ලක්ෂ සංඛ්‍යාත ලෝවැසියනට මරණය ළඟා කළ කොරෝනා වසංගතයේ පීඩනය තවමත් අප හමුවේ පවතී. දෙවසරක් පුරා අකර්මණ්‍ය බවට පත් වූ ආර්ථික ක්‍රියාවලීන් නිසා සිදුව තිබෙන බිඳ වැටීම ද වඩ වඩාත් තීව්‍ර ව ජීවිත කරා පැමිණෙන අයුර අපි අත්දකිමින් සිටිමු. රැකීරක්ෂා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, අනාගත අපේක්ෂා සියල්ල නොසිතූ විරූ නැවතීමකට ලක් වූ මේ ඛේදජනක කාලසීමාවේ අහිතකර බලපෑම තව වසර ගණනාවක් පුරා මිනිස් ජීවිත මත බලපැවැත්වෙනු ඇත.

මේ දුක්ඛිත වටපිටාව තුළ කිඳා බැස තිබෙන සමාජ පැවැත්ම වෙහෙසකර කායමානසික ස්වභාවයන්ගෙන් පිරී ගත් ජන සමූහයක් බිහි කර ඇත. සියල්ලෝ ආශාවෙන් අත්පත් කර ගන්නට උත්සුක වන කාමයන්ගේ බොහෝ කොට පිරී පවත්නේ ම වෙහෙස බව අන් කවරදාටවත් වඩා ප්‍රකට ව පෙනී යන්නේ ඒ පීඩිත බව නිසා ය. මේ සියලු පීඩාකාරි භාවයන් පුපුරා යන්නේ බාහිර පවතින දේවල් ඉලක්ක කොට නගන චෝදනා ඔස්සේ ය.

ලෝක බලවතුන් ලෝකයේ බල කේන්ද්‍රය අත්පත් කර ගැනීම උදෙසා සිදු කරන අනවරත අරගලයේ කූට උපක්‍රමයක් ලෙස මේ වසංගත රෝගයේ පැතිර යාම නිර්වචනය කෙරෙන අතරේ ම ඒ ඒ රටවල පවත්නා පාලන තන්ත්‍රයන් ද මේ නොසන්සුන් සමාජ වටපිටාවට වග කිව යුතු බවට චෝදනා ලබන බව පෙනී යයි. අප රටේ ද මෙහිලා වෙනසක් නැත. ඒ චෝදනාවන්ගේ ඇත්ත නැත්ත කුමක් වුව ද අප පැහැදිලිව තේරුම් ගත යුත්තේ ලෝකයා පොදුවේ මුහුණපා සිටින ඛේදවාචකයක් හමුවේ උද්ගත වූ පුද්ගලික අභියෝග රැසකට අප පිළිතුරු සොයා ගත යුතුව තිබෙන බව ය.

මෙවැනි ම වූ දුෂ්කර අවස්ථාවකට මුහුණ දෙමින්, හුරුපුරුදු පහසු ජීවන රටාවන්ගෙන් මිදී, යාන්තමින් දිවි ගැට ගසාගෙන ජීවත් වන්නට වූ මුතුන්මිත්තන් ගැන අපි අසා ඇත්තෙමු. දොළොස් වසරක් පුරා පැවති බැමිණිතියාසාය වළගම්බා රජ දවස ලක්දිව සමස්ත ආර්ථික සමාජයීය මෙන් ම දේශපාලන ව්‍යුහය ද වියවුල් කොට වෙහෙර විහාර පවා වල් වැදුනු යුගයක් නිර්මාණය කළ අයුරු මහාවංශයේ දැක්වේ. එහෙත්, යම් කලෙක වැසි වැටී ඒ මහා නියං සමය නිම වී ද එකල්හී ම රාජ්‍ය අනුග්‍රහය ද සහිත ව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කොට දෙව්මිනිසුන්ගේ යහපත පිණිස ධර්මය සුරක්ෂිත කිරීමට කටයුතු සම්පාදනය කෙරිණි. සැබැවින් ම, ඒ දුෂ්කර කාල පරිච්ඡේදය අවසන කල් නොයවා සිදු කෙරුණු ප්‍රමුඛ කාර්යය වූයේ එය යි. අද ද අප ධර්මයේ පිහිට පිළිසරණ සලසා ගන්නේ එදා මහරහත් උතුමන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු ඒ වන්දනීය මෙහෙවරට පුණ්‍යානුමෝදනා වන්නට ය.

එසේ සුරකිනා ලද උතුම් ශ්‍රී සද්ධර්මය අපට කියා දෙන්නේ අනුන් තුළින් ජීවිත ගැටළු විසඳන ක්‍රමයක් නො වේ; අප මේ ගැටළු විසඳා ගත යුත්තේ අප තුළින් ම ය. වෙහෙස, පීඩාව, දුක යනු අනුන් නිසා උපදින්නක් නොව හේතුවකින් හට ගන්නකි. මුළුමහත් දුක් රැස ම හට ගන්නේ ‘ඉපදීම’ නිසාවෙන් බව දන්නේ නම් කවර දුකක් අරබයා අප කවරෙකුට නම් චෝදනා කරන්න ද?

අප ආදරයෙන් පිළිගත් මේ ලෝකය පිහිටා තිබෙන්නේ දුක මත ය. වසංගත රෝග, ආර්ථික අර්බුද, දේශපාලනික වියවුල්, විපරීත සමාජ ක්‍රමවේදයන් සියල්ල හරහා නොයෙක් අයුරින් අප කරා එළඹෙන්නේ ඉපදීම නිසා හට ගත් දුක් රැස යි. අප අත්විඳින්නේ අනෙකෙකුගේ ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවේ; දුක්පීඩා රැසක් සමගින් අපට අප හමු වී තිබේ… දැන්වත් අප අප ගැන මනා කොට සෙවිය යුතු ය. කෙලෙස් මුල් උදුරා දමා අප මේ ඕපනයික වූ සද්ධර්මයේ පිහිට ලබන්නේ කවදා ද?