සම්බුදු නුවණ අසිරිමත් ය. මේ ලොව අන් කිසිවෙකුට කිසි විටෙක අවබෝධ කළ නොහැකි වූ සියලු ලෝක ස්වභාවයන් සර්වාකාරයෙන් ම අවබෝධ කොට වදාළෝ සම්බුදුරජාණන් වහන්සේ ය. සර්වඥයන් වහන්සේගේ විස්මිත ප්‍රඥාවෙන් වැසී ගත් කිසිවක් ලෝකයේ නැත.

එවන් අසිරිමත් ප්‍රඥා ඇති සම්බුදුරජාණන් වහන්සේ සත්වයා පටන් ගත් කෙළවරක් නොපෙනෙනා සසර ගමනකට වැටී සුගති දුගති තුළ සැරිසරමින් යන බව ලෝකයට හෙළිදරව් කළ සේක.

එසේ සුගති, දුගති කරා සේ ම ඒ සියල්ලෙන් නිදහස් ව අමා මහ නිවන් සැපය කරා ද යම් සත්වයෙකු ගමන් කරන්නේ යම් හේතුවකින් ද සම්බුදුරජාණන් වහන්සේ එය ද පිරිසිඳ දත් සේක. මෙසේ සත්වයන් ඒ ඒ තැන උපදිනා ප්‍රතිපදාව ඒ ඒ අයුරින් ම දන්නා බව සම්බුදුරජාණන් වහන්සේගේ තථාගත බලයකි.

සසර ගමන තුළ පවත්නේ කයෙන්, වචනයෙන් සහ මනසින් සිදු කරනා කර්මයන්ගේ ස්වභාවය මත මරණින් මතු ජීවිතය තීරණය වන ධර්මතාවයකි. මරණින් මතු යමෙකු නිරයේ උපදින්නේ නම් එය ද කර්මයේ ස්වභාවයනට අනුව ය. එසේ ම අසුර අපායේ, තිරිසන් ලෝකයේ හෝ ප්‍රේත ලෝකයේ උපත කරා යමෙකු මරණින් මතු පත් වන්නේ කර්මානුරූපව ය. මිනිස් ලොව, දෙව්ලොව මෙන් ම බඹලොව ද උපත තීරණය වන්නේ ද කර්මානුරූපව ය. ඒ ඒ උපත් කරා යමෙකු මෙහෙයවන කර්ම ශක්තීන් ගොඩනැගෙන කායික ක්‍රියා, වාචසික ක්‍රියා සහ මානසික ක්‍රියා කවරේ ද යන්න සම්බුදුරජාණන් වහන්සේ මැනැවින් දැන, මැනැවින් දැක ලෝසතුනට වදාළ සේක.

සම්මා සම්බුද්ධත්වයේ පටන් පරිනිර්වාණය දක්වා සම්බුදුරජාණන් වහන්සේ යමක් වදාළ සේක් ද පැනවූ සේක් ද නිර්දේශ කළ සේක් ද ඒ සියලු දෙය ඒ අයුරින් ම වන අතර අන් අයුරකින් නොවන්නේ ම ය. එසේ තථාගත වූ සම්බුදුරජාණන් වහන්සේ යම් ප්‍රතිපදාවකින් සතර අපායේ වැටෙන්නේ ය යැයි වදාරණ ලද්දේ නම් ඒකාන්තයෙන් ම ඒ ප්‍රතිපදාව සතර අපාය කරා යොමු වූවකි. යම් ප්‍රතිපදාවකින් මිනිස් ලොව උපදින්නේ ය කියා වදාරණ ලද්දේ නම් ඒ නිසැකව ම මිනිස් ලොව උපත සදන්නකි. යම් ප්‍රතිපදාවකින් දෙව්ලොව උපත සැකසෙන බව අනුදක්නා ලද්දේ නම් ඒ නියත වශයෙන් ම දෙව්ලොවට විවර වූ මාවත යි. යම් කරුණකින් බඹලොව උපත කරා යාම සිදු වන බව වදාරණ ලද්දේ ද බඹලොව කරා යන අන් කරුණක් නැත. එය ඒ අයුරින් ම අදහා ගැනීම අයත් ශ්‍රද්ධාවට ය. එසේ ම යම් ප්‍රතිපදාවක් නිවන පිණිස හේතු වන්නේ ය කියා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරණ ලද්දේ ද ඒ ප්‍රතිපදාවෙන් ම මිස අන් කිසිදු ප්‍රතිපදාවකින් නිවන සාක්ෂාත් කළ නොහැක්කේ ය. ඒ වනාහි ඒකායන මාර්ගය යි.

ඉදින් අප යමක් කැමති වන්නේ ද එය ලබා ගත හැකි ප්‍රතිපදාවන් සම්බුදුරජාණන් වහන්සේ මැනැවින් පෙන්වා දී තිබේ. මේ කරුණු සම්බන්ධයෙන් දෙවියන් සහිත වූ, බඹුන් සහිත වූ, මරුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව්මිනිස් ලෝකයේ සියලු ප්‍රජාව ඉදිරියේ සම්බුදුරජාණන් වහන්සේ සිහනද පතුරුවන සේක.

මේ විසාරද භාවයෙන් යුතුව සම්බුදුරජාණන් වහන්සේ සිත කය වචනය යහපතේ යොදවා කුසලයේ හැසිරෙන්න යැයි අනුදැන වදාළ සේක. සිල් රැකීමෙහි, බණ භාවනා දියුණු කිරීමෙහි ආනිශංස පෙන්වා වදාළ සේක. දසබලධාරීන් වහන්සේගේ මේ උතුම් බුද්ධාවවාදයන් ශ්‍රද්ධා සම්පන්න ව පිළිගන්නා නුවණැත්තෝ නිවන ඉලක්ක කොට ගත් ඍජු ප්‍රතිපදාවේ අනලස් ව හැසිරෙති. සුගතිය ද නිවන ද දිනනු රිසි ශ්‍රාවකයන් හට මේ සා විශ්වාස කටයුතු ව මඟ පෙන්වූ වෙනත් ශාස්තෘවරයෙක් නම් ලෝකයේ නැත්තේ ය. අප සරණ ගියේ ඒ ශාස්තෘන් වහන්සේ ව යි. එය සැබෑ ලාභයක් නො වේ ද?