කර්මය විපාක දෙන කාලය අනුව කොටස් තුනකට බෙදේ.
1. දිට්ඨධම්මවේදනීය කර්ම (මේ ආත්මයේ ම විපාක දෙන)
2. උපපජ්ජවේදනීය කර්ම (මීළඟ ජන්මයේ විපාක දෙන)
3. අපරාපරියවේදනීය කර්ම (උපනූපන් භවයන්හි විපාක දෙන)
පව් පින්වල විපාක කය බිඳී මරණින් මතු සුගති දුගතිවල උපත ලැබීමට හේතු වන බව බුදු දහමෙහි විස්තර වේ.
ඇතැම් කර්මවල විපාක මේ ආත්මයේ ම ඵල දෙන අවස්ථා ඇති නිසා කර්මය හා විපාකය පිළිබඳ කිසියම් අවබෝධයක් අපට ඉන් ලබා ගත හැකි වේ. මෙවැනි කථා පුවත් රාශියක් මා අසා ඇතිමුත් ඉන් කීපයක් පමණක් මෙහිදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
හරක් මැරූ මිනිසා බෙල්ල කැපී මිය යයි.
මාවනැල්ලේ හෙම්මාතගම විසූ මිනිසෙක් හරක් මැරීම රැකියාව ලෙස කරගෙන ගියේ ය. ඔහු දිනක් මාවනැල්ලේ හෝටලයකින් තේ බී බසයක් එනතුරු හෝටලයේ ඉදිරිපස කොටසේ සිටියේ ය. තදින් අවුරශ්මිය ඇති වෙලාවකි. මේ මිනිසාට හදිසියේ ම ක්ලාන්තයක් සෑදී හෝටලයේ ඉදරිපස තිබූ වීදුරු කැබිනෙට්ටුව මත වැටුණේ ය.
වීදුරුව බිඳී ඔහුගේ බෙල්ල කැපී ගොස් තරුණ වියේ දී ම ඔහු මිය ගියේ හරකුන්ගේ බෙලි කපා මරා දැමූ අයුරින් ම ය.
එළදෙනගේ ගාතය කැපූ මිනිසා හරකෙකු අතින් ම මිය යයි
අත්තනගල්ලට කිට්ටු ගමකින් (අල්ගම) මේ කථා පුවත අසන්ට ලැබිණි. බෙම්පිසිංඤෝ නම් මිනිසෙක් පෙතියකන්දේ බැඳ සිටි එළදෙනකගේ ගාතයක් කපා මස් උයාගෙන කෑවේ ය. කැපූ ගාතයට පොල්පිත්තක් සවි කළ බව කියැවේ.
මස් උයාගෙන කෑ ඔහු ටික වේලාවකට පසු තමාගේ මීහරකා වෙනත් තැනකට බැඳීමට ගියේ ය. මීහරකා මස් ගඳ දැනීමෙන්දෝ මොහු දුටු විගසින් මහත් සේ බියට පත් වී, කඹය අල්ලා සිටි මිනිසා ද ඇදගෙන දුවන්ට විය. කඹය අල්ලාගෙන සිටි මිනිසා බිම දිගේ, මීහරකා සමඟ ම ඇදී ගොස්, මුහුණ අත් පා තුවාල වී ලේ වැගිරී මරුමුවට පත් විය. අල්ගම පදිංචි කෙනෙක් මා සමඟ මේ පුවත කීවේ ය.
ගොළුබෙල්ලන් මරා දැමූ අයුරින් ම මිය ගිය යුවළක්
මහරගම මහින්ද ස්වාමීන් වහන්සේ පැවිදි වීමට පෙර පාසැල් යන වියේ දී ලැබූ අත්දැකීමක්, උන්වහන්සේගේ ධර්ම දේශනාවක දී මට අසන්ට ලැබිණි.
මහින්ද හිමියන් පාසැල් යන විට එක්තරා නිවසක් අසල දී, පාරට දැමූ ගොළුබෙල්ලන් වාහනවලට තැලී පොඩිවී මැරී සිටිනු නිතර දකින්ට ලැබිණි.
මේ නිවසේ සිටි යුවළ, තම වත්තේ සිටින ගොළුබෙල්ලන් අල්ලා වාහනවලට අසු වීමට පාරට දමති.
ටික කලක් ගත විය. ගොළුබෙල්ලන් මැරූ යුවළ පාරේ ගමන් කරමින් සිටිය දී ලොරියකට අසුවී තැලී පොඩිවී මැරී සිටිනු මහින්ද හිමියන්ට (පාසැල් වියේ සිටි දරුවාට) තම නෙත් ඉදිරිපිට ම දකින්ට ලැබිණි.
බළල් පැටවකු දියේ ගිල්වා මැරූ සොයුරෝ දියේ ගිලී නසිති
භාවනා මධ්‍යස්ථානයක කමටහන් දෙන හිමිනමක් හමුවූ අවස්ථාවක, සතුන්ට හිංසා කළ අයට එහි විපාකය ලැබුණු අවස්ථා ඇද්දැයි මම ඒ හිමිනමගෙන් ඇසුවෙමි.
“අපොයි මොකද නැත්තේ! මේ භාවනා මධ්‍යස්ථානයේ ම සිල් මාතාවකට එවැනි අත්දැකීමක් ලැබුණා.” ස්වාමීන් වහන්සේ කථා පුවත දැක්වූ සේක.
මේ විදර්ශනා භාවනා මධ්‍යස්ථානයට පැමිණෙන එක් මාතාවක් තම දියණිය දියේ ගිලී මිය ගිය සොවින් පෙළුණා ය. මේ වේදනාව ඇගේ සිත තුළ වරින්වර මතුවී එයි. නාරාහේන්පිට තට්ටු නිවාසවල නැවතී සිටි දියණිය ඒ නිවාසවල ම තවත් මිතුරියන් හය දෙනෙකු සමඟ වෑන්රියක නැගී කතරගම යාමට පිටත් වූවා ය. තිස්සමහාරාම පළාතේ දී මේ වෑන් රිය පාලම් ගැට්ටේ වැදී ගඟට පෙරළී සියලු දෙනාම මිය ගියෝ ය.
භාවනා මධ්‍යස්ථානයේ සිත දියුණු කළ එක් මාතාවක් සමඟ මිය ගිය දියණිය කථා කළා ය. “මගේ අම්මාට දුක් වෙන්න එපා කියන්න. අපි හත් දෙනා මිය ගියේ අප කළ පාපකර්මයක් නිසයි. අපි පෙර ආත්මේ සොයුරු සොයුරියන් හත් දෙනෙක් වී ඉපදී සිටියා. අපි හත් දෙනා සෙල්ලමට බළල් පැටවකු පෙට්ටියක දමා ගඟේ පාකර හැරියා. මේ ආත්මේ එකට තට්ටු නිවාසයක මිතුරියන් හත් දෙනෙක් වී ඉපදී කතරගම යද්දී එකටම දියේ ගිලී මිය ගියේ අර සොයුරු සොයුරියන් හත් දෙනා එකතු වී බළල් පැටියාට කළ අපරාධය නිසයි.
මම දැන් මහියංගන පළාතේ දේවතාවියක වී ඉපිද සිටිනවා. අම්මාට මා ගැන සිතමින් දුක් වෙන්න එපා කියන්න. අම්මාට හොඳින් භාවනාව කරගෙන මේ මහා භයානක සංසාරෙන් බේරෙන්න කියන්න.”
භාවනා කාලය අවසානයේ දේවතාවියගේ කථාව ඇසූ මාතාව, කමටහන් දෙන හිමියන් හමුවී මේ ගැන දන්වා සිටියා ය. භික්ෂූන් වහන්සේ මියගිය දියණියගේ මෑණියන් ගෙන්වා දරුවන් හෝ දැඩිව අල්වා ගත්තොත් සංසාරය දිගුවන බව පැහැදිලි කර දුන් සේක.
බල්ලාගේ ඇසකට හානි කළ මිනිසාගේ ද ඇසකට හානි සිදු වේ.
මා දන්නා කෙනෙක් බල්ලෙකු කුස්සියට වැදෙනු දැක දර කැබැල්ලකින් බල්ලාට දමා ගැසුවේ ය. දර කැබැල්ලේ අග උලට සිටි කොටස බල්ලාගේ වම් ඇසේ වැදී ඇස් ලොඳ එළියට පැන්නේ ය.
