තොරතෝංචියක් නොමැතිව කෑගසන ලේනෙකුගේ හඬක් කන ළඟින්ම ඇසේ. ඒ ශබ්දයත් සමගම මා උන් සිහින ලෝකයේ පවුරු සුනුවිසුණු වී ගියේ සැණෙකින් ය. තවමත් මා සිටින්නේ පාසල් ගොස් පැමිණි කලිසම පිටින් ම ය. නිල් පාට කලිසම සතියක් හෝ එක දිගට ඇන්දත් එහි කුණු තැවරී ඇති බවක් නම් නොපෙනේ. අනිත් සුදු කොට කලිසම නම් එක දවසක් ඇන්දත් කිරි අම්මා “වළං අල්ලන දැලි රෙද්ද හොඳා මීට වඩා…” කියූ වාර අනන්ත ය.

ඊයේ දවසේ ඇඳපු කලිසම වැස්සට තෙතබරියං වී වැල දිගේ සිටින කලු කූඹින් හා හාදවෙමින් ඇති බව මට ඉවෙන් මෙන් දැනුණි. ඇත්තටම දහවල් ග්‍රීස්මයට සිමෙන්ති මැදි පොළොවේ ඇත්තේ හරි අපූරු සනීපයකි. කමිසයක් නොමැතිව පොළොවේ දිග ඇදී සිටිද්දී මට දැනෙන්නේ අයිස් කුට්ටියක් උඩ ඉන්නවා වගේ හැඟීමක් ය.

වේලාව සවස හතරහමාරත් වෙන්න ළඟ නිසා නිදා හුන් තැනින් නැගිට මම කුස්සිය වෙත පියමං කළෙමි. කිරි අම්මා තේ කහට ටිකක් බීම සඳහා කේතලය ළිපේ තබා ගනකමට අඟුරු වැදී ඇති කේතලය දිහා බලා සිටී. ඈ මා දකිනවාත් සමඟම “උඹට බඩගිනි ද?” කියා ඇසීමට පෙර දහවල් කැන්ටිම අසල ටැප් එක ළඟ වැටී තිබූ රන් මාල පෙත්ත ඇයගේ අතේ තැබුවෙමි.

“හෑ… ඇත්ත කියපන් කොහෙන්ද උඹට මේක?” “ඉස්කෝලේ කැන්ටිම ගාව වැටිලා තිබ්බා. කිරි අම්මා උදේ මට දුන්න රුපියල් දෙකට පොඩි වඩේ ගෙඩියක් අරන් කෑවා. බඩ පිරෙන්න වතුර ටිකක් බොන්න කියලා ටැප් එක ගාවට යද්දී මඩ වෙලා වගේ තියන හරියේ මේක වැටිලා තිබ්බා. මම කාටවත් පෙන්නුවේ නෑ.”

“හම්ම්… අපූරු ධර්ම චක්කරයක්…” “ඔය ධර්ම චක්කරේ නෙවෙයිනේ කිරි අම්මේ, ඔය නැවක සුක්කානම. කිරි අම්මා ඉතින් නැව් දැකල තියෙන එකක් යැ.” “හනේ උඹ දන්න ඉටිගෙඩිය.” ඇය ආරූඪ කරගත් තරහකින් කීවාය.

“ඉතින් ඇයි උඹ මේක ගෙදර ගෙනාවේ? එකත් එකටම මේක බොලාලගේ ටීචර් නෝනා කෙනෙක්ගෙ වෙන්න ඕනි.”

කිරි අම්මා ඒ දෙස බලා සිටිමින් දිග සුසුමක් හෙළුවේ හෝස් ගා සද්දෙටම ය.

“අනුන් දහ දුක් විඳලා හම්බ කොරාපු දේවල් අරන් අපිට යාදෙන්නේ නෑ දරුවෝ…” තේ මණ්ඩි පිරී දිගට ඇදෙන තේ මල්ලට උණු වතුර වත් කරමින් ඇය මුමුණයි.

අම්මා මාව කිරි අම්මා ළඟ නතර කර පිටරට ගියාට පස්සේ අම්මාගෙන් කිසි හාවක් හූවක් නැති බවයි තාත්තා නිතර ම කිව්වේ. ඒත්… අන්තිමේ තාත්තාටත් වෙච්ච දෙයක් නැතැයි කිරි අම්මා කීවා ය.

“මේ කොල්ලා උඹේ ලෙයින්නේ පුතේ හැදුනේ. යන තැනක මේ අහිංසකයවත් ඇන්න පලයං මයෙ පුතේ…” කියා කියනු සිහින් ඉකිබිඳුම් හඬකින් එක් රැයක මට අඩනින්දේ දී ඇසුණි. ඒ කිරි අම්මාගේ හඬ ය.

“මේ තේ එක බීලා කන්දේ කඩේ වහන්න කලින් පාන් බාගයන් ඇන්න වරෙන් පුතේ. අප්පුහාමි මාමට කියපන් ඒක පොතට දාන්න කියලා.” කහට කෝප්පයත්, සීනි ටිකකුත් මා අත තැබූ ඈ සිය කඳුළු පිරුණු දෙනෙත් සඟවනු පිණිස සැණෙකින් වෙනතකට මුහුණ හරවා ගත්තා ය.

“යන තැනක කමිසයක් දාගෙන පලයං… මිනිස්සු හූල්ලයි උඹේ ඇඟ දැකලා…” කුස්සියේ සිටිමින් ඈ කෑගසයි.

අඳින්නට ඇත්තේ ද කමිස දෙකක් හෝ තුනක් ය. එයිනුත් හොඳටම ඇත්තේ එක් කමිසයක් පමණි.

අම්මා පිටරට ගිහින් ලස්සන ලස්සන ඇඳුම්, ටොෆි, චොකලට්, පෑන් නැවට දානවා කියා පන්තියේ ඉන්න ළමයි එක්ක මම කීවේ කොතරම් උජාරුවෙන් ද?

උන්ගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්න ගමේ රට ගිහින් ආපු නැන්දා කෙනෙක්ගේ ගෙදර අතුගා කුණු දාන තැනට ගොස් ටොපි චොකලට් කොළ කිහිපයක් අහුලා ගත්තේ “ඉස්කෝලේ ක්‍රියාකාරකමකට අලවන්න තියෙනවා නැන්දේ.” කියමිනි. ඒවා මම බෑග් එකේ දාගෙන ඉස්කෝලෙ වේලාවෙදි පොත් අදින විට හිතාමතාම බිම වැටෙන්න ඉඩ හැරීමි.

“මෙන්න මූ තනියම කාලා… කෝ අපිට නැද්ද?” කියමින් කොල්ලන් බෑගයට හොම්බ දමාගෙන ඉව අල්ලති.

“මේක මොන රසයි ද?”යැයි එකෙකු ඇසූ විට මොකක්දෝ මටවත් නොතේරෙන රසයක් මා උජාරුවට කීවේ අන්ත හීනමාන වූ සිතිනි.

ගිය පාරට කලින් අවුරුද්දේ කිරි අම්මා මුං ඇට විකුණලා ගත්ත සල්ලිවලින් අරන් දුන්න නිල් පාට කොටු කොටු ෂර්ට් එක මගේ සිත්ගත් එකම ඇඳුම විය. එය ඇඟලා කුඹුර මැදින් වැටී ඇති මහ නියර දිගේ බොරලු පාර දෙසට අඩියට දෙකට යද්දී මැණිකේ ද මා පසුපසින් ඉව අල්ලමින් එයි. ඈ අප නිවසේ සිටින දුඹුරු පාට බැල්ලකි. කිරි අම්මා ඌට කියන්නේ මැණිකේ කියලයි. ඇත්තටම කිරි අම්මා මටත්, මැණිකේටත් සලකන්නේ පණ මෙන් ය.

