාගැනීමෙහි ලා ද නිවැරදි ප්‍රතිපදාව ම මිස වැරදි ප්‍රතිපදාව ඵල දරන්නේ නැත.

එනිසා, ලෞකික, ලෝකෝත්තර දියුණුව ලබනු කැමැත්තෝ මෙය සිහි තබා ගත යුතු ය. පින ද වීරිය ද නිවැරදි ප්‍රතිපදාව ද ඒ දියුණුවේ පූර්වාංගයෝ ය. එනිසා අඛණ්ඩ ව පින් රැස් කරත්වා! උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය නිර්මල ව දරා ගනිමින් ඒ නිවැරදි ප්‍රතිපදාව තුළ අඛණ්ඩ ව වීරිය වඩත්වා! ඔබ ලබන ලෞකික, ලෝකෝත්තර දියුණුවේ අන් රහස් නැත.