බුදුරජාණන් වහන්සේ මේ මේ දේශනාවල් කරලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ ඊට අනුකූලව කතා කරන්න අපි හැමතිස්සේ ම පෙළඹෙනවානේ. අපි ඒ දේශනාවල් දන්නේ නැත්නම්, මේ සමාජයට ගැළපෙන විදිහට කියලා ධර්මය අරගෙන වර්තමානයට ගළපනවා. එහෙම එකක් දේශනාවේ නෑ. දේශනාවේ තියෙන්නේ අකාලික ධර්මයක්. ඒකේ ආයේ අමුතුවෙන් කියලා වර්තමානයට ගළපන්න දෙයක් නෑ. අතීතයේ කියපු දේ වර්තමානයට ගැළපෙන්නේ නැත්නම් ඒක කාලිකයි. කාලයකට අයත් එකක් නම් අකාලික එකක් නෙවෙයි. අතීතයේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙය වර්තමාන සමාජයට අපි ගළපන්න ගියොත් ඒක කාලිකයි. නමුත් ධර්මය එහෙම නෙවෙයි. ධර්මය අකාලිකයි.

අපි ගත්තොත්, බුදුරජාණන් වහන්සේගේ දේශනා මොන භාෂාවෙන් ගත්තත් ඒකේ තියෙනවා අකාලික ගුණය. ඔන්න අපි රතන සූත්‍රය පාළියෙන් කතා කරනවා. අපි ඒක ම සිංහලෙනුත් කියනවා. ගුණය එකයි. අර්ථය එකයි. සමානයි. අකාලිකයි. මම සිංහලෙන් කියන්නේ සීමිත අර්ථයක්වත් දැනගන්න ඕන නිසා. පාළියෙන් කියද්දී වැඩි බලයක් ගැබ්වෙලා තියෙනවා කියලා කිව්වට ඒ ගැබ්වෙලා තියෙන්නේ මොනවද කියලා අපිවත් දන්නේ නැත්නම් හරියන්නේ නෑනේ. ඊට වඩා වටිනවානේ සිංහලෙන් අර ටික හරි දැනගන්න එක.

අපි ගත්තොත්, බුදුරජාණන් වහන්සේට ‘අරහං’ කියලා කියන්නේ රාග, ද්වේෂ, මෝහ නැතිකරපු නිසා. පටිච්ච සමුප්පාදයේ සියලු ම කෙලෙස් සිඳ බිඳ දැමූ නිසා. ලෝකයේ පූද පූජා ලැබීමට යෝග්‍ය වූ නිසා. ඉතින් මේ ගුණ සිංහලෙන් දැනගත්තාම එයා දැනගන්නවා, ‘මේ විස්තර වෙන්නේ රහතන් වහන්සේනමක් ගැනයි…’ කියලා. සම්මා සම්බුද්ධ ගැනත් එහෙමයි. එහෙම නැතුව අපි ‘අරහං’ කියලා නිකම් කතා කර කර හිටියා කියමු. සෝම හාමුදුරුවෝ දවසක් ඇහුවා “ඔයගොල්ලෝ මේ කෑ ගගහා කියවනවා කියවනවා. ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස…’ කියන ඒකේ තේරුමවත් දන්නවා ද?” කියලා. කවුරුවත් දන්නේ නෑ.

