සසර කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරනා තුරු අපි සියලු දෙනාට ම යන්න සිද්ධ වෙන අනවරාග්‍ර ගමනක්. මේ සසරේ අපි හැමෝට ම වරදින වෙලාවල් තියෙනවා. ඒත් ජීවිතේ සතුට පිණිස අපි කරන හොඳ වේවා නරක වේවා ඒ හැම ක්‍රියාවක ම විපාකය භූමරංගයක් කැරකී එන ලෙසින් ම අප කරා එනවා. ඒ නිසා, යමක් කළාට පස්සේ කඳුළු පිරුණු මුහුණෙන් ඔබට එහි විපාක විඳින්න වේ නම් එවැනි දෙයක් කිසිම කලක කරන්න එපා!

ඒ නිසා ජීවිතය වරදවා නොගැනීම පිණිසත්, වරදවා ගත් අයට ඉක්මනින් නිවැරදි වීම පිණිසත් ඇගේ කථාව මා ඔබට කියන්නම්.

මේ ලිපිය ලියන මා අනුරාධපුර ප්‍රදේශයේ ආරාමයක පිළිවෙත් පුරන සිල් මෑණියන් වහන්සේනමක්. උන්වහන්සේව මා හට මුණගැහුනේ රුවන්වැලි මහ සෑ මළුවේ දී වන්දනා කරමින් සිටින වෙලාවකයි. බැලූ බැල්මට ම උන්වහන්සේ ලොකු අපහසුතාවයකින් ඉන්න බව තේරුන නිසා ම උන්වහන්සේට සෑ මළුවේ පහසු තැනක වාඩි වෙන්න ඉඩකඩ සකස් කරලා උන්වහන්සේට පැන් ටිකක් වළඳන්න දුන්නා.

උන්වහන්සේගේ කායික අපහසුතාවය අඩුවෙලා වගේ පෙනුන නිසා “මෑණියන් වහන්ස, ඔබ වහන්සේට මොකක් හරි අසනීපයක් තියෙනවා ද? බෙහෙත් මොනවා හරි ගන්නවා ද?” කියලා මම උන්වහන්සේගෙන් ඇහුවා. මම අහපු දේට පිළිතුරක් දෙනවා වෙනුවට මම අසල හිටිය පොඩි මෑණියන් වහන්සේ දිහා බලලා හරි ලස්සනට හිනාවෙලා උන්වහන්සේ මෙහෙම කිවුවා.

“මම ඔබ වහන්සේලා වන්දනා කරන දිහා බලන් හිටියා. දැක්කම ඔබ වහන්සේලා ගැන හරිම සතුටක් දැණුනා. ඔබ වහන්සේලාට ඔය ලැබිල තියෙන වාසනාව වනසා ගන්න එපා. එහෙම වුණොත් ඔබ වහන්සේලාටත් මට වගේ ම මහා දුකක් අත්විඳින්න සිද්ධ වේවි. ඔබ වහන්සේලාට ඔය පැවිදි ජීවිතය රැකගන්නත්, තවත් කෙනෙකුට කවදා හරි දවසක මම අත් විඳින දුක උරුම කර ගන්නේ නැතුව ඉන්නත් මම මගේ කථාව ඔබ වහන්සේලාට කියන්නම්.”

මෙහෙම කියලා උන්වහන්සේ උන්වහන්සේගේ කථාව කියන්න පටන් ගත්තා.

“මෑණියන් වහන්ස, මගේ ගම ගාල්ල. මම පැවිදි වෙලා දැනට අවුරුදු 12කුත් පහු වෙලා. හැබැයි මේ අවුරුදු 12 පුරාවට මම ආරාමේ ඉන්නවාට වඩා හිටියේ ඉස්පිරිතාලේ. නැත්නම් ගෙදර. මම උසස්පෙළ කරන කාලේ තමා මටත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අහන්ට ලැබුණේ. ඒ ධර්මය අහනකොට මටත් පැවිදි වෙන්න ආසා හිතුණා. සසරින් නිදහස් වෙන්න ඕන කියලා හිතුණා. ඒත් තාත්තා ඒකට එකහෙළා ම විරුද්ධ වුණා.

