‘‘මිනිසාගේ මනසට සහ සිතිවිලි ධාරාවට බලපෑම් කිරීමේ බලය කලාව සතුව තිබේ. මනුෂ්‍ය වර්ගයාගේ සුබසෙත සඳහාත්, මිනිස් ආත්මයන් තුළ සුන්දරත්වයේ ලොවක් නිමැවීම සඳහාත් මේ බලපෑම් කිරීමේ හැකියාව ප‍්‍රයෝජනයට ගන්නා නිර්මාණකරුවන්ට, ‘කලාකරුවෙකු’ යැයි කීමේ අයිතිය හිමි බව මම සිතමි.”

කලාකරුවෙකු යනු කවුරුන් ද? යන පැනයට මේ සාර්ථක නිර්වචනය ලබා දුන්නේ සෝවියට් දේශයේ ප‍්‍රකට ගත්කරුවෙකු වූ මිහායිල් ෂෝලහව් ය. ඔහුගේ මේ ප‍්‍රකාශයට මා ගරු කරන්නේ ‘කලාව යනු මිනිස් සිත් සතන් සුභාවිතව ආමන්ත‍්‍රණය කළ හැකි සොඳුරුතම සන්නිවේදන මාධ්‍ය යි’ යන්න මගේ ද විශ්වාසය වන නිසා ය.

සැබැවින් ම කලාව කුමක් උදෙසා ද?

එය කිසිසේත් ම හුදෙක් කලාව උදෙසා නම් නො වේ; කලාව මිනිසුන් උදෙසා ය, යහපත් වූ මානව සමාජයක් බිහි කිරීම උදෙසා ය.

කලාව, කලාවේ පරාසයන් තුළ ම පමණක් රැඳී පවතින්නේ නම්, සියලූ කලා නිර්මාණ තුළින් සැබෑ ජීවිත තුළ පවතින සුන්දර ලෝකය පිළිබිඹු විය යුතු ය. එහෙත් කලාව කර්මාන්තයක් බවට පත් වූ පසු යථාර්ථවාදී බවෙන් බොහෝ එපිටට ගිය කල්පිත නිර්මාණයක් බිහිවීම වළක්වන්නට බැරි ය. එය මහත් අවාසනාවකි. එහෙත් ඛේදනීය ම දෙය මෙය නො වේ; ඒ අභාග්‍යය නම් සැබෑ ජීවන සන්දර්භයෙන් නො පිටට ගමන් ගත් මේ දුර්දාන්ත නිර්මාණයන් ‘සැබෑව’ ලෙස පිළිගන්නා පරපුරක බිහි වීමයි.

එවන් සමාජ ආපදාවක් කරා ශී‍්‍ර ලාංකේය මාතෘ භූමිය තල්ලූ කර හැරෙන මඟ විවර කළ, කලාවේ දුකුළාවක් හෙවත් නො මනා කොට කළ දෙයක් ලෙස රූපවාහිනී මෙගා නාට්‍යය හැඳින්විය යුතු ය. අප මේ සටහන් තබන්නේ මෙගා රැල්ලේ පා වෙන්නවුන්ට පහර පිට පහර ගසන්නට නො වේ; මේ රැල්ලෙන් පහර වැදුණ අපේ සංස්කෘතික හර පද්ධතිය අප කෙසේ හෝ රැක ගත යුතු ය, අපේ අනාගත පරම්පරාව සංස්කෘතික සෝදාපාළුවක ව්‍යසනයට ලක් වූ අසරණයන් බවට පත්වීම වැළැක්විය යුතු ය. අපේ මේ ප‍්‍රයත්නය ඒ වෙනුවෙනි.

මෙගා නාට්‍යයන් නිෂ්පාදනය වීම ඇරඹුණේ ටෙලි නාට්‍ය කලාව, කර්මාන්තයක් දක්වා අපගමනය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ය. කර්මාන්තයක් පදනම් වන්නේ වාණිජ පරමාර්ථ සාධනය කර ගැනීම මත ය. කලාව උපදින්නේ අවශ්‍යතාවය අනුව ය. එහෙත් ධනයත් සමඟ එය වැනසී යයි. කලාවක් විය යුතු දෙය කර්මාන්තයක් බවට පත්කර ගත් පසු ඉන් ඉටු විය යුතු සමාජ පරමාර්ථ හා වගකීම් නිසි ලෙස හඳුනා ගැනීමක් සිදු වන්නේ නැත. මේ මෙගා රැල්ල හරහා අප මුහුණ දී සිටින අවාසනාව මෙයයි.

