පාලනාධිකාරියේ සහ කළමණාකාරීත්වයේ කෙතරම් දුර්වලතා තිබුණ ද ශ්‍රී ලංකාව වූ කලී සොඳුරු ගුණදහමින් පිරි පුරවැසියන්ගේ වාසභූමියකි. මෙකල ලක්දිව ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයට ඇද වැටී තිබේ. තෙල් නැත, ගෑස් නැත, විදුලිය නැත, ප්‍රවාහන පහසුකම් නැත, මෙතෙක් කල් පිටරටින් ගෙනා බොහෝ දෑ ගන්නට ඩොලර් ද නැත. මේ අතරේ ආහාරපාන සොයා ගැනීමේ අර්බුදයට ද මිනිස්සු මැදි වී සිටිති.

මෙවන් අවාසනාවන්ත, දුෂ්කර අඩියකට වැටී සිටියදීත් ඔවුන් විසින් අත්නොහරින ලද ගුණධර්ම අතරින් එකකි, දානය. කෙතරම් අපහසුතා මධ්‍යයේ වුව ද විහාරස්ථානයට හෝ ආරණ්‍ය සේනාසනයට හෝ අසපුවට සංඝයා උදෙසා තමාට නියමිත දාන වාරය කෙසේ හෝ ඔවුහු සම්පූර්ණ කරති. ඇතැමුන් දන් දෙන්නේ රටේ මෙවැනි අර්බුදයක් තිබෙනා බවවත් නොහැඟෙන පරිදි ය. එපමණක් නොවේ. තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල පැය ගණන් නිරාහාරව සිටින අසරණ මිනිසුන්හට ද ආහාරපානවලින් සංග්‍රහ කරන්නවුන් ගැනත් අපට අසන්නට, දකින්නට ලැබේ.

ඒ සොඳුරු මිනිසුන්ගේ චිත්තප්‍රසාදය පිණිස තැබෙනා සටහනකි මෙය..!

මෙකල දෙන දානවලට කියන්නේ ‘දුර්භික්ෂ දාන’ කියා ය. එනම්, ආහාරපාන සොයාගැනීමට අතිශයින් දුෂ්කර අවස්ථාවක දෙන දානයය. අංගුත්තර නිකායේ කාලදාන සූත්‍රයෙහි එක්තරා විශේෂිත වූ දාන පහක් ගැන සඳහන් වේ. එනම්;

1. ආගන්තුකයාට දෙන දානය
2. ගමනක් යන්නාට දෙන දානය
3. රෝගී වූ කෙනෙකුට දෙන දානය
4. දුර්භික්ෂයක දී දෙන දානය
5. අස්වනු නෙළීමෙන් පසු හා ගස්වැල්වල ඵල හටගත් පසු එහි මුල් කොටස පළමුවෙන් සිල්වතුන්ට පිදීම.

මෙම දාන හැම කාලයක ම දෙන්නට නොලැබෙන, අවස්ථාව ලද විගස දිය යුතු, පිළිගන්නා පාර්ශ්වයට අනිවාර්ය ප්‍රයෝජනය ඇති දානයන් නිසා කාලදාන ලෙස හඳුන්වනු ලැබේ.

මෙම කාලදාන දෙනු ලබන දායකයා හට ලැබෙන එක් විශේෂ වූ ආනිශංසයක් තිබේ. එනම්, දියුණුව, ධන සම්පත්, යස ඉසුරු පමා නොවී, ජීවිතයේ පළමු වයසේ දී ම බහුල වශයෙන් ඔහු හට හිමි වීම ය.

මේ දුර්භික්ෂ දානය ගැන භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ සිදුවූ එක්තරා අපූරු සිදුවීමක් මෙසේ ය.

එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ විශාල සඟ පිරිසක් සමග කොසොල් ජනපදයේ චාරිකාවේ වඩින අතරේ නාලන්දා නගරයට වැඩම කළ සේක. ඒ වන විට නාලන්දාවට අත්ව තිබුණේ අද ලංකාවටත් වඩා අතිශය අවාසනාවන්ත ඉරණමකි. එහි ගොයම් පාළු වී තිබුණි.
කුඹුරුවල වී නොමැති පිදුරු ගස් පමණක් හටගෙන තිබුණි. ජීවිත පැවැත්ම ගැන බලාපොරොත්තු සුන් වී තිබුණි. සලාක ක්‍රමයට ලැබෙන ආහාර ස්වල්පයකින් යැපෙන්නට සිදු වී තිබුණි. නිගණ්ඨනාතපුත්ත ද එකල තම නිගණ්ඨ පිරිස සමග වාසය කළේ එහි ය.

