අප හැමෝගෙම ජීවිත පිටුපස අසුන්දර කතාවක් ලියවී තිබේ. එයට අපි සංසාරය යැයි කියන්නෙමු. සැබැවින්ම, සසර යනු සත්වයාගේ දුක්ඛිත ම චාරිකාවයි. එහි වැඩිපුරම ඇත්තේ දුක මිස සැපත නම් නොවේ. මෙකල මිනිසුන් උජාරුවට උදම් අනමින් සිටියාට මේ සසර ගමනේ කොයිකාගෙත් මහගෙදර වූයේ සතර අපාය යි. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය සත්‍ය එයයි. ඉතාමත් කලාතුරකින් මනුලොවට ගොඩබැස්ස මිනිසා වහසිබස් දොඩන්නේ සදාකාලිකවම මිනිසුන් වූ සෙයිනි. යළි යළිත් එසේ වේවි යැයි ද සිතමිනි. නමුත්, එය දහවල දකින සිහිනයක් වැනි ය.

සියක් වසරකට වරක් මුහුදු පතුලේ සිට මතුපිටට එන කණ කැස්බෑවෙක් සිටියි. වියදණ්ඩක් මුහුදේ පාවෙමින් තිබේ. එය දකුණින් සුළං හමන විට උතුරට ගසාගෙන යන අතර උතුරෙන් සුළං හමන විට දකුණට ගසාගෙන යයි. ඔය අයුරින් සිව් දිශාවට පාවෙමින් යන විය ගසේ සිදුර, සියක් වසරකට වරක් මුහුදු පතුලේ සිට උඩට එන එක ඇසක් පමණක් පෙනෙන කැස්බෑවාගේ පෙනෙන එකම එක ඇසට යා වී ඒ සිදුරෙන් අහස දකින්නට ලැබීම මොනතරම් දුර්ලභ සිදුවීමක් ද? එය පවා සුළු කලකින් සිදුවිය හැකි නමුත් සාංසාරික සත්වයාට මිනිසත් බව ලැබීම එයටත් වඩා අතිශයින්ම දුර්ලභය. එසේම, මිය පරලොව යන මිනිසුන්ගෙන් නැවත මිනිසකු බවට පත්ව උපදින්නේ නියසිලට ගත් පස් ස්වල්පයක් පමණ ප්‍රමාණයක් පමණක් බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එසේ වූ කල බොරු වහසි බස් දෙඩීමෙන් ඇති ඵලය කිම? ‘අප මිනිසුන්’ යැයි කියමින් උඩඟු වන්නට, ආඩම්බර වන්නට දෙයක් නැත්තේ ය. මේ ජීවිතය තත්පර කිහිපයකින් අවසන් වී සතර අපායට වැටෙන්නට ගත වන්නේ ඇසිපිය හෙළන නිමේෂයක් පමණි. මනුලොවට පැමිණි අපට ධනවතුන්, මහා සැප සම්පත් විඳින අය දැක දුකටත්, සන්ත්‍රාසයටත් පත් වන්නට හේතුවක් නැත. මන්ද, මේ සසරේ අප ද ඕනෑ තරම් එලෙස සිටි නිසාවෙනි. හිඟන්නන්, කුලීනයන්, දුගී දුප්පතුන් දැක විහිළු කරන්නට, හෙළාදකින්න, අපහාස කරන්නට පෙර සිතන්න, ඔබ ද ඔය අයුරින් ගත කළ ජීවිත අප්‍රමාණය කියා. අනෙක් කරුණ නම්, අප හිනාවෙන්නේ අපගේ ම සංසාරගත ඥාති මිත්‍රාදීන්ට ම වීමය. සසර යනු එවැන්නකි. සමහරවිට ඒ අය අතර පෙර ජීවිතේ මව, පියා, සහෝදරයන්, සැමියා, බිරිඳ සිටින්නට පුළුවන. නොයෙක් අඩුපාඩු ඇති මිනිසුන්, සත්වයන් දැක තමන් උසස්කොට සලකන්නට හෝ ඔවුන්ට ඔච්චම් කරන්නට පෙර තමා ගැන ම සිතන්න. අති දීර්ඝ සංසාර ගමනේ ඔය හැම චරිතයකටම අප කවුරුත් පණ දුන් බව සත්‍යයකි.

සංසාරය නැමති රඟමඬලේ අපි කවුරුත් එකී නොකී සෑම චරිතයක්ම රඟ දැක්වූවෝ ම වෙමු. එය ඉදිරියටද කරන්නට සිදුවන්නේ ය. නමුත්, ඒ කවර චරිතයදැයි කියන්නට නොහැකිය. එලෙසින් කුමන චරිතයක් ලැබුණත් ලැබෙනුයේ තමාගේම ක්‍රියාව නිසාවෙනි. සිත කය වචනය මෙහෙයවා කළ ක්‍රියාවට අනුරූපව තමන්ගේ චරිතය තමා විසින්ම නිර්මාණය කර ගනියි. මෙකලත් යම් චරිතයක් සංසාර රඟමඬලේ රඟ දක්වනවා ද ඒ හැමෝටම ලැබී ඇත්තේ තමාම කලින් සකස් කර ගත්තකි. කිසිවෙකුට ඒ චරිතය ප්‍රතික්ෂේප කොට වෙනකක් ලබාගත නොහැකිය. හේතුව ඒ සියල්ලම හේතුඵල දහමට අයිති නිසාත්, අනාත්ම නිසාත් ය.

භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල හරි අපූරුවට පෙන්වා දුන් සේක. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකට හැර මෙය කිසිවෙකුට සොයා ගන්නට තබා සිතාගන්නටවත් නොහැකිය. විග්‍රහ කරන්නට නොහැකිය. හේතුව එය සාමාන්‍ය මිනිසාට ගෝචර නොවන නිසාවෙනි. මේ අසිරිමත් විග්‍රහය ඉදිරිපත් කරන්නේ ‘කම්ම’ හා ‘න තුම්හ’ සූත්‍ර දේශනා ඇසුරෙන්ය. එහි දී භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් දේශනා කළ සේක.

“නායං භික්ඛවේ කායෝ තුම්හාකං. නාපි අඤ්ඤේසං” “පින්වත් මහණෙනි මේ කය ඔබගේ නොවෙයි. වෙන කෙනෙකුගේ ද නොවේ.” ලෝකයේ වෙන කිසිවකු මේ අයුරින් පවසා ඇති බවක් ඔබ අසා තිබේ ද? කෙසේනම් අසන්නද? සියල්ලෝම මේ කය ‘මගේ මගේ’ කියා අල්ලාගෙන සිටිනවා නොවේද? එසේනම් මේ කය ලැබුණේ කෙසේද? එයට පිළිතුර මෙයයි. “පුරාණමිදං භික්ඛවේ කම්මං” “පින්වත් මහණෙනි, මෙය පැරණි කර්මයකි.” ‘පැරණි කර්මය’ යනු කුමක්දැයි භාග්‍යවතුන් වහන්සේ කම්ම සූත්‍රයේ දී මේ අයුරින් පෙන්වා දුන් සේක.

“කතමඤ්ච භික්ඛවේ පුරාණං කම්මං” “පින්වත් මහණෙනි, පැරණි කර්මය යනු මොකක්ද?”

“චක්ඛුං භික්ඛවේ පුරාණං කම්මං අභිසංඛතං අභිසඤ්චේතයිතං වේදනීයං දට්ඨබ්බං” “පින්වත් මහණෙනි, ඇස යනු පැරණි කර්මයක්. හේතූන්ගෙන් සකස් වුණ, චේතනාවකින් සකස් වුණ, විඳීමකින් දැනගත යුතු දෙයක්.” මේ අයුරින් ම භාග්‍යවතුන් වහන්සේ කන, නාසය, දිව, කය සහ මනස යන ආයතන ගැන ද පෙන්වා දුන් සේක. අපගේ ජීවිතය යනු, ඉපදීම යනු මේ ආයතන සය ලැබීමයි. පුද්ගලයා යනු මේ සයේ ම එකතුවයි. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව මොනතරම් සුන්දර ද? කෙතරම් ආශ්චර්යයක් ද? මෙසේ ජීවිතය ගැන විග්‍රහ කිරීම අසිරිමත් නොවේ ද?

එසේ නම් මේ ආයතන සය තිරිසන් ලෝකයේ උපන්නත්, මනුලොව, දෙව්ලොව, බඹලොව කොහේ උපන්නත්, පැරණි කර්මයක දායාදයකි. දුප්පත් – පොහොසත්, උගත් – නූගත්, කුලවත් – කුලහීන වශයෙන් කොතැනක උපන්නත් එය පැරණි කර්මයක ප්‍රතිඵලයකි. අපේ ජීවිතය පමණක් නොවේ; අපට ලැබෙන සැප සම්පත් සියල්ලම ද අප වටා ඇති අනෙකුත් බොහෝ දේ ද අපට ලැබුණේ පැරණි කර්මයන් නිසාමය. කර්මය යනු අප කවුරුත් හොඳින් අසා ඇති දෙයකි. තථාගතයන් වහන්සේ වදාළේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා.” “පින්වත් මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. චේතනා පහළ කොට කයෙන් වචනයෙන් මනසින් කර්ම කරයි.” යනුවෙනි. අප ජීවිතයේ අත්දකින බොහෝ දේ පිළිබඳව හොඳින් තේරුම් ගත හැකි දේශනාවකි, ‘චූළ කම්මවිභංග සූත්‍රය’. එහි සඳහන් වන්නේ අපට මේ ඇස කන නාසය ආදී ආයතන සය සමඟ ලැබෙන ලස්සන – අවලස්සන, දුප්පත් – පොහොසත්, නීච කුල – උසස් කුල, මහේශාක්‍ය – අල්පේශාක්‍ය, දීර්ඝායුෂ – අල්පායුෂ, දුෂ්ප්‍රාඥ – ප්‍රඥාවන්ත බව ආදී සියල්ල ද සකස් වන්නේ අප ම සසරේ කළ කී දේට අනුව බවයි.

මේ සියල්ල අපට සරලව තේරුම් ගත හැකි අපූරු සිදුවීමක් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින කාලයේ ම සිදුවිය. මෙම සිදුවීමට මුල් වූයේ ගෞතම බුදු සසුනේ අග්‍ර උපස්ථායිකාව වූ විශාඛාව ය. විශාඛා යනු සාමාන්‍ය කෙනෙක් නොවේ. ගෞතම සසුනේ අග්‍ර උපස්ථායිකාව වන්නට කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ තැනැත්තියකි. එසේම, වයස අවුරුදු හතේ දී ම චතුරාර්ය සත්‍යය ධර්මයේ සත්‍ය ඤාණයට පැමිණි ප්‍රඥාවන්ත තැනැත්තියකි. ඇය සෝවාන් ඵලයට පත් වූ කෙනෙකු වුව ද ඇය විවාහ කර දුන්නේ තෙරුවන් සරණ ගිය පවුලකට නොවේ. මිසදිටු පවුලකට ය. මෙය සිදු වූයේ ඇයගේ විවාහය සිදු වූ අලුත ය.

දිනක් ඇගේ මාමණ්ඩිය වන මිගාර සිටුතුමා උදෑසනම දිය නොමුසු ප්‍රණීත කිරිබතක් අනුභව කරමින් සිටියේ ය. ඒ මොහොතේ ස්වාමීන් වහන්සේනමක් පිඬුසිඟා වැඩ දොරටුව අබියස සිටි සේක. සිටුතුමා සිටි තැනට එය ඉතා හොඳින් දර්ශනය විය. නමුත් ඔහු එය නොදැක්කා සේ තම ආහාරය අනුභව කරමින් සිටියේය. මේ අවස්ථාවේ එතැන සිටුතුමාට උපස්ථාන කරමින් විශාඛා ද හුන්නා ය. ඇය ස්වාමීන් වහන්සේනමක් වැඩම කළ අයුරුත්, තම මාමණ්ඩිය ඒ බව නොදැක්කා සේ ආහාර අනුභව කරමින් සිටින අයුරුත් දැක මොහොතක් නිහඬව සිටියා ය. පසුව ඈ මිගාර සිටුතුමාටත් ඇසෙන සේ, ස්වාමීන් වහන්සේට “අනේ ස්වාමීන් වහන්ස, වෙනත් නිවසකට වඩින සේක්වා. අද අපගේ නිවසින් කිසිවක් ලැබෙන්නේ නැත. අපගේ මාමණ්ඩිය අනුභව කරන්නේ පරණ ආහාරයකි.” කියා පැවසුවා ය. ඒ වචනයෙන් භික්ෂුව බැහැරට වැඩි නමුත් මිගාර සිටුතුමා කෝපයට පත් විය. අලුත ගෙනා ලේලිය තමා පිළුණු ආහාර අනුභව කළ බවට අපහාස කළා යැයි මහත් වූ ප්‍රශ්නයක් නිවසේ උද්ගත විය. ඇයව ආපසු යවන්නට ද හේ කටයුතු සූදානම් කළේ ය. නමුත්, විශාඛා ප්‍රඥාවන්ත තැනැත්තියකි. ඒ අවස්ථාවේ ඇය ස්වකිීය නිර්දෝෂී බව ඔප්පු කරන්නට කටයුතු සූදානම් කළා ය.

තමා නිදොස් බව දක්වමින් විශාඛාව දුන් පිළිතුරු මෙකල අප කාටත් ඉතාම අගනේ ය. ඇය සඳහන් කළේ තමන් සිටුතුමාට අපහාස නොකළ බවත්, පිළුණු ආහාර නොව පැරණි ආහාර අනුභව කරනා බව කී බවත්ය. එසේ ‘පැරණි ආහාර’ යැයි කීවේ කුමන අර්ථයෙන් ද? මේ සිටුතුමා අද සිටුවරයෙක් බවට පත්ව සිටින්නේ පෙර ආත්මවල ඉතා හොඳින් දන්පැන් පූජා කොට ඒ පින් බලයෙන් ය. එලෙසින් පෙර ජීවිතවල සිදුකළ යහපත් කර්මයන්ගේ විපාක වශයෙන් ලද දෙයක් ය අද මෙසේ අනුභව කරන්නේ.

‘පැරණි ආහාර’ කියා කීවේ ඒවාට ය. නමුත්, ඔහු මෙකල දන් පැන් නොදෙයි. අලුත් දෙයක් රැස් කර නොගනියි. ඇගේ පිළිතුරෙන් මිගාර සිටුතුමාගේ නුවණැස විවර විය. ඔහුට සියල්ල තේරුම් ගියේ ය. ඒ මොහොතේ විශාඛාවගේ තවත් වටිනා ගුණකථනයක් අසන්නට ලැබුණේ ය. ඒ ඇයගේ පියාණන් වූ ධනංජය සිටුතුමා ඇයගේ විවාහයට පෙරාතුව ලබා දුන් දස අවවාදයන් ගැන ය. මේ සිදුවීමෙන් පසු මිගාර සිටුතුමා ඇතුළු පවුලේ සියලු දෙනාම තෙරුවන් සරණ ගියහ. විශාඛාව ‘මිගාර මාතා’ නමින් හැඳින්වූයේ මේ සිදුවීමෙන් පසුව ය.

මේ කථාවෙන් අපටත් යමක් තේරුම් ගන්නට අවකාශය ලැබේ. ලිපියේ මුල සිටම පෙන්වා දුන් පරිදි අපගේ මේ ජීවිතය පැරණි කර්මයක් යන්න මෙයින් ඉතා හොඳින් ඉස්මතු වෙයි. එසේම අප කවුරුත් පැරණි ආහාර භුක්ති විඳින අය බව ද තේරුම් ගත යුතු නොවේද? අප එකිනෙකාට වෙනස් වූ ආහාර අනුභව කරන්නට සිදුව තිබෙන්නේ එකිනෙකා සකස් කරගත් දෙයට අනුරූපව ය. පරණ ආහාර ටික ඉවර වන්නේ අප කවුරුත් අලුත් ආහාර සම්පාදනය කර ගන්නා අතරේ ය. එසේ සකසා ගන්නේ යහපත පිණිස පවතින දෙයක් නොවුණහොත් නිරිපල්ලන්ගේ ආහාර අනුභව කරන්නට හෝ සෙම, සොටු, අසූචි වෙනුවෙන් යොදුන් ගණන් දුර යන්නට හෝ ඒවා වෙනුවෙන් පොර බදන්නට හෝ සිදුවන බව නොඅනුමාන ය.

භාග්‍යවතුන් වහන්සේ අළුත් කර්ම පිළිබඳවද කම්ම සූත්‍රයේ දී පෙන්වා දුන් සේක.

“කතමඤ්ච භික්ඛවේ නවං කම්මං” “පින්වත් මහණෙනි, අළුත් කර්මය යනු කුමක්ද?”

“යං ඛෝ භික්ඛවේ ඒතරහි කම්මං කරෝති කායේන වාචාය මනසා, ඉදං වුච්චති භික්ඛවේ, නවං කම්මං” “පින්වත් මහණෙනි, දැන් කයින්, වචනයෙන්, මනසින් යම් කර්මයක් කරනවා නම්, පින්වත් මහණෙනි, අලුත් කර්මය කියලා කියන්නේ මේකටයි.” අපගේ මේ ජීවිතේ පැරණි කර්මයක් නම්, ඊළඟ ජීවිතය සකසා දෙන්නේ මේ ජීවිතයේ අප කළ කී දෑ සහ මේ ජීවිතයේ විපාක නොදී ඉතිරි වූ අපරාපරියවේදනීය කර්ම පදනම් කරගෙන ය. පෙර කර ඇති කර්ම ගැන අපට දැනගන්නට හැකියාවක් නැත. නමුත් කුමක් කර තිබුණත් දැන් එය වෙනස් කරන්නට ද ඉඩ හසර නොමැත. එහෙත් වර්තමානයේ අප කරන්නා වූ කර්ම අනාගත සැපය අරමුණු කරගෙන කරන්නට අපට පුළුවන. අනාගතයේ දුකට අකමැති නම්, මෙයටත් වඩා හොඳ ජීවිතයක් අවශ්‍ය නම්, දෙවියන් අතරට යන්නට කැමති නම් ඒ ආකාරයේ අළුත් කර්ම රැස් කරන්නටත් අපට අවස්ථාව උදාවී තිබේ. එය තිබෙන්නේ තම තමන්ගේ අත විනා අනෙකෙකුගේ අත නොවේ. අනාගත ජීවිතයේ සාර්ථක අසාර්ථක භාවය, යහපත් අයහපත් භාවය ඇතිකර ගැනීම ඔබට ම භාරය.

බුද්ධ ශාසනයක් මුණගැසීම හේතුවෙන් අපට තවත් අති දුර්ලභ අවස්ථාවක් ලැබී තිබේ. එනම් සියලු කර්ම නිරුද්ධ කිරීමයි. යම් දවසක කර්ම නිරුද්ධ වී යන්නේ නම් සියලු දුකෙන්ම නිදහස් වන්නේය. ඒ සඳහා ඇති එකම මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. භවය වශයෙන් හඳුන්වන්නේ විපාක පිණිස කර්ම සකස් වීමයි. ඉතින් විපාක පිණිස කර්ම නැතිනම් භවයක් නැත්තේ ය. භවය නැති තැන යළි ඉපදීමක් ද නැත. නූපන් සත්වයාට ජරා මරණ, ශෝක, පරිදේව ආදී මේ කිසිවක් නැත්තේමය. බුදු සසුනකින් බැහැර මේ උතුම් මඟ දකින්නට ද නැත්තේ ය.

එසේ නම්, තම තමන්ගේ කැමැත්තට අනුව කැමති ආකාරයෙන් කර්ම රැස්කර ගත හැකි ය. යහපතට කැමති කෙනාට එලෙසත්, එයට අකමැති කෙනාට ඒ අයුරිනුත්, කර්ම නිරුද්ධ කර ගැනීමට කැමැති අය හට එලෙසිනුත් කටයුතු සම්පාදනය කරගත හැකිය. සියල්ලම තම තමන්ගේ කැමැත්ත මත ය.

සචේ භායථ දුක්ඛස්ස – සචේ වෝ දුක්ඛමප්පියං
මා කත්ථ පාපකං කම්මං – ආවී වා යදි වා රහෝ

ඉදින් දුකට භය නම්, ඉදින් ඔබට දුක අප්‍රිය නම්, එළිපිට වේවා, රහසේ වේවා පව්කම් නම් කරන්න එපා.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.