ඔහොම කාලයක් යනකොට හදිසියේ ම තාත්තා නෑදෑයෝ හැමෝටම එන්න කියලා අපේ ගෙදර පිරිතක් කියෙව්වා. එදා රෑ තාත්තා මාව ළඟට අරගෙන ‘පුතේ ඔයා හොයන සතුට තියෙන්නේ පැවිදි ජීවිතය තුළ නම් ඔයාගේ ඒ සතුට මම නැති කරන්නේ නෑ. කොහේ හිටියත් මගේ පුතා සතුටින් ඉන්න ඕනෑ.’ කියලා කිවුවා. ඊට දවස් 2,3 කට පස්සේ මල් ආසනයකට මලක් පූජා කරනවා වගේ මගේ අම්මයි තාත්තයි අපේ ආරාමේ ලොකු මෑණියන් වහන්සේට මාව භාර දුන්නා.

මම අවුරුද්දක් විතර ඒ ආරාමේ උපාසිකාවක් විදිහට වත් පිළිවෙත් සම්පූර්ණ කළා ම ගාල්ලේ නිරෝධා කියන නමින් අපේ ලොකු මෑණියන් වහන්සේ මාව පැවිදි කළා. මෑණියන් වහන්ස, අපේ ආරාමේ වයසින් වැඩි අසනීප මෑණියන් වහන්සේලා කීප දෙනෙක් ම ඉන්නවා. මම උන්වහන්සේලාට උපස්ථාන කරන්න හරි ම ආසයි. උපාසිකාවක් විදිහට ඉන්නකොට වගේ ම පැවිදි වුණාට පස්සෙත් මම උන්වහන්සේලාට උපස්ථාන කළා. ඒ වගේ ම ආරාමෙ තියෙන හැම වත පිළිවෙතකට ම මම උදව් කළා. මෑණියන් වහන්ස, මේ පැවිදි ජීවිතේට මම හරිම ආදරෙයි. වන්දනාමාන කටයුතු, ධර්ම දේශනා, ආරාමේ පිරිසිදු කිරීම්… ආදී කටයුතු කරන අතරේ මගේ ධර්ම මාර්ගයත් මම දියුණු කර ගත්තා.

ආරාමෙට දුකක් කියාගෙන එන කිසිම කෙනෙක් ව කඳුළු පිරුණු ඇස්වලින් මම යැවුවේ නෑ. ඒ හැම කෙනාට ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හිත හදාගන්න විදිහ මම කියලා දුන්නා. මෑණියන් වහන්ස, අපේ විහාරේ, බෝධි මළුවේ වත් පිළිවෙත් කළා ම, ආරාමේ මෑණියන් වහන්සේලාට උපකාර කළා ම, කාට හරි දහම් කාරණයක් කියලා දුන්නා ම ඒ පින ගැන මට හරිම සතුටක් දැනෙනවා. ඒ පින සිහිකරමින් තමයි මම හිත සමාධිමත් කළේ. මම ඒ විදිහට ගොඩක් සතුටින් තමයි ආරාමේ හිටියේ. ඒත් අවුරුදු 3ක් යනකොට ඒ හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ මට හැදුන බඬේ අමාරුවක් එක්ක. මුල් කාලේ වේදනාව වැඩිය දැණුනේ නැතත් අන්තිමට ඉවසන්න බැරි තරමේ වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. ඒ වේදනාව වැඩි වෙනකොට වමනය යන්න පටන් ගත්තා.

මුල දී නම් ‘ගැස්ට්‍රයිටීස්’ රෝගය කියලා බෙහෙත් කරපු වෛද්‍යවරු බඬේ සැත්කමක් කළා. ඒ සැත්කම නිසා ම මාස ගණනක් මට රෝහලේ ඉන්න සිද්ධ වුණා. සැත්කමෙන් පස්සේ ආරාමෙට ඇවිත් ටික දවසක් යනකොට ආයෙම බඬේ අමාරුව වැඩි වෙන්න පටන් ගත්ත නිසා ආයෙ සැරයක් මාව රෝහල්ගත කළා.

මෑණියන් වහන්ස, ඒ බඬේ අමාරුව වැඩි වෙනකොට මට කිසිම දෙයක් වළඳන්න බැරිවෙනවා. දානෙ වළඳනකොට ඒ වේදනාව වැඩිවෙන්න පටන් ගන්නවා. අන්තිමට වෙන්නේ බඩගින්න වැඩි වෙලා ම නැගිට ගන්න බැරිවෙන තරමට මම දුර්වල වෙන එක.

මට බඩගින්නට මොනවා හරි වළඳන්න ඕන වුණත් ඒ වේදනාව නිසා ම මට කිසි දෙයක් වළඳගන්න බෑ. බඬේ වේදනාව වැඩිවෙනකොට වෛද්‍යවරුන් වේදනානාශක පැය 4න් 4ට දෙන්න තීරණය කළා. ටික දවසක් යනකොට ඒ එන්නත් කරපු බෙහෙත්වලට ම මට සිහි නැති වෙන්න පටන් ගත්තා. මගේ ජීවිතේටත් අනතුරක් වෙයි කියලා හිතලා ආරාමේ මෑණියන් වහන්සේලා ගෙදර අයත් එක්ක ටිකට් කපවාගෙන ගෙදරට එකතු කරන් ආවා. මෑණියන් වහන්ස, එදා පයින් ඇවිදගෙන ඉස්පිරිතාලෙට ගියපු මම ආපහු ආවේ රෝද පුටුවෙන්. ඒ තරමට මම දුර්වල වෙලා ගියා. ටික දවසකින් ආයෙම ආරාමෙට වැඩියත් කලින් වගේ මට කිසි දෙයක් කර ගන්න පුළුවන් වුණේ නෑ.

ඔය අතරෙ ම තමා තද ඔළුවේ අමාරුවක් හැදුණේ. මෑණියන් වහන්ස, ඒ ඔළුවේ රදය සමහරවිට එක දිගට දවස් 8, 10 එක විදිහට තියෙනවා. සමහරදාට හිසට කොට්ටය තියන්නවත් බැරි තරම් වේදනාවක් දැනෙනවා. ඒත් එක්කම වගේ නින්ද යන්නේ නැති වෙන්න පටන් ගත්තා. පොඩි මෑණියන් වහන්ස, සමහර දවස්වල දවස් 6, 7 මම නිදාගෙන නෑ. නින්ද ගියත් හරියට ම රෑ දොළහ කිට්ටු වෙන්න නැගිට්ටෙනවා. ඊට පස්සේ එතන ඉඳලා නිදි නෑ. මේ හැමදේම නිසා ම මාව තව තවත් දුර්වල වෙන්න පටන් ගත්තා.

මෑණියන් වහන්ස, සමහර දවස්වලට මට ඇවිදගෙන වැසිකිළියට යන්න බෑ. ඉඳගෙන, හිටගෙන විතරක් නෙමෙයි සැතපිලාවත් ඉන්න බැරි තරමට මේ කය ම වේදනාවෙන් ඇදුම් කන්න පටන් ගන්නවා. සමහරදාට පැන් පහසු වෙන්න හිටගෙනවත් ඉන්න බෑ. අඩුම තරමේ පාත්තරේට ගේන දානේ එක අනාගන්න මට බැරි වෙනවා. ඒ හැම වෙලාවෙ ම ආරාමේ මෑණියන් වහන්සේලා මට උදව් කළා. වේදනාව යටපත් වෙලා මම දහම් පොතක් කියවන්න පටන් ගන්නකොට ආයෙම මේ අසනීපය වැඩිවෙන්න පටන් ගන්නවා. දවසක් නැගිටලා හිටියොත් සති 2, 3ක් ම ඇඳේ වැටිලා. මෑණියන් වහන්ස, සමහර වෙලාවට මේ දෑත් එකට බැඳලා මගේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්න මට බෑ.