ලාංකේය මෙගා නාට්‍යයන්ගෙන් වැඩි ප‍්‍රමාණයක නිවසේ තාත්තා විහිළුකාරයෙකු හෙවත් ජෝකර් කෙනෙකු බවට පත් කර ඇත. ඉතිරි ඒවායේ බිරිඳ හෝ දරුවන් හෝ නො තකා හරින, හුදෙක් තම මතයේ ම එල්බ සිටිනා දරදඬු පුද්ගලයෙකු බවට තාත්තා පත්කර ඇත. ඒ ‘මෙගා තාත්තා’ ලාංකේය සමාජයේ අක්මුල් බැස ගත් ‘අපේ තාත්තා’ව කිසි ලෙසකින්වත් නිරූපණය කරන්නේ නැත.

මහා වනස්පතියෙකු මෙන් පවුලට රැකවල් සලසන ‘අපේ තාත්තා’ එහි නැත; ආවේගශීලි නො වන, දූරදර්ශීව හා බුද්ධිමත්ව ක‍්‍රියා කරන ‘අපේ තාත්තා’ එහි නැත; නිහඬ දරු සෙනෙහසකින් ඔපවත් වූ උත්තුංග ජීවිතයක් හිමි ‘අපේ තාත්තා’ එහි නැත. ගුණ වශයෙන් පියවරුන් හඳුනා ගත් දරු පරම්පරාවන් නම් මේ මායාකාරී විකෘති මවා පෑම ප‍්‍රතික්ෂේප කරනු නිසැක ය. එහෙත් බහුතරය වූ අනෙක් දරුවන්?????

රූපවාහිනී තිරය තුළ ජෝකර්වරයෙකු වූ තාත්තාව කිසි ලෙසකින් මායිම් නො කරන; තම තමන්ගේ හිතු මනාපයේ ජීවත් වන දරු පිරිසක් මිස, තාත්තා කෙරෙහි පවත්නා නො සිඳි බිය සම්ප‍්‍රයුක්ත ගෞරවයෙන් යුතුව හැසිරෙන සුජාත දරුවන් මේ අවජාතක නාටකයන්හි නැත. ඒ මෙගා පුස්සන්, වීරයන් යැයි සලකා අනුගමනය කරන්නට පෙළඹෙන ‘අපේ දරුවන්’ ද නිරායාසයෙන් ම ගෙදර තාත්තාව විහිළුවක් කර ගනී. ගෘහ මූලිකයා වටා ගොඩ නැගුණ උත්තරීතර පවුල් සංස්කෘතියේ බිඳ වැටීම එයින් ඇරඹේ.

තාත්තා ගෙදරට විහිළු සපයන්නෙකු බවට පත් කරවන මේ නාට්‍යයන් සෑම විටක ම පාහේ අම්මාව ගෙන හැර දක්වන්නේ දරුවන්ගේ ගමනට අකුල් හෙළන, දූ දරුවන්ගේ පේ‍්‍රමයන්ට වළ කපන, අනවින – කොඩිවින කරනා මහා විරුද්ධවාදිනියක ලෙස ය. එසේ ම ඇය නිරන්තරයෙන් ජේත්තුවට හඳින පළඳින කෙනෙකි, හොර රහසේ කෙරෙන කටයුතු බොහොමයක් ඇති තැනැත්තියකි.

ගත ලේ කිරට හැරවූ දාරක ස්නේහයෙන් යුතුව, ඇට – ඇට මිදුළු තෙක් විනිවිද ගිය උත්තරීතර මාතෘත්වයේ අපමණ දයාවෙන් යුතුව දරුවන් පෝෂණය කළ ‘අපේ අම්මා’ එහි නැත; තම දිවි දෙවැනි කොටගෙන, දරුවන්ගේ යහපත පළමු තැන්හි ලා සලකන ‘අපේ අම්මා’ එහි නැත; මහත් වූ පති භක්තියකින් යුතු වූ ‘අපේ අම්මා’ එහි නැත; ගේ දොර කටයුතු මැනැවින් නඩත්තු කරන, දරුවන්ට ද සැමියාට ද සෑමවිට ම විවෘත වන, පවුලේ සියල්ලන්ගේ හොඳම සවන් දෙන්නිය වූ ‘අපේ අම්මා’ එහි නැත. ඒ වෙනුවට සිටින්නේ සැමියා හෝ දරුවන් ගැන මාතෘ සෙනෙහසින් නො සිතන ජේත්තුකාර මවුවරුන් ය. මවක සතු විය යුතු ගුණ දම් ඇති වගක් පෙනෙන්නටවත් නැති මවුවරුන් ය.

