1. වධක භාර්යාව
දුෂ්ට සිතකින් යුක්ත වෙයි. ස්වාමියා කෙරෙහි හිතානුකම්පාවක් නැත. අන්‍ය වූ පුරුෂයන් කෙරෙහි ඇලී තම ස්වාමියා ඉක්මවා සිතයි. සැමියාට වධ දීම පිණිස උත්සාහ කරයි.

2. චෝරී භාර්යාව
තම ස්වාමියා ශිල්පයෙන් වේවා, වෙළඳාමෙන් වේවා, ගොවිතැන් කර්මාන්තයකින් වේවා යම් ධනයක් උපයයි ද, ඒ ධනයෙන් ස්වල්පයක් නමුත් සොරකම් කරනු කැමැති වෙයි.

3. ආර්යා භාර්යාව
නිවසෙහි වැඩ කරන්නට අකැමති වෙයි. අලස වෙයි. බොහෝ කොට අනුභව කරයි. සැඩ පරුෂ වෙයි. දරුණු වචන පවසයි. ස්වාමියාගේ නැගී සිටි වීරියෙන් කළ යුතු කටයුතු මැඩ සිටින්නී වෙයි.
මෙහිලා යම් බිරිඳක් වධකියක් යැයි කියනු ලබන්නී ද, සෙරක් යැයි, ආර්යාවක් යැයි කියනු ලබන්නී ද, දුස්සීල ගති ඇති, ඵරුෂ වූ, ආදර රහිත වූ ඒ බිරින්දෑවරු මරණින් මතු නිරයෙහි උපදිති.

4. මාතෘ භාර්යාව
හැම කල්හී සිය සැමියාට හිතානුකම්පාවෙන් යුක්ත වෙයි. මවක් දරුවෙකු රකින සෙයින් සැමියාව රකියි. සැමියා විසින් උපයන ධනය ත් රකියි.

5. භගිනී භාර්යාව
වැඩිමහල් සොයුරා කෙරෙහි බාල නැගණිය යම් සේ පවත්නී ද, එසෙයින් සිය ස්වාමියා කෙරෙහි ගෞරවයෙන් සිටියි. ලැජ්ජා සිත් ඇතිව සිටියි. ස්වාමියාගේ වසඟයෙහි සිටියි.

6. සඛී භාර්යාව
බොහෝ කලකින් තමන්ට මුණ ගැසුණු යහළුවකු දැක සතුටු වන යෙහෙළියක සෙයින් සිය සැමියා දැක සතුටු වෙයි. සිල්වත් ව, මනා පිළිවෙත් ඇති ව සිටියි.

7. දාසී භාර්යාව
ස්වාමියා විසින් දඬු මුගුරු ගෙන පහර දී තර්ජනය කරද්දීත් කෝප නොවෙයි. දුෂ්ට සිතක් ඇතිකර නොගනියි. සැමියාගේ වරද ඉවසයි. කෝපයෙන් තොරව, සැමියාගේ වසඟයෙහි සිටියි.

මෙහිලා යම් බිරිඳක් මවක් යැයි, සොයුරියක් යැයි, යෙහෙළියක් යැයි, දාසියක් යැයි කියනු ලබන්නී ද, සීලයෙහි පිහිටි, බොහෝ කල් සංවර ව වාසය කරන ඒ බිරින්දෑවරු මරණින් මතු සුගතියෙහි උපදිති.

(අංගුත්තර නිකායෙහි සත්තභරියා සූත්‍රය ඇසුරෙනි)