ඒ අපගේ සිදුහත් මහබෝසතාණන් වහන්සේ ලුම්බිණි සල්වනයේ දී දසදහසක් ලෝකධාතුව ම කම්පා කරවමින් මේ තුන් ලෝකයට ම සෙත සදනා උත්තම පුරුෂ රත්නය ලෙසින් මනුලොව වැඩි සේක. පුරා දස මාසයක් මහමායාවුන් කුස තුළ වැඩ සිටි අප මහබෝසතාණෝ මව් කුසින් නික්මුණ දිනයේ ම පුංචි සිරිපා මහ පොළොව මත තබමින් ඇවිද ගිය බව කොයිතරම් නම් ආශ්චර්යයක් ද…. එකෙණෙහි මහ පොළොව කම්පා විය. සිඟිති සිරිපා පිළිගන්නට මහ පොළොවෙන් රත් පියුම් පිපුණි. ඒ උත්තම සිරිපා ලකුණ අදටත් ලුම්බිණි සල්වනයේ දී සැදැහැ සිතින් දැකබලා වන්දනා කර ගන්නට ලැබීම මොනතරම් භාග්‍යයක් ද…!

එදා කුසිනාරාවේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ මොහොතේ සක්විති රජෙකුගේ දේහය ආදාහනය කරන විලසින් අපගේ බුදුරජුන්ගේ ශ්‍රී දේහය ද ආදාහනයට සියලු කටයුතු සූදානම් ව තිබුණ ද කොතරම් උත්සහ කළ ද චිතකයට ගිනි නොදැල්වුණි. මිනිසුන්ගේ කැමැත්ත වෙනකකි. දෙවියන්ගේ කැමැත්ත අනෙකකි. දෙවියන් බලා සිටියේ ශාසන භාරධාරී වූ අපගේ මහාකස්සපයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල වඳින්නට පැමිණෙන තුරු ය. අනේ අපගේ මහාකස්සපයන් වහන්සේ පැමිණ චිතකය පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මේ පැත්තේ ඇතැයි සිතා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළ සේක. ආශ්චර්යයි! චිතකයේ තිබූ සඳුන් දර මෑත් වී, පුළුන් පටල පන්සීය , රන් සළු පන්සීය මෑත් වී අපගේ බුදුරජුන්ගේ සිරිපා පත්මයන් මහාකස්සප මුනිඳුන්ගේ සිරසේ පිහිටියේ ය. එවේලෙහි බොහෝ දෙනා සාදු නාද නංවමින් බුදු සිරිපා වැඳගත් සේක. නැවත තිබූ ආකාරයට ශ්‍රී දේහය රන් දෙනේ තැන්පත් වීමත් සමඟ ම දෙවියන්ගේ ආනුභාවයෙන් චිතකයට ගිනි දැල්විණ.

අපගේ භාග්‍යවතුන් වහන්සේ එදා සුද්ධෝදන රජතුමාගේ රජමැදුර අසලින් පිඬු සිඟා වඩිද්දී යශෝදරාවෝ රාහුල කුමරුන්ට බුදුරජුන් පෙන්වා බුදුරජුන්ගේ ගුණ කවියට නැගුවා ය. පළමුව ඇය පැවසුවේ බුදු සිරිපාවල අසිරියයි. අහෝ…! ඒ උතුම් සිරිපා පද්මයන් සැදැහැ සිතින් වඳින්නට ඇත්නම් කොච්චර ලාභයක් ද…!

අපගේ භාග්‍යවතුන් වහන්සේ කිසිම දිනක අනර්ථයක් පිණිස සිරිපාවන් ඉදිරියට තබා නැත. ලෝ සත වෙත පතල කරුණාවෙන් ම යි, බුදුරජුන් ඉදිරියට පියවරක් තැබුවේ නම් තැබුවේ. අනේ බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දී මේ මහ පොළොවට පවා බුදුගුණ දැනෙයි. උස් තැන් පහත් වෙයි, පහත් තැන් උස් වෙයි, දුහුවිලි බැහැර වෙයි. මේවා බුදුරජුන්ගේ සසරේ පින් බලයෙන් නැගෙන ආශ්චර්ය යි. කිසි දිනෙක අධිෂ්ඨානයෙන් හැර බුදු සිරිපා පොළොවේ නොපිහිටයි. කිසිම දිනක භාග්‍යවතුන් වහන්සේ පාවහන් පැලඳ නැත. සතුන් යෙදූ රථයක වැඩම කොට නැත. සම්බුදු සිරිපා මහ පොළොවේ ස්පර්ශ කරමිනුයි පියවර තැබුවේ. ඒ සම්බුදු සිරිපා ස්පර්ශ වූ භූමිය කොතරම් පූජනීය ද…! යොදුන් ගණන් දඹදිව්තලයේ භාග්‍යවතුන් වහන්සේ වැඩම කරද්දී දඹදිව්තලය කී වතාවක් නම් සම්බුදු සිරිපා පහස ලබන්නට ඇති ද…! භාග්‍යවතුන් වහන්සේ අපගේ ලක්දිවට තුන්වතාවක් ම වැඩම කොට අපගේ ලක්දිව සම්බුදු සිරිපාවන්ගෙන් පූජනීය කළ සේක. අප කොච්චර වාසනාවන්ත ද සම්බුදු සිරිපා ස්පර්ශ වූ භූමියක සිටීමට තරම්…!

අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසු තුන්වන සතිය ගත කළේ සක්මන් කරමිනුයි. ඒ බිම හඳුන්වන්නේ රුවන් සක්මන නමිනුයි. අනේ බුදුරජාණන් වහන්සේ කී වතාවක් නම් ඒ භූමියේ සිරිපා තබන්නට ඇති ද…! දෙව්රම් වෙහෙරේ බුදුරජුන් දහනව වසරක් වස් වැසූ පින්බිමේ ඇති සක්මන් මළුව අපටත් නළල තබා වඳින්නට ඇත්නම්, තැබූ තැබූ සිරිපාවන්ට නමස්කාර කරන්නට ඇත්නම් කොතරම් අගනේ ද…

භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් සිරිපා සටහන් පිහිටවූ ස්ථාන

■ නර්මදා නදී තෙර

■ සච්චභද්ද පර්වතය

■ සමනල කඳු මුදුන

■ කැලණි ගං පතුල

නර්මදා නදියේ සිරිපා සටහන

ඔබ අසා ඇති දරුණු මිනිසුන් සිටි සුනාපරන්ත දේශය පිළිබඳ ව. සුනාපරන්ත දේශය ම සම්බුදු වදනින් එකලු කළා වූ පුණ්ණ මහරහතන් වහන්සේ එම මිනිසුන්ගේ සැර පරුෂකම් නසා දැමූ සේක. ඒ මිනිසුන්ගේ කැමැත්තට භාග්‍යවතුන් වහන්සේ උදෙසා මකුලාරාම විහාරය නම් ස්ථානයේ රත් සඳුන්වලින් මණ්ඩල මාලයක් කරවා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරගෙන එන්න යැයි පුණ්ණ මහරහතන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණහ. ඉන් පසු පුණ්ණයන් වහන්සේගේ ආරාධනාවකින් භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් භික්ෂු සංඝයා සමඟ සුනාපරන්ත දේශයට වැඩම කොට මකුලාරාම විහාරය ඇසුරු කරමින් වාසය කළ සේක. දින කිහිපයක් එහි වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ දෙව්රම බලා පිටත් වූ සේක. ඒ වඩින අතරමඟ නර්මදා නදී තීරයට වැඩම කළ සේක. බුදුරජුන් වැඩි බව සැල වී නර්මදා නා රජු ඉදිරියට පැමිණ බුදුරජුන් ප්‍රමුඛ පන්සියයක් සංඝයා නාගභවනට වඩමවාගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අසා සතුටු වූහ. නාරජුට දහම් දෙසා යළි දෙව්රම වෙත වැඩම කරන්නට සූදානම් වන මොහොතේ නාරජු බුදුරජුන්ගෙන් වන්දනා කිරීමට යම් වස්තුවක් ලබා දෙන්නැයි වැඳ වැටුණේ ය. එවේලේ ගං ඉවුරෙහි සම්බුදු සිරිපා සටහනක් තබා බුදුරජුන් නැවත වැඩම කළ සේක. ඒ සිරිපතුල දිය රළ පැමිණි විට වැසී යයි. රළ ගිය පසු විවෘත වේ.

සච්චභද්ද පර්වතය

ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ සච්චභද්ද පර්වතයට වැඩම කළ සේක. එහි වැඩම කොට සච්චභද්ද මහරහතන් වහන්සේට මේ පර්වතයේ ම වාසය කරමින්, තමන් අරහත් වීමට පෙර තාපසයෙකු ලෙස මිසදිටු වපුරවමින් මේ ප්‍රදේශයේ සිටි ඇත්තන් මිසදිටු කරමින් ඔවුන් ව අපාදුකට ඇද දැමීම නිසා ඔවුන් ව තෙරුවන් සරණේ පිහිටුවන්නැයි අවවාද කළ සේක. එසේ අවවාද කොට දෙව්රම වෙත වැඩම කිරීමට සූදානම් වීමේ දී සච්චභද්ද මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් වන්දනා කිරීමට යම් වස්තුවක් ඉල්වා සිටියහ. එවේලේ බුදුරජුන් එහි වූ විශාල ගණ පාෂාණයක් මත සිරිපා සටහනක් තබා දෙව්රම වෙත වැඩම කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ අපගේ ලක් දෙරණට තුන්වතාවක් ම වැඩම කළ සේක. පළමුව මහියංගණයටත්, දෙවනුව නාගදීපයටත් වැඩම කළ බුදුරජුන් ඒ දෙවතාවේ ම සිරිපා සටහන් පිහිටවූ බවක් සඳහන් නො වේ. එහෙත් තෙවන ලංකාගමනයේ දී කැලණියට වැඩම කළ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ ලංකාවේ ස්ථාන කිහිපයක සිරිපා සටහන් තැබූ සේක.

කැලණි ගං පතුලේ සිරිපා සටහන

භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමෙන් මහරහතන් වහන්සේලා පන්සියනමක් සමඟ කැලණියට වැඩම කළ සේක. පූජාවලියේ සඳහන්ව ඇති ආකාරයට නා රජුගේ ඇරයුමෙන් භාග්‍යවතුන් වහන්සේ කැලණි ගං පතුලේ සිරිපා සටහනක් තබා ඇත. ඒ ස්ථානය නිශ්චිතව ම සොයාගෙන නොමැති අතර කැලණි විහාරයට ආසන්නයේ ගං පතුලේ සිරිපා සටහන තබා ඇති බව සැලකේ.

සමනලගිර සිරිපා සටහන

නා රජුගේ ඇරයුමෙන් ලක්දිවට වැඩි බුදුරජුන් ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේලා නාරජු පිළිගැන්වූ දානය වළඳා සුමන සමන් දිව්‍යරාජයාගේ ඇරයුමෙන් සමනල කඳු මුදුනට වැඩම කළ සේක. එසේ වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දිව්‍යරාජයා විසින් තමන් හට වන්දනා කිරීමට දෙව් විමනේ සිරිපා සටහනක් තබන්නැයි ආරාධනා කළහ. එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැවසූ සේක.

“පින්වත් දෙවිඳුනි, මෙහි මා විසින් සිරිපා සටහනක් තැබුවහොත් සැදැහැතියන්ට බොහෝ වෙහෙස වී මේ කඳු මුදුන තරණය කරන්නට සිදු වේ. මේ සිරිපා සටහන වන්දනා කිරීමට පැමිණීම දුෂ්කර ය.”

එවේලෙහි සුමන සමන් දෙවිඳුන් මෙසේ පැවසුවේ ය.

“භාග්‍යවතුන් වහන්ස, සැදැහැවතුන් ව මම පුලුන් රොදක් අහසට නගින්නා සේ සිරිපා වන්දනාවට රැගෙන එන්නම්.”

එවේලෙහි බුදුරජුන් විසින් ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත තමන් වහන්සේගේ වම් සිරිපා සටහන තැබූ සේක. මේ ස්ථානයේ ම පෙර බුද්ධත්වයට පත් වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද සිරිපා සටහන් තබා ඇත. මේ බව අඹගමු සෙල් ලිපියෙන් ද තහවුරු වේ. තව ද භාග්‍යවතුන් වහන්සේ මෙහි සිරිපා සටහනක් තැබූ බව මහාවංශය, පූජාවලිය, සමන්තකූට වර්ණනාව වැනි පොත්වල ද සඳහන් වේ. පෙර රජ දරුවන් විසින් සිරිපාවේ ආරක්ෂාවට ගල් තලාවකින් සිරිපා සටහන වසා ඇත. වර්තමානයේ අපට දක්නට ඇත්තේ ඒ ගල් තලාව යි.

බුදු රජුන්ගේ සිරිපා සටහන උතුම් පාරිභෝගික චෛත්‍යයකි. ඒ උතුම් සිරිපා පද්මයන් අපටත් පුදන්නට ඇත්නම් කොතරම් අගනේ ද… බොහෝ දෙනාට සිරිපා කියූ පමණින් සිහියට නැගෙන්නේ සමනල කඳු මුදුනේ අප මුනිරජු පිහිටුවා වදාළ සිරිපා පද්මය යි. අහෝ ඒ සිරිපා කරුණාව කොතරම් සුන්දර ද…! තරුණ, මහලු, මැදි වයසේ පසුවන්නන් ශ්‍රද්ධාවෙන් සිරිපා වඳිත්. මේ එයට කාලය යි…! මේ සිරිපා වන්දනා සමය යි.

සෑම වර්ෂයක ම උඳුවප් පොහොය (දෙසැම්බර් පොහොය) දිනයෙන් ඇරඹෙන සිරිපා වන්දනා සමය වෙසක් පුර පසළොස්වක පොහොය දක්වා පැවැත්වේ. එහෙත් සමහර සැදැහැවතුන් අවාරයේ ද සිරිපා පුදන්නට යත්. ඔබටත් අප මුනිඳුන්ගේ සිරිපා පද්මය පිළිබඳ ව කරුණු දැනගෙන, හිත පහදවාගෙන සිරිපා වඳින්නට, පුදන්නට ඇත්නම්… පින් පුරා ගැනීමට ඇත්නම්… කොතරම් අගනේ ද! කඳු පාමුල සිට සිරිපා ගුණ කියැවෙන කවි කියමින්, තුන්සරණය කවි කියමින්, තුනුරුවනට ජීවිතය පුදමින්, සිරිපා පද්මයට ජීවිතය පුදමින් ඔබත් යන්නේ නම්… සුමන සමන් දෙවිඳු ඔබවත් සිනිඳු පුලුන් රොදක් අහසට රැගෙන යන්නා සේ සිරිපා පියුම වෙත රැගෙන යාවි. ඔබට අප මුනිරජුන්ගේ උත්තම සිරිපා පද්මයේ අනුහසින් සෙත් වේවා…!

සටහන – හර්ෂ නිරෝෂන්