පැහැදිලිව ම මිසදිටු ගත් දෙවිවරුන් සිටින්න පුළුවනි. කලින් ජීවිතවල පින් දහම් කරලා මේ ජීවිතයේ දී මහේශාක්‍ය පවුල්වල ඉපදුණු අය අතර මිසදිටු ගත්තු අය ඉන්නවා නේ ද? ඕනතරම් ඉන්නවා. ඒ වගේ පින් දහම් කරලා දිව්‍යලෝකවලට ගිහිල්ලා මිසදිටු ගත්තු අය ඕන තරම් ඉන්න පුළුවන්.

සෝතානුධත සූත්‍රයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. දිව්‍ය ලෝකයේ ඉපදී වැරදි අදහස් ගත් දෙවිවරු ඉන්නවා කියමු. නමුත් දෙවිවරු අතර ධර්ම සාකච්ඡා තියෙන නිසා අනිත් දෙවිවරු කියනවා එයාට බණ අසන්නට යමු කියා. එතකොට අනිත් දෙවිවරු මෙයාගෙන් අහනවා ඔබ මනුෂ්‍ය ලෝකයේ දී මොන ආකාරයේ පින් දහම් කරල ද දිව්‍ය ලෝකයට ආවේ කියා. එතකොට එයාට එයාගේ පින් මතක් වෙනවා. එතකොට එයාට වෙනස් වෙන්න බැරි ද? සමහර විට අහම්බෙන් ධර්මය අහලා වෙනස් වෙන්න බැරි ද? ඔබ මේ ජීවිතයේ දී වුණත් ධර්මයට එන්න කලින් මිථ්‍යා අදහස්වල හිටියේ නැද්ද? එවැනි තත්ත්වයක් තමයි දිව්‍ය ලෝකවලදීත් ඇතිවෙන්නේ. ඒ නිසා දිව්‍ය ලෝකවල ඕනෑ තරම් විවිධ අදහස් ඇති දෙවිවරුන් ඉන්න අතරේ ම මාර්ගඵල ලාභී දෙවිවරුනුත් ඉන්නවා. ධර්මකථාවටත් අවස්ථාව යෙදෙනවා. මේ ජීවිතයේ දී සේඛ බල දියුණු කරගෙන දිව්‍ය ලෝකයකට යන්න අවස්ථාව ලැබුණොත් ඒ අවස්ථාව එයාට උදාකරගන්න පුළුවන්.