මාස කීපයක් ගත විය. මේ මිනිසා උදැල්ල සෙලවෙන නිසා ඊට මුක්කුවක් ගැසීමට ලී කැබැල්ලක් උල්කර ගත්තේ ය. ඒ උල දිග වැඩි නිසා කොටයක් උඩ තබා එය දෙකට කැපීමට පිහිපාරක් ගැසී ය. ලී කැබැල්ලේ උල් වූ කොටස කැපී වීසි වී ගොස් වැදුණේ මිනිසාගේ වම් ඇස තුළට ය. වම් ඇසෙන් ඇස් ලොඳ එළියට පැන්නේ ය.
ඒ මොහොතේ ම ඔහුට සිහි වූයේ තම කර්මය යි. ඔහු වේදනාවෙන් කෑගසමින් බිරියට කීවේ “අනේ! මට අර බල්ලාට දුන් වධය ම ඵල දුන්නා.” කියා ය.
බල්ලාගේ මෙන් ම මිනිසාගේ ද වම් ඇස අන්ධ විය.
බළලාට දුන් දඬුවම මේ ආත්මයේ ම විපාක දෙයි.
බල්ලාට දුන් දඬුවම ඵල විපාක දුන් අයුරු ඇසූ නුගේගොඩ සිටින මගේ මිතුරියක් ඇගේ පියාට සිදු වූ විපත මට හෙළි කළා ය.
“මගේ තාත්තා හොඳ ධනවත් ව්‍යාපාරිකයෙක්. තාත්තාටත් බල්ලන් බළලුන් පේන්න බැහැ. දවසක් කුස්සියට රිංගන බළලෙක් දුටු තාත්තා ලෙලි ගැසූ පොල් ගෙඩියකින් බළලාට දමා ගැසුවා. හිසට වැදුණු පහරින් බළලා කැරකී වැටුණා. දින කීපයක් වේදනා විඳි බළලා මිය ගියා.
තුන් මසක්වත් ගියේ නැහැ. තාත්තාට දරුණු හිසරදයක් ආවා. ඔහුට එවිට වයස 50ක් පමණ ඇති. තාත්තාගේ මිල මුදල්වලින් වෛද්‍යවරුන්ට ඔහුගේ රෝගය සුව කරන්න බැරි වුණා. දරුණු හිසරදයෙන් පෙළෙමින් සිටි පියා සතියක් පමණ දුක් විඳ මිය ගියා.”
හරක් පැටියෙකුගේ ගාතය කපා පාදයක් අහිමි කර ගත් තරුණයා
පානදුරේ මනෝවිද්‍යා උපදේශක මහතෙක් මා සමඟ මේ කථාව කීවේ ය.
වේලාව දවල් 12.00ට පමණ ඇත. වනරොදක් දෙසින් වසු පැටවකු විලාප නගනු ඇසී ගමේ තරුණ පිරිස දිව ගොස් බැලුවෝ ය. වසුපැටවාගේ ගාතය මසට කපාගෙන ගොස් තිබිණි. මසට ගිජු වූ තරුණයා කවුදැයි පිරිස දැන සිටියෝ ය.
සතියක් ගත විය. අපරාධය කළ තරුණයාගේ පාදයත් බිම් බෝම්බයකට අසු වී කැඩී ගියේ ය.
බලු පැටවුන් ගින්නට දැමූ කාන්තාව ගින්නෙන් මිය යයි
එදා මා සිටියේ රයිගම වෙද මාමාගේ නිවසේ ය. තිස්ස බලා යමින් තිබුණු වෑන් රියක් පෙරළී ගිනිගෙන එහි සිටි මගීන් කීප දෙනෙක් පිළිස්සී මිය ගිය බව ආරංචි විය. රාත්‍රියේ වෑන් රිය පෙරළී පෙට්‍රල් ටැංකියෙන් පිටතට පෙට්‍රල් ගලා ගොස් ඇත. මේ ශබ්දය ඇසී හුළු අත්තක් පත්තුකරගෙන දිව ආ මෝඩ කතක් නිසා වෑන් රියට ගිනි ඇවිළිණි. රියේ සිටි ඇතැමෙක් ඊට පෙර එළියට පැනගත් අතර කාන්තාවන් හා ළමුන් කීප දෙනෙක් ගිනි ගෙන මළෝ ය. මේ 1957 වසර පමණ විය හැක.
මේ පුවත ඇසූ වෙද මාමා (රයිගම සදෝරිස් වෙද මහතා) නිවසේ සිටි දියණිවරුන් කැඳවා අප සැමට අවවාද කළේ ය.
“ඔන්න පුතේ ඕවාට තමා දිට්ඨධම්මවේදනීය කර්ම කියන්නේ. ඔය මැරුණු ගැහැනු කෙනෙක් මා දන්නවා. ඇය නිවසට එන බලු පැටවුන් කීප දෙනෙක් කරදරයක් යැයි සලකා ඇවිළෙන ගිනි මැලයකට මේ බලු පැටවුන් දමා පුළුස්සා මරා දැම්මා. බුදු බණ බොරු නොවේ. මේවා අප කාටත් හොඳ පාඩම්.”
ගැබ්බර වැඳිරියක මැරූ මිනිසාට වඳුරු දරුවන් ලැබේ.
මැලේසියාවේ එක් මහතෙක් විවාහයට පෙර ගැබ්බර වැඳිරියකට වෙඩි තබා මැරුවේ ය. වැඳිරිය ගැබ්බරව සිටි නිසා ඔහුගේ සිතට එය තදින් දැනිණි. ඔහු විවාහ වූ පසු බිරියට ලැබුණු දරුවන් හතරදෙනාගෙන් එක් දරුවෙක් මිය ගියේ ය.
ඉතිරි තිදෙනාට ම වඳුරන්ගේ මෙන් මුහුණු ද වඳුරන්ගේ මෙන් කළුපාට රෝමවලින් ගැවසී ගත් දිගු අත්පා ද හිමි වී තිබුණි. මේ වඳුරු දරුවන් තිදෙනා රූපවාහිනී තිරයේ දී මම ද දැක ගතිමි. වඳුරු මුහුණු ද වඳුරු අත්පා ද ඇති මොවුහු වඳුරන් මෙන් එක් පුටුවක සිට තවත් පුටුවකට වේගයෙන් පැනීමට ද සමත් වෙති.
(වසර 1998 සැප්තැම්බර් මස 27 වැනි ඉරිදා ස්වර්ණවාහිනී නාලිකාවේ තිරය මත මේ වඳුරු දරුවන් දිස් විය.)
බුදු දහම හා සත්ව ලෝකය
මිනිසුන්ට පමණක් නොව ඉතා ම කුඩා සත්වයාට ද මෛත්‍රිය දැක්විය යුතු බව බුදුදහමේ ඉගැන්වේ.
“මවක් යම් සේ තම එක ම පුතුට ආදරය දක්වන්නී ද එලෙසින් ම සියලු ම සත්වයන් වෙත ආදරය දැක්විය යුතු ය.” කරණීයමෙත්ත සූත්‍රයේ එලෙසින් දැක්වේ.
මිනිසුන්ට අසාධ්‍ය ලෙඩ හා අකල් මරණ ඇති වීමට හේතු වන්නේ සත්ව හිංසාව හා සත්ව ඝාතනය බව චූලකම්මවිභංග සූත්‍රයේ දැක්වේ.
එදා දඹදිව සතුන් මරා බිලිපූජා කිරීම ඇරඹුණු දින දිව්‍ය ලෝකවල දෙවිවරුන් අතර මහත් සංවේගයට පත් වූ අයුරු බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ දී පෙන්වා දුන් සේක.
බිලිපූජාවට සතුන් මැරීම සමඟ ම “අහෝ අධර්මය ලොව ම බිලි ගනී.” යනුවෙන් දෙවිවරු හඬා වැටුණු අයුරු මෙහි විස්තර වේ.
අතීතයේ පැවති රෝග 03 සමඟ රෝග 98ක් ලොවට පැතිරී ගියේ මේ අපරාධය සමඟ බව ද බුදුපියාණෝ මෙහිදී පැහැදිලි කර දුන් සේක.
සටහන – කේ. කමලා කුලතුංග
Recent Comments