භාග්‍යවතුන් වහන්සේගේ නාලන්දාවට පැමිණීම නොරිස්සූ ඔහු දිනක් තමා වෙත පැමිණි අසිබන්ධකපුත්ත ගාමණී නමැති තම අනුගාමිකයෙකුට පැවසුවේ, ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් තමා කියා දෙන විදිහට වාද කරනා ලෙසත්, එම වාදයෙන් ඉඳුරා ම ශ්‍රමණ ගෞතමයන් පරදින බවත්, එවිට තොප ගැන කීර්ති ඝෝෂාවක් මුළු නගරය පුරා පැතිර යනු ඇති බවත් ය.

නිගණ්ඨ නායකයාගේ බස පිළිගත් ගාමණී වාද කරනා හැටි උගෙන, භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, වැඳ පසෙකින් හිඳ මෙසේ විමසුවේය. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් දායක පවුල්වලට දයාව දැක්වීම ගැන, රැකවරණ සැලසීම ගැන, අනුකම්පා කිරීම ගැන වර්ණනා කරනා සේක් නේද?”

“එසේය ගාමණී, තථාගත තෙමේ නොයෙක් අයුරින් දායක පවුල්වලට දයාව දැක්වීම ගැන, රැකවරණ සැලසීම ගැන, අනුකම්පා කිරීම ගැන වර්ණනා කරයි.”

“එසේ නම් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දුර්භික්ෂයකට මැදි වී, වගා පාළු වී, සලාකාහාරයෙන් යැපෙමින් මිනිස්සු අන්ත අසරණ ව සිටින මේ කාලයේ මහා භික්ෂු පිරිසක් සමග මෙහි වැඩියාහු අහවල් දෙයකට ද? භාග්‍යවතුන් වහන්සේ දායක පවුල් නැසීම පිණිස, පිරිහෙළීම පිණිස, පීඩාවට පත් කිරීම පිණිස කටයුතු කරන කෙනෙකි..!”

නිගණ්ඨනාතපුත්ත විසින් ගාමණී හට ඉගැන්වූ, ශ්‍රමණ ගෞතමයන්ට ගිලගන්නටත් බැරිවෙන, වමාරග-න්නටත් බැරිවෙන උභතෝකෝටික ප්‍රශ්නය මෙය ය. නමුත් භාග්‍යවතුන් වහන්සේට එම වාදයට දීම සඳහා පැහැදිලි පිළිතුරක් තිබුණි. එය හුදු තර්කයක් නොව, විශේෂ නුවණින් දැක වදාළ ඒකාන්ත සත්‍යයකි..!

“ගාමණී, මම මෙතැන් සිට, අනූ එක් කල්පයක් ආපස්සට අතීතය සිහි කරමි. මෙතෙක් කලකට පිසූ ආහාරයක් දානයක් වශයෙන් දීම නිසා නැසුණු කිසි පවුලක් මම නොදකිමි. යම් මේ පවුල් කිසිවකින් අඩුවක් නැතිව, බොහෝ ධන, ධාන්‍ය, රන්, රිදී, දේපල වස්තුව ඇතුව සිටිත් නම්, ඒ සියල්ල දන් දීමේ ප්‍රතිඵලය, සත්‍ය වචනයේ ප්‍රතිඵල ය, සීල සංයමයේ ප්‍රතිඵල ය. එනම්, ඒ සියල්ල දානයෙන්, සත්‍ය වචනයෙන්, සීල සංවරයෙන් හටගත් දේවල් ය.”

ඉන්පසු කුලයන් හෙවත් දායක පවුල්වල විනාශයට හේතුවන කරුණු අටක් ගැන භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් වදාළ සේක.

“ගාමණී, කිපුණු රජුගේ අණින් හෝ, සොරුන් නිසා හෝ, ගින්නෙන් හෝ, ජලයෙන් හෝ පසුව ගන්නට සඟවා තැබූ දෙය නොලැබීමෙන් හෝ වැරදි ලෙස සේවයේ යොදවනු ලැබූ සේවකයින් තම වගකීම් අත්හැරීම නිසා හෝ රැස්කරන ලද ධනය වනසන කුල අඟුරක් හෙවත් වධක දරුවෙක් ලැබීම නිසා හෝ අනිත්‍ය ධර්මතාවය නිසා හෝ පවුල් නැති භංගස්ථාන වී යත්.

ගාමණී, පවුල් විනාශ වීමට හේතුවන මේ කරුණු අට දකින්ට ලැබෙන කල්හි යමෙක් මට මෙසේ චෝදනා කරයි නම්, ‘භාග්‍යවතුන් වහන්සේ දායක පවුල් නැසීම පිණිස, පිරිහෙළීම පිණිස, පීඩාවට පත්කිරීම පිණිස කටයුතු කරන කෙනෙකි’ යි කියා, ඔහු ඒ වචනය බැහැර නොකළහොත්, ඒ අදහස හෝ දෘෂ්ටිය අත්නොහැරියහොත්, ඔසවාගෙන ආ බරක් බිම තබන සෙයින් නිරයෙහි වැටෙන්නේ ය.”

භාග්‍යවතුන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම අසා විස්මයටත්, ප්‍රසාදයටත් පත් ගාමණී තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙකු බවට පත් විය. මේ සිදුවීම සඳහන් වන්නේ සංයුත්ත නිකායේ කුල සූත්‍රයෙහි ය.

තව ද විශාඛාවගේ සීයා වන මෙණ්ඩක සිටාණන් මහා ධනවත් කුලවත් සිටුවරයෙකු ව උපන්නේ, පෙර ජීවිතයේ දුර්භික්ෂයකට මුහුණ දී සිටියදී ඉතිරිව තිබූ අන්තිම හාල් ස්වල්පයෙන් පිසගෙන තිබූ බත, පසේබුදුරජාණන් වහන්සේනමකට පිදූ පිනෙනි.

මහා දාගැබ් වෙහෙර විහාර තැනවූ, ලක්දිව් වැසි සියලු සංඝයාට තුන් සිවුරු පිදූ, අතිවිශාල ධනයක් වියදම් කරමින් නා නා විධ මහා පින්කම් කළ අපගේ දුටුගැමුණු මහරජු මරණාසන්න ව සිටි මොහොතේ ඒ සියලු පින්කම් අභිභවා එතුමාගේ සිත පිනවූයේ, මලණුවන් හා කළ යුදයෙන් පැරදී මරබියෙන් පලා යන කල්හි මහාවනය මැද, තමාට අනුභව කරන්නට ඉතිරි ව තිබූ බත රහතන් වහන්සේනමකට පිදූ පින ම ය. මේ අයුරින් ඔබට ද මේ මහත් අසීරු අවස්ථාවේ දෙන දානය ගැන නැවත නැවතත් සිත සිතා සතුටු විය හැකි නම්, ජීවිතයේ අවසන් මොහොතේ දී ද දුෂ්කරව දුන් දානය ගැන සිහිවී සිතෙහි සතුට උපදින්නේ නම්, එය ඔබේ පරලොව ජීවිතයට ඒකාන්තයෙන් ම පිහිට පිණිස පවතින්නේ ම ය.

මෙතෙක් දෑ සඳහන් කරන ලද්දේ දන් දීමට ප්‍රිය කරන, බෙදා හදාගෙන අනුභව කිරීමට කැමති, මසුරු මල රහිත සිතින් වාසය කරන, සුළු දෙයක් තිබියදීත් දන් දෙන, අන් අය දෙන දානය අනුමෝදන් වන පිනැතියන්ගේ සිතෙහි සතුට උපදවනු පිණිස ය. පහන් බව ඇති කරනු පිණිස ය.

ඉතා දුෂ්කරව ඔබ දෙන දානයෙන් රැස්වන පින ඔබට ඉතා සුව සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම හේතු වාසනා වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.