කඩේට යන අතරතුරේ නයි මල්ලක් වගේ පරණ වෙච්ච පාසල් බෑගයත්, එකම නිල්පාට කලිසමත්, තුන් හතර පාරක් ගෙදර දී ඉදිකටුවෙන් මහපු සපත්තු කුට්ටමත්… තැනින් තැන හිල් හැදිච්ච, අත් යට මලකඩ පාට බැඳුණු පරණ බැනියමත්, අද දිනයේ මට හමුවූ රන් මාල පෙත්තත් අතර මගේ සිත දෝලනය වෙයි.

‘මේක විකුණ ගත්තොතින් මේ ඔක්කොම පහසුවෙන්ම ගන්න පුළුවන්. කිරි අම්මටත් චීත්ත රෙද්දක්, හැට්ටයක්, මැණිකෙටත් හොඳට මිරිසට හදාපු කුකුල් මස් එක්ක බත් එකක්… අප්පුහාමි මුදලාලිට තියෙන ණය…’ මේ සිතුවිලි අතරේ ඒ මේ අත දෝලනය වෙමින් මා දන්නේම නැතිව කඩේ ළඟට පැමිණ තිබුණි.

“මොනවද පුතේ ඕනා…?” අප්පුහාමි මාමා ඔහුගේ ගොරහැඩි නමුත් කරුණාබර හඬින් මා අවදි කළේ ය. “පාන් බාගයක්..” “උඹට පාන් කාලක් කාලා ඉන්න පුළුවන් ද?” මම නිහඬ ව සිටිමි. “දැන් උඹ කීය වසරෙ ද…” “නවයේ.” “මේ කාලේ උඹලගේ කරදඬු උස් මහත්වෙන කාලේ. හොඳට කන්නෝන…” “ගාන පොතට දාන්න කිව්ව මාමේ.” “හරි. කිරි අම්මට කියපං දැන් ගාන තුන්දාහත් පැනලා කියලා. මේකත් ඇන්න පලයන්.” කියා ඔහු එල්ලා තිබුණු කෙසෙල් කැණෙන් ඇඹුල් කෙසෙල් ගෙඩි තුනක් ද උදයේ ගෙනවිත් ඉතිරි වූ හැලපයක් ද මා අත තැබුවේ සෙනෙහසිනි.

නැවතත් සුපුරුදු පාරින් සිතුවිලි සමග පොර බදමින් මම නිවස කරා පියමැන්නෙමි. ‘කමක් නෑ. මම ම මේක විකුණ ගන්නවා. ඉස්කෝලේ ගුරුවරුන්ට පඩියකුත් හම්බ වෙනවනේ. අනික මේක වෙන කෙනෙකුට හම්බ වුණා නම්…’ මම මගේ තීරණය සාධාරණීකරණය කරමින්, ස්වයං විවාදයක පැටලෙමින් ඇඹුල් කෙසෙල් ගෙඩි තුනෙන් එකක් එක් කටට ගිල දැමුවෙමි. ඒත් කිරි අම්මා මේකට කැමති කරවා ගන්නේ කොහොමද…? ඇය අනුන්ට අයිති දෙයක් දිහා බලන්නේවත් නැති අයෙකි. කොටින්ම කිවුවොත් අනුන්ට අයිති ඉඩමක ගහක කොළයක්වත් කඩනවා මා දැක නැත.

‘ඒත් මේ දේ කොහොමහරි කරන්න වෙනවා…’ කියමින් මම දැඩිව අදිටන් කරගතිමි. ගේ අසලට යන විට කිරි හොද්දක පුසුඹ දැනෙද්දී ම පාන් බාගයම එක පාර ගිල දමන්නට පුළුවන් බඩගින්නක් ඇති විය. එය එතරම් ම සුවඳ ය. කෙතරම් අඩුපාඩු මැද්දේ ඉවුම් පිහුම් කරත් ඈ පිසින ආහාරයේ රසය නම් බිඳක්වත් අඩු නොවේ.

“කිරි අම්මේ… මම අර මාල පෙත්ත විකුණ ගන්නවා.” පාන් බාගය හරි මැදින් දෙකට කපමින් මම කිව්වේ මගේ මතය අවධාරණය කරන හඬින් ය. “අනේ මයෙ පුතේ ඕකේ අයිතිකාරයා දැන් රෑ තිස්සේ හූල්ලනවා ඇති බං. කොයිතරම් ඔට්ටු වෙන්න ඕන ද අද කාලේ රත්තරන් පොඩිත්තක් ගන්න. අනික ඕක මඟුලට තුලාවට හම්බු වෙච්ච එකක්දැ කියලා කවුද දන්නේ…? ඕක ගොහින් දීපන් මයෙ පුතේ… මට නම් ඕවා විකුණලා ලැබෙන එක රුපියලක්වත් එපා ඕං.”

ඇගේ වචන මාගේ සිත අවුල් කර දැම්මේ විදුලි වේගයෙනි. එහෙත් අවසානයේ මම එකම තීරණයක සිටීමට දැඩිව අදිටන් කර ගත්තෙමි. ඒ මේ අත පෙරළෙමින් පසුවදා ක්‍රියාත්මක කිරීමට ඇති සැලසුම් මෙනෙහි කරමින් සිටිද්දීම මා නින්දට වැටුණි. පසුදා උදෑසනින්ම අවදිව කුස්සියට යන විට කිරි අම්මා වතුර කේතලය ළිප තබා සේපාලිකා ගහෙන් වැටුණු මල් ඇහිඳිමින් සිටියා ය. කිරි අම්මා කියන්නේ සේපාලිකා මල් ගහ බුද්ධ පුත්‍රයන්ට ස්වභාව ධර්මය දුන්නු දායාදයක් කියායි. මම “ඒ ඇයි?” කියා ඇහුවම ඈ මට කිව්වේ “උපසම්පදා හාමුදුරුවන් වහන්සේලාට ගහක කොළයක්වත් කඩන්න බෑ.” කියලයි. කිරි අම්මා ආරාමෙට සිල් ගන්න යන දවසට හාමුදුරුවරුන් උදෙන්ම ඇවිත් සේපාලිකා ගස් යට මල් ඇහිඳිනවාලු.

“උන්වහන්සේලා හරි ආසාවෙන් මල් එක්කහු කරලා බුදුන් පුදන්ට යද්දී මට උඹවත් සාසනේට පූජා කොරන්ට ඇත්නම් කියලා හිතෙනවා.” යැයි ඈ කියද්දී, “එතකොට මිනිස්සු කියාවි කිරි අම්මාට මාව කන්න බොන්න දීලා හදන්න බැරි තැන මහණ කරා කියලා.” යි මා කී විට ඈ නිරුත්තර වුණි. එවැනි හද පාරන වචන යළි කිසිදා නොකියා සිටීමට දැඩි සේ මම සිතා ගත්තෙමි.

උදේ කෑමට වත්තේ කෙළවර තිබූ මඤ්ඤොක්කා ගසක් උදුරා, තැම්බීමට අල කිහිපයක් දී පොල් ගෙඩියක් ද උදැල්ලේ කෙළවරින් ලෙලි ඇර තබා, ඇය සෑදූ තේ කහට කෝප්පය උගුරට දෙකට බී මම පාසල් යාමට ලකලෑස්ති වූයෙමි.

ඒ අතර රන් පෙන්ඩනය ද පරිස්සමට කොළ කැබැල්ලක ඔතා සපත්තුවේ මේස් අතරින් පරිස්සමට තබා ගත්තෙමි. සියල්ල අවසානයේ පාසල වෙත යන්නට කලියෙන් කිරි අම්මාට වඳින්නට කුස්සියට යද්දී ඈ උණු උණු මයියොක්කා කෙසෙල් කොළේට බෙදා පොල් ටිකක් සමඟ ඔතමින් සිටියා ය. “කිරි අම්මේ මම යනවා…”

“රත්නත්තරේ පිහිටයි මයෙ අප්පච්චිට.” කියමින් ඈ මගේ හිස පිරිමැද්දා ය. පොත් බෑගය කරේ දාගත් විට මයියොක්කා රස්නය පිටට දැනේ.

මෑතක් වනතුරු මා ඉස්කෝලේ ගියේ සීයාගේ පරණ බයිසිකලයෙනි. දැන් එයත් අබලන් වී ගිය කිරි අම්මා වැනි ය. ඒ දෙස බලාගෙන ම මා මහ නියර වෙත පියමන් කරද්දී සුපුරුදු පරිදි මැණිකේ මා පසුපසින් පැමිණ ප්‍රධාන පාර අසල නැවතී වෙනදා මෙන්ම නොතේරෙන අපබ්බ්‍රන්සයක් කියමින් කෑ ගසා නැවත ගේ පැත්තට දිව්වා ය.

පාසල දෙසට වී රැගෙන යන ලෑන්ඩ් මාස්ටරයකට නැගගත් මම පාසලට වෙනදාටත් වඩා කලියෙන්ම පැමිණියෙමි. දහවල් විවේකයට සීනුව නාද කරද්දීත් මා සිටියේ අතොරක් නොමැති සිතුවිලි අතරය.

දහවල් කාලයේ විදුහල්පතිතුමා සිටින කාමරය වෙත යෑමට මම අවසානයේ තීරණය කර ගත්තෙමි.

දැඩි අකමැත්තෙන් වුව ද මා ඒ තීරණය ගත්තේ කිරි අම්මා කියු දේවල් නිසා හිතට මොකක්දෝ අමුතු හැඟීමක් ඇති වූ නිසාම ය. ඒත් දැඩි අකමැත්ත තවමත් සිතේ කොණක පැළපදියං වී ඇත.

“ල්ල්ලොකු සර්…” ගන උඩු රැවුලෙන් යුතු, සුදු ඇඳුමින් සැරසී සිටි විදුහල්පතිවරයා උපැස් යුවළට උඩින් මා වෙත තියුණු බැල්මක් හෙළී ය. “මොකද..?” “සර්… චෝක් කෑලි දෙකක් ගන්න ආවේ. පන්තියේ චෝක් ඉවරයි.”

“හ්ම්… තමුන් ද පන්ති නායකයා?” “න්නෑ සර්… ගෙනිහින් තියන්න හැදුවේ.” “ඔය එහා පැත්තේ තියෙන්නේ ළමයෝ. අරන් යන්න නාස්ති කරන්න එපා.”

සැබැවින්ම මා මෙහි පැමිණුනේ වෙනත් කාරණාවකට ය. එහෙත් තවමත් වැට උඩ සිටින මා හට මේ මාල පෙත්ත ආපසු බාරදෙන්න හිත ඉඩ දෙන්නේ ම නැත. තවමත් මේ සිත දුප්පත්කමත්, රන් පෙන්ඩනයකුත් අතර ඒ මේ අත දෝලනය වෙමින් පවතී. අවසානයේ මා විදුහල්පතිවරයා වෙත ගොස්, “ලොකු සර්… ඊයේ මේක කැන්ටිම ගාව ටැප් එක ළඟ වැටිලා තිබුණා…” යැයි කියමින් එය සීරුවට මේසය මත තැබුවෙමි.

ඔහු කිසිවක් නොකියා මා දෙස මොහොතක් බලා සිටියේ ය. “හ්ම්… පුතා මොන පන්තියේ ද?” “නවය වසර සී පන්තියේ ලොකු සර්.” ‘සී පන්තිය’ යනු අපේ පාසලේ අමු මැරෑටි, නහයට අහන්නේම නැති ළමයින් සිටිනා පන්තිය බව ප්‍රසිද්ධ කරුණකි.

“පුතාගේ නම මොකක්ද?” “සුනෙත් ශෙහාන් සර්.” “හ්ම්… පුතාට ඊයේ කීයට විතර ද මේක හම්බ වුණේ?” “ඉන්ටවල් එක වෙලාවෙ ලොකු සර්.” “එතකොට ඇයි පුතා මේක ඊයේ බාර නොදුන්නේ?” මා එක්වරම ගල් ගැසිනි. වඳින්න ගිය දේවාලේ ඔළුවට කඩා පාත්වෙන්න ද යන්නේ යන හැඟීමක් ඇති වුණි. ඒත් සියල්ල නොසඟවා කියන්නට මා සිතට ධෛර්යයක් ආවේ කෙසේදැයි මම නොදනිමි. “ලොකු සර්, මේක මට හම්බවුණු වෙලාවේ මම හිතුවා ගෙදර ගෙනිහින් කිරි අම්මාටත් පෙන්නලා මේක විකුණගන්නවා කියලා… ඉතින්… කිරි අම්මාට පෙන්නුවට පස්සේ මට මේක ආපහු ගෙනිහින් දෙන්න කිවුවා. අපි දුප්පත් වුණාට මේ ඇඟේ තියෙන ලේවල අනුන්ට දුක් ගින්දරක් දීලා කාපු දෙයක් නෑ කිවුවා…” “හ්ම්… පුතා ඔයාගේ කිරි අම්මා නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ නියපොත්තෙන්ම කඩලා දැම්මා. ආයේ පොරොවෙන් කපන්න හිටියේ නෑ. ඔයාවත් රැක්කා. මනුස්සකමත් රැක්කා. ප්‍රතිපත්තියත් රැක්කා. අද කාලේ මිනිස්සු මැරෙන්න පණ අදිද්දිත් අනුන්ගේ දේට දත නියවගෙන ඉන්නේ. වැඩිහිටියෙක් විදිහට දරුවෙක්ට දෙන්න ඕන හොඳ ම දේ තමයි ගුණධර්ම.” මේ කතාව අතරතුරදී පාසලේ තවත් ගුරුවරු කිහිප දෙනෙකු ද කාර්යාලයට ඇවිදින් කසු කුසු ගාමින් සිටියහ.

“ආ… සමන්ති මිස් මෙහෙට එන්න.” ලොකු සර් අපේ චිත්‍ර ටීචර්ට කතා කළේ, “මෙන්න ළමයෙක් ඔයාට තෑග්ගක් ගෙනත්.” කියමිනි. ඔහු එය “පුතාගේ අතින් ම මිස්ට දෙන්න.” කියා මා අත තැබුවේ ය. “සමන්ති මිස් ඊයේ මට ඇවිත් කිවුවා. ඒත් මම හිතුවේ නෑ මේක ආයේ හම්බවෙයි කියලා.” එසේ කියද්දී මගේ පපුව හිර වුණා මෙන් දැනුණි. උගුර කට වේළුණි. සැණින් මට සිහි වූයේ චිත්‍ර පන්තියට නොයා ඉද්දී ඇය මගෙන් පන්තියට එන්නේ නැත්තේ ඇයි කියා ඇසුවෙන් මගේ නැති බැරිකම දැනගත් හැටි ය. ඇය පසුදාම පාසලේ ගුරුවරුන් කෑම ගන්නා තැනට මට කතා කර චිත්‍ර විෂයට අවශ්‍ය සියලු ආම්පන්න පොත් ආදී සියල්ල කිසිවෙකුටත් නොපෙනෙන්නට මා අත තැබූ අයුරු ය.

මම ඒ මාල පෙත්ත දෑතින්ම ඇය අත තබා ඇගේ දෙපා වැන්දෙමි. ඇය මා තුරුලට ගෙන ආදරයෙන් මගේ හිස සිඹිද්දී හදවත උණු කරමින් පැමිණි කඳුළු ධාරාවෙන් ඇගේ සාරිය තෙත් විණි.

මා තුරුලට ගෙන සිටින ගුරු මෑණියන්ගෙන් මා හට දැනුණු සෙනෙහස මිලට ගන්නේ කෙසේදැයි මට සිතුණි.

දහසක් ජීවන අභියෝගයන් මැද මේ සියල්ල මට උරුම කර දුන්නේ මගේ අහිංසක කිරි අම්මා නොවේද…

මා අද දින නිවසට යන්නේ මිහිපිට ඇයට දිය හැකි වටිනාම තෑග්ග රැගෙන ය. ඒ වෙන කිසිවක් නොව මිනිසත් බව රැඳි මිනිසෙකු ය.

කවීෂ සඳරුවන්