ත්‍රිවිධ සුචරිතයට මුල ඉන්ද්‍රිය සංවරය බවත්, ඉන්ද්‍රිය අසංවර වීම තුළ ත්‍රිවිධ දුශ්චරිතය ම ඇතිවෙන බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. එම නිසා ඉන්ද්‍රිය අසංවර වීම බලවත් අනතුරක් බව මුලින්ම වටහාගෙන ඉන්ද්‍රිය සංවර කර ගැනීමට බලවත් කැමැත්තක් සහ අධිෂ්ඨානයක් ඇතිකර ගත යුතුයි. ඉන්ද්‍රිය අසංවරයට හේතුව වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සිහිනුවණින් තොර වීමයි. සිහිනුවණින් තොරවීමට හේතුව නම් සතිපට්ඨානය නොමැතිකමයි. සතිපට්ඨානයෙන් බැහැර වන්නේ අයෝනිසෝ මනසිකාරය නිසයි. අයෝනිසෝ මනසිකාරය ඇතිවන්නේ අසද්ධර්මය ශ්‍රවණය හෙවත් ධර්මයෙන් බැහැර දේ ශ්‍රවණය කිරීම තුළයි. එයට හේතුව පාප මිත්‍ර ආශ්‍රයයි. වර්තමානයේ තමාගේ ස්මාර්ට් ජංගම දුරකථනයත්, ලැප්ටොප් පරිගණකයත් තදබල පාපමිත්‍රයන් වී සිටිනවා.

එම නිසා කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් නිතර නිතර ඇසුරු කරන්න. ධර්මය ශ්‍රවණයත්, දහම් පොත පත කියවීමත් වැඩිකර ගන්න. ශ්‍රී සද්ධර්මයට අනුව ම නුවණින් විමසන්නට හුරුවන්න. කුසල් අරමුණුවල සිත පිහිටුවමින් සතිපට්ඨානය වඩන්නට හුරුවන්න. එවිට සිත බලවත් වේවි. ඉන්ද්‍රිය සංවරය ඇතිකරගෙන ත්‍රිවිධ සුචරිතය පුරුදු කර ගැනීමට හැකිවේවි. කුසලයත් අකුසලයත් උපදින්නේ හේතු සකස්වීම තුළ බව අප හොඳින් වටහා ගත යුතුයි.