තවත් එක්  සත්‍ය කතාවක්

සිහි නුවණින් යුතුව මේ ලිපිය කියෙව්වොත් මහා සංවේගයක් හට ගන්නවා. ඒ නිසා කල්පනාවෙන් කියවන්න.

මේ සිද්ධිය අනුරාධපුරේට ආසන්න ගමක ජීවත් වූ ආච්චි අම්මා කෙනෙක් ගැන. උන්දෑට වයස 75ක් විතර ඇති. අහිංසක කිරි අම්මා කෙනෙක්. ගෙදර දොරේ රංඩුසරුවල්වලට උන්දෑ පැටලුනේ නෑ. සීලෙට තමයි ආසා. හතර පෝයට ම සිල්ගන්නවා. පන්සලේවත්, අසපුවේවත් නෙමෙයි. උතුම් ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ ඉන්න ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේ ළඟ. කොච්චර වාසනාවක් ද අප්පේ… එක පෝයක් ද? සතර පෝයමනේ…. උන්දෑ සිල් අරං අර ඇත් පවුරේ බිත්තියට හේත්තු වෙලා කකුල් දිග ඇරගෙන බණ පොත් බලනවා. වයසක ඇත්තන්ගේ ස්වභාවයනේ. ගමක පන්සලක උනත් සුදු ඇඳගෙන පන්සලේ බණ ශාලාවේ බිත්තියට හේත්තු වෙලා කකුල් දිග ඇරගෙන බණ පොත් මුමුණන කණ්ණාඩි දාගත්ත සිල් අම්මාවරු අපි කොතෙකුත් දැක තියෙනවා. කොහොම හරි මහා සෑය වගේ තැනක තිස් පැයක් ඉන්ට ලැබෙන එක කොච්චර වාසනාවක් ද!

ඉතින් අනිත් උන්දැලා හැන්දෑවට සිල් පවාරණේ කොරනවනේ. මුන්දෑ එහෙම නෑ. පහුවදා සූරිය උදාවෙනකල් සීලෙන් තමයි ඉන්නේ. මළුව එළිය උනා ම හෙමිහිට ගෙදර යනවා. හරි වාසනාවන්ත ජීවිතයක් නේ ද? ඉතින් කොහොම හරි තවත් පෝය දවසක මේ ආච්චි අම්මා මහ සෑයේ සිල් සමාදන් වුණා. එදත් රෑ මළුවේ නැවතුනේ. සෑයෙම ඔය අයිනක රෑ ජාමේ මේ ආච්චි අම්මා නිදා ගත්තා. පහුවදා සූරිය උදා වුණා. ඒත් මුන්දෑ තාම බුදි. නැගිට්ටේ නෑ. යන එන අය බලනකොට…..

ඕං බලන්ටකෝ ජීවිතවලට වෙන දේවල්. උන්දෑ මැරිලා නෙව. මැරුණත් මහා වාසනාවක්. මොකද මහ සෑ මළුවේ මැරෙන්ට වාසනාවක් එපායෑ අප්පේ…. උන්දෑ නම් දිව්‍යලෝකෙ ම තමා. මළගෙදර පුදුම ගුණ වරුණ. කොහොම හරි උන්දෑ දිව්‍යලෝකේ ගිය නිසා ද මන්දා ඇඬිලි දෙඩිලිත් ඔය කියන තරම් උනේ නෑ. හත් දොහේ දානෙත් දුන්නා. උන්දැට මොන දාන ද? කර ගත්ත පින් ම මදෑ…. අනුරාධපුරේ බිසෝහාමි දිව්‍යලෝකේ ගිය හැටි අහල ගම් හතකට ආරංචි වුණා. වයසක ඇත්තොත් අනේ අපිටත් ඔහොම මැරෙන්න ලැබේවා කියලා ජයසිරි මහා බෝ හාමුදුරුවන් සිහි කරලා සාදුකාර දුන්නා.