තිරයේ සිටින ඒ මෙගා අම්මලා ඉදිරිපිට, පණ දෙවැනි කොට අපට සලකන අපේ අම්මලා අවතක්සේරුවට ලක් කරන දරු පරපුරක් බිහි වන්නේ ද කිසිදු ආයාසයකින් තොරව ය. තිරයේ පෙනෙන හැඩකාර, ජේත්තුකාර අම්මලා මෙන් ‘අපේ අම්මලා’ ලස්සන නැත. එය දරුවන්ට හීනමානයකි. අනෙක් අතට අපේ අම්මා ද මේ මෙගා අම්මා මෙන් ම දරුවන්ට වින කටින, බාධා පමුණුවන, විවෘතව ගනුදෙනු කළ නො හැකි අයෙක් ම ය යන මුළාව දරුවන් තුළ මුල් බැස ගනී. දරුවන් තම මවට හොරෙන් කටයුතු කිරීමට පෙළඹෙන්නේ එවිට ය. නිවස තුළ පැවතිය යුතු විවෘත භාවයත්, මාපිය – දූ දරු සබඳතාවයත් මුලින් ම ඉදිරී ගොස් අයාලේ ගිය සහ රහසිගත ජීවන පැවැත්මක් ද මවුපියන් කෙරෙහි වූ අවඥ සහගත හැසිරීමක් ද සහිත දරුවන් මිස යහගුණයෙන් පිරි මෙගා දරුවන් ඒ මෙගා රැල්ලේ නැති නිසා අපට අනාගතය තුළ ද බලාපොරොත්තු වන්නට ඇත්තේ එවන් නුහුගුණ පිරී ගත් පරපුරක ආගමනය ම ය.

අනෙක් අතට කාමය, විලාසිතා හා රස්තියාදුකාර විහිළු වෙළඳාම් කිරීම තුළින් පේ‍්‍රක්ෂක නෙත් ඇද බැඳ ගන්නා තැනකට මේ මෙගා නාට්‍යකරුවන් පත් වී ඇත. විකිණීමට පහසු කාමය ඔවුහු අමු අමුවේ ම විකුණති. මෙතුළින් සමාජ සදාචාරය බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙන බව ඔවුන් වටහා ගන්නේ නැත. වැටහුණ ද රුපියල් ශත මත සිදු කෙරෙන මේ ව්‍යාපාරයේ ලාභදායි ඉපැයීමට මුල් වන්නේ මේ කාම වෙන්දේසිය බව දන්නා ඔවුහු; මෙලොව – පරලොව ගැන අන්ධ වූ නෙත් ලද ඔවුහු; එයින් ඉවත් වන්නේ නැත.

ලාංකේය මෙගා රැල්ලට මුල පිරූ ඉන්දීය මෙගා රැල්ල ගැන අපට අමතක නැත. එදා වේල යාන්තමින් සරි කර ගත්තවුන් පවා හත අට වෙද්දී රූප පෙට්ටිය වට කර ගත්තේ තමන්ගේ කුසගින්දරට වඩා දැවෙන ප‍්‍රශ්න වූ ශාන්තිගේ, ප‍්‍රගතිගේ, ප‍්‍රවීණාගේ ප‍්‍රශ්නවලට කන් දෙන්නට ය. තම සමීපතමයන්ගේ පීඩාවන් අභියස කඳුලක් නො හෙළු නෙත්, මෙගා නාටිකාංගනාවන්ගේ රංගනය ඉදිරිපිට කඳුළු ගංගා හෙළන්නට වූහ. එයට කිව යුත්තේ ‘සංවේදී බව’ කියා නො වේ; එතැන ඇත්තේ මායාවෙන් මිදීමේ නො හැකියාවයි, මවා පෑමට වඩා සැබෑව වෙනස් බව හඳුනා ගැනීමේ නො හැකියාවයි.