බුද්ධිමත් විග්‍රහයකට එන්න…

එතකොට අපට තේරෙනවා, අද මේ වෙලා තියෙන්නේ විහිලුවක් කියලා. සිංහලෙන් කියන කොට බණිනවා නම්, ඒක ඉරිසියාවෙන් ම කියනවා මිසක් මනුෂ්‍යයාට ආදරේට කියනවා නෙවෙයි. මොකද මම පසුගිය දවස්වල මාධ්‍යයකින් පිරිතක් යනවා ඇහුවා. පිරිතට ඉස්සර වෙලා කියනවා ‘නිවැරදි ගණ පිහිටුවා, නිවැරදි උච්චාරණ සහිතව මේ පිරිත සජ්ඣායනය කරන්න’ කියලා. ඉතින් මම අහගෙන ඉන්නවා නිවැරදි ගණ පිහිටුවාගෙන උච්චාරණය කරන හැටි. අනේ මේ මහාප්‍රාණ අල්පප්‍රාණවත් උච්චාරණය කරගන්න බෑ. එතකොට අපට තේරෙනවා, කියන්නන් වාලේ කීමක් මිසක් මේක අවබෝධයක් ඇතුව කරන එකක් නෙවෙයි තියෙන්නේ කියලා. ඒකට ඉතින් ඉරිසියාවෙන් කටයුතු කරලා බෑ. ඒකට මොළේ තියෙන්න ඕන. මධ්‍යස්ථ ව, බුද්ධිමත් ව විග්‍රහ කර ගන්න දක්ෂ වෙන්න ඕන.

රතන සූත්‍රය ගත්තත්, කරණීයමෙත්ත සූත්‍රය ගත්තත් මේ සූත්‍ර දේශනාවල අර්ථය අපි සිංහලෙන් දැනගත්තොත් තමයි අපි මේකේ අර්ථය දැනගන්නේ. එහෙම නැතුව කවුරු හරි කිව්වොත් ‘හපෝ… ඕවා කියන්න එපා. ඕවා කිව්වාම භූතයෝ ඇවිස්සෙයි…’ කියලා ඒක නිවැරදි ප්‍රකාශයක් නෙවෙයිනේ. භූතයෝ ඇවිස්සෙන හැටි අපි දන්නේ නෑනේ. නොදන්නා දෙයක් කිව්වාම මොකද වෙන්නේ? ඔන්න මේ දවස්වල ‘සංසාර සාරෝ’ කියලා ගාථාවක් කියාගෙන එනවා. බුද්ධ දේශනාවල පැහැදිලිව ම කියනවා, භයක්, තැතිගැනීමක්, පීඩාවක් ඇති වූ වෙලාවක ‘ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ’ කියලා භාග්‍යවතුන් වහන්සේව සිහිකරන්න කියලා. ඒක අත්හැරලා අපි ‘සං සං සං’ කියලා එකක් කියාගෙන ගියොත් එහෙම අනාගතයට ‘ඉතිපි සෝ භගවා අරහං’ නැතිවෙලා යයි. ධර්මයත් නැතුව යයි. සුපටිපන්නෝ කියලා ගාථාවත් නැතිවෙලා ‘සංසාර සාරෝ’ කිය කියා ඉඳියි. එතකොට අපේ ධර්මයට මොකද වෙන්නේ? අන්න විකෘතිය.

මේ විකෘතියට මාධ්‍ය වග කිව යුතුයි…

ඒ විකෘතියට මාධ්‍ය සම්පූර්ණයෙන් ම අනුබල දෙනවානේ. හැම මාධ්‍යයක ම මේ ‘සංසාර සාරෝ’ කියන එක ‘හරි බලසම්පන්න ගාථාවක් ය… මේක අක්ෂර බන්ධනවල පිහිටා තියෙනවා ය…’ කිය කියා මේක ම කියනවා. ඇයි ඒ අය ‘ඉතිපි සෝ භගවා’ කියන එකේ හිත පිහිටුවන්නේ නැත්තේ? ඇයි ‘ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ…’ කියන මේවට හිත පිහිටුවන්නේ නැත්තේ? ඇයි ‘සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ…’ කියන එකට හිත පිහිටුවන්නේ නැත්තේ? ඇයි මේ නොතේරෙන අප්‍රභංසවලට සිත පිහිටුවන්න යන්නේ? මේක නේ ද විකෘතිය?