ඒ උපාසක අම්මාගේ නම බිසෝහාමි. දැන් බිසෝහාමි මැරිලා මාස කිහිපයක් වෙනවා. ඒ ගමේ වැඩිහිටි ඈයෝ කතාවෙන දේවල් තමයි ඔය කිව්වේ. දැන් ලියන්නේ අපට දැන ගන්න ලැබිච්ච දේවල්.

බිසෝහාමි මියගොස් මාස කිහිපයක් ගිය තැන ගෙදර මිනිබිරියක් හොඳට ම අසනීප වුණා. මේ මොකක් හරි භූත බලවේගයක් යැයි දැනගෙන ශාන්ති කර්මයක් කරන්න ගෙදර අය කතිකා කරගෙන දිනයක් යොදාගෙන සාත්තුවක් කළා. අන්න එදා තමයි පොඩි එකී ඇඟ වෙව්ලාගෙන කෙළ පෙරාගෙන මායම් වුණේ. පොළොවේ අත් ගහ ගහා අඬනවා. කතා නෑ, අඬනවා. “උඹ කවුද?” කියලා ඇදුරන් තව තව සැර කළා. එතකොට කෑ ගහ ගහ කිව්වා “මං දිව්‍යලෝකේ ගියේ නෑ. මං දිව්‍යලෝකේ ගියේ නෑ. මං පෙරේතියෙක්.. මං පෙරේතියෙක්…” කියලා ඇඬුවා.

“මං බිසෝ මං බිසෝ… මං දිව්‍යලෝකේ ගියේ නෑ. මං බිසෝ. අයියෝ….” පොළොවේ අත් ගගහ අඬ අඬා කිව්වේ ඔය කතාව අහගෙන හිටපු ඔක්කොම ‘ඌස්’ ගාලා කටවල් වහගත්තා. සමහර අය ඇස් ලොකු කරගෙන පපුවේ අත් තියාගත්තා. “හරිම පුදුමයි! ඇත්තටම මේ පෙරේතයා බොරු කියනවා ඇති. මොකද රුවන්මැලි සෑයේ සතර පෝයට සිල් ඇරං රැය පහන් කළ උපාසක අම්මා කොහොමද පෙරේතයෙක් වෙන්නේ?” “නෑ බොලව් මම පෙරේතියක්. මං බිසෝ. මට වැරදුනා” ඇදුරා කිව්වා “ඇත්ත කියපං. උඹ බොරු නේ ද කියන්නේ? බිසෝහාමි සිල් රැකලා මැරිලා දිව්‍යලෝකේ ගිය කෙනෙක්. තෝ දැනගන් කෙපර ඇදබාන්න එපා. තෝ මගේ හැටි දන්නේ නෑ” මිනිපිරිය කතා කරන විදිහ බිසෝහාමි විදිහ ම යි. ඇත්තටම ඒ බිසෝහාමි. කට්ටිය ඇහුවා “උඹට මොකද වුණේ? රුවන්මැලි සෑයේ සිල් අරං මැරිලා කොහොමද පෙරේත ලෝකෙ ඉපදුණේ?”

පෙරේති තමයි දැන් මේ විස්තරේ කියන්නේ. “ඔව් මං ඒ මහ සෑය ළඟ සිල් රෙදි පොරවගෙන හිටියා තමයි. ඒත් මං රෑට බුදියගත්තේ ඒ මහ සෑයට පස්ස හරවලා. මහ සෑය දිහාවට කකුල් දිග ඇරගෙනත් හිටියා. ඕං ඕකයි මට වැරදුනේ. සෑයට පස්ස හරවලා බුදිය ගන්න එපා අප්පෝ…” ඒ ප්‍රේතිය අඬ අඬා කිව්වේ තමන් මහ සෑ මළුවේ නිදා ගනිද්දි මහ සෑයට පස්ස හරවා නිදාගත් පාපයට ප්‍රේත යෝනියේ ඉපදුණ බවයි. දෙව්ලොවත්, ප්‍රේත ලොවත් යම් ස්වභාවයක් තියෙනවා. ඒ තමයි දෙවියන්ට තමන් දෙව්ලොව ඉපදෙන්නට හේතු වුණ පුණ්‍ය විපාකය පේනවා. ප්‍රේතයන්ට තමන් ප්‍රේත ලොව උපන් පාපය පේනවා. බොහෝ ප්‍රේතයෝ ප්‍රේත ලොවින් චුත වෙලා නිරයේ උපදින විස්තර තමයි තියෙන්නේ. බිසෝහාමිට පිං අනුමෝදන් වෙන්ට බෑ. ඒ වගේ ම චුත වෙන දවසක් පේන්නේ නෑලු. අඬනවා. පොළොවේ අත් ගගහ අඬනවා.