ඒ බොහෝ ඉන්දියානු නාට්‍යයන් දුගී ඉන්දියානුවන්ට පෙන්වූයේ ධනවත් පවුල්වල මහරාජාවරුන්ගේ කථා ය. ඉන් සමාජයට ඉන්දියාවේ සැබෑ දිළිඳු මුහුණුවර සඟවා තැබුවා පමණක් නො ව, මිනිසුන්ට එවන් කාමභෝගී ජීවිත ලබා ගැනීමට උවමනා වන, කිසි දිනෙක සැබෑ නො වන සිහිනයක් ද ලබා දුණි. අවසානයේ ඉන්දියාවේ සිදු වූයේ හොරකම් වැඩි වීම ය, මංකොල්ල කෑම් ශීඝ‍්‍රයෙන් ඉහළ යෑම ය, සමාජ අපචාර හා දූෂණ බහුල වීම ය.

ඉන්දියාවෙන් ගුරුහරුකම් ලද ලංකාවේ ද තත්ත්වය මෙයට නො දෙවෙනි ය. අද පෙන්වන මෙගා නාට්‍යයන්ගෙන් ලාංකේය පොදු ජන ජීවිතය නියෝජනය වන්නේ කීයෙන් කීයක ද? දුගී දුප්පත් සාමාන්‍ය ජනතාව පෙනී සිටින්නේ කීයෙන් කීයක ද? ඒ සැබෑ ශී‍්‍ර ලාංකේය ජීවන රටාවන් මෙගා තිරයේ පණ නැගෙන්නේ අල්ප වශයෙනි. යම් තරමක හෝ ඉහළ මට්ටමකින් ඒ සාමාන්‍ය ජනයා නියෝජනය වූව ද ඒවායේ ද පෙන්වන්නේ ම ඔවුන්ට ඇති එක ම, සදාකාලික, දැවෙන ප‍්‍රශ්නය පෙම් පලහිලව් පමණක් ම වන බව ය. මෙය කෙතරම් අවාසනාවක් ද? තත්කාලීන ජන සමාජය හා ඔවුන් ගෙන හැර පෙන්වන දෙය අතර කෙතරම් පරතරයක් පවතිනවා ද?

මල් මල් චීත්ත ගවුමකින් සැරසී ගත් පමණින් ගැහැනියකගේ අහිංසක බව පෙන්විය නො හැකි ය. එය හුදු සංකේතයක් හෙවත් සිම්බල් එකක් බවට පත් කොටගෙන සරල, අහිංසක ගැහැනු දැරිවියන් පෙන්වන්නට යෑම තවමත් ජීවමාන අව්‍යාජ ගැමි සංස්කෘතියට කරන අපහාසයකි. සිම්බල් තුළින් ගුණධර්ම මවා පෙන්විය යුතු නැත. ඒවා ජීවිත තුළින් පෙනී යා යුතු දේවල් ය.

මේ නාටකයන් ‘මෙගා’ වීම නිසාවෙන් ප‍්‍රශ්නය හා විසඳුම අතර ඇති කාල ප‍්‍රාන්තරය ද ඉතා දුර ය. පටන් ගත් ප‍්‍රශ්නය එන්න එන්න ම ඔඩු දුවනවා මිසක ලෙහෙන්නේ නැත. ඒ නිසාවෙන් මේ නාට්‍ය බලනා උදවියගේ සිත් බොහෝ කාලයක් පුරාවට සැකසෙන්නේ අර්බුද දකිනා, ඒවායේ එල්බ සිටිනා විඤ්ඤණයකට අනුව ය. සසර ගමන කෙරෙහි විඤ්ඤණයේ බලපෑම දන්නා අයෙකුට නම් අර්බුදයන්ට අනුව දීර්ඝ කාලයක් සකස් වන විඤ්ඤණය අර්බුද සහිත උපතක් කරා ම යොමුවන බව අමුතුවෙන් පහදා දිය යුතු නැත. එහෙත් බුදුබණ පදයක් ඇසෙන විට චැනල් එක මාරු කරනා, මෙගා විගඩම දකින්නට අන් සියලූ වැඩ පසෙක ලා රූප පෙට්ටියට අරක් ගන්නා මෙගා ආතුරයන්ට නම් මෙය නො කියා ම බැරි ය.

ප‍්‍රශ්නය ඇත්තේ නාට්‍යයන් ‘මෙගා’ වීම තුළ නො වේ. එයින් පෙන්වනු ලබන දෙය තුළ ය. සත්‍ය වසන් කරනු ලබන්නේ නම්, මුළාව ඇති කරනු ලබන්නේ නම්, අත්හැරිය යුතු කාමයන් අල්වා ගැනීමට පොළඹවනු ලබන්නේ නම්……. මෙගා නමින් මේ සිදු කෙරෙන ඩෙඟා නැටීම අප අනුමත කළ යුතු ද? මෙගා රැල්ල තුළ අවසානයේ සිදු වූ එකම දෙය එකී ජනප‍්‍රියත්වය දේශපාලන තුරුම්පුවක් බවට පත් වීම හා ඒ කථා මාලාවන් තුළ පෙන්වූ අසාර්ථක පවුල් ජීවිත ඇත්තවුන් බවට බොහෝ නළු නිළියන්ගේ ජීවිත ද පරිවර්තනය වීම ය. මැවූ කථාවේ හා සැබෑ කථාවේ සමානකම් ඉස්මතු වූයේ ද ඇතැම් විට දීර්ඝ කාලයක් එවන් අර්බුදකාරී මානසිකත්වයකට ඔවුන් පණ දුන් නිසා විය හැකි ය.

සත්‍ය ඉස්මතු කරවන මෙගා සංස්කෘතියක් බිහි කළ නො හැක්කේ නො වේ. මනුෂ්‍යත්වයට සැබෑ අගයක් එක්කරමින් පසුගිය සමයේ ‘සුජාත දියණිය’ නමින් විකාශය වූ ටෙලිනාට්‍යය ද මෙකී විනාශකාරී රැල්ලෙන් මිදී ගත් යහ නිර්මාණයක් ලෙසින් පැසසුම් ලද යුතු ම ය. තවත් එවන් නාට්‍යයක් ලෙස එදා මෙදාතුර ජනපි‍්‍රයත්වයට පත් වූයේ ද යළි යළිත් නරඹන්නට සිත් පහළ වූයේ ද ඔෂීන් වැනි මාලා නාටකයන් ය. එතුළින් සමාජය මුහුණ දුන් දරිද්‍රතාවය, යුද්ධයේ ඛේදනීය අත්දැකීම්, උසුලා ගත නො හැකි තරම් වූ පවුල් බර වැනි සැබෑ ගැටලූ හමුවේ අභීතව, තත්‍යාකාරයෙන් ම නැගී සිටින දිරිය කාන්තාවකගේ ජීවිතය දිග හැරුණි. එයින් ගැහැනියකට වුව ද පිරිමියෙකුට වුව ද සැබෑ ජීවිත අභියෝග හමුවේ නො සැලී නැගී සිටින්නට උට්ඨාන වීර්යයක් ඇති වූවා මිස වර්තමානයේ මෙන් ගුණ ධර්මයන් තඹ සතයකට මායිම් නො කරන විකෘති සිත් ඇති වූයේ නැත.

ශී‍්‍ර ලාංකේය ජන සමාජයට ද එවන් වූ දිරිමත් ස්ත‍්‍රී පුරුෂයන්ගේ අඩුවක් තවම නැත, යහගුණ දම් රකිනා අව්‍යාජ ගැමියන්ගේ අඩුවක් තවම නැත, සුපේශල ශික්ෂාකාමී යතිවරුන්ගේ අඩුවක් ද නැත. දීර්ඝ කාලයක් මුළුල්ලේ පේ‍්‍රක්ෂක නෙත් සිත් ආමන්ත‍්‍රණය කරන්නට සැකසෙන මෙම මාලා නාටකයන් එවන් වූ යහපත් ජීවන චරිත කේන්ද්‍ර කොටගෙන නිර්මාණය නො කරන්නේ ඇයි?

සිංහලයේ එවන් ප‍්‍රශස්ත නිර්මාණ පිළිකෙව් කෙරෙන්නේ නැත. ප‍්‍රබන්ධයට වඩා සුන්දර වූ සත්‍යයට සිංහලයන් එදත් ගරු කළහ, අදත් ගරු කරති. අවශ්‍ය වන්නේ හොඳ නිර්මාණ බිහි කිරීමේ ශක්‍යතාවයක් ඇති කලාකරුවන්ගේ ඉදිරිපත් වීම පමණි. කලාතුරකින් හෝ එවන් නිර්මාණ බිහි වුණ වග අපට අමතක නැත. හෙට දවසේ යහපත් පරපුරක් බිහි කිරීමේ පරමාර්ථය මුදුන් පමුණුවා ගන්නට අප යළි යළිත් ඉල්ලා සිටිය යුත්තේ උචිත අනුපාතයෙන් සංකලනය වූ මානව දයා ගුණයන් මත පදනම් වන කලා නිර්මාණයන් ය. එවන් නිර්මාණයක් වෙනුවෙන් දිනයේ පැය භාගයක් වෙන් කිරීම අපතේ යැවෙන්නේ නම් නැත.

අවසන කිව යුතු ම දෙයක් ද තිබේ. බලන්නට යහපත් දෙයක් නැති විට, තිබෙන අයහපත් දෙය බලනවාට වඩා කිසිවක් නො බලා සිටීම දස දහස් ගුණයකින් වටී. නො එසේ නම් අද ඔබේ දුවාදරුවන් පිරිවරාගෙන ඔබ දෑස් අයා බලා සිටින, මානව සදාචාරය අගයන්නවුන්ට අපුල දනවන මෙගා නාටකයන් මානව ශික්ෂණයට අද එල්ල කරන අතුල් පහර හෙට ඔබේ දරුවාගේ අත්ලේ තැන්පත්ව ඔබේ කම්මුලට ම පතිත වීමේ මාරාන්තික ඉඩකඩක් තිබෙන බව අමතක නො කළ යුතු ය.

කියන්නා කෙසේ කීව ද අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව අපි දන්නෙමු. එහෙත්, ‘අසන්නා’ සේ ම ‘කියන්නා’ ද මනුෂ්‍යයන් ම වන නිසාවෙන් මානව ගරුත්වය හා මානව සදාචාරය සුරක්ෂිත කරවීමේ මහඟු වගකීමක් දෙදෙනාට ම ඇත. එනිසා රූපවාහිනිය සහ ටෙලි නාට්‍ය නිෂ්පාදකයා (ඔවුන් කලාව තුළින් ‘කියන්නවුන්’ වන බැවින්) මානව චිත්ත සන්තානයන් බුද්ධිමත්ව ආමන්ත‍්‍රණය කිරීම අරඹන්නේ කවරදා ද යන පැනය අප ඇසීම වරදක් නො වේ. පේ‍්‍රක්ෂකයා අවුලෙන් වියවුලට පත් කරවන, මානසික අබ්බගාතයන් බවට ඇද දමන, මනෝමය ලෝකයක අතරමං කරවන මේ නාට්‍ය දුකුළාව වෙනුවට ආනන්දයෙන් ඇරඹී ප‍්‍රඥව කරා පේ‍්‍රක්ෂකයන් යොමු කරවන අර්ථවත් ටෙලිනාට්‍ය කලාවක් වෙත ඔවුන් ගමන් කරන්නේ කවදා ද?

ලොව අන් කිසිදු රටක් නො ලද අනභිබවනීය දේශීයත්වයක්, සංස්කෘතියක් අපි ලද්දෙමු. ලොවක් විස්මයට පත් කළ මානුෂීය ගුණ ධර්මයන්ගෙන් අපි පෝෂණය වී ඇත්තෙමු. එවන් වූ උත්කෘෂ්ට අපේකමට මුල්තැන දෙන ටෙලි නාට්‍ය කලාවක් අපට ගොඩ නැගිය නො හැකි ද?

මනුෂ්‍යත්වයේ නාමයෙන් අප කළ යුතුව ඇත්තේ, ‘ඇසිදිසි අපේකම’ ප‍්‍රතිමූර්තිමත් කෙරෙන ටෙලිනාට්‍ය කලාවක් බිහි කිරීම ම නො වේ ද?

එනිසා, ‘අසන්නෝ’ ද ‘බලන්නෝ’ ද ‘කියන්නෝ’ ද සිහි බුද්ධියෙන් ම කටයුතු කරත්වා! එපමණකින් ම රැල්ලට හසු නො වී පා නැගීම පහසු වනු ඇත.

මෙගා සටහන
උදුලා පද්මාවතී