ඒ විකෘතියට මාධ්‍ය සම්පූර්ණයෙන් ම අනුබල දෙනවා. හරි දේට බණිනවා. ඉතින් මේ නිසා තමයි මේක විනාශ වෙලා තියෙන්නේ. ඉරිසියාවෙන් බැලිල්ල නිසයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉරිසියාවෙන් බලන්නේ නැතුව හරි විදිහට බැලුවා නම් හරි. ‘සංසාර සාරෝ’ කිය කියා ගියාම ළමයිනුත් ඉගෙන ගන්නේ මේකනේ. ‘මේක හොඳයි… ආරක්ෂාවයි… බලසම්පන්නයි…’ කිය කිය මේවම ඉගෙන ගනියි. බුද්ධ දේශනා තමයි මේ විදිහට බැහැරට යන්නේ. එතකොට අනාගතයට වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන සිහිකරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යන එක. මේ නිසා අපට හරි වැදගත්, භාග්‍යවතුන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම.

ධර්මයේ දියුණුව ගැන තමාට ම තක්සේරු කර ගත හැකි ද…?

ඕක විස්තර වෙන්නේ සංයුත්ත නිකායේ දෙවන පොතේ. අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ මුණගැසුණු වෙලාවක භාග්‍යවතුන් වහන්සේ වදාළා, “ගෘහපතිය, යම්කිසි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකුට භය සහ වෛර ඇතිවන කරුණු පහ සංසිඳුණා ද සෝතාපන්න අංගයන්ගෙන් සමන්විත වුණා ද ආර්ය න්‍යාය මනාව අවබෝධ වුණා ද ඔහු කැමති නම් (ආකංඛමානෝ) තමන් ගැන (අත්තනාව අත්තානං බ්‍යාකරෙය්‍ය) තමන්ට කියා ගන්න පුළුවන් ‘(ඛීණනිරයෝම්හි) මම නිරයේ උපදින්නේ නැහැ… මම ප්‍රේත ලෝකයේ ඉපදෙන්නේ නැහැ… මම තිරිසන් ලෝකයේ ඉපදෙන්නේ නැහැ… මම සෝතාපත්ත කෙනෙක්…’ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා, තමන්ට ඕන නම් තමන් ගැන ‘මම ධර්මයේ පිහිටපු කෙනෙක්…’ කියලා කියාගන්න පුළුවන් කියලා.

හැබැයි ඒ සඳහා තමන්ට මේ ලක්ෂණ තියෙන්න ඕන. ඒ තමයි භය, වෛර ඇතිවෙන කරුණු පහ සංසිඳිලා තියෙන්න ඕන. ඒ කියන්නේ කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඒ ප්‍රාණඝාතය කිරීම තුළ එයා ව සමාජය තුළ වෛරයට ලක්වෙනවා. පසුගිය දවස්වල කහවත්තේ මරණයක් සිද්ධවෙලා මිනිස්සු ගිහින් ගෙවල් ගිනි තිබ්බානේ. ඒ මිනිස්සු ඔක්කොම හැංගුණානේ. එහෙම වෛරයකට ලක්වුණේ නැද්ද? එතකොට සමාජය තුළ ප්‍රාණඝාතය කරන කෙනා වෛරයකට ලක්වෙනවා. ඊ ළඟට භයෙන් ජීවත් වෙන්න සිද්ධවෙන්නේ. භය වෛරය උපදින කාරණාවක් තමයි මේ ප්‍රාණඝාතය. එතකොට එයාට මෙලොවදීත් භය වෛර උපදිනවා. මරණින් මත්තෙත් භය වෛර උපදිනවා.