ඒ විතරක් ම නෙමෙයි, ඉස්සර ඉක්මනින් ම සමාධිමත් වෙන මේ හිතට අද ඇස් වහගෙන බුදුගුණයක් හිතනකොට කවදාවත් හිතලා නැති සිතුවිලි එන්න පටන් ගන්නවා. හරියට කරාමයකින් වතුර ගලාගෙන එනවා වගේ. එක එක සිතුවිලි ගලාගෙන එනවා. ඒ ස්වභාවය අසාමාන්‍යයි කියලා තේරෙනකොට මම හිතුවේ මට මානසික රෝගයක් වැළඳිලා කියලා. එක එක තැන්වලින් බෙහෙත් කළත් ටික දවසක් යනකොට අඩුවෙලා ආයෙම අසනීප තත්ත්වය වැඩිවෙනවා. එහෙම නැත්නම් බෙහෙත් කරන අයට මොකක් හරි කරදරයක් වෙනවා. ඔය විදිහට තමා මෑණියන් වහන්ස මේ ජීවිතේ අදටත් ජීවත් වෙන්නේ.

මෑණියන් වහන්ස, ඔය අතරේ ආරාමයට ලැබුණ පණිවිඩයකින් අපි ඈත පළාතක එක වෙද මහත්තයෙක් ළඟට බෙහෙත් ගන්න ගියා. එදා ඒ වෙද මහත්තයා ළඟදි අමුතු හඬකින් කෙනෙක් කතාකරන්න පටන් ගත්තා.

“වෙද මහත්තයෝ මෙයාට කියන්න කොහෙන් බෙහෙත් කළත් ඔය අසනීපය අඩුවෙන්නෙ නෑ කියලා. මොකද ඔය හැම වේදනාව ම ඇති කරන්නේ මමයි. මේකි නිසා මට හැමදේම නැති වුණා. කල්‍යාණ මිත්‍රයෝ මට අහිමි වුණා. ධර්මය අහිමි වුණා. පින් රැස් කරන මාර්ගය අහිමි වුණා. සංඝයා ඇසුරු කරන්න මට නැති වුණා. බුද්ධ ශාසනයේ සිවුරක් දාගන්න මට තිබුණ අවස්ථාව නැති වුණා. අන්තිමට මේකි නිසා මට මගේ ක්ෂණ සම්පත්තිය ම අහිමි වෙලා ගියා.

දැන් මම යක්ෂ ලෝකයේ ඉපදුණ යක්ෂයෙක්.

මම තමයි කලින් ජීවිතේ මෙයාගේ ස්වාමියා. ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබළනවා. මම හරි ආසාවෙන් සංඝයා ඇසුරු කළා. නිතර නිතර ම ඒ උත්තමයෝ ඇසුරෙම මම පින් කළා. අපි නිතර ම උන්වහන්සේලාගෙන් ධර්මය අහුවා. ඒ ධර්මය ඇහෙන්න ඇහෙන්න මට ගිහි ජීවිතේ ආදීනව ම යි පෙනුනේ. මමත් පැවිදි වෙන්න යන්න තීරණය කළා. ඒත් ඒ හැමදේම මේකි නිසා වෙනස් වුණා. මේකි කරන්න පුළුවන් හැමදේම කරලා මගේ ඒ ගමන වැළැක්කුවා. පැවිදි වෙන්න මොනතරම් ඕන වුණත් එක එක දේවල් කියලා ගිහි ජීවිතේ බැඳීම්වලින් මාව හිර කළා.

ඒත් මං පින් රැස් කළා. ගිහි ජීවිතේ ජීවත් වෙන්න දුක් විඳින හැම වෙලාවක ම ‘මගේ බිරිඳ නිසා නේ ද අද මම මේ දුක විඳින්නේ’ කියලා මට මතක් වුණා. සංඝයා දකින වාරයක් පාසා සංසාරයෙන් නිදහස් වීම වෙනුවෙන් මේ ඇස්වලින් අඬපු වාර ගාණ ගණන් කරන්න බෑ. මේ කෙනා නිසා මම ගිහි ජීවිතේට හිරවෙලා වින්ද පීඩාව අප්‍රමාණයි.

මේ කෙනා නිසා මට බඹසර සිල් රකින්න බැරි වුණා. මම හැමදාම ඒ ගැන දුක් වුණා. අන්තිමට ඒ දුක, වෛරය නිසා ම මට මගේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙලා ගියා. අද මම වෙසමුණි දෙවියන්ගේ යක්ෂයෙක් වෙලයි ඉන්නේ. මම උන්වහන්සේට බැල මෙහෙවර කරලා මට වුණ අසාධාරණයට සාධාරණයක් කරලා දෙන්න කියලා ඉල්ලුවා. උන්වහන්සේ මට මෑගෙන් සාධාරණයක් ඉෂ්ට කර ගන්න ඉඩ දුන්නා. ඒ හින්දා දැන් කාටවත් මෙයා බේරගන්න බෑ. අද මේකි සිවුරක් දාගෙන දුක් විඳ විඳ ඒ පැවිද්දේ එල්ලිලා ඉන්නවා වගේ ම යි එදා මම පිරිමියෙක් වෙලා ඒ පැවිදි උපසම්පදාවට ආසා කළේ. මේ කෙනා මට ඒක නැති කළා. සංඝයාට උපස්ථාන කරන්න, සිල් රකින්න, බණක් භාවනාවක් කර ගන්න, බුදු ගුණයක් කියලා මගේ ශාස්තෘන් වහන්සේට වන්දනා කරන්න මම ආසා කරනකොට ඒ හැමදේම මෑ වැළැක්කුවා. මට පැවිදි වෙන්න ඉඩදෙන්න කියලා මම කියද්දි ම මෑ මාව ගිහි ජීවිතේ ඇතුළේ හිර කළා. දැන් මම සංසාරෙට වැටුන කෙනෙක්.

මේකි නිසා මට මගේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙලා තියෙද්දි මම කොහොමද මෙයාට විතරක් සසරින් එතෙර වෙන්න දෙන්නේ. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. ටික ටික විඳවන්න දීලා මට හැමදේම නැති වුණා වගේ ම මෙයා ව දුර්වල කර කර මෙයාටත් හැමදේම මම නැති කරනවා. මෙයාවත් පීඩාවට පත් කරලා පින් කරන්න තියෙන හැම අවස්ථාව ම මම නැති කරනවා. හරියට එදා මට කළා වගේ ම. ඒ හින්දා වෙද මහත්තයෝ මෑට කියන්න මට වුණ අසාධාරණයට සාධාරණයක් ඉෂ්ටකර ගන්නකල් ම මේක නතර වෙන්නේ නෑ කියලා.” එහෙම කියපු කෙනා නිහඬ වුණා.

මෑණියන් වහන්ස, ගහක් යට වාඩිවෙලා, බුදු ගුණයක් හිතලා අනිත්‍ය මෙනෙහි කරලා, අනික් අයට පින් සිද්ධ වෙන්න දානෙකට වැඩලා, සංඝයා වහන්සේලාට උපස්ථානයක් කරලා, කාගෙ හරි හිතක් හැදෙන්න බණ පදයක් කියලා දෙන්න මටත් හරිම ආසයි. ඒත් අද ඒ හැමදේම මට අහිමි වෙලා. මාව දුර්වල වෙවී යන විදිහ මට දැනෙනවා. මේ හැමදේම මම විඳින්නේ හිතට ආව පුංචි සිතිවිල්ලක් නිසා මගේ ම අතින් වුණ වැරැද්දටයි. ඉතින් ඒ නිසා මම තවත් කෙනෙක් ගැන වෛරයක් ඇතිකර ගන්නේ කොහොමද?

ඒ නිසා මෑණියන් වහන්ස, මම මේ කථාව ඔබ වහන්සේලාට කිව්වේ මගේ අතින් වුණ වැරැද්ද ඔබ වහන්සේලා අතින් නොවෙන්න. මොකද ආරාමෙදි වුණත් ඔබ වහන්සේලා අතරේ හරි, උපාසිකාවෝ එක්ක හරි, චූටි චූටි අමනාපකම් ඇතිවෙන්න පුළුවන්. ඒත් මොනතරම් හිත් අමනාපකම් ඇති වුණත් කවදාවත් කිසිම කෙනෙකුට පැවිදි ජීවිතයට, ධර්ම මාර්ගයට පින් රැස්කර ගන්න තියෙන අවස්ථාවකට පීඩාවක් කරදරයක් වෙන වචනයක්වත් කියන්න එපා. මෑණි කෙනෙක්ට හරි, උපාසිකාවක්ට හරි කිසිම කෙනෙක්ට ඒ පින් රැස්කර ගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යන දෙයක් කරන්න එපා.

මොකද අපි කරන පුංචි දේකින් කෙනෙකුගේ ක්ෂණ සම්පත අහිමි වුණොත් ඒ වැරැද්ද අපි ළඟට එන්නේ අපිත් සසරින් නිදහස් වෙන්න ඕන කියලා කෙලෙස් යුද්ධයකට සපථ කළ දවසකට යි. එදාට අපිට හිතාගන්න බැරි විදිහටයි අපේ සසර ගමන ම වෙනස් වෙන්නේ. ඒ නිසා මෑණියන් වහන්ස, ඔබ වහන්සේලා පුළුවන් නම් මේ වැරැද්දෙන් බේරෙන්න. ඔබ වහන්සේලාට පුළුවන් නම් මගේ කතාව කියලා තවත් කෙනෙක්ට මට වුණ දේ වෙන එකෙන් බේර ගන්න.

මොකද මම දැකලා තියෙනවා සමහර දරුවෝ දූලා පුතාලා පැවිදි වෙන්න ඕන කියලා කියනකොට සමහර අම්මලා තාත්තලා නැත්නම් ඒ කෙනාගෙ ම ස්වාමියා නැත්නම් බිරිඳ, එහෙම නැත්නම් යාළුවෝ ගුරුකම් කරලා යන්ත්‍ර මන්ත්‍ර කරලා වශී කරලා ඒ අය පැවිදි වෙන්න යන එක නවත්තනවා. සමහර අම්මලා තාත්තලා නැත්නම් නෑදෑයෝ ඒක කරන්නේ තමන්ගේ දරුවට තියෙන ආදරය නිසා. නැත්නම් සැමියට බිරිඳට තියෙන ආදරයට. ඒත් පුංචි බැඳීමකට රැවටිලා අපිට පුංචි සතුටක් ලැබුණත්, ‘කරන කලට පව් මිහිරි ය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ…”

ඒ නිසා මේ ලිපිය කියවන ඔබෙන් ඉල්ලන්නේ ඔබේ අම්මා තාත්තා වේවා දුව පුතා වේවා බිරිඳ සැමියා වේවා කවුරුන් හරි කෙනෙක් දහමේ හැසිරෙන්න, පින් රැස් කරන්න ආසා කරනවා නම් ඒ මඟට බාධාවක් වෙන්නට ඔබ කාටවත් සිත් පහළ නොවේවා…!

සීල සමාධි ප්‍රඥා වඩමින් බුදු සසුනක මග ඵල පසක් කරන්නට ආසා කරන කෙනෙකුට ඔබෙන් උපකාරයක් මිස කිසිම කලෙකත් අනුපකාරයක් ඇති නොවේවා…! දෙව් බඹුන් වන්දනා කරන උතුම් පැවිදි දිවියක් පතනා කෙනෙකුගේ ගමනට ඔබෙන් ආශීර්වාදයක් මිස බාධාවක් නොවේවා…!

(නම් ගම් සියල්ල මනඃකල්පිතයි.)

සටහන
– සිල් මෑණියන් වහන්සේ නමක් විසිනි