ඕන්න මහ සෑයට පස්ස හරවලා බුදියගන්න එකේ විපාක. ඔබට සාමාන්‍යයෙන් මේවා විශ්වාස කරන්න බැරිව ඇති. අපේ අසපුවට ආපු බිසෝහාමිගේ දුව ම යි ඔය විස්තරේ කිව්වේ. ඒක හරි. හේතුව බුද්ධ අගෞරවය ඒ සා විපාක දෙනවා. අටුවා විස්තරවලට අනුව පංචානන්තරිය පාප කර්ම ගාවට බරපතළ ම කර්මය ආර්ය උපවාද. ඊ ළඟට බරපතළ බුද්ධ අගෞරවය, ධර්ම අගෞරවය, සංඝ අගෞරවය, තුනුරුවන්ට කරන අනාදරය. ඒ සා විපාක ගෙන දෙනවා. ගොඩක් පව් තිබ්බ අය අවසානයේ තුනුරුවන්ට කළ සත්කාරයකින් දෙව්ලොව උපන් කතා ඔබ අහලා ඇති. ඒ වගේ ම හොඳට ජීවත් වෙන මිනිස්සු තුනුරුවන්ට අගෞරව කරලා දුගතියේ උපන් කතා ඔබ අහලා ඇති. බිසෝහාමිගේ කතාව අද කාලේ හොඳ ම උදාහරණයක්.

මහ සෑයට පස්ස හරවලා ගොරව ගොරවා, කට කෙළ පෙරාගෙන සෑ මළුවේ නිදා ගත්ත සුදු රෙදි පොරව ගත්ත වයසක උපාසක අම්මගේ ඉරණම එසේ නම්, ෆෝන්, ටැබ්, කැමරා අරං ෆොටෝ ගගහ සෑයේ විගඩම් නටන කොල්ලෝ කෙල්ලන්ගේ ඉරණම කෙසේ වේවි ද? අහෝ ශෝචනීය යි! කොට කලිසන් ඇඳගෙන, සන්ග්ලාස් උජාරුවට දාගෙන, ගෑනු ළමයිගේ අත් පටලවගෙන මහ සෑ මළුවේ කරක් ගහන ඇට්ටර කොල්ලෝ කෙල්ලෝ මරණින් මතු කොහේ උපදීවි ද? පින්වත්නි, මේ කතාව ගමින් ගමට කියන්න. දුර්ලභ මිනිසත් බව මේ සත්වයාට අහිමි වෙන්ට දෙන්න එපා. දුගතියේ ඉපදුණොත් ගොඩ එන්න අමාරුයි. අහෝ.. අපට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණ නිසා මේවා අපට තේරුම්ගන්න හරි ලැබෙනවා…

සෑ මළුව, බෝ මළුව තියෙන්නේ තුනුරුවන්ට ගෞරව කරමින් නීවරණ ප්‍රහාණයට උපකාර පිණිසයි. නීවරණ වඩන්නට නෙමෙයි. නිදා ගැනීම නීවරණ වැඩීමක්. සෑ මළුවේ, බෝ මළුවේ, ධාතු මන්දිරේ නිදා ගැනීම තුනුරුවන්ට කරන අනාදරයක්. ධාතු මන්දිරයක නිදා ගැනීම කොහෙත් ම අකැපයි. හේතුව මේ බුද්ධ ශාසනයේ බුදු කුටියේ සැතපුනේ එක ම එක භික්ෂුවයි. ඒ සෝණකුටිකණ්ණ මහරහතන් වහන්සේ. ආනන්ද මුනිඳුන්වත් බුදු කුටියේ කවදාවත් සැතපිලා නෑ. පස්ස හැරවීම ගැන කවර කතා ද? ළඟදී දිනක වයසක මිනිසෙක් මහ සෑ මළුවේ විට කාලා කෙළ ගැසුවේලු. මහ සෑ මළුවේ බුදු මැදුරේ කොල්ලන් දෙදෙනෙක් ආලිංගනයේ යෙදුනේලු. පිරිස් බොහෝ දෙනා පෝය දා කෙළ හළාගෙන වස්ත්‍ර එහෙ මෙහෙ කරගෙන බුදිය ගනීලු. අලුත විවාහ වූ ජෝඩු වෙඩින් වීඩියෝවට රඟන්නේලු. අහෝ මිනිසා කොහිදෝ මේ යන්නේ. ජයසිරි මහා හාමුදුරුවනේ. මේ මිනිසුන්ගෙන් එකෙක්වත් මැරිලා දිව්‍යලෝකෙ යන්නේ නැහැ නොවැ.

භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින දිශාවට පා දැමීම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාට කළ නො හැකි දෙයක්. කොසොල් රජු නිසා යැපෙන පුරාණ ඉසිදත්ත දෙදෙනා, ළඟ සිටින කොසොල් රජුගේ දෙසට පා දමා ඈත සිටින භාග්‍යවතුන් වහන්සේ දිශාවට හිස හැරවූ කතාව ඔබ අසා ඇති. මේ ශාසනයේ මුල් කාලයේ සුරාව තහනම්ව තිබුණේ නෑ. ලෝණසෝවීරක නම් සුරාව පානය කළ සාගත තෙරුන් භාග්‍යවතුන් වහන්සේ දිසාවට පා දැමීම හේතුකරගෙන සුරා පානය පචිති ඇවතකැයි ශික්ෂා පදයක් පැනවුණා. දැන් ගොඩක් වෙහෙර විහාරවල ආච්චි අම්මලාගේ සිරිත ම සෑයට, බෝධියට කකුල් දික්කර ඉඳගැනීම යි. මේක නම් මහා පාපයක්. මුන්දැලා මැරිලා කොහේ යාවි ද? මේ පාපය අට පිරිකරක් පූජා කරලා වසා ගත නොහැකි බව කිවමනා ය.

දුටුගැමුණු රජු හා යුද්ධයට පැමිණි දීඝජන්තුගේ කටට හීයක් විද්ද ඵුස්සදේව යෝධයා මගේ රජතුමා දෙසට මේ දෙමළා පා නොදමත්වා කියා වහා පාවලට හී විද්දා. එකල යෝධයෝ රජවරුන්ට එසේ ගරු කළා නම් අපගේ ශාස්තෘන් වහන්සේට කෙසේ අප ගරු කළ යුතු ද? “ඔය මොනවා ද? විදර්ශනාව නෙව වඩන්න තියෙන්නේ, ඕවා අමූලිකා ශ්‍රද්ධාව” යැයි වහසි බස් දොඩන හිස් මිනිසුන් මරණින් මතු කොහේ නම් උපදීවි ද? උඩඟු නැති බව කෙතරම් වාසනාවක් ද? බෝධීන් වහන්සේලා අතපත ගාන ස්ත්‍රීන් ද බොහෝ පව් රැස් කරන බව මෙහි දී නැවත සිහි කරමි.

භාග්‍යවතුන් වහන්සේ ඇවිළෙන ගිනි කඳක් සේ තෙදවත් ය. දෙවියන් බඹුන් ද ඈත සිට දෑත සිරසේ තබා වඳිත්. සිරිපා දුහුවිලි සිරසේ තබා ගනිත්. කැමරා ෆෝන් උස්සන හිස් මිනිසුන් දුගතියේ උපදිත්. මේ පව්වලට වහා සමාව ගත යුතු ය. නැති නම් ඒ අඳුරු සෙවණැලි සත්වයා දුගතියට රැගෙන යනු ඇති. අපේ මහා පිනකට ජීවමාන බුදුරජාණන් වහන්සේ, ස්වර්ණමාලී සෑ රජුන් වැඩ සිටිති. බුදු සිරිපා ළඟ අඬාගෙන වැටෙනවා වගේ සෑ පාමුල වැඳ වැටී සමාව ගන්න. ශාස්තෘන් වහන්සේගේ ශාස්තෘන් වහන්සේ වන්නේ ධර්මය යි. යම් කෙනෙක් ධර්මයට අගෞරව කළොත්, අපගේ ශාස්තෘන් වහන්සේ ජනිත දඹදිව්තලයට නින්දා කළොත් අහෝ ඒ සත්වයා මරණින් මතු දුගතියේ උපදිනවා ම යි.

අද මිනිසුන්ගේ ජීවිත තුළ ගංගා සේ පුණ්‍ය ප්‍රවාහයෝ නැත. පුංචි වතුර වීදුරුවක දිය බිඳක් සේ පින් කලඳක් ඇත. මේ පිං පොඞ්ඩට පාපය නමැති පුංචි ලුණු කැටයක් වැටුණත් වීදුරුවේ වතුර ලුණු රස වෙයි. තම තමන් ගැන වෙන වෙන ම හිතන්න. මහා ධර්මධරයෝ යැයි සිතාගෙන සූත්‍ර විනය ඉගෙනගෙන තර්ක කරමින් උඩඟුවෙන්නට එපා. මේ ධර්මය ශාස්තෘන් වහන්සේගේ ය. අපි ශ්‍රාවකයෝ වෙමු. ඇත්තෙන් ම අපි ගොඩක් අසරණ පිරිසක්. මංමුළා වූ පිරිසක්. වාද විවාද නවතා සරණක් සොයා යන්න. බුදුරජාණන් වහන්සේ ම සරණ කරගන්න. මහරහතන් වහන්සේලාට වැඳ වැඳ ඉන්න. සිදු වූ වරදට සමාව ගෙන හැදෙන්න. පව් ගැන හිත හිත දුක් වෙන්ට නම් එපා. ඒකත් පාපයක් ම යි. පසුතැවෙන කෙනා දුගතියේ උපදිනවා ම යි. වැරදි හදාගන්න ලැබෙන එක ගැන සතුටු වෙන්න. කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ වටිනාකම ගැන ම හිතන්න. තුනුරුවන්ට අප්‍රමාණ ගෞරවයෙන් වාසය කරන්න. මේ විස්තර අනෙක් අයටත් කියන්න. අන් අය ද මේ පාපයෙන් ගලවන්න. එතකොට ඔබට ගොඩක් පිං රැස්වේවි. සසුනේ පිහිට ලැබෙන්නේ එතකොටයි.

අවසානයට යමක් කිව යුතුයි. අනුරාධපුරයේ බිසෝහාමිගේ සීලය ඔය ගම්වල ආච්චිලාගේ සීලය යි. එනම් සුදු රෙද්ද පොරෝගෙන, කකුල් දික්කරගෙන ඉඳගෙන බිම බලා ඉඳීම යි. හවසට මල්ල කිහිල්ලේ ගහගෙන ගෙදර යෑම යි. උතුරු සළුව ගැලවීම සිල් පවාරණය කිරීම යැයි සිතා සිටීම යි. අද කාලයේ අවබෝධයෙන් සිල් සමාදන් වන්නේ කිහිප දෙනයි. තරුණ කාලේ සිල් රකින එක නම් පුදුම පිනක්. නුවණින් විමසත්වා! කරුණා මෛත්‍රියෙන් විස්තර ලීවෙමි.

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි