අංගුත්තර නිකායේ කාලදාන සූත්‍රයේ සඳහන් පරිදි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කාලදානත්, ඒවායේ ආනිශංසත් මේවා ය.

“1. ආගන්තුකයා හට දන් දෙයි.

2. ගමන් යන්නහුට දන් දෙයි.

3. ගිලනා හට දන් දෙයි.

4. දුර්භික්ෂයෙහි දන් දෙයි.

5. යම් ඒ අලුත් සහල්, අලුත් ඵල ඇත්නම් එහි පළමු කොටස සීලවන්තයන් කෙරෙහි පිහිටුවයි.

මහණෙනි, මේ වනාහී සුදුසු කාලයෙහි දන් දීම් පස ය.”

ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ එහි අනුසස් ගාථාවලින් මෙසේ දේශනා කොට වදාළා.

1) නුවණින් යුතු පුද්ගලයෝ දානයෙහි අනුසස් දැන මසුරු මල බැහැර කොට සුදුසු කාලයෙහි දන් දෙති. අටලෝ දහමින් කම්පා නොවන ගුණ ඇති, ඍජු මගෙහි බැස ගත් ආර්යයන් වහන්සේලා කෙරෙහි නිසිකල්හි පහන් සිතින් පුදන දානයක් වෙයි ද ඔහුගේ ඒ දක්ෂිණාව මහත් ඵල ලබා දෙයි.

2) එහි දී යම් කෙනෙක් ඒ දානය අනුමෝදන් වෙත් ද වතාවත් හෝ කරත් ද ඔවුන්ට ඒ දක්ෂිණාව අඩු නො වේ. ඔවුහු ද පිනෙහි කොටස්කරුවෝ වෙති.

3) එහෙයින් යම් පිරිසක් කෙරෙහි දුන් දානය මහත් ඵල ලැබ දෙයි ද එහිලා නොහැකිළුනු සිත් ඇතිව දන් දිය යුත්තේ ය. සත්වයන් හට පරලොවෙහි දී පිහිට වන්නේ පින ය.

වගේම සප්පුරිසදාන සූත්‍රයේදී සුදුසු කාලයෙහි දන්දීම සත්පුරුෂ දානයක් බවත් එහි ආනිශංස ලෙස මහා ධනය, මහා භෝග ඇත්තෙක් වන බවත්, යම් යම් වූ දෙයක් සඳහා සුදුසු කාලය පැමිණි විට අවශ්‍ය සෑම ප්‍රත්‍යයක් ම සෑම උපකාරයක් ම ඔහු හට රිසි සේ ලැබෙන බවත් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළා.