මෙහි දී මුලින් ම කළ යුත්තේ එම අනියම් සම්බන්ධය නවත්වා වැරදි කාම සේවනයෙන් වැළකීම පිණිස බලවත් කැමැත්තක් ඇති කර ගැනීම යි.

එමෙන්ම ඒ සඳහා බලවත් අධිෂ්ඨානයක් සිතේ පිහිටුවා ගැනීම යි. ඉන්පසු වැරදි කාම සේවනය නැමැති අකුසලය ප්‍රහාණය කිරීම පිණිසත්, වැරදි කාම සේවනයෙන් වැළකීම නැමැති කුසලය උපදවා ගැනීම පිණිසත් බලවත් වීර්යයක් ඇති කර ගත යුතුයි. ඒ පිණිස අසුභ භාවනාව වැනි කුසල මනසිකාරයක් පුරුදු පුහුණු වීම මහෝපකාරී වෙනවා.

සිව්වෙනුව වැරදි කාම සේවනයේ ආදීනවත්, එයින් වැළකීමේ ආනිශංසත් බුද්ධ දේශනාවේ සඳහන් පරිදි නුවණින් විමසිය යුතුයි.

විශේෂයෙන් ම ‘අපාය සංවත්තනික සූත්‍රය’ වැනි බොහෝ දේශනාවන්හි දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ වැරදි කාම සේවනය නිරයගාමී අකුසලයක් බවයි. අවුරුදු ලක්‍ෂ ගණන් නිරයේ දුක් විඳ ඉන්පසු තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ ඉපිද දුක් විඳීමට සිදු වේ. ඉන් පසු මිනිස් ලොව උපත කරා ආව ද ලිංගික දුබලතා සහිත, අසාර්ථක විවාහ ඇති, සතුරන් අධික කෙනෙක් බවට පත්වේ.

ඉසිදාසි නම් රහත් තෙරණිය අරහත්වයට පත් වූ පසු පෙර ජීවිත දකින නුවණින් සිය සසර ජීවිතය විමසා බැලුවා. එහි දී පෙර එක් ජීවිතයක වැරදි කාම සේවනයේ යෙදීම නිසා අවුරුදු ලක්‍ෂ ගණනක් නිරයේ ඉපිද දුක් විඳ ඇති බව දුටුවා. නිරයේ ආයුෂ අවසන් වූ පසු පිළිවෙළින් වඳුරෙකු, ගවයෙකු, බූරුවෙකු වශයෙන් උපත ලබා තිබුණා. ඒ සෑම ජීවිතයක ම මිය යන්නට සිදුවුණේ ලිංග ප්‍රදේශය කුණු වී පණුවන් ගැසීම නිසා. ඒ වැරදි කාම සේවනයේ කර්ම ඵල දුන් ආකාරය යි. ඉන් පසු මිනිස් ලොව ඉපදුණත් පිරිමියෙකුත් ගැහැණියෙකුත් නොවන නපුංසකයෙකු වුණා. එම නිසා අකුසලයේ ආදීනව සඳහන් වන දේවදූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය ආදිය කියවා නුවණින් විමසීම තුළ වරදින් මිදී යහපත් ජීවිතයක් ඇති කර ගන්න පුළුවනි.