ඒ වගේ ම යම්කිසි කෙනෙක් හොරකම් කළොත් එයා ව සමාජයේ වෛරයට ලක්වෙනවා. එයාට භයෙන් වාසය කරන්න සිද්ධ වෙනවා. එතකොට භය වෛර කියන දෙකට ම එයා භාජනය වෙනවා. එතකොට පංච දුෂ්චරිතය තුළ ම මේ දේ සිද්ධ වෙනවා. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම තුළ භය, වෛර ඇතිවෙනවා. අපි ගත්තොත්, බොරු සාක්ෂි දීලා කෙනෙක් ව අමාරුවේ දැම්මොත් එයා අනිවාර්යෙන් ම සමාජය තුළ වෛරයට ලක්වෙනවානේ. බොරු සාක්ෂි දීලා භයෙන්නේ ඉන්නත් වෙන්නේ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා ගැනත් දේශනාවේ මේ විදිහට ම විස්තර කරනවා. ඉතින් මේ වගේ දේවල් කෙනෙකුගේ ජීවිතයේ නැත්නම් පහසුයි කියනවා.

අසම්පූර්ණ සීලයක් ආර්යකාන්ත සීලයක් වෙන්නේ නෑ…

අපේ රටේ තියෙන ප්‍රශ්න ගත්තාම මේ ප්‍රශ්න විසඳිලා නැහැ. උදේ හවස පාළියෙන් සිල් ගන්නවා. නමුත් සංසිඳිලා නෑ. මේක සිංහලෙන් ගත්තා නම් සමහර විට මේකේ අර්ථය හරි තේරෙයි. දැන් අර්ථය තේරෙන්නේ නෑනේ. කවුරු හරි කිව්වොත් ‘මඳ පමණින් ගත්තට කමක් නෑ. ඒකයි සුරාමේරය මජ්ජපමාදට්ඨානා’ කියන්නේ කියලා, මේකේ සිංහල තේරුම අහලා නැති කෙනා හිතන්නේ ඒක වෙන්න ඇති කියලානේ. ඉතින් මේක තේරෙන්නේ නැති නිසා පාළියෙන් ගත්තාට ප්‍රශ්නයකුත් නෑනේ. නැත්නම් පාළියෙන් සිල් ගත්තා. ඊට පස්සේ ඒක ම කඩාගෙන යනවා. ඇයි ගැටලුවක් නෑනේ. තේරෙන්නේ නෑනේ. ඉතින් මේ නිසා භය වෛරය ඇතිවන කරුණු පහ සංසිඳිලා නෑ.

ඊ ළඟට සෝතාපන්න අංග හතර හැටියට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වීම, ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වීම, සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වීම සහ ආර්යකාන්ත සීලයකින් යුක්ත වීම. ආර්යකාන්ත සීලය ගැන කතා කරද්දී අපි පංච සීලයේ තියෙන පස්වෙනි සිල්පදය ගැන ගත්තොත්, ඔන්න පස්වෙනි සිල්පදය එයාගෙන් කැඩෙනවා කියමු. එතකොට සිල්පද පහෙන් එකක් කැඩෙනවා. එහෙම නම් ඒ සීලය සිදුරුයි. එතකොට සමහර සිල්පදවල මුල එකත් කැඩිලා. තුන්වෙනි එකත් කැඩිලා. ඒ සීලය කබර සහිතයි. පැල්ලම් සහිතයි. සම්පූර්ණ නෑ.

එතකොට මේ වගේ අසම්පූර්ණ සීලයක් ආර්යකාන්ත සීලයක් වෙන්නේ නෑ. ආර්යකාන්ත සීලයේ දී එයාට හැමතිස්සේ ම තියෙන්නේ ප්‍රකෘති සීලයක්. පිහිටපු සීලයක්. යහපත් සීලයක්. එතකොට ඒ ආර්යකාන්ත සීලයට ආවා නම් තෙරුවන් කෙරෙහි බලවත් ප්‍රසාදයත් එක්ක, මේ හතර තමයි ‘සෝතාපත්ති අංග’ කියලා කියන්නේ. ඊ ළඟට විස්තර කරනවා, මෙයා ආර්ය න්‍යාය මනාකොට තේරුම් අරගෙන ඉන්නවා කියලා.