වැරදි කාම සේවනය දුගතිගාමී බරපතළ අකුසලයක් බව පෙන්වා දුන්නේ කර්ම කර්මඵල ගැන පරිපූර්ණ අවබෝධයකින් යුත්, සියල්ල ගැන සියල්ල දන්නා සර්වඥතා ඤාණයෙන් යුතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. වැරදි කාම සේවනයේ යෙදෙන්නන්ට මෙලොව වශයෙන් දිට්ඨධම්මවේදනීය ලෙසත්, ඊ ළඟ ජීවිතයේදී උපපජ්ජවේදනීය ලෙසත්, සසර පුරාවට අපරාපරියවේදනීය ලෙසත් එම අකුසලයේ ප්‍රතිවිපාක විඳින්නට සිදුවෙන බව පැහැදිලිව ධර්මයේ සඳහන් වෙනවා.

මේ ජීවිතයේදී ඒඞ්ස් වැනි මාරාන්තික සමාජ රෝග, ලිංගාශ්‍රිතරෝග වැළඳීම, සිරගතවීම් වැනි නීතිමය දඬුවම්වලට ලක් වීම, නින්දා අපහාස විඳින්නට සිදු වීම, පහර කෑම්වලට ලක් වීම, පවුල් ජීවිත කඩාකප්පල් වීම ආදී නොයෙක් ව්‍යසනයන්ට පත් වීමට වැරදි කාමසේවනය හේතු වෙනවා.

ඇතැම් ඝාතන පවා සිදුවන්නේ අනියම් සම්බන්ධතා නිසයි. පරලොව වශයෙන් නිරයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ ඉපිද අවුරුදු දහස් ගණන්, ලක්ෂ ගණන් අප්‍රමාණ දුකට පත් වීමට වැරදි කාමසේවනයේ යෙදෙන්නන්ට සිදුවෙනවා.

ගෞතම බුදු සසුනේ අරහත්වය ලැබූ ඉසිදාසි තෙරණිය සිය අතීත ජීවිත මෙනෙහි කරද්දී, තරුණයෙකුව ඉපදී සිටිය දී සිදු කළ වැරදි කාමසේවන අකුසලය හේතුවෙන් විඳි විපාක මේ අයුරින් දුටුවා. නිරයේ ඉපදී අප්‍රමාණ දුක්විඳ ඉන්පසු පිළිවෙළින් වඳුරෙකු, ගවයෙකු, බූරුවෙකු ව ඉපිද ලිංග ප්‍රදේශය තුවාල වී පණුවන් ගසා කුණු වී මරණයට පත්ව තිබුණා. ඉන් පසු ජීවිතයේ දී නපුංසකයෙකු ව ඉපදී තිබුණා. එම නිසා පින්, පව් විශ්වාස නොකරන, සදාචාරයක් නොමැති බටහිර චින්තනයට ගැති නො වී අපි අකුසල්වලින් වැළකී කුසල් වැඩිය